නිරෝෂණ කුමාර

වතු ආශ්‍රිත කම්කරුවන් සිය සේවාවලින් ඉවත්වී වෙනත් රැකියා සඳහා යොමු වීමෙන් ඉදිරියේදී තේ කර්මාන්තය පවත්වාගෙන යාමේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනාවරණය වෙයි.

ඇතැම් වතු කම්කරුවන් රුපියල් 2000-3000 අතර මිලකට ගොඩනැගිලි ක්ෂේත්‍රයේ, වෙළෙඳසැල් ආශ්‍රිත සේවාවල නිරත වීම පසුගිය දිනවල සිට වැඩි වී තිබේ.

එළවළු අළෙවි කිරීම වැනි කටයුතුවල දී දෛනිකව මුදල් අතට ලැබීම හේතුවෙන් ඔවුන් තේ කර්මාන්තයෙන් ඉවත් වී ඇතැයි හිටපු වතු වෘත්තීය සමිති නායකයෙකු මෙන්ම හිටපු සංස්කෘතික කටයුතු පිළිබඳව රාජ්‍ය ලේකම් පි. පී. දේවරාජ් පැවසීය.

කම්කරුවන් මෙසේ වෙනත් රැකියා සඳහා යොමුවීම නිසා ඉදිරියේ දී තේ දලු‍ නෙළීමට බලපෑමක් එල්ල වනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.

වතුකම්වන්ගේ දරුවන්ද වෙනත් රැකියා සඳහා යොමුවීම නිසා ඉදිරියේ දී කම්කරු හිඟයක් ද ඇතිවීමේ ඉඩකඩක් පවතින බව ඔහු සඳහන් කළේය.

වතු හාම්පුතුන් හා රජය අතර අත්සන් කළ ගිවිසුම මෙතෙක් ගැසට් කර නොමැති නිසා වැටුප් වැඩිවීම පිළිබඳ අවධානයක් පවතින බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් වඩිවෙල් සුරේෂ් පැවසීය. එසේ වැඩි වීම වතු කම්කරුවන්ට කරන විශාල සහනයක් බවද හෙතෙම කීය.