රංජන් කස්තුරි

දිවයිනේ ජාතික සහ පළාත් පාසල්වල පවතින සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවාවේ නියුතු උපාධිධාරීන් සහ සාමාන්‍ය උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් නිවේදන දෙකේ ගුරු සේවා ව්‍යවස්ථාවට පටහැනි කරුණු අන්තර් ගතව ඇතැයි ගුරු සංගම් චෝදනා කරයි.

දැනටමත් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරුසේවයට බඳවා ගැනීම සඳහා සහ උපාධිධාරින් ගුරුසේවයට බඳවා ගැනීම සඳහා වන තරග විභාග සඳහා ඉල්ලු‍ම් පත් කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් අධ්‍යාපන ලේකම්වරයා විසින් ඉකුත්දා නිකුත් කෙරිණ.

ඒ අනුව ඉල්ලු‍ම්කරුවන් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් නම් ඔවුන් 2023 වසරේ පෙබරවාරි මස 10 වැනි දිනට වයස අවුරුදු 45 ට අඩු විය යුතු අතර අනෙකුත් උපාධිධාරීන් එම දිනට වයස අවුරුදු 40 ට අඩු විය යුතු බවද එම ගැසට් නිවේදනවල සඳහන් වේ.

එහෙත් ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව බඳවා ගැනීමේ වයස් සීමාව අවුරුදු 35 ක් ලෙස සඳහන් වන බවද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය.

එම නිසා නව බඳවා ගැනීමේ වයස් සීමාව වෙනස් කළේ කුමන පදනමකින් දැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතු බවද ඔහු කීවේය.

මීට අමතරව ඉකුත් 2023 වසරට අදාළව වයස සහ උපාධි සුදුසුකම් සලකා බලන බව ගැසට් නිවේදනවල සඳහන්වන අතර ඉන්පසුව උපාධි ලබාගත් තරුණ පිරිසට ඉල්ලු‍ම් කිරිමේ අවස්ථාව අහිමිකර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

තවද උපාධිධාරීන් කොපමණ ප්‍රමාණයක් බඳවා ගන්නේද යන වග ගැසට් නිවේදනයේ සඳහන් නොවන බවද ඔහු කීවේය.

තවද ගැසට් නිවේදන දෙකක් මගින් වෙන වෙනම ඉල්ලු‍ම්පත් කැඳවා ඇති නමුත් දෙපිරිසටම පවත්වන්නේ එක විභාගයක්ද යන්න පැහැදිලිකර නැතැයිද හෙතෙම සඳහන් කළේය.

නවක ගුරුවරුන් 23 344 දෙනකු බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැත් රාජ්‍ය සේවයේ නියුතු සහ සාමාන්‍ය උපාධිධාරීන්ට ලබාදෙන කෝටාව වෙන් වෙන්ව ගැසට් නිවේදනයේ සඳහන්කර නැතැයි ඔහු පැවසීය.

තවද රාජ්‍ය සේවයෙන් නියුතු උපාධාරීන්ගේ අයදුම්පත් මේ මස 19 වැනි දින ට ප්‍රථම සහ අනෙකුත් උපාධිධාරීන්ගේ අයදුම්පත් මේ මස 20 වැනිදිනට පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ යුතු බවද එම ගැසට් නිවේදනවල සඳහන්වේ.

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා ලිඛිත තරග විභාගයක් පවත්වන අතර ඉන් සමත් වන අයවලු‍න් සම්මුඛ පරීක්ෂණයකට කැඳවා සුදුස්සන් තෝරා ගන්නා බවද එම ගැසට් නිවේදනවල සඳහන් කර තිබේ.

බඳවා ගන්නා උපාධිධාරීන් ගුරු සේවයේ 3 වැනි පන්තියේ 1 (අ) යටතේ රුපියල් 64 440 ක වැටුප් තලයක පිහිටුවන බවද සඳහන් කර ඇත.