1926 පෙබරවාරි 16 වැනිදා නාවල, කොස්වත්තේ උපන් නාවලගේ ලයනල් චන්ද්‍රා පෙරේරා පසුගියදා ලන්ඩන් බෞද්ධ විහාරයේ දී ආදි ආනන්දියන් සමග තම සතුට බෙදාගත්තේ ලන්ඩනයේ විහාරස්ථාන තුනකින් වැඩම කළ භික්ෂූන් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේය.
“අවුරුදු 100ක් සමරපු එක මොකද හිතෙන්නේ?”
“සතුටුයි. අපිට ආපහු ඒ කාලේ කරපු දේවල් ආයෙත් කරන්න බෑනෙ. ඒවා මතක් වෙන කාටත් සතුටුයි. අවුරුදු 100ක් කියන්නෙ ලොකු කාලයක්. අපි ආපහු ඒ කාලෙ ඒවා කරන්න යන්නත් නරකයි” කී
ලයනල් චන්ද්‍රා මහා හඬින් හිනැහුණේය. ඒ සිනාවේ තිබුණේ අපූරු සැහැල්ලුවකි.
“අන්තිමට ලංකාවට ගියේ කවද ද?”
2017 දි. ඊටපස්සෙ යන්න බැරි වුණා.
“ලංකාව ගැන මොකද හිතෙන්නෙ?”
“ළඟදි ගියේ නැති හින්දා මොකුත් කියන්න බැහැ. හැබැයි පින්තූරවලින් නම් පේනවා ලංකාව දැන් දියුණුයි කියල” කී ඔහු යළිත් මහ හඬින් හිනැහුණේය.
“අන්තිමට ලංකාවට ගිය වෙලේ ආනන්දෙටත් ගියාද?”
“ඔව්... ඇයි ප්‍රින්සිපල් හම්බවෙන්න ගියානෙ.”
“තාමත් ආනන්දෙ යාළුවො ඉන්නව ද?”
“ඔව් ඔව්.. ඒගොල්ලො පදිංචි වෙලා ඉන්නෙ ලංකාවෙනෙ. මම ඉන්නෙ එංගලන්තෙ නිසා හම්බවෙන්නෙ නෑ.”
“ඒගොල්ලො ඉඳහිටල හරි කතා කරනව ද?”
“නෑ කතා කරන්නෙ නම් නෑ. මගෙ යාළුවෝ සමහර අය මෙහෙ ඉන්නෙ...” ඔහුගේ කටහඬේ සැහැල්ලු බව මොහොතින් බිඳී ගියේය.
එන්.එල්.සී. පෙරේරා නමින් ලන්ඩනයේ බොහෝ මිතුරන් අතරේ ජනප්‍රිය ඔහු දැනට වාසය කරන්නේ ලන්ඩන්හි හැරෝ හි නිවසේ සිය එකම දියණිය වන රුවිනි සමඟය.
“එයා තමයි බාලයා. අපිව බලාගන්නෙ දුව තමයි” කී ඔහු යළිත් සැහැල්ලුවෙන් සිනාසුණේය.
ඔහුගේ බිරිය …කුසුම්ය. දැන් ඇයගේ වයස අවුරුදු 97 කි.
ලයනල් චන්ද්‍රාගේ වසර සියය ගෙවී ඇත්තේ නිකම්ම නොවේ. ඒ වසර සියයට ඔහු කර ඇති කාර්යභාරය පමණක් නොව තබා ඇති වාර්තා ද ඉමහත්ය.
මහා බ්‍රිතාන්‍යයේ ආදි ආනන්දිය ශිෂ්‍ය සංගමයේ වත්මන් සභාපති සරත් කැටන්ගොඩ, හිටපු සභාපතිවරුන් වූ බූමින්ද කරුණාතිලක හා දිමුත් ජයවීර ඇතුළු ආදි ආනන්දියන්ගේ මූලිකත්වයෙන් මෙම ජන්ම දින සැමරුම පවත්වන්නේ ලයනල් චන්ද්‍රා මේ අමරණීය සියවසක කාලය තුළ කරන ලද සේවය ද අගයන්නටය.
1948 පෙබරවාරි 04 වැනිදා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලද ඒ අමරණීය දිනයේ එම ඓතිහාසික උත්සවයේ දී එවක ආරක්ෂක බළකායකට අණ දුන් තරුණ නිලධාරියා නාවලගේ ලයනල් චන්ද්‍රා පෙරේරාය.
එදා ඒ ඓතිහාසික සුවිශේෂී පීඨිකාවේ හමුදා ආචාරය පිළිගැනීමට සිටියෝ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක සහ මහා බ්‍රිතාන්‍යයේ 6වැනි ජෝර්ජ් රජු නියෝජනය කළ ග්ලොස්ටර්හි ආදිපාද හෙන්රි කුමරු ඇතුළු පිරිසය.

සියවන උපන්දිනය සමරමින් 97 හැවිරිදි බිරිඳ කුසුම්, දියණිය රුවී සහ පුතුන් දෙදෙනෙක් ඡායාරූපයේ සිටිති
ඔහු අප සමඟ සාකච්ඡාව පටන් ගනිද්දීම “සතුටුයි... ඒවා ආයෙ කරන්න බෑනෙ” යැයි අපරිමිත තෘප්තිමත් හඬකින් කීවේ එබැවිනි.
ලයනල් චන්ද්‍රා උපත ලැබුවේ කිසිවකින් අඩුපාඩුවක් නොතිබූ පවුලකය. ඔහුගේ පියා ඉඩම් හිමි වැවිලිකරුවකු වූ නාවලගේ සයිමන් පෙරේරාය. මව කැරොලයින්ය. ලයනල් චන්ද්‍රාට සිටියේ එකම එක වැඩිමහල් සොහොයුරියක් පමණි.
ඔහු උපන් කාලය ලංකාව මහා බ්‍රිතාන්‍යයේ කිරුළට යටත් වූ කොලනියක් වුවද සොහොයුරිය සුප්‍රකට බෞද්ධ බාලිකා පාසලක් වන මරදානේ ආනන්ද බාලිකාවට සිප් සතර හදාරන්නට ගියාය. ලයනල් චන්ද්‍රා ගියේ ආනන්ද මහා විද්‍යාලයටය. ඒ 1936 වසරේදීය. එකල ආනන්ද විදුහල්පතිවරයා වූයේ පී. ද ඇස්. කුලරත්න මහතායි.
අපූරු ක්‍රියාශීලී දරුවකු වූ ලයනල් චන්ද්‍රා අධ්‍යාපනයට පමණක් නොව විදුහලේ බාහිර කටයුතුවලදී ද කැපී පෙනුණේය. එනිසාම ඔහු කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායමේ ද ක්‍රියාකාරී සාමාජිකයෙක් විය. ඔහු එම කටයුතු කෙරේ කොතරම් කැපී පෙනෙන දරුවකු වූයේද යත් ඉතා ඉක්මනින්ම ශිෂ්‍ය භට කණ්ඩායමේ සැරයන්වරයෙක් බවට පත් විය. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස නායකත්වය දෙන්නට අවස්ථාව ලැබිණ. මලල ක්‍රීඩා කණ්ඩායම් මෙන්ම බොක්සින් කණ්ඩායමේ නායකත්වය දැරුවේ ද ලයනල් චන්ද්‍රා ය. ඔහු ආනන්ද ක්‍රිකට් කණ්ඩායමේ ද කැපී පෙනෙන ක්‍රීඩකයෙක් විය. විශේෂත්වය වන්නේ ඔහු ආනන්දීය නාට්‍ය කණ්ඩායමේ ද නායකත්වය ඉසිලීම ය.
1948 වසරේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය නිදහස ලබන කාලය වනවිට ලයනල් චන්ද්‍රා ආනන්ද, නාලන්දා, ශාන්ත බෙනඩික් සහ සහිරා යන විදුහල්වල ශිෂ්‍ය භට කණ්ඩායම්වල ප්‍රධාන කාර්යභාර නිලධාරියා ලෙස උසස්වීමක් ලද්දේය. එය සාජන් මේජර් තත්ත්වයට සමාන උසස්වීමකි.
පාසල් සමයේදීම එංගලන්තයේ පැවති අන්තර්ජාතික වෙඩි තැබීමේ තරගයකට ඔහු සහභාගි විය. එසේ සහභාගි වූ අටදෙනාගෙන් තුන්දෙනෙක්ම පාසල් ශිෂ්‍යයෝ වූහ. ඔහු එයින් ද පාසලට ජයග්‍රහණය ගෙන දුන්නේය.
“මේ කොයි දේ කළත් අධ්‍යාපනයට හානියක් වුණේ නෑ. විනය, හික්මීම වගේ ගුණාංග, සහයෝගය පුරුදු පුහුණු කළේ ආනන්දයේ ගත කළ ඒ කාලය තුළයි” ඔහු පසු කල ආනන්දය ගැන පැවසුවේ එසේය.
කැඩෙට් නිලධාරියකු ලෙස ලද අත්දැකීම් සමඟ ඔහු ජ්‍යෙෂ්ඨ කපිතාන්වරයකුගේ අධීක්ෂණය යටතේ ප්‍රථම නිදහස් උලෙළට සහභාගි වූවේය.

හිටපු හමුදාපති මහේෂ් සේනානයක මහතා අතින් සමරු ඵලකයක් ලද අවස්ථාවක්, භූමින්ද සහ දිමුත් පසෙක
පාසල් ජීවිතයෙන් පසු යුද හමුදා ජීවිතයට සම්බන්ධ වූ ඔහු ශ්‍රී ලංකා ඉතිහාසයේ විවිධ අභියෝගාත්මක අවස්ථාවලට මුහුණ දෙන්නට සිදුවිය. ඒ අතරින් 1952 හර්තාලය, බස් වර්ජන, සිංහල දෙමළ කෝලහල, 71 කැරැල්ල සුවිශේෂීය. යුද හමුදා ජීවිතයේ ලංකාවේ උතුරු නැගෙනහිර ඇතුළු සෑම ප්‍රධාන නගරයකම තම සේවය ලබා දී ඇති ලයනල් චන්ද්‍රා විවාහ වූයේ තම පාසල් ප්‍රේමයේ ප්‍රතිඵලයක් ලෙසය. ඇය කුසුම් නානායක්කාර සමගය.
1970 දී පමණ ස්වේච්ඡා බල සේනාවට සම්බන්ධ වූ ලයනල් චන්ද්‍රා මේජර්වරයෙක් ලෙස කටයුතු කළේය. පසු කල එංගලන්තයේ මූල්‍ය සමාගමක සේවය කළ ලයනල් චන්ද්‍රා යුද හමුදා ජීවිතය සාර්ථකව ගත කළ ද පැවති විවිධ අභියෝග හමුවේ ඔහු හමුදාවෙන් විශ්‍රාම ලැබුවේය. ඉන්පසුව ඔහු බ්‍රිතාන්‍යයේ පදිංචිය ආරම්භ කළේය.
ඔහුට පුතුන් පස්දෙනෙකි. එක් දියණියකි. ඔවුහු ද එංගලන්ත අධ්‍යාපනය ලබා අද එංගලන්තයේ පදිංචිව සිටිති. කීර්තිමත් යුද හමුදා නිලධාරියකු ලෙස ලයනල් චන්ද්‍රා ලබා ඇති සම්මාන රාශියකි.
දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ රාජාභිෂේක පදක්කම, එල්.එල්.සී. නම්බු නාමය, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා පදක්කම, ශ්‍රී ලංකා ජනරජයේ සන්නද්ධ සේවා පදක්කම ආදිය ඒවා අතර සුවිශේෂීය.
මහා බ්‍රිතාන්‍යයේ ආදි ආනන්දීය ශිෂ්‍ය සංගමයේ පුරෝගාමියකු වන ලයනල් චන්ද්‍රාට වසර සියයක් පිරුණ ද තවමත් ක්‍රියාකාරී සාමාජිකයෙකි. ඔහු ලන්ඩනයට පැමිණ වසර 40ක් පමණ වෙයි.
“ආපහු ලංකාවට යන්නෙ කවදද?” මා ඇසූ විට ඊට පිළිතුරු දුන්නේ ඔහුගේ දියණිය රුවි ය.
“තාත්තිට ලංකාවට යන්න අමාරුයි. මොකද තියෙන සමහර සෞඛ්‍ය ප්‍රශ්න නිසා ගුවන් ගමන් වෙහෙසයි” ඇය කීවාය.
රොඩ්නි විදානපතිරණ

ආදි ආනන්දියන් සමග

ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමි සමග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd