දශක 5කට අධික ඉතිහාසයකට හිමිකම් කියූ ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය 09දා සිට අහෝසි කෙරුණු අතර ඒ වෙනුවට විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම, ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම, විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම, සේවක අරමුදල (පුද්ගලික) සමාගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම යන පුද්ගලික සමාගම් 06ක් පිහිටුවනු ලැබිණ. 
 
මෙම ප්‍රතිව්‍යුහගතකරණය හා නව සමාගම් හයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධව විමසා බැලීමට අප විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ ලංවිම පරිවර්තන කාර්ය සාධක බලකායේ හිටපු ප්‍රධානී පුබුදු නිරෝෂාන් හැඩිගල්ලගේ සම්බන්ධ කර ගතිමු.
 
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කළේ ඇයි? එහි අරමුණු හා අපේක්ෂා මොනවාද?
 
ප්‍රතිව්‍යුහගත කිරීමට බලපෑ සාධක කිහිපයක් පවතිනවා. මූලිකවම කාර්යක්ෂමතාව වැඩි කිරීම, තරගකාරිත්වය වැඩි කිරීම, විනිවිදභාවය වැඩි කිරීම ප්‍රමුඛ වෙනවා.
 
මෙයින් පාරිභෝගිකයන්ට දරාගත හැකි මිලට විදුලිය ලබා දීම, ආර්ථික අවස්ථා සඳහා විදුලි භාවිතාව ඉහළ නැංවීම සිදුකිරීම අපේක්ෂා කරනවා.
 
ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ඒකාබද්ධ ගිවිසුමක් තිබෙනවාද
 
පනත ප්‍රකාරව එවැනි ගිවිසුමක් අත්‍යවශ්‍ය නැහැ. සියලු වරප්‍රසාද පනත සහ මූලික පැවරුම් සැලැස්මෙන් තහවුරු කරලා තියනවා. නමුත් බේරුම් කරන ක්‍රියාවලියෙහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු පසු අත්සන් කිරීමට එකඟවුණා.
 
ප්‍රතිව්‍යුහගත කිරීමේදී ආයතන 6කට වෙන් කරන්නේ තීරණය වෙන්නේ කොහොමද
 
සිදු කරන කාර්යය අනුව තමයි එම ආයතන වෙන්කර තිබෙන්නෙ.
 
ඒ සමාගම් 6 මොනවාද සහ එහි කාර්යභාරයන් මොනවාද
 
EGL  (Electricity Generation  Lanka (Pvt) Ltd) - ජනනය :විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගම*
රට තුළ පිහිටි සියලු විදුලි ජනන සමාගම් මෙම ආයතනයට අයත්වනු ලබනවා.    
 
• EDL (Electricity Distribution Lanka (Pvt) Ltd)   - බෙදාහැරීම (විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම)
 
ලෙකෝ හැර සියලු බෙදාහැරීම් පද්ධති මෙම සමාගමට අයත් වෙනවා. මෙම සමාගමට අයත් බෙදාහැරීම් අංශ 4ක් පවතිනවා. 1,2,3 හා 4 වශයෙන්. ලංවිම පැවති සමයේ සිට මෙම ආයතන 4 පවතිනවා.   
 
පාරිභෝගියන් විදුලි බිඳ වැටීම් ගැන, විදුලිය විසන්ධි කළ පසු යළි ලබාගන්න, නව සබඳතා ලබාගන්න, නිවසක පවතින විදුලි මීටරයක් ක්‍රියා විරහිත වූ පසු ආදි පාරිභෝගික ගැටලු සම්බන්ධ පැමිණිලි ඔබ යොමු කළ යුත්තේ EDL (බෙදාහැරීම්)  සමාගමටයි. ඒ සඳහා පෙර පැවති අංකවලටම තමයි ඇමතිය යුත්තේ.
 
• NSO  (National System Operator Pvt) Ltd)  - පද්ධති පාලනය (ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම)ජාතික පද්ධති ක්‍රියාකරු 
 
සමාගමේ ප්‍රධාන වගකීම වන්නේ ජාතික පද්ධති මධ්‍යස්ථානයේ මෙහෙයුම් පවත්වාගෙන යෑමයි. මොහොතින් මොහොත ජාතික විදුලි බල පද්ධතියේ ඉල්ලුම සහ සැපයුම සමනය කරන්නෙ මෙම සමාගම මගිනුයි. හැම ජනන සමාගමකින්ම තත්කාලීනව ලබන විදුලිය ඒ මොහොතේ පවතින ඉල්ලුමට සරිලන ලෙස බෙදාහැරීමට කටයුතු කරන්නේ. සම්ප්‍රේෂණ සමාගම සහ බෙදාහැරීම් සමාගම මගින් පාරිභෝගිකයා වෙත ලබාදෙනවා.
 
NTNSP (National Transmission Network Service Provider (pvt) Ltd)  - සම්ප්‍රේෂණය (ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම) 
ජනන පද්ධතියේ සිට ඔබේ නිවස අසල පිහිටි ට්‍රාන්ස්ෆෝමර් දක්වා විදුලිය රැගෙන ඒමේ වගකීම පැවරී තිබෙන්නේ මෙම සමාගම සතුවයි. 
 
• CEBEF (CEB Employees Fund (Pvt) Ltd) - ලංවිම සේවක අරමුදල් (සේවක අරමුදල (පුද්ගලික) සමාගම)
 
සේවක අර්ථසාධක සහ විශ්‍රාම අරමුදල් පාලනය කිරීම මෙම සමාගම මගින් සිදු කෙරෙනවා.
 
• EVL (Energy Ventures Lanka (Pvt) Ltd)  - අවශේෂ කටයුතු (එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම)
 
ඉතිරි සුළු රාජකාරි සහ වත්කම් කළමනාකරණය කිරීම මෙම සමාගම මගින් සිදුකෙරෙනවා
 
මෙම ආයතන වගකියන්නේ කාටද 
 
මෙම පුද්ගලික සමාගම් හයේ අයිතිය සියයට100ක් රාජ්‍ය මහා භාණ්ඩාගාරය සතුවයි පවතින්නෙ. එම නිසා ඔවුන් මහා භාණ්ඩාගාරයට වගකිවයුතු වනවා.
 
සමාගම් 6 තුළ තව දුරටත් වෘත්තීය සමිති පවත්වන්න බැරිද
 
ගැටලුවක් නැහැ. වෘත්තීය සමිති පවත්වාගෙන යන්න පුළුවන්.
 

ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිලධාරීන් වගකීම නිසි ලෙස ඉටු කළේ නෑ

-ලංවිම ඉංජිනේරු සංගමයේ  විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ


 

ලංවිම ප්‍රතිව්‍යුහ ගතකිරීම සමග සේවකයන් සඳහා ඒකාබද්ධ ගිවිසුමක් ලබාදෙන ලෙස සහ වැටුප් වැඩිවීම ඇතුළු කරුණු ගණනාවක් සමබන්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලංවීම වෘත්තීය සමිති විසින් ආරම්භ කළ අතර ජනාධිපතිවරයා ඔවුන්ට සාකච්ඡාවක් ලබාදීමට තීරණය කිරීමත් සමග එම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කෙරුණි. ඉන් පසුව ජනපති සමග පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු පිළිබඳව හා ප්‍රතිව්‍යුහගතකිරීමේදී සේවකයන්ට ඇතිවූ ගැටලු සම්බන්ධව අපි ලංවිම ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහගෙන් විමසීමක් කළෙමු. 
 
‘‘මාර්තු 06වැනිදා නිකුත් කළ ගැසට් පත්‍රය මගින් ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි වනවා. ඉන් පසුව මාර්තු 09දා සිට නව සමාගම්  ක්‍රියාත්මක වන බව දන්වා තිබුණා. නමුත් ගැසට් පත්‍රය එළිවක්වන විටත් ඒකාබද්ධ ගිවිසුමක් අත්සන් කිරීමක් ගැන සඳහනක් තිබුණේ නැහැ. එවැනි ගිවිසුමක් සකස් කර තිබුණෙත් නැහැ.හැබැයි අපි හදපු ගිවිසුම ඒ වනවිටත් ඔවුන්ට ලබාදී තිබුණෙ. එවැනි පසුබිමක පසුගිය ඉරිදා කළමනාකරණ සේවයේ අයට පත්වීම් ලබා ගන්න එන්න කියලා දන්වා තිබුණා. මෙතනදි අපි අපේ සාමාජිකයන් දැනුවත් කරමින් කියා සිටියේ ලිපිය ලබාගන්න, නමුත් අත්සන් කරන්න එපා යනුවෙනුයි. පසුගිය සඳදා  ඒකාබද්ධ ගිවිසුමක් අත්සන් කිරීමක් ගැන කිසිදු සූදානමක් නැති බව අපට පෙනී ගියා. ඒ නිසා තමයි අපි ඒකාබද්ධ ගිවිසුම ලබාදෙන තෙක් පත්වීම් ලිපි ලබානොගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන්න තීරණය කළේ. 
 
ඉන් පස්සෙ අපිට අලුතින් පිහිටවූ ආයතනවල අධ්‍යක්ෂවරුන් සමග සාකච්ඡාවක් ලබාදුන්නා. එතනදි ඔවුන් ප්‍රකාශ කර සිටියේ සේවයට වාර්තා කරන්න. ලිපි භාරගන්න යනුවෙනුයි. ඔවුනුත් එම ප්‍රකාශ සිදුකළේ ඔවුන්ට ඉහළින් ලැබෙන උපදෙස් අනුවයි. එම අධ්‍යක්ෂවරුන්ට අපගේ ඉල්ලීම් සම්බන්ධව ස්වාධීන තීරණයක් ගැනීමේ බලයක් හෝ හැකියාවක් තිබුණේ නැහැ.  එලෙස අධ්‍යක්ෂවරුන් ලෙස සහ CEOලෙස පත්කර සිටි බහුතරය ලංවිම සේවය කළ විශ්‍රාම ගිය පිරිසකුයි. ඔවුන් මෙම ආයතන දියුණු කිරීමේ හෝ ආයතන ගොඩදැමීමේ හැකියාව ඇති පිරිසක් නෙවෙයි. පුද්ගලික සමාගම් සකසා එහි ප්‍රධානීන් ලෙස ඩයිනමික් පුද්ගලයන් පත්නොකරනවා නම් ඊට වඩා හොඳයි රජයේ දෙපාර්තමේන්තුවක් බවට පත් කළා නම්.  
 
ඒ නිසා ඔවුන්ට මේ සම්බන්ධව තීරණ ගැනීමට නොහැකි ෆයිනෑන්ෂල් කරුණු පිළිබඳ අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බව පැවසුවා. ඒ අනුව ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවේදීත් එම කරුණුවලට එකඟතාවකට පැමිණීමට නොහැකිවීම නිසා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් 12දා පවත්වනු ලැබුවා. ඊට පෙර අධ්‍යක්ෂවරුන් සමග පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු අපි කම්කරු දෙපාර්තමේන්තුවට කර තිබූ පැමිණල්ලකට අනුව පැවති සාකච්ඡාවේදී අපි ඉදිරිපත් කළා. ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුවේදී දෙපාර්ශ්වය එකඟ වූ ආකාරය අනුව ඒකාබද්ධ ගිවිසුම සහ ඊට අදාළ පත්වීම් ලිපි සැකසීම පිළිබඳ සාකච්ඡාවකුත් 12දා පවත්වනු ලැබුවා. 
 
විදුලි සේවකයන්ට වැටුප් වැඩිවීමක් සිදුවන්නේ වසර 3කට පසුවයි. ඒ අනුව මීළඟ වැටුප් වැඩිවීම සිදුකළ යුතුවන්නේ 2027වසරේදීයි. අපි සීයට 40ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින්නේ වසර 3කට අදාළවයි.  ජනාධිපතිතුමා සමග සාකච්ඡාවේදී ඒ ගැන සඳහාන් කළා. විශේෂයෙන් අද හෙට සිදුවන වැටුප් වීමක් නොව වසර 3කට වරක් සිදුකරන වැටුප් වැඩිවීමක් නිසා ඒ පිළිබඳව සොයා බලා පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට පවසා සිටියා.  
 
ඒ වගේම බාගෙට සකසා ඉරිදා ලබාදුන් පත්වීම් ලිපිය විධිමත් ලෙස සකසා ලබාදීමත් ඒකාබද්ධ ගිවිසුම සකසා ලබාදීම ගැන ආදී කාරණා ගැනත් පමණයි ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළේ.   
 
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවුණේ නව සමාගම් සඳහා බඳවා ගැනීම් සිදුකිරීමේදී ඒකාබද්ධ ගිවිසුමක් ලබාදෙන ලෙස මාස 6ක් තිස්සේ ඉල්ලීම් කළත් එය නොතකා ලිපියකට අත්සන් ගැනීමට උත්සාහ දැරීම නිසයි. විශේෂයෙන් අපට කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටත්, ජනපති ළඟට යන්න සිදුවුණෙත් මෙම ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතියට අදාළව කටයුතු කළ නිලධාරීන් නිසි ලෙස සිය වගකීම් ඉටු නොකිරීම නිසයි.    

විදුලි පුද්ගලික සමාගම් හයේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ මහා භාණ්ඩාගාරයට.
විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්- පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ

කෙසේ නමුත් එදිනෙදා බිල් ගෙවීම්, සෝලා හිමිකරුවන්ට අදාළ ගෙවීම් සිදුකිරීම, වාහනවල නඩත්තු වියදම් සිදුකරන්නේ කෙසේද යන්න ගැන ඔය සමාගම්වල කිසි කෙනෙකුට තවම අදහසක් නැහැ. අවම තරමේ ලෙටර් හෙඩ් එකක්, සීල් එකක් හෝ ලිපියකට අත්සන් කරන්නේ කවුද කියලාවත් තවම අදහසක් නෑ. අඩුම තරමේ මගේ තනතුර මොකක්ද කියලා තවම දැනුවත් කරලා නැහැ. එහෙම තතත්වයක තමයි ඔය ආයතන පවතින්නෙ. ඔය ප්‍රශ්න විසඳෙනකොට තව කොතරම් ගැටලු මතුවේද කියන්න දන්නෙ නැහැ. 

 
බිඳ වැටුම් 
 
වෘත්තීය ක්‍රියාමාර්ග පැවති කාලයේ සිදුවූ විදුලි බිද වැටීම් ගොඩක් දුරට විසඳා තිබෙනවා. සෙසු බිඳවැටීම් මේ වනවිට නිරාකරණය කරමින් තිබෙනවා. 
 
විදුලි විසන්දි කිරීම් හා නැවත සම්බන්ධතා ලබාදීම
 
මේ වනවිට ආයතන ක්‍රියාවලිය නිසි පදිරිදි සකසා නැති නිසා මෑත කාලීනව බිල් නොගෙවීමෙන් විදුලි විසන්ධි කිරීම් සිදු නොවේවි. බිල්පත් ගෙවීම් ආදි කරුණු සම්බන්ධවත් යම් යම් ගැටලු පවතිනවා. 
 
වන්දි ගෙවීම්
 
ප්‍රතිව්‍යුවගත කිරීමේදී ඪඍී ක්‍රමවේදයට අනුව වන්දි ලබාගෙන ඉවත්ව යාම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. කාංචන ඇමතිවරයාගේ සමයේ ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකිරීමට සැලසුම් කළේ USAID ආධාර ක්‍රමය යටතේ VRS සඳහා මුදල් වෙන්කර ගනිමිනුයි. දැන් USAID ක්‍රියාත්මක නොවන නිසා එම මුදල් නැතුව ගියා. මෙලෙස ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා සේවකයන්ට වන්දි ගෙවීමට අයවැයෙන් මුදල් වෙන් කළේ නැහැ. ඒ නිසා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා සේවකයන්ට වන්දි ගෙවන්න සිදුවෙලා තිබෙන්නෙ විදුලි බිලෙනුයි. 
 
ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ වෙන්නෙ විදුලි බිල අඩුකිරීමයි. නමුත් දැන් ප්‍රතිව්‍යුහගත කළත් බිල ඉහළයාමක් තමයි සිදුවෙලා තිබෙන්නෙ. මේකත් නිලධාරීන්ගේ වරදක් නිසා සිදුවූ දෙයක්. නැත්නම් විදුලි බිල වැඩිවීමක් මෙතරම් ප්‍රතිශතයකින් සිදුවිය යුතු නැහැ, 
 
සාකච්ඡා කළේ 
නිරෝෂාන් ප්‍රේමරත්න