
යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) එක දිගටම ඇවිදීමෙන් ගිනස් වාර්තා තුනක් පිහිටුවීමට විශ්‍රාමික නාවික හමුදා නිලධාරි, රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ සමත් විය. මාර්තු 20 වැනිදා පෙරවරු 10.00ට අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී මෙම වාර්තාව තැබීම සඳහා කටයුතු ආරම්භ කළ අතර, මාර්තු 22 වැනිදා පෙරවරු 10.00ට එම වාර්තාව තබන ලදී. පැය 48ක් අඛණ්ඩව ඇවිදීමෙන් මෙම වාර්තාවට ඔහු හිමිකම් කී අතර, එය සාර්ථකව අවසන් කළ ඔහු එහිදී තවත් ගිනස් වාර්තා 3කට ද හිමිකම් කීවේය. මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා මග පෙන්වීම යටතේ නාවික හමුදාව විසින් අවශ්‍ය සියලු පහසුකම් ලබා දී තිබිණ.
මීට පෙර යාන්ත්‍රික (Manual Treadmill) නොවන ඇවිදීමේ යන්ත්‍රයකින් පැය දොළහක කාලයකදී කිලෝමීටර 94.3ක දුරක් ඇවිදීමෙන් ඔහු තමා විසින්ම තබා තිබූ වාර්තාවක් බිඳ හෙළීය. පැය 12ක කාලයකදී කිලෝමීටර 100.35ක දුරක් එක දිගට ඇවිදිමින් පළමු ගිනස් වාර්තාව තැබීමට හෙතෙම සමත් විය. දෙවැනි ගිනස් වාර්තාව ඔහු සම්පූර්ණ කළේ පැය 24ක කාලයකදී කිලෝමීටර 190.55ක දුරක් ඇවිදීමෙනි. මීට පෙර එම වාර්තාව කිලෝමීටර 188.13ක් විය. පැය 48ක කාලයකදී කිලෝමීටර 316.7ක දුරක් ඇවිදිමින් මෙම වාර්තාවට සුදුසුකම් ලැබුවේ නාවික හමුදාව මෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය වෙත ගෙන යමිනි.
මෙම ගිනස් වාර්තාවට සමගාමීව යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයකින් වේගවත්ම කිලෝමීටර 100 පැය 12යි විනාඩි 57යි තත්පර 42කින් නිම කිරීමට ද ඔහු සමත් විය. කිලෝමීටර 300ක වේගවත්ම ඇවිදීම පැය 44යි විනාඩි 40යි තත්පර 24කින් නිම කිරීමේ වාර්තාව ඉදිරියේදී ගිනස් වාර්තාවක් ලෙස සලකා බැලීමට නියමිතය.
නාවික හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකාවට හා නාවික හමුදාවට විශාල කීර්තියක් ද අභිමානයක් ද ගෙන දෙමින් ගිනස් වාර්තා තුනක් පිහිටුවීමට සුදුසුකම් ලැබීම ඔහුගේ උත්සාහය හා කැපවීම පිළිබිඹු කරන්නකි. ඕනෑම අභියෝගයක් අධිෂ්ඨානුකූලව ජයගත හැකි යන වටිනා ආදර්ශය ලංකික තරුණ ප්‍රජාවට පමණක් නොව ලොවටම ගෙනහැර පෑමට ඔහු සමත් විය. විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ සමග කළ සම්මුඛ සාකච්ඡාව මෙහි වේ.
ඔබ තැබූ ගිනස් වාර්තාව ගැන කතා කළොත්?
“මේක විශාල අභියෝගයක් වගේම දැවැන්ත කාර්යයක්. නමුත් මම ඒ අභියෝගයට මුහුණ දුන්නා. ඇවිදීම කරන අතරතුර මට ලැබුණේ විවේක ගන්න පැයකට විනාඩි පහක කාලයක්. විවේක ගන්න කාලයේදී මගේ සෞඛ්‍ය තත්වය නිරන්තරයෙන් පරීක්ෂා කළා. මේක මට විතරක් නෙවෙයි නාවික හමුදාවටත් මගේ මාතෘ භූමියටත් විශාල ජයග්‍රහණයක්.”
මේ සඳහා පසුබිම වුණේ?
“මම නාවික හමුදාවේ සේවය කරන කාලේ උතුරු නැගෙනහිර යුද්ධය පැවැතුණා. ක්‍රියාන්විත රජකාරියේ තමයි මම ගොඩක් දුරට සේවය කළේ. ඒ කාලයේ රාජකාරි කරනකොට මම හරි ආසයි ක්‍රීඩා කටයුතුවල නිරත වෙන්න. නමුත් යුද්ධය නිසා ක්‍රීඩා කරන්න බැහැ. නෞකාවල සේවය කරන්න ඕනෑ. උතුරු නැගෙනහිර මුහුදු කලාපය ආරක්ෂා කරන්නත් ඕනෑ. ත්‍රස්තවාදින් මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ඇවිත් ප්‍රහාරයක් එල්ල කරයි දැයි අපි දැඩි විමසිල්ලෙන් හිටියා. මට ඉඩක් ලැබුණු වේලාවක ක්‍රීඩා කටයුතුවල නිරත වෙනවා. විශේෂයෙන් ඇවිදීම තමයි මගේ ප්‍රධාන අරමුණ. අපි කඳවුරු ඉදිරියේ ඉදිරි ආරක්ෂක වළල්ල යොදා තිබෙනවා. වාහන ගමනාගමනය සීමා කර තිබුණේ. සෑම තැනකම බිම් බෝම්බ වළ දමලා. මම හිටියේ මන්නාරම, කයිට්ස්, යාපනය වගේ ප්‍රදේශවල. මේ අතුරු පාරවල තව කෙනෙක් එක්ක මම ඇවිදිනවා, දුවනවා. යුද්ධයේ අවදානම තිබෙනකොටත් මම ඇවිදිනවා, දුවනවා. මෙතැනදී විශේෂ දෙයක් වුණා. මේ ඇවිදින අතරේ තමයි එල්.ටී.ටී.ඊ. සංවිධානය යාපනය වට කරලා පහරදෙන්න හදනවා කියලා තොරතුරු ලැබුණේ. එතකොට මම සේවය කළේ අණ දෙන නිලධාරි ලෙස. ක්‍රියාන්විතයේ ඒ දේවලට මුල් තැන දෙමිනුත් මම දුවන එක නතර කළේ නැහැ.
ඒ කාලේ අලප්පුඩි මූලස්ථානයේ ඉඳලා යාපනය දක්වා කිලෝමීටර හතක් දුවනවා. ඒ කාලේ මම සිටින කලාපය ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන් වුණා. කවුද සතුරන්, මොකද ඉදිරියට වෙන්නේ, අපට ප්‍රහාරයක් කරන්න සූදානම් වෙනවා ද කියන කාරණා ගැන. වාහනයක යනවාට වඩා පයින් යනකොට තමයි විවිධ තොරතුරු මට ලැබෙන්නේ. දවසක් මම ඇවිදගෙන එනකොට අරාලි මාර්ගයේ අලිප්පිඩි හන්දියේ, වේලාව 6.00ත් 6.30ත් වගේ ඇති. එතැනදී මම දැක්කා පඳුරක් අස්සේ ඡායාවක් එහෙට මෙහෙට යනවා.
මම පයින් යන නිසා මේ ඡායාව හොඳට දුටුවා. මම විතරයි පයින් දුවන්නේ. අනිත් අය එන්නේ බයිකල්වලින් මීටර් දහයක් පමණක් පරතරයක් තියාගෙන. ඒ ඡායාව දැකපු ගමන් වහාම මම දැනුම් දුන්නා භට පිරිස් සූදානම් කරන්න කියලා. එතකොට අණ දෙන නිලධාරියා හැටියට හිටියේ මම. ඔවුන්ට මාව මරණවාට වඩා ඕනෑ වුණේ කඳවුරුවලට විශාල හානියක් කරන්න. එ් නිසා නවසියයක් පමණ භට පිරිසක් සූදානම් කළා. සෙසු කඳවුරුවලින් කරෙයිනගර්, මන්නාරම, පුන්කුඩතිව් ප්‍රදේශවලින් අමතර භට පිරිස් ගෙනාවා. කරෙයිනගර් සම්පූර්ණ සිතියම අරගෙන ලණුවක් හරහට තිබෙන ආකාරයට භට පිරිස් යොදවමින් ඉදිරියට ගමන් කළා. ඔවුන්ට උපදෙස් දුන්නා සෑම නිවසක්ම, බෝක්කුවක්ම, ළිඳක්, පඳුරක්ම සෝදිසි කරන්න කියලා. අලුයම පහේ ඉඳලා දහවල් දෙක වෙනකොට තුන්දෙනෙක් අපට හමු වුණා. ඔවුන් අපෙන් පලා ගොස් කලපුවට පැන්නා. නමුත් අපි ඔවුන් අල්ලා ගත්තා. ඔවුන්ගෙන් ප්‍රශ්න කරනකොට තමයි යාපනය අල්ලා ගන්න තිබුණ මෙහෙයුම අනාවරණය වුණේ. ඒ සියලු තොරතුරු මම සොයාගත්තා. මෙතැනදී මට කියන්න ඕනෑ වුණේ මගේ මේ ඇවිදින වැඩෙන් තමයි මේ තොරතුරු ලැබුණේ. නැති නම් මහා විනාශයක් තමයි සිද්ධ වෙන්න තිබුණේ.”

ගිනස් වාර්තාව තියන්න නාවික හමුදාවෙන් ලැබුණ සහාය කොහොම ද?
“නාවික හමුදාවෙන් ඉහළ සහයෝගයක් මට ලැබුණා. මම ඒක අගය කරනවා. මට මෙවැනි වාර්තාවක් තබන්න පුළුවන් වුණේ ඒ නිසා. මගේ තිබූ ඇවිදීමේ ආශාවත් එක්ක මම 2024 පැති හතරකින්ම ශ්‍රී පාදය කරුණා කළා. සිරිපාදේ කරුණා කරද්දී තේ, ජීවනි විතරයි මම බිව්වේ. බර ආහාර ගත්තොත් මේ දේ කරන්න බැහැ. ඒ නිසා චොකලට්, රට ඉඳි වගේ ආහාරයක් තමයි ගන්තේ. ඒ විදිහට මම මාර්ග හතරකින් සිරිපා කරුණා කරලා වාර්තාවක් දක්වා ගෙන ගියා.”
බිරිඳගෙන් හා දරුවන්ගෙන් ලැබුණ සහයෝගය කොහොම ද?
“මගේ බිරිඳ ලුනාව රෝහලේ වෛද්‍ය අධිකාරි. ලොකු දුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ අවසන් වසරේ. බාල දියණිය කළමනාකරණ උපාධියක් හදාරනවා. ඔවුන් මට විශාල සහයෝගයක් ලබා දුන්නා. මේකෙන් මොකක් ද බලාපොරොත්තු වෙන්නේ, ඇයි මේවාට කාලය මුදල් වැය කරන්නේ, මීට වඩා සෞඛ්‍යය ගැන අවධානය යොමු කරන්න ඕනෑ කියලා සමහර වේලාවටම දෝස් මුර දැම්මාට දුවලා දෙන්නා සහ නෝනාගෙන් මේ වැඩේට මට ලොකු සහයෝගයක් ලැබුණා.”
ඉදිරියටත් මෙවැනි ගිනස් වාර්තාවක් තියන්න බලාපොරොත්තු වෙනවා ද?
“එවැනි බලාපොරොත්තුවක් නම් නැහැ. මම මේ තිබ්බේ අවසන් ගිනස් වාර්තාව. මේක මට කරන්න මූලික හේතුවක් වීමට කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි අද තරුණයන්, දරුවන් අතර බොහෝ දෙනකුට බෝ නොවන රෝග තිබෙනවා. රෝගවලට ගොදුරු වෙන්න හේතුව තමයි ඔවුන් කිසිම ක්‍රීඩාවකට යොමු නොවීම. අද නවීන තාක්ෂණයත් එක්ක ඔවුන් හිර වෙලා.
රැකියාවක් කරනවා නම් රැකියාවට එනවා, ගෙදර යනවා, කනවා බොනවා, නිදාගන්නවා. ක්‍රීඩාවක් කරන්න, දුවන්න පනින්න ඔවුන් උනන්දු දක්වන්නේ නැහැ. අනිත් දේ තමයි කෘත්‍රිම රසකාරක කෑම. ක්‍රීඩාව තමයි සෞඛ්‍යය වර්ධනය කරලා ලෙඩ රෝග බෝ වීම වළක්වා ගන්න පුළුවන් එකම ඖෂධය. දැන් මට අවුරුදු 67ක්. නමුත් මම හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්නේ. ඒ ක්‍රීඩාවල නිරත වෙන නිසා.”
නිරෝෂණ කුමාර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd