
සාමාන්‍යයෙන් යල කන්නය දළ වශයෙන් අප්‍රේල් 01 දායින් ආරම්භ වේ. එදින සිට මාස 06ක් යල කන්නය ලෙස සැලකේ. යල කන්නයේ දී මෙරට හෙක්ටයාර ලක්ෂ 51 …..2 ක් වගා කෙරේ. මහ කන්නයේ අස්වැන්න නෙළීමෙන් පසු - අලුත් සහල් මංගල්‍යය, පුද පූජා තැබීම් සිදුකොට, අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමෙන් පසු යළි ආරම්භ කිරීම සිරිත වුව ද, සමහර ප්‍රදේශවල මාර්තු අග යල පටන් ගෙන සිංහල අවුරුද්දට පෙර බිම් සැකසීම් සිදුකොට අවසන් කෙරේ.
මීට මාස දෙකකට පමණ පෙර ගොවි සංවිධාන මාධ්‍ය හමු පවත්වමින් ආණ්ඩුවට බලපෑම් කළේ - යල කන්නයට කලට වේලාවට පොහොර ලබා නොදුන්නොත්, පාරට බහින බව ප්‍රකාශ කරමිනි.
යලේ දී පැවති තත්වයට සපුරා වෙනස් අවිනිශ්චිත බරපතළ තත්ත්වයක් උදාවීමට නියමිත බවට පෙරමග ලකුණු හතර පේරුවෙන්ම පහළ වෙමින් පවතින සන්දර්භයක දී - ඒ තර්ජන හකුළා ගැනීමට ඔවුන්ට සිදුව තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරින් කඩිමුඩියේ ගෙන්වා යළ කන්නයේ පොහොර කළමනාකරණය කරගන්නා ලෙසත්, දැනට ඇත්තේ පොහොර මෙට්‍රික්ටොන් 61000 ක් බවත් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව රජය සතුව අවශ්‍ය තරම් පොහොර නොමැති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස යල කන්නය අසාර්ථක වන බවත්, රටේ බලධාරීන් අවබෝධ කරගෙන ඇති බවත් පෙනේ. යල් කන්නයේ වී වගාව සඳහා සාමාන්‍යයෙන් පොහොර මෙට්‍රික්ටොන් 135000ක් අවශ්‍ය කෙරේ. ඊට අමතරව සෙසු ක්ෂේත්‍ර භෝග සඳහා මෙට්‍රික් ටොන් 65000 ක් පමණ ද, එළවළු සහ පලතුරු වගාවන් සඳහා තවත් ප්‍රමාණයක් ද අවශ්‍ය කෙරේ.
සාමාන්‍යයෙන් කන්නයක් ආරම්භ කිරීමට මසකට පෙර ලංකාවේ පොහොර තිබිය යුතුය. පැවති සෑම ආණ්ඩුවක්ම මෙම තත්ත්වය තේරුම් ගෙන අවශ්‍ය පොහොර ප්‍රමාණය කල් ඇතුව ඇනවුම් කොට දිවයිනට ගෙන්වා ගැනීම සිදු කරන ලදී. 2021 අප්‍රේල් 29 වන දින ගෝඨාභය රාජපක්ෂ විසින් දුරදිග නොබලා ගනු ලැබූ රසායනික පොහොර තහනමේ ඵල විපාක තවම පහව ගොස් නැත. අමනෝඥ ආචාර්ය මහාචාර්යවරුන්, ළමා රෝග දොස්තරවරුන් හා නිලධාරීන් රැසක් වීරයන් වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අතිශය අප්‍රායෝගික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කොට ක්‍රියාත්මක කරවීමෙන් කරන ලද විනාශයේ ආර්ථික පාඩුව රුපියල් ට්‍රිලියන ගණනකි. නිශ්චිතව කොපමණදැයි ගණන් බලා නොමැත.
ගෝඨාභය දෙවවසරක දී ගෙදර ගියේය. ලණු දුන් නිලධාරීහූ දේශපාලන පෙරළියට උර දී යහතින් වැජඹෙති. තේ, පොල්, රබර් කර්මාන්තය ද නිෂ්පාදනය ද බරපතළ පසුබෑමකට ලක්වී කඩා වැටිණ. ලක් ඉතිහාසයේ කිසිදාක නොවුණු තරමින් නිෂ්පාදනය පහත වැටිණ. පොල් ගෙඩි මිලියන 200 ක් පමණ වාර්ෂිකව රටට අහිමි විය. ඒ නිසා පොල් ආනයනය කිරීමට පවා සිදු විය.
යල කන්නය සඳහා - වී වෙනත් ක්ෂේත්‍ර භෝග එළවළු, පලතුරු, තේ, පොල්, රබර් යන ප්‍රධාන භෝග කාණ්ඩ සඳහා යූරියා අවශ්‍යතාව දළ වශයෙන් මෙට්‍රික් ටොන් 220000 කි.
වී වගාවට මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ද, වෙනත් ක්ෂේත්‍ර බෝග එළවළු පලතුරු සඳහා මෙට්‍රික් ටොන් 55000 ක් පමණ ද, ප්‍රධාන වැවිලි භෝග තේ පොල් රබර් සඳහා මෙට්‍රික් ටොන් 65000 ක් පමණ ද අවශ්‍ය කෙරේ.
රටේ දැනට ඇත්තේ යූරියා මෙට්‍රික් ටොන් 61000 ක් පමණ කැයි ප්‍රකාශව වීමෙන් සනාථ වන්නේ යල පොහොර අවශ්‍යතාවයෙන් රටෙහි ඇත්තේ සියයට27ක් පමණක් බවය. තිබෙන ප්‍රමාණය කළමනාකරණය කරගන්නැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද, එය ප්‍රායෝගිකව කළ නොහැක්කක් බැව් එතුමා වුව වටහාගෙන ඇතුවාට සැක නැත.
රටවල් කිහිපයකින් යූරියා මෙරටට ආනයනය කරන අතර වැඩිපුරම නැත්නම් අවශ්‍යතාවයෙන් සියයට50 ක් පමණ ගෙන්වන්නේ චීනයෙනි. යුද්ධයක් ඇති අවස්ථාවක බොහෝ රටවල් ආරක්ෂණවාදී උපාය උපක්‍රම අනුගමනය කරති. ඒ අනුව චීනය පොහොර අපනයනය අත්හිටුවා තිබේ. මේ අනුව ඉදිරි කාලයේ දී ලංකාවේ බරපතළ යූරියා හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි වේ.
පොහොර බෙදාහැරීම රාජ්‍ය ආයතන ව්‍යුහයක් වන ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා “පමණක්” සිදුවීම හේතුවෙන් ප්‍රවාහනය සඳහා ගොවියාට අමතර වියදමක් දැරීමට හා අනවශ්‍ය අපහසුතා අත් විඳීමට සිදු වේ. මෙය ගොවියාට බරකි. රාජ්‍ය ආයතනයක් හරහා බෙදා හරිනවා යන්නේ තේරුම පොහොර ඇත්තේ සීමාසහිත ප්‍රමාණයක් බවයි. එනම් රජය මගින් නියම කරන පොහොර ප්‍රමාණය ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත පැමිණ රාජ්‍ය නිලධාරින්ගෙන් ලබාගත යුතුය.
වෙනදා මෙන් ගොවීන්ට අවශ්‍ය වේලාවට අවශ්‍ය තැනකින් පොහොර ලබාගැනීමට තිබූ හැකියාව හකුළා දමමින් පෝලිම් යුගයක් නිර්මාණය කර තිබේ. වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට දරදිය ඇද්ද පුද්ගලයන්, සමස්ත ආණ්ඩුවේ සුජාතභාවය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින පුද්ගලයන් හා ඇතැම් නිලධාරීන් “රාජ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් ඇතිව තිබූ පොහොර හිඟය” සාධාරණීකරණය කිරීමට උත්සාහ කළ ද, විකල්ප විසඳුම් ලෙස දියර පොහොර හා කාබනික පොහොර භාවිත කිරීමට යෝජනා කළ ද – ඒවායින් ගොවියාට අත් වූ සෙතක් නැත. දිවයින පුරා පිහිටි ගොවි සංවිධානවල නායකයන් ප්‍රකාශ කරන්නේ ඔවුනට පොහොර නිසි ලෙස ලැබී නොමැති බවත්, ලබාගැනීමට ක්‍රමවත් යාන්ත්‍රණයක් සකස් කර නොමැති බවත්, පොහොර හිඟයක් පවතින බවත්, ය.
මෙවර යල කන්නයේ උද්ගත වීමට නියමිතව ඇත්තේ, පැවති සෑම තත්ත්වයකටම හාත්පසින් වෙනස් වූ බරපතළ අන්තරායකාරී තත්ත්වයකටය. අවශ්‍ය ප්‍රමාණයට කලට වේලාවට පොහොර නොලැබීමෙන් නිෂ්පාදනය පහත වැටී - ගොවීන්ගේ සාක්කු කේඬෑරි ගැසීම වැළැක්වීමට ශක්‍රදේවේන්ද්‍රයාටවත් හැකි වෙතැයි සිතිය නොහැක. එය වඩාත් බරපතළ වන්නේ වී කිලෝ එකක් නිෂ්පාදනය කිරීමට යන වියදමින් සියයට48ක් පමණ ගෙඩියටම වැය වන්නේ යන්ත්‍ර සූත්‍ර සහ ඉන්ධන සඳහා වීම හේතුවෙනි.
ප්‍රමාණවත් තරම් ඉන්ධන නොලැබීමත්, ට්‍රැක්ටරයේ කුලී ඉහළ යාමත් සෙසු ව්‍යතිරේඛ වන්නේය. මේ නිසා නිෂ්පාදන වියදම තවදුරටත් ඉහළ යන්නේය. සාමාන්‍යයෙන් වී කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා රු. 110/= සිට 114/= දක්වා මුදලක් වැය වේ. රජය මගින් වී කිලෝ එකක් රු. 120/= ට මිලදී ගැනීමෙන් ගොවියාට ලැබෙන්නේ රුපියල් 6/= ක ලාභයකි. ඒත් ප්‍රමිතියට වී ලබා දිය යුතුය. නමුත් යල් කන්නයේ උද්ගත වන තත්ත්වය අනුව දැනට ගණන් බලා නැතත් - වී කිලෝ එකක් නිෂ්පාදනය කිරීමට සහතික මිලට වඩා වැඩි මිලක් දැරීමට සිදු වේ. මෙය දිගින් දිගටම සිදුවුවහොත් ගොවියාට ගොවිතැන එපා වීම මෙවර යලෙන් ආරම්භ වීමට ඉඩ ඇත.
ඊළඟ ප්‍රශ්නය බිත්තර වී හිඟයයි. සාමාන්‍යයෙන් මෙරට බිත්තර වී අවශ්‍යතාවයෙන් සියයට80 ක් ගොවියා විසින් නිපදවා ගනී. සියයට12 ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු ගොවිපොළවල නිපදවා ජනතාවට ලබා දේ. ඉතිරි සියයට 8 පෞද්ගලික අංශයෙන් ගොවි ජනතාව වෙත ලබා දේ. බොහෝ ප්‍රදේශවල මෙවර යල කන්නයට අවශ්‍ය කරන බිත්තර වී නොමැති බව ප්‍රකාශයට පත් වේ. දිට්වා සුළිකුණාටුව නිසා සිදු වූ විපතත්, රජය මගින් කලට වේලාවට පොහොර සහනාධාරය ලබා නොදීම නිසා ලැබුණු අඩු අස්වැන්න හා ඉහළ ප්‍රමතියෙන් යුතු වී නිෂ්පාදනය නොවීමත් නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.
බිත්තර වී සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුත් වී අවශ්‍ය කෙරේ. එසේම ඒ සඳහා ගොවියා තම කුඹුරේ වෙනම ලියැද්දක් සකස් කොට, විශේෂ අවධානයකින් කලට වේලාවට පොහොර යොදා සකසා ගන්නා වීවලින් බිත්තර වී සකස් කර ගනී. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බිත්තර වී නිපදවන ගොවි කණ්ඩායම් ද සිටී. ඔවුන්ගෙන් වැඩි මුදලකට ලබා ගෙන බිත්තර වී සැපයීම ද සිදු කෙරේ. සාමාන්‍ය වීවලට වඩා වැඩි මිලක් බිත්තර වී සඳහා ලබා දෙයි. බිත්තර වී නිපදවන ගොවි සංවිධාන හා ගොවීන් ද සිටී. බිත්තර වී හිගය මගහරවා ගැනීමට ගොවීහු සාමාන්‍ය වී භාවිත කළහොත් සිදු වන්නේ ද ඉහළ අස්වැන්නක් නොලැබී යාමයි.
ඊළග ගැටලුව වන්නේ යළකන්නයේ දී එල්නිනෝ තත්ත්වයක් උද්ගත විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවා තිබීමයි.2016හා 2017 දී මෙවැනි තත්ත්වයක් උද්ගත විය. එල්නිනෝ තත්ත්වයක් හටගැනීමට ඇති ඉඩකඩ සියයට 50කට අඩු බව කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පලකරයි. ඒ අනුව මා විශ්වාස කරන්නේ නියත වශයෙන්ම එල්නිනෝ තත්ත්වයක් හට ගන්නා බවය. ඉහළ ධාරිතාවකින් යුත් වර්ෂාපතනයකට පසුව නියඟයක් පැමිණීම සාමාන්‍ය රීතිය බැවින් යම් කිසි ආකාරයේ එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමට සම්භාවීතාව වැඩිය. මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ගංගා හා ඇළදොළ වැව් වල ඇති ජලය ශීඝ්‍රයෙන් සිඳී යාමට ඇති ඉඩ කඩ වැඩිය. මේ නිසා වී භෝගය හා අනෙකුත් බෝග සඳහා අවශ්‍ය තරම් ජලය ලබා දීමට නොහැකි වීමෙන් ඉහළ අස්වැන්නක් නෙලා ගැනීමට නොහැකි වේ. පෝෂක ඌනතාව නිසා වැඩෙන භෝගයන් ජල ඌනතාවය නිසා කරල් හට නොගැනීමෙන් බලාපොරොත්තු අස්වැන්න නොලැබී යයි.
මේ සඳහා විකල්ප වැඩ පිළිවෙලක් නොමැත. සාමාන්‍යයෙන් යල කන්නය පැමිණීමට මසකට පෙර යලට අවශ්‍ය පොහොර ප්‍රමාණය මෙරටට ගෙන්වා තිබුණා නම් මෙම ගැටලුව පැන නොනගි. කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රමුඛ පොහොර ලේකම් කාර්යාලයේ වගකීමක් වන්නේ එයයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිපදවා ඇති භෝග ප්‍රභේද රසායනික පොහොර සඳහා ප්‍රතික්‍රියා දක්වන බැවින් රසායනික පොහොර වලින් තොරව වැඩි අස්වැන්නක් ලබාගත නොහැකිය. එසේම තේ, පොල්, හා රබර් සඳහා ද මෙම කරුණ සමපාත වන්නේය. එක් එක් පුද්ගලයන් විවිධ යෝජනා ගෙනා පමණින්, තමා අටවා ගත් ගොවිපෙරමුණ උඩ පැන්න පමණින්, ගොවි ජනතතාව මේ අවස්ථාවේ ඒවා පිළිගැනීමට සූදානම් නැත. විකල්ප යෝජනාවලට ඔවුන් හැඩ ගැහෙන්නේ නැත. පළපුරුදු ගොවිතැන කරන ඔවුන්ට නිසි කලට පොහොර අවශ්‍ය කෙරේ. මෙරට කීර්තිමත් දෙපාර්තමේන්තුවක් වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වසර ගණනාවක් තුළ කරනු ලබන පර්‌යේෂණ පදනම්ව පොහොර නිර්දේශ ඉදිරිපත් කෙරේ. ඒ ඒ ප්‍රදේශ අනුව පොහොර නිර්දේශනයේ සුළු සුළු වෙනස්කම් සිදුවුව ද, නියමිත ප්‍රමාණයට ගුණත්මයෙන් යුත් පොහොර යෙදීමෙන් ඉහළ අස්වැන්නක් ලබා ගත හැක. මෙවර යල කන්නයේ උද්ගත වූයේ වෙන කවරදාවත් නොමැති තත්ත්වයකි. ආහාර සුරක්ෂිතතාව ඇති කරගත යුතු යයි මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් කොතරම් දැනුවත් කළත් මෙම ආණ්ඩුවට ඒවා බීරි අලින්ට වීණා ගායනා කරනවා මෙනි. මෙම තත්ත්වය හමුවේ ගොවියා මෙන්ම පාරිභෝගිකයාද අසරණ භාවයට පත් වන්නේය. අස්වැනු නෙලීම අගෝස්තු සැප්තැම්බර් මාස වල දී සිදු වේ. එහිදි මෙම යල කන්නයේ උද්ගත වූ ප්‍රශ්න නිසා බලාපොරොත්තු වූ අස්වැන්න සියයට20 - 30 දක්වා අඩුවීමට හේතු විය හැකිය. සාමාන්‍යයෙන් ජාතික වී නිෂ්පාදනයෙන් සියයට 35ක් සපයන්නේ යල කන්නයෙනි. ඒ අනුව එය 2027 වසරේ මුල් භාගයට බලපෑම් එල්ල කරයි. රජයේ රෙදි සෝදන සමහර පුද්ගලයන් සහල් මාස 6-8 කට ප්‍රමාණවත් බව පැවසුව ද, සත්‍ය වශයෙන් රජය සතුව එවැනි සහල් තොග නොමැත. මෙරට තුළ ද එවැනි සංචිත නොමැත. එය සත්‍ය කරුණකි. රජය සහල් ගෙන්වීමට සැලසුම් සකස් කරන්නේ ඒ නිසාය. අප රටේ පුරෝකථන කරන සමහර පුද්ගලයන් හා වැරදි දත්ත සහ තොරතුරු මත ආණ්ඩු අපහසුතාවයට පත්වීම් අද ඊයේ සිදුවූවක් නොවේ. එනිසා නිවැරදි ලෙස ගණන් බලා රටේ සහල් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට ආණ්ඩුව වග බලාගත යුතුය. ජනතාවගේ බඩට ගැහුවොත් ආණ්ඩුවට අත්වන ඉරණම කුමක් දැයි අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය නොවේ.
කේ. බී. ගුණරත්න
හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd