ඇමෙරිකාවේ තිබූ තම නිවස සඟසතු කර මෙරටට පැමිණි ලෝ ප්‍රකට කීර්තිමත් ඉංජිනේරුවකු වෙන අසූහය හැවිරිදි ආනන්ද සිල්වා - මෙරට සිටියදී තෙමසක ඉතා කෙටි කලක් ගුරුවරයකු ලෙස සේවය කළ පාසලට හැටතුන් වසරකට පසු පුස්තකාලයක් ද, එම පාසල ආසන්නයේ පිහිටි රජයේ රෝහල සඳහා රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කර අංග සම්පූර්ණ වාට්ටුවක් ද ඉදිකරදීමට පියවර ගෙන තිබේ.
 
ඒ මහතා 1961 වසරේ ඌවපරණගම අතිදුෂ්කර පාසලක් වන බ/ගම්පහා විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයකු වශයෙන් සේවය කර තිබුණි. පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළුවී ඉංජිනේරු උපාධිය ලබා වැඩිදුර ඉගෙනුමට ඇමෙරිකාවට ගොස්, එහිදී කළු ජාතික ඉදිකිරීම් සමාගමක ඉංජිනේරුවරයකු ලෙසින් සේවයට බැඳී ඇත. 
 
එම පෞද්ගලික ඉදිකිරිම් සමාගමේ ප්‍රධානියා ලෙසින් 2004දී විශ්‍රාම ලැබූ ඔහු ලංකාවට පැමිණ ඇත්තේ, තමන් එතෙක් එහි ජීවත්වූ කෝටි ගණනක් වටිනා නිවස ද භික්ෂුන් වහන්සේලාට පූජා කරමිනි.
 
වසර 63 කට පෙර රජයේ  ගුරුවරයකු ලෙස සේවය කළ බ/ ගම්පහා විදුහලට රුපියල් ලක්ෂ 15 මුදලක් වැයකර පුස්තකාල ගොඩනැගිල්ලක් ලබා දුන් ඔහු ගම්පහා කෝරළයේ ගැමියන්ගේ ඉල්ලීම මත දිඹුලාන දිසා රෝහලට රුපියල් කෝටි ගණනක් වටිනා නේවාසික රෝගී වාට්ටුවක් ද ඉදිකරදීමට ඉදිරිපත්ව සිටී.  
 
මෙවන් උදාර මෙහෙවරක් කළ, හෝකන්දර - වැවපාර පදිංචි ආනන්ද ද සිල්වා ඉංජිනේරු මහත්තයා
“ඉරිදා ලංකාදීප”ය සමග මෙසේ  කතාබහට එක්විය.
 
“මම 1931.12.04 වන දින උපන්නේ ගාල්ලේ, දොඩන්දූවේ යි. ව්‍යාපාරිකයකු වූ මාර්ටින් සිල්වා හා ගුරුවරියක වූ එල්. ලීලාවතී මගේ දෙමාපියන් දෙදෙනායි. මට සහෝදර සහෝදරියන් 08  දෙනෙක් සිටිනවා. මගේ ලොකු අක්කා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක ලෙසින් සේවය කළ අශෝකා ජයසේනයි. මම ගාල්ලේ මහින්ද විදුහලෙන් ඉගෙන ගෙන,   1960දී උසස්පෙළ විභාගයට පෙනී සිටියා. ප්‍රතිඵල නිකුත් වෙන තෙක් සිටින විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විද්‍යා ගුරුවරුන් බඳවාගන්නා බවට ඩේලිනිව්ස් පත්‍රයේ දැන්වීමක් පළකෙරී තිබෙනු දැකගත හැකි වුණා. මාත් ඊට ඉල්ලු‍ම්පතක් යොමුකළා. ටික දිනකට පසු රුපියල් 170 ක මාසික වැටුපකට විද්‍යා ගුරුවරයකු වශයෙන් බ/ ගම්පහ විදුහලේ සේවයට පත්කර ඇති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් කළා. ඒ වෙන කොට මගේ වයස අවුරුදු 21යි. ඒ නිසා නිවසින් ඈත එපිට නොදන්නා දුෂ්කර ගම්බද ප්‍රදේශයක සේවයට යාමට සිදුවෙන නිසා දෙමාපියන් කැමතිවුණේ නෑ. කෙටි කලක සේවයට යන නිසාත්, මගේ ඇවිටිල්ල නිසාත්, පසුව ඔවුන් කැමතිවුණා.’’
 
‘‘මම බ/ගම්පහ විදුහල සොයාගෙන ගම්පහට ගියා. එහිදී එම පාසල ඇත්තේ බදුල්ල දිස්ත්‍රික් අධ්‍යාපන බලප්‍රදේශයේ බවට දැනගන්න ලැබුණා. මම බණ්ඩාරවෙල පිහිටි බදුල්ල දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාලයට පැමිණ අදාළ නිලධාරීන්ගෙන් බ /ගම්පහා විදුහල පිහිටි ස්ථානය ඇසුවා. එම නිලධාරීන් මගෙන් තොරතුරු විමසා එම පාසල පිහිටා ඇත්තේ හපුතලේ කොස්ලන්ද ප්‍රදේශයේ බැව් පැවසුවා. මම එම පාසල සොයාගන කොස්ලන්ද ගම්පහා විදුහලට ගියා. එහි සිටි විදුහල්පතිනිය මට කීවා එවැනි ගුරුපත්වීමක් සිදුකර ඇති බවක් තමා නොදන්නා බව. ඒ අනුව මම නැවත බණ්ඩාරවෙල අධ්‍යාපන කාර්යාලයට පැමිණ මතුව ඇති ගැටලුව පැවසුවා. එම නිලධාරීන් සිදුවු වරද ගැන සමාවගෙන, මෙම පාසල පිහිටා ඇත්තේ ඌවපරණගම අවසාන කෙළවරේ මාර්ග පහසුකම්ද නැති අතිදුෂ්කර මස්පන්න නම් ගමක බව සැලකර සිටියා. එහි යා යුත්තේ නුවරඑළිය හරහා උඩුපුස්සැල්ලාව නගරයට ගොස්, එතැන් සිට වාහන ධාවනය නොකෙරෙන නිසා සැතපුම් 08ක පමණ දුරක් පාගමනින් බැව් ද පැවසුවා. ‘‘එවක හපුතලේ දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළේ මගේ මාමා පීටර් ජයසූරිය යි. මම මුහුණ දී සිටින ගැටලුව මාමාට පැවසුවා. මාමා මාත් සමග නුවරඑළිය හරහා උඩුපුස්සල්ලාවට ගියා. එතැන් සිට සිට අපි දෙන්නා පාගමනින් සැතපුම් 08ක් දුරින් පිහිටි බ/ගම්පහා විදුහල සොයා ගියා. එම පාසල 1905දී මිෂනාරි පාසලක් ලෙසට ආරම්භ වූ බවට තොරතුරු ලැබුණා. මෙම  පාසලේ විදුහල්පතිවරයා ලෙසින් කටයුතු කළේ ජයරත්න බණ්ඩාර වේරගම මහතායි. මට පාසල අසල ’වෙදමැඳුර නිවසේ’ නවාතැන් පහසුකම් ලැබුණා. පාසලේ දී මගෙන් ඉගෙනගත් ඇතැම් ශිෂ්‍යයන් අවුරුදු 25 - 26 වගේ මටත් වැඩි වයසේ පසුවුණා. එදා එහි පැවතුණේ අසරණ අහිංසක අඩු වරප්‍රසාද ලාභී ගැමි ජනසමාජයක්.’’ 
 
‘‘රජය මට විද්‍යා ගුරුපත්වීමක් දුන්නාට, පාසලේ විද්‍යාගාරයක් තිබුණේත් නෑ. මට විදුහල්පතිතුමා කීවා පත්වීම විද්‍යා වුණාට කමක්නෑ, ඉංග්‍රීසි විෂය උගන්වන්න කියලා. මම මේ ළමුන්ට සරලව ඉංග්‍රීසි පාඩම් කියා දුන්නා. මාසයක් පමණ යනවිට ඉංග්‍රීසි අකුරක්වත් බැරිව සිටි ළමයි ඉංග්‍රීසියෙන් යම් යම් දේවල් කතාකිරීමට හැකි මට්ටම තෙක් දියුණු වුණා. එම පාසලේම ගුරුවරයකු වූ බණ්ඩාරනායක නම් අයෙක් ගුරුසේවයට අමතරව සිගරට් දුම්කොළ වගාවත් සිදුකළා. ඔහු මගේ ළඟට ඇවිත් මේ ගම්වල ජිවත්වන අය ඉංග්‍රීසි වැනි භාෂා ඉගෙන​ෙගන ගමෙන් පිටවී ගියොත් ගම්වල කුලී වැඩක්කර ගන්න කෙනෙක් නැති වේ යැයි කීවා.’’ ‘‘මම එම උපදෙස පසෙක දමා පාසලේ ළමුන්ට ඉංග්‍රීසි ඉගැන්වීම සිදුකරන අතරේ ලෝකය හා සමාජය ගැන තවත් බොහෝ දේ කියා දුන්නා. මම නවාතැන්ගත් වෙදමැදුරේ වෙද මහතා විසින් රෝගින්ගේ  උණ පරික්ෂා කිරීමට යොදාගත් උණකටුවේ ක්‍රියාකාරීත්වය ඇතුළු එදිනෙදා ජීවිතයට අදාළ විද්‍යාත්මක කරුණු කාරණා මම දරුවන්ට ඉගැන්වුවා. මම නවාතැන්ගත් වෙදමැදුරට එන හැම පුද්ගලයකුම දොරට වැරෙන් තට්ටු කරනවා. මේක අන්තිමටම මට තරමක හිරිහැරයක් වුණා.  ඊට විසඳුමක් ලෙස මම විදුලිපන්දමට යොදන බැටරියක ආධාරයෙන් ක්‍රියාත්මක විදුලි සීනුවක් හැදුවා. මේක දැනගත් ගමේ අය නිරන්තරයෙන් පැමිණ විදුලි සීනුව නාදකරමින් එහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීමට පටන් ගත්තා. අන්තිමට මට ඒක මහත් හිසරදයක් බවට පත්වුණා.’’
 
‘‘මේ පාසලේ ඇතැම් ළමයි අඩුම තරමින් බසයකින්වත් ගමන් කරලා නෑ. ගමෙන් කිසිදාක පිටතට නොගිය ළමයි නිසා මට ඔවුන් හග්ගල මල්වත්ත බලන්න එක්ක යන්න හිතුණා. රජයේ සේවකයකු හැටියට මට මුල්ම වැටුප ලෙසට රුපියල් 170ක මුදල ලැබුණා. මම ඒ මුදලින් හග්ගල මල්වත්ත බලන්න එක්ක ගියා. ඒ කාලයේ තැපැල් කන්තෝරුවෙන් ඈත එපිට ගම්මානවලට ලියුම් බෙදන්නේ ලිපි කීපයක් එකතු වුණාට පසුවයි. ඒ නිසා එමින් ගමන ගෙදරින් ලියුම් මොකුත් ඇවිත් ද බලන්න උඩුපුස්සල්ලාව නගරයේ පිහිටි තැපැල් කන්තෝරුවට ගියා. තාත්තා - ‘වැඩේ සාර්ථකයි, නිවසට ඉක්මනින් එන්න’ කියා ටෙලිග්‍රෑම් එකක් එවා තිබුණා. මම තේරුම් ගත්තා කාරණේ මොකක් කියලා. මම සියලු දෙනාගෙන්ම සමුගෙන ගමේ ආවා.’’  
 
‘‘පසු ආසන්න දිනෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තෝරාගන්නා සම්මුඛ පරික්ෂණයට ගියා. එහිදී මගෙන් විවිධ දේ ඇසුවා. ගුරුවරයකු ලෙසට කටයුතු කරද්දි විදුලි සීනුවක් හැදූ බව එහිදී මා කිවා. එම පර්
 
යේෂණය සිදුකළ අය එහෙම නම් මාව ඉංජිනේරු පීඨයට තෝරා ගන්නා බව පැවසුවා. ඒ අනුව මට එහි ඉගෙනුම ලබන්න හැකියාව ලැබුණා. ඒ අතරේ මාස 06 නිවාඩුවක් ලැබුණා. මම ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධානියා වූ එල්.ඒ.එන්.එස්. කුලසිංහ මහතා හමුවී  පුහුණු රැකියාවකට බඳවාගන්න කියා ඉල්ලු‍වා. ඒ අනුව මම කොළඹ ග්‍රහලෝකාගාරයේ ඉදිකිරීම්වලට එක්වුණා. සති දෙකක් ගතවෙද්දි මට මෝදර ඉදිකරමින් තිබුණු පිටි මෝලේ සහායක ඉංජිනේරු තනතුර ලැබුණා.’’ 
‘‘පුත්තලමේ සිමෙන්ති කර්මාන්ත ශාලාව බණ්ඩාරනායක මැතිනියට රුසියා රජයෙන් තෑග්ගක් ලෙස ලැබුණු එකක්. එහි අඩි 210ක උස ගොඩනැගිල්ලක් හැදුවා. මෙහි සේවයට භුමිතෙල් යොදා ක්‍රියාකරන යන්ත්‍ර ලබාදීමට ගියත් එපා කීවා. මම 1967 සිට 1969 දක්වා එහි නේවාසික ඉංජිනේරුවරයා ලෙස සේවය කළා. එහි සේවකයන් 2000ක් පමණ  සේවය කළා.’’
 
‘‘මම විනෝදාංශයක් වශයෙන් ඇමෙරිකාවෙන් ඩේලි නිව්ස්-ඇමෙරිකා මැගසින් ‍ගෙන්වා ගන්නවා. එම සඟරාවට සම්බන්ධ වූ කළුජාතික බෙන්සන් හටින් මහත්මිය සමග පෑනේ මිතුරුදමක් මම ඇතිකර ගත්තා. ඇය කල්‍යාණ මිතුරියක ලෙසින් මතකයට නැගෙන විටත් පුදුමාකාර මානසික සතුටක් දැනෙනවා. ඇය ඇමරිකාවේ කළු ජාතික වර්ණභේදයක් පවතින බැව් මට දන්වා තිබුණා. මම ඇයට කීවා අපේ රටේ හැමෝගේ ම සම කළු නිසා කිසිදු ගැටලුවක් නැති බව. මේ අතර මට වැඩිදුර ඉංජිනේරු දැනුම ලබාගැනීමට ඇමෙරිකාවේ නිව්‌යෝර්ක් විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලැබුණා. සති 02ක් ඇතුළත එය භාරගන්න කියා දන්වා තිබුණා. ඒ අනුව මම 1969වර්ෂයේ දී ඇමෙරිකාවේ නිව්‌යෝර්ක්වලට පිටත්ව ගියා. එම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගැනීමට තිබුණේ සවස 06 සිට රාත්‍රී 11 දක්වා කාලයේ දීයි. එනිසා ඇලබාමාවල මගේ මිතුරෙකුගේ මාර්ගයෙන් ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට සිමා වූ “ Ewellw Finley Consulting Engineers And Land Surveyors’’  ඉදිකිරීම්  සමාගමේ සේවයට බැඳුණා. එය තිබුණේ කළු ජාතිකයන් ජීවත්වන නිරන්තර ගැටුම් ඇතිවන  ප්‍රදේශයකයි. පසුව කෙටි කාලයකින් එහි ප්‍රධාන ඉංජිනේරු තනතුරට පත්වුණා. එදා තිබුණු තට්ටු 35න් සමන්විත උසම ගොඩනැගිල්ල අපේ සමාගම ඉදිකළා. ඇමෙරිකාවේ වොෂින්ටන්වල පෙන්සිල්වේනියාවේ  අනෙක් ගොඩනැගිලිවලට කිසිදු හානියක් නොවන අන්දමට අඩි 75ක  පොළොව යට කෞතුකාගාරය ඉදිකළේ අපේ සමාගමයි. මෙවැනි අන්දමේ ලෝක පූජිත ගොඩනැගිලි රාශියක්ම අපේ ඉදිකිරීම් සමාගම විසින් සිදුකර තිබෙනවා. මෙම ලෝක පූජිත ගොඩනැගිලි ඉදිකිරීමේ වැඩවල දී මම ඉංජිනේරුවරයකු ලෙසින් කටයුතුකර තිබෙනවා. එසේම ලෝක පූජිත මාර්ටිං ලූතර් කිං ගේ මෘතශරීරය තැන්පත් කළ සොහොන් කොතට අදාළ පරිසරය සැකසීමට මට අවස්ථාව හිමිවුණා. එතුමාගේ පුතා 2010 ලංකාවට පැමිණි අවස්ථාවේ කුමුදුනී මාධ්‍යවේදිනියට දුන් සාකච්ඡාව සන්ඩේ ටයිම්ස් මාර්තු 01 වන දින පුවත්පතේ පළවී තිබුණා. මෙවැනි හැකියාවන්, දක්ෂතා හා පළපුරුද්ද නිසාම සාමාන්‍ය ඉංජිනේරුවරයෙක් ලෙසින් සමාගමේ රැකියාවට බැඳුණු මම 2004 වසරේ විශ්‍රාම ගත්තේ එම සමාගමේ ප්‍රධානියා ලෙසටයි.’’
 
 
‘‘ඇමෙරිකාවේ මට අයත් ඉඩමේ අංගසම්පූර්ණ අන්දමින් බෞද්ධ විහාරයක් ලෙසට ඉදිකර සසුනට පූජාකර තිබෙනවා. රැකියාවට අමතරව මම ආගමික හා සමාජීය කටයුතු කරමින් සිටියා. මගේ දරුවන් දෙදෙනාත්,  බිරිඳ සුලනි සිල්වාත් මගේ සමාජ ආගමික කටයුතුවලට පූර්ණ සහය ලබාදෙනවා. 2004 විශ්‍රාම ගෙන ලංකාවේ පදිංචියට පැමිණියා. 1961වසරේ ගුරුවරයෙක් ලෙස තෙමසක් කටයුතු කළ ඌවපරණගම ගම්පහා පාසලට කුමන හෝ  ප්‍රතිඋපකාරයක් කරන්න අවශ්‍ය වුණා. ඒ අනුව 2020 වසරේදි මම මස්පන්න තැපැල් කාර්යාලය හරහා එවක එහි විදුහල්පතිව සිටි බන්දුල හේරත් මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වුණා. පාසලේ පුස්තකාල ගොඩනැගිල්ලේ පවතින අබලන් තත්ත්වයත්, ඊට නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවත් පැවසුවා. මම එම පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීමට පියවර ගත්තා.’’  
 
‘‘පසුගිය 2024 වසරේ දී  නව පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කළේ 1961 ගුරුවරියක ලෙසින් මාත් සමග කටයුතු කළ, වයෝවෘද්ධ වූවත් මේ දක්වා ප්‍රදේශයේ දහම් පාසලේ ඉගෙන්වීම් කටයුතුවල නිරතව සිටින ආර්.ඇම්. ලීලාවතී මහත්මියගේ අතින් වීම මට තවත් සතුටක් ගෙන දෙන්නක් වුණා.’’ 
‘‘මේ අතර මම කොළඹ ප්‍රදේශයේ රජයේ  පහසුකම් අඩු පාසලකට ගොඩනැගිල්ලක් ඉදිකරදීමට ඉදිරිපත් වුණා. මේ සඳහා ගොඩනැගිලි සැලැස්මක් අධ්‍යාපන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. මුලදී එයට කැමැත්ත දුන්නත්, පසුව සිසුන් අඩු නිසා පාසල වසා දමන බවත්, එනිසා ගොඩනැගිල්ල අනවශ්‍ය බවත්, දැනුම් දුන්නා. එයින් මගේ සිත කම්පාවට පත්ව තිබුණා. එම අවස්ථාවේ මම ඉගැන්වූ මස්පන්න විදුහල ආසන්නයේ පවතින දිඹුලාන රෝහලේ නේවාසික රෝග ප්‍රතිකාර වාට්ටුව නායයෑමේ අවදානමක් මත 2013 වසරේ සිට වසාදමා තිබෙන බව රෝහල් සංවර්ධන කමිටුවේ සිටින මගේ හිතවතුන් දුරකථන මගින් පැවසුවා. මෙම රෝහලේ නව වාට්ටුවක් ඉදිකිරීමට ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනයෙන් ලත් උපදෙස් මත පරිත්‍යාගශීලින් ගේ මුල්‍ය ආධාර ඇතිව ගැමියන්ගේ ශ්‍රමදායකත්වයෙන් විශාල මුදලක් වැයකරමින් අත්තිවාරමක් දැමුවත් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ සිදුකිරීම මුදල් නැතිව අතහැරදමා තිබෙන බවත්, මෙය ඉදිකර දීමට සහය දැක්විය හැකිදැයි  එම හිතවතුන්  මගෙන් විමසුවා. අතිදුෂ්කර ප්‍රදේශයක ජිවත්වන අහිංසක ගැමියන් මට කිසිදාක අමතක නෑ. එනිසා මම මෙම ගොඩනැගිල්ල ඉදිකර දීමට කැමැත්ත දුන්නා. මෙම භුමිය ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ  ආයතනය විසින් සැහැල්ලු‍ වාට්ටු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ වෙනුවෙන් ඌවපළාත් ගොඩනැගිලි දෙපාර්තමේන්තුවෙන් රුපියල් මිලියන 42 ක් වැයවෙන සැලැස්මක් සකස්කර අනුමත කර දුන්නා. නාවික හමුදාවේ සාමාජිකයන් විසින් ශ්‍රමදායකත්වය ලබාදෙනවා. ඒ අනුව එම ඉදිකිරීමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මම ලබාදෙනවා. එම භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටියකට වඩා වැඩිවීමට ඉඩ තිබෙනවා. ලෝකයේ නායයාමේ අවදානම් ස්ථානවල හා භූ කම්පන පවතින ස්ථානවල කිසිදු හානියක් නොවන අන්දමට ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳව මා සතු  ඉංජිනේරු දැනුමත් මිශ්‍රකර ගනිමින් මෙම රෝහල් නේවාසික වාට්ටුව ඉදිකිරීමේ වැඩ 2026.02.06 වන දින ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකරගේ සහභාගීත්වයෙන් ආරම්භ කළා. ලබන ඔක්තෝබර් මාසය තුළදී සියලු පහසුකම් සහිතව අංගසම්පූර්ණ වාට්ටුවක් ලෙසට සකසා පළාත් සභාවට භාරදෙනවා.’’
 
‘‘මම ඇතුළු මගේ පවුලේ සාමාජිකයන් විසින් මෙම රෝහල් වාට්ටුව ඉදිකර දෙන බව දැනගත් මගේ ඥාති සහෝරයකු වන නාවික ඉංජිනේරු ආචාර්ය සුසන්ත. එම්. ජයසේන ඇතුළු පවුලේ සාමාජිකයන් විසින්  රෝහලේ විදුලි අවශ්‍යතාව සපුරාගන්න සෝලා විදුලිකෝෂ ඔස්සේ විදුලිය සපයාගැනීමට රුපියල් මිලියන03ක මුදලක් ද පරිත්‍යාග කළා. මෙයට අමතරව රාජ්‍ය නොවන සංවිධානයක් විසින් රෝහලට වැසිකිළි පද්ධතියක් සකස්කර දීමට ඉදිරිපත්ව සිටිනවා. මේ අන්දමට මෙම සියලුම පහසුකම් සහිත රෝහල් වාට්ටුවක් සහිත රෝහලක් ලැබීමෙන් එම රෝහලේ කාර්ය මණ්ඩලයට මෙන්ම  ජිවත්වීමේ දැඩි සටනක නියැළෙන අතිදුෂ්කර ගම්මානවලින් සමන්විත ඌවපරණගම ගම්පහා කෝරළයේ රෝගී ජනතාවට ජීවත්වීමේ දොරටුවක් විවරකර දීමට හැකිවීම පිළිබඳව ඇත්තේ පුදුමාකාර සතුටක්.”
 
වැලිමඩ – කේ.ආර්. රාජමන්ත්‍රී