මෙරට දේශපාලනය තුළ අමුතු මතකයක් ඉතිරිකර නන්දන ගුණතිලක ඉකුත් දා ජීවිතයට සමුදුන්නේය. නන්දන ගුණතිලක යනු කවුද? මේ ඒ නන්දන ගුණතිලක ශ්‍රී ලංකා ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක කියවාගෙන ඇති ආකාරය වේ.

නන්දන ගුණතිලක මම හඳුනාගත්තේ මීට අවුරුදු 40කට පමණ පෙර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු හැටියටයි. ඒ කාලේ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයට පේරාදෙණිය විශ්වවිද්‍යාල  නියෝජනය කරමින් පැමිණි කණ්ඩායමේ නන්දනත් හිටියා.

ඒ කාලේ අන්තරේ නායකයා වශයෙන් හිටියේ රංජිතම් ගුණරත්නම්. ඔහුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේමයි. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටපු කෙනෙක්. ආනන්ද ඉඩමෙගම, නිශ්චි, කාරියප්පර්, ගුණපාල, ජය ශ්‍රී සුදත් බණ්ඩාර කියන අයත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් අන්තරේට ආවා. කාරියප්පර් හැරුණුකොට අනිත් අය ජනතා විමුක්ති පෙරමුණේ. භික්ෂු අංශයේ අතුරලියේ රතන හාමුදුරුවන් ඇතුළු පිරිසක් හිටියා.

80 දශකය ගත්තොත් ඉතාම කලබලකාරී විනාශකාරී භීෂණකාරී දශකයක්. එක පැත්තකින් උතුරේ බෙදුම්වාදී යුද්ධය තීව්‍රවෙමින් තිබුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හා ඉන්දියාව අතර ගැටුම් උත්සන්න වෙලා තිබුණ ඔය අතරේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ බෙදීමක්ද ඇතිවුණා. ඒ උතුරේ සටන විමුක්තිකාමී අරගලයක් ද? බෙදුම්වාදී ත්‍රස්තවාදී අරගලයක් ද? කියලා. 86න් පස්සේ ඒ ගැටුම මරාගන්න ගැටුමක් බවට පත් වුණා. දයා පතිරණ කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා. ඔහු පැහැරගෙන ගොස් පානදුර හිරණ තොටුපළ අසලදී මරා දැම්මා.

මේ වෙනකොට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයත් ඉතා මර්දනකාරී පියවර අරගෙන තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා. සමසමාජ පක්ෂය, නව සමසමාජ පක්ෂය තහනම් කළා. ශිෂ්‍ය සංගම් තහනම් කළා. ඔහුගේ ලිබරල් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු එවැනි මර්දනකාරී පියවරක හිටියා. අත්අඩංගුවට ගැනීම්, පැහැරගැනීම් නොනැවතී සිදුවෙමින් තිබුණා.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපයට සමාන්තරව ජනතා විමුක්ති  පෙරමුණත් සන්නද්ධ ක්‍රියාමාර්ග මගින් බලය ඇල්ලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. ඒ සඳහා ඔවුන්ගේ පළමු ප්‍රහාරය එල්ල වුණෙත් මහනුවර පල්ලෙකැලේ හමුදා කඳවුරට. ඒ සන්නද්ධ මෙහෙයුමට නන්දන ගුණතිලකත් සම්බන්ධ වුණා. ඒ ප්‍රහාරයෙන් පසුව ඔහු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවල මම දැක්කේ නෑ.

87 න් ඇරැඹුණ ඒ සන්නද්ධ ක්‍රියාවලිය අවසන් වුණේ කොහොමද කියලා කවුරුත් දන්නවා. ඒක අවසන් වුණේ සමූල ඝාතනයකින්. ජනතා විමුක්ති පෙරමුණත් 6661 ක් ඝාතනය කළා. ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව අවි ගත්ත කණ්ඩායම් හිටියා. ප්‍රා, උකුස්සා, කහ බළල්ලු වැනි සංවිධාන ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මාරාන්තික ප්‍රහාර එල්ල කළා. ඒවායේ හිටිය ඔය මාරාන්තික කණ්ඩායම් ඒ අයත් එක් දහස් දෙසිය ගානක් ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන් මරා දැම්මා. ආරක්ෂක අංශ විසින් දැවැන්ත මර්දනයක් දියත් කළා. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඔය සොත්ති උපාලිලා වගේ අය පාවිච්චි කළා. සිරිසේන කුරේගේ මූලිකත්වයෙන් කණ්ඩායමක් ක්‍රියාත්මක වුණා. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම ක්‍රියාත්මක වුණා. මේ විදිහට දහස් ගාණක් මියගියා. තව සිය ගානක් රටින් පලාගියා.

80 දශකය කියන්නේ එහෙම අඳුරු බිහිසුණු දශකයක්. මිනී පිච්චෙන පුලුටු ගඳ හැමතැනම පැතිරිලා තිබිච්ච, මහ පාරේ ටයර්වල තරුණයන් මරා පුච්චපු යුගයක්. ඒ යුගයේ සන්නද්ධ අංශයෙන් ඉඳලා දිවි ගලවාගත්ත කෙනෙක් තමයි නන්දන ගුණතිලක කියන්නේ.

වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයෙක් හිටිය කමල් මාන්නප්පෙරුම කියලා. ඔහුට කියන්නේ සෙනෙවි කියලා. නන්දන ගුණතිලක හා සෙනෙවි යන දෙන්නා තමයි ජවිපෙ නැවත ගොඩගැන්මේ එක පැත්තකින් ක්‍රියාත්මක වුණේ.
දකුණු පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය පරාජය වෙලා පසුබෑමකට ලක්වුණා. ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව කටයුතු කරලා එක්සත් ජාතික පක්ෂයෙන් ගියා. මෙන්න මේ කලබැගෑනි පාවිච්චි කරලා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධ දේශපාලනයට එන්න සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙන් කටයුතු කළා.

ඒක ඉතාම දුෂ්කර අභියෝගාත්මක කාලයක්. ඔවුන් එම අභියෝගයට කොහොමින් හරි මුහුණ දීලා ප්‍රසිද්ධ දේශපාලනයට අවතීර්ණ වුණා.

ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් වුණේ නන්දන ගුණතිලක. ප්‍රධාන ලේකම් කියන්නේ අද ටිල්වින් සිල්වා දරන තනතුරයි. වාමාංශික බොල්ෂෙවික් පක්ෂවල බලය තියෙන්නේ පක්ෂයේ ප්‍රධාන ලේකම්ට. නන්දන ගුණතිලක එදා ඒ අභියෝගය හොඳින් භාරගත්තා. ඔබ දන්නවා ඒ කාලය වන විට ජවිපෙට ඉතාම යහපත් පරිසරයක් තිබුණේ නෑ. ඇතැම් පාර්ශ්ව ඔවුන්ව ඉතා තියුණු ලෙස විවේචනය කළා.

1994 මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ මල් පෝච්චිය ලකුණෙන් ඉදිරිපත් වුණා. ඒ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ධුරයක් ජවිපෙට හිමිවුණා. නිහාල් ගලප්පත්ති පාර්ලිමේන්තුවට ගියේ එහෙමයි.

ප්‍රේමදාස ආණ්ඩුවත් වැරැදි දෙකක් කළා. එකක් කැරැල්ල සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කළේ නෑ. බණ්ඩාරනායක  මැතිනිය නම් 1971 අප්‍රේල් කැරැල්ලෙන් පස්සේ අලස් කොමිසම දැම්මා. ඒ හරහා විවෘත විභාගයක් කළා. නමුත් ප්‍රේමදාස ජනාධිපතිවරයා එහෙම කළේ නෑ. කට්ටියක් නිදහස් කළා.  එහෙම නැතිව කිසිම විභාගයක් කළේ නෑ. ඒ නිසා අදත් එදා ඇතැම් මරණ කළේ කවුද කියලා එකිනෙකාට චෝදනා නැගීමක් තමයි තියෙන්නේ.

උදාහරණයක් හැටියට ප්‍රේමකීර්ති අල්විස් මැරුවේ කවුද? සාගරිකා ගෝමස් කවුද මැරුවේ? ඒ වගේ ප්‍රශ්න තියෙනවා.  ඒවා විසඳිලා නෑ.

ඊළඟ ප්‍රශ්නය තමයි ජවිපෙ සතුව තිබුණ අවිවලට මොකද වුණේ? අවි 2700 ක් විතර භාරදීලා නෑ කියලා වාර්තා වෙනවා. ඒ වගේම විශාල ආර්ථික විනාශයක් වුණා. අතිවිශාල ධනයක් බැංකුවලින් හා වෙනත් තැන්වලින් කොල්ල කෑවා. ඒ සල්ලි කෝ. ඒ සල්ලිවලට මොකද වුණේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා.

ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල නිසා ලංකා ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේ ණය බර සියයට සීයක් ඉක්මවා ගියා. එතෙක් කාලයක් අපි සියයට 5ක වගේ ආර්ථික වේගයක් පවත්වාගෙන ගියා. ඒ බැස්සා සියයට 1.5ට. ඉතින් ආර්ථිකයට වෙච්ච විනාශය අතිමහත්. 2020 දී රට බංකොලොත්වීමට කිට්ටු තත්ත්වයට රට විටින් විට පත්වුණා. 1996 දී 2008 දී 2017 දිත් ඒ තත්ත්වය ඇති වුණා. ඒකට හේතුව තමයි ණය බර අපට දරාගන්න බැරිවීම. ඒ විදියේ ආර්ථික විමර්ශනයක් හා සමාජ විමර්ශනයක් රටේ කෙරිලා නෑ.

නන්දන ගුණතිලක ඇතුළු පිරිස ඒ තත්ත්වයට පෙලඹුණේ ඇයි. ඔවුන් නැවත ප්‍රතිසංවිධාන වුණේ කොහොමද කියන එක ගැන විධිමත් සමාජ ආර්ථික දේශපාලන විග්‍රහයක් රාජ්‍ය පැත්තෙන් කෙරුණේ නෑ. එල්.ටී.ටී.ඊ.ය සම්බන්ධයෙනුත් එහෙම විග්‍රහයක් කළ යුතු තිබුණා. නමුත් එහෙම දෙයක් වුණේ නෑ. මේකෙන් වුණේ නායකයන්ගේ අණට අනුව වැඩ කරපු මිනිස්සු හිර ගෙවල්වලට ගියා. නමුත් අණ දුන්න මිනිස්සු ඇමැති මණ්ඩලයේ. එහෙම තත්ත්වයක් තමයි උදා වුණේ.

නන්දන ගුණතිලක ආපු ගමනේ කූඨප්‍රාප්තිය ලෙස මම දකින්නේ ඔහු නාගරික ව්‍යාපාරයක් බවට මේ පක්ෂය පත් කරන්න සමත්වීම. 97 පළාත් පාලන ඡන්දයෙන් තමයි ඒක මතු වුණේ. ඊට පස්සේ පළාත් සභා ඡන්දය 1999 ජනාධිපතිවරණයට නන්දන ගුණතිලක වමේ පොදු අපේක්ෂකයා විදියට ජිවිපෙන් ඉදිරිපත් වුණා. ඔහු රෝහණ විජේවීර 1982 ජනාධිපතිවරණයේදී ගත්ත ඡන්ද සංඛ්‍යාවට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ලබාගත්තා. ඒ විදියට ජනතා විමුක්ති පෙරමුණ හොඳින් සමාජගත කරන්න රටපුරා දැවැන්ත සංවිධාන ජාලයක් හදන්න ඔහු ඉහළින්ම කැපවුණා. ඒ වගේම ඔහු එය සමත් වුණා.

ඊට පස්සේ ඒ පක්ෂයේ ගමන් මග පිළිබඳව මතවාදී ප්‍රශ්න ඔහුට ඇති වෙන්න ඇති මට මතකයි. 2004 දී අපේ භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ අපට පහර දෙන න්‍යායක් ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළා. දැන් ඔය ලාල්කාන්ත විවෘතව කියනවා වගේ ඒ කාලෙත් කළා. 

ඒ අවස්ථාවේද ඒක වැරැදියි. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදිත් භික්ෂූන් වහන්සේලාට හිරිහැර කරන එක වැරැදියි කියන මතයෙ නන්දන ගුණතිලක හිටියා. මට මතකයි ඒ ගැන නන්දන අපිත් එක්කත් සාකච්ඡා කරලා යම්කිසි එකඟතාවකට ආවා. මොකද අපේ කාර්යාල කුඩුපට්ටම් කළා. භික්ෂූන් වහන්සේ නමක් පැහැරගෙන ගියා. ඒ නිසා අප දෙපාර්ශ්වය අතර එකඟතාවකට ඒමේ සාම කපොල්ල හැදුවේ නන්දන.

2009 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂට සහාය දිය යුතු නෑ, ජවිපෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය කියන මතයේ යම් කණ්ඩායමක් ජවිපෙ තුළ හිටියා. අනුර කුමාර දිසානායක හිටියෙත් ඒ මතයේ. නමුත් නන්දනට පුළුවන් වුණා පක්ෂය තුළ මහින්ද රාජපක්ෂට සහාය දිය යුතුයි. රටේ ඒකීය භාවය සම්බන්ධයෙන් එම පියවර ගත යුතුයයි කියන මතය ජයග්‍රහණය කරවන්න. කොහොම හරි මහින්ද රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම් කමිටුවට ජවිපෙන් ආවේ අනුර කුමාර දිසානායක.

2006 දී තීරණාත්මක ප්‍රශ්නයක් මතු වුණ මාවිල්ආරු සිද්ධියත් සමග. එතැනදී ආණ්ඩුව පෙරළා දැමීමේ උත්සාහයක රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර ඇතුළු කණ්ඩායමක් ක්‍රියාත්මක වුණා. එතැනදි ආණ්ඩුව රැක ගැනීමේ අවශ්‍යතාවක් ආවා. ඒ මොහොත වනවිට නන්දන ගුණතිලක ජවිපෙන් තරමක් දුරස්වෙලා හිටියේ. විමල් වීරවංශ ඇතුළු පිරිස එතැනදි ජවිපෙන් එළියට බැස්සා. නන්දන ගුණතිලක ඊට පස්සේ විමල් වීරවංශ සමග එකතුවෙලා ජාතික නිදහස් පෙරමුණ බිහිකළා.

නන්දන ගුණතිලක ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වුණා. අපි 2014 දී මහින්ද රාජපක්ෂගේ පවුල් පාලනය දූෂිත ආර්ථික ක්‍රියාදාමය නතර කරන්න යම් දෙයක් කරන්න ඕනෑ කියලා තීරණය කළා. නන්දනත් ඒ මෙහෙයුමට එකතුවුණා. අවසානයේදී ඔහු එජාපයේම නතර වුණා. නොයෙක් දෙනා දැන් වම දකුණ ගැන කතා කරනවා.  රටේ ඉන්න ලොකුම ජාවාරම්කාරයෝ අද ඉන්නේ ආණ්ඩුව එක්ක. ඒ නිසා වමක් දකුණක් නෑ. නන්දන ගුණතිලක එජාපයට යෑම සම්බන්ධයෙන් ඔය එල්ල කරන  දේශපාලන ප්‍රහාරය යථාර්ථයක් නොවෙයි.

නන්දන ගුණතිලක ඔහුගේ ජීවිතය තුළ දූෂිත විදියට  හෝ හරිහම්බ කරගත් කෙනෙකු නොවන බව ඔහුගේ මරණයෙන් ඔහු ඔප්පු කළා. ඔහු ජීවත්වුණේ ඉතාම චාම් විදියට. දේශපාලනික වශයෙන් මත වෙනස්කම් තිබුණත් මනුෂ්‍යත්වයෙන් ඉහිරුණ කෙනෙක් තමයි නන්දන ගුණතිලක. වෛර සහගත පොඩි මිනිහෙක් නොවෙයි නන්දන. ඔහු බලගතු ලොකු මිනිහෙක් බවට  පොඩි මිනිසුන් අතර පත්වුණා. නන්දන ගුණතිලකගේ විශේෂත්වය එයයි.

ප්‍රසන්න සංජීව 
තෙන්නකෝන්