
මැද පෙරදිග යුද ගැටුම මෙරට ජන ජීවිතය වේගයෙන් හකුළුවා දමමින් සිටියි. ඛනිජ තෙල් බිඳක්වත් නොමැති ලංකා පොළොව තුළ සිදු කෙරෙන සියලු ක්‍රියාකාරකම් පිටරටින් ආනයනය කරන ඉන්ධන මත රඳා පවතියි. එදිනෙදා ආහාරය සකසා ගැනීමේ සිට දරුවන් පාසලට ගෙනයාම දක්වාමත් විදුලි බලය නිෂ්පාදනය කිරීමේ සිට කර්මාන්ත ශාලා දක්වාමත් මෙරට ආර්ථික හා සමාජයීය ක්‍රියාකාරකම් ආනයනික ඉන්ධන මත රඳා පවතී. ඉන්ධන හිඟය නිසා මෙරට ඉන්ධන බෙදාහැරීම ද සලාක ක්‍රමයකට සිදු කිරීමට රජයට සිදුවී තිබේ. කිව්.ආර්. ක්‍රමය මගින් එම කටයුතු කළමනාකරණය කෙරෙයි. ඉන්ධන හිඟය රජයේ වරදක් නොව ලෝක යුද දේශපාලන හා බෙදාහැරීම් ක්‍රියාවලියේ ප්‍රතිඵලයකි.
එහෙත් මෙම ඉන්ධන හිඟයත් සමග ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේ ඉන්ධන පෝලිම් හේතුවෙන් ස්ථිර විසඳුම් ලබාදුන් ප්‍රශ්නයක හිඩැසක් ඇති බව යළිත් අනාවරණය වෙමින් තිබේ. ඒ මෙරට ආයෝජනය සඳහා පැමිණි විදේශීය තෙල් සමාගම් කිහිපයක් පිළිබඳව එම ආණ්ඩු සමයේ ප්‍රචාරය කර තිබූ මිත්‍යාවකි. එනම් එම බහුජාතික තෙල් සමාගම් කිහිපයක් මෙරටට පැමිණිය ද ඔවුන් වෙනුවෙනුත් තෙල් ගෙන එන්නේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මිස එම විදේශීය තෙල් සමාගම් නොවන බවය.
මෙයට පෙර තෙල් පෝලිම් පැවැති සමයේ එවකට රජය පැවසුවේ ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීමකින් තොරව ඉන්ධන රැගෙනවිත් විකිණීම සඳහා විදේශීය ඉන්ධන සමාගම්වලට ආරාධනා කරන බය. ඒ පිළිබඳව ජනමාධ්‍ය මගින්ද පුළුල් ප්‍රචාරයක් ලබාදීමට එම රජය පියවර ගත්තේය. විදේශීය තෙල් සමාගම් ගණනාවක් සමග ඒ පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීමටද පියවර ගත්තේය. ෂෙල් ඇතුළු ලෝක ප්‍රකට සමාගම් කිහිපයක්ම මෙරට ඛනිජ තෙල් ව්‍යාපාර අරඹන බව ප්‍රසිද්ධ කෙරිණි. එම සමාගම්වල ඉන්ධන පිරවුම්හල් මේවනවිට රට පුරා ව්‍යාපාර අරඹා ඇති අයුරු දැකගත හැකිය. එහෙත් සිදුවී තිබුණේ අලුතෙන්ම ඉන්ධන පිරවුම්හල් ආරම්භ කිරීම වෙනුවට මෙතෙක් පැවැති ඉන්ධන පිරවුම්හල් ඔවුන්ට බදු දීමය. එහෙත් තෙල් සැපයුම කරන්නේ ශ්‍රී ලංකා රජය බව මේ වනවිට යළිත් ඔප්පු වෙමින් තිබේ. ෂෙල් ඇතුළු එම විදේශීය ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලැබෙන්නේ ද ලංකා ඛනිජතෙල් සංස්ථා ඉන්ධන බවුසරවලිනි. ෂෙල් ඇතුළු මෙරට පැමිණි බව කී ඉන්ධන සමාගම්වල නම පින්තාරු කළ බවුසර් රථ මහමගදී දැකගත නොහැකිය. මෙරට ඉන්ධන පිරවුම්හල් හිමි එම විදේශීය සමාගම්වලට අයත් එකදු ඉන්ධන නෞකාවක්වත් මෙරට වරායකට පැමිණි බවට සාධක ද නැත. එසේ නම් තවමත් මෙරට ඉන්ධන බෙදුම්කරු වන්නේ ශ්‍රී ලංකා රජය මිස එම සමාගම් නොවේ. පසුගිය දෙසතියකට පෙර ඉරාන යුද ගැටුම ඇතිවූ අවස්ථාවේ ජනතාව කලබලවී ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී සිටි අවස්ථාවේද රජය පැවසුවේ අප්‍රේල් සහ මැයි දක්වා ඉන්ධන ඇණවුම් කර අැති බවය. විදේශීය සන්නාමයන්ගෙන් යුතු පිරවුම්හල් මෙරට පවතිද්‍්දී රජය ඉන්ධන සම්බන්ධයෙන් කලබල වන්නේ ඇයි ? එයට හේතුව ශ්‍රී ලංකාව තුළට ඉන්ධන ගෙන එන්නේ ශ්‍රී ලංකා රජය වීමය. අයි.ඕ.සී. හැරෙන්නට වෙනත් තනි නාමයන්ගෙන් යුතු සමාගම් ඉන්ධන නොගෙන්වීමය. ඒ අනුව විදේශීය තෙල් සමාගම් මෙරට ක්‍රියාත්මක වන බවට කර තිබූ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් බව පෙනෙයි.
මේ දිනවල ඉන්ධන පිළිබඳව වඩාත් කලබලවී සිටින්නේ ආණ්ඩුවය. ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා නිරතුරුවම පවසන්නේ හිඟයකින් තොරව ඉන්ධන බෙදාහැරීමට රජය කටයුතු කරන බවය. ඒ සමගම ලංකා ඉන්දියන් ඛනිජ සමාගමේ මෙරට ප්‍රධානියා ඉකුත් සතියේ පැවසුවේ ශ්‍රී ලංකාවට දිගටම ඉන්ධන සපයන බවය. අප එම ප්‍රකාශ දෙකම විශ්වාස කරමු. වගකිවයුතු ප්‍රධානීන් හැටියට ඔවුන් බොරු නොකියන බව අප විශ්වාස කරමු. ඒ අතර විදේශ ඇමැති විජිත හේරත් මහතා පවසන්නේ ඉන්දියාවෙන් ඛනිජ තෙල් ලබාගැනීම සඳහා සාකච්චා කළ බවය. මේ සියලු ප්‍රකාශවලින්ම ගම්‍ය වන්නේ ශ්‍රී ලංකා රජය ඉන්ධන සැපයීමේ වගකීම ඉටුකිරීමට උත්සාහ කරන බවය. එයට ද අප එකඟ වෙමු. එහෙත් සයිනොපෙක්, ෂෙල් ආර් එස් පාක් වැනි මෙරටට පැමිණි බව කී තෙල් සමාගම් ඉන්ධන සැපයීම ගැන කරන ප්‍රකාශයක් දැන ගන්නට නැත. එම සමාගම් ඉන්ධන මිලදී ගන්නේ ලංකා පෙට්‍රෝලියම් සංස්ථාවෙන් ද? එසේ නොමැතිනම් තමන්ම ගෙන එනවා ද? ශ්‍රී ලංකා රජයට පැරී තිබූ අතිමහත් ඉන්ධන බර ලිහිල් වීමක් සිදුවී තිබේ ද? මේ පිළිබඳ නිවැරදි ප්‍රකාශයක් බලධාරීන්ගෙන් අවශ්‍යය.
ඊළඟට මතුවන ප්‍රශ්නය වන්නේ හම්බන්තොට යෝජිත තෙල් පිරිපහදුවට කුමක් සිදුවී ද යන්නය.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු තෙල් පිරිපහදු දෙකක් අලුතෙන් ඉදිකිරීමට යෝජනා විය. සිනොපෙක් සමාගම සමග ගෝඨාභය සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩු එකඟ වූ හම්බන්තොට තෙල් පිරිපහදුව සහ දැනට පවතින සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ විශාල ප්‍රමාණයෙන් නව ඉදිකිරීමකි. ඩොලර් බිලියන තුනයි දශම හතකි (3.7) හම්බන්තොට තෙල් පිරිපහදුව ලංකාවට ලැබෙන ලොකුම විදේශීය ආයෝජනය බවද මහත් ඉහළින් ප්‍රචාරය කෙරිණි. එහෙත් එය තවමත් තීන්ත වියලුණු කඩදාසියක් පමණකි. සපුගස්කන්ද පිරිපහදුවේ වැඩිදියුණු කිරීම සඳහාද සිනොපෙක් සමාගම තම අභිලාෂය ප්‍රකාශ කළ අතර ඒ සඳහා ඇමරිකා සහ ඉන්දියානු ආණ්ඩු ද තම අභිලාෂය ප්‍රකාශ කර ඇත.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ හම්බන්තොට යෝජිත තෙල් පිරිපහදුව ආරම්භ නොකිරීමට රජය තීන්දු කර ඇති බවය. චීන සමාගම පිරිපහදුව ඉදිකරන භූමියේ සහ පිරිපහදුවේ හිමිකාරීත්වයෙන් සියයට හතළිහකට වඩා වැඩි ප්‍රමාණයක් ඉල්ලා සිටින බවත් එනිසා රජය පිරිපහදුව ආරම්භ නොකිරීමට තීන්දු කර ඇති බවත් ප්‍රචාරය වුවද සැබෑ හේතුව එය නොව ඇමරිකාව ඉන්දියාව ඇතුළු තවත් බලවත් රටවල් විරසක වේය යන බිය නිසා යෝජිත පිරිපහදුව අතහැරීමට රජය තීන්දු කිරීමය.
ශ්‍රී ලංකාවේ ආණ්ඩු රටවල් කිහිපයකට තෙල් පිරිපහදු ඉදිකිරීමේ පොරොන්දු ලබා දුන්නද ඒ එක් පොරොන්දුවක්වත් ඉටු වූයේ නැත.
ඉන්දියාව කැමැත්තෙන් සිටී නම් ත්‍රිකුණාමලය වරාය හා තෙල් ටැංකි ආශ්‍රිතව ඛනිජ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීමට සූදානම් බව ජනාධිපති අනුර දිසානායකද විදේශ කටයුතු ඇමැති විජිත හේරත්ද පවසා ඇත. ජනාධිපතිවරයා චීනයේ සිනොපෙක් සමාගම සමග හම්බන්තොට තෙල් පිරිපහදුව් ඉදිකිරීම සඳහා සිය චීන සංචාරයේදී ගිවිසුම්ගත විය.
එහෙත් දශක තුනක් ආපස්සට ගමන් කරන විට පෙනී යන්නේ ත්‍රිකුණාමලයේ ඛනිජ තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා 2000 සිට මෙරට පැවැති සෑම ආණ්ඩුවක්ම විවිධ රටවල් සමග සාකච්ඡා කර ඇති බවය. වාර ගණනාවක්ම තෙල් පිරිපහදුවක් ඉදිකිරීම ගැන කතා කළත් පිරිපහදුව තවමත් ‘‘කතා සාප්පුවකට’’ සීමාවී ඇති බවය.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය ඉදිවන්නේ 1940 දී දෙවැනි ලෝක යුද සමයේය. ත්‍රිකුණාමලයට එල්ලවූ ජපන් හමුදා ප්‍රහාරයේදී එක් ගුවන් නියමුවකු තම යානය තෙල් ටැංකියක හැප්පීමෙන් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් එම ටෙල් ටැංකිය ගිනිගෙන විනාශ විය. බ්‍රිතාන්‍යයේ යුද කඳවුරු ලංකා රජයට 1959 දී පවරාගත් පසුවද මෙම ටැංකි සමූහය පවරා දෙන්නට බ්‍රිතාන්‍ය රජය අකමැති වූ අතර 1965 දී බණ්ඩාරනායක අගමැතිනිය ස්ටර්ලිං පවුම් දෙලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවා තෙල් ටැංකි සමූහය ලංකා රජයට පවරා ගත්තාය. එහෙත් එදා සිට 2003 දක්වාම තෙල් ටැංකි නිකරුණේ දිරමින් පැවතුණේය.
එක් දහස් නමසිය පනස් ගණන් වනවිට ලංකාවේ විදේශීය තෙල් සමාගම් ගණනාවක්ම තිබුණේය. එයින් වඩාත් ප්‍රබල වූයේ ෂෙල් කොම්පැනියය. 1956 දී ලංකාවේ තෙල් අලෙවියෙන් සියයට හැටක් සිදු කළේ ෂෙල් සමාගමය. ලංකා ෂෙල් සමාගම 1903 වසරේ මෙරටට ආ බහුජාතික සමාගමකි.
සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් 1961 දී ජනසතු කළ ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරය 1962 සිට අලුතෙන් පිහිට වු ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ඒකාධිකාරයට යටත් කිරීමෙන් රජය බලාපොරොත්තු වූයේ ජනතාවට සාධාරණ මිලක් යටතේ ඛනිජතෙල් නිෂ්පාදන සැපයීමය. ඒ අනුව එවකට වෙළෙඳ පොළ ආධිපත්‍යය හිමිකරගෙන තිබූ කැල්ටෙක්ස්, ෂෙල් සහ එසෝ ඇතූළු බහුජාතික සමාගම් 13ක තෙල් ඒකාධිකාරය වන්දි ගෙවා රජයේ පාලනයට මුළුමනින්ම නතු කෙරිණි.
නව පිරිපහදුවක්ද ආරම්භ විය. මුලදී සෝවියට් දේහයෙන් බොර තෙල් ආනයනය කර එහි පිරිපහදු කළ අතර ඉන්පසු දේශපාලන වෙනස්කම් අනුව මෙරට විවිධ ආණ්ඩු සෝවියට් දේශයේ තෙල් අතහැර මැදපෙරදිගට යොමු විය. කාලයක් ඉරානයේ බොරතෙල් ගෙන ආවද ඇමරිකානු සම්බාධක මත ඉරාන බොරතෙල් ආනයනයට බාධා ඇති විය. තෙල් සංස්ථාවට දේශපාලන හිතවත්කම් මත තමන්ගේ ගෝල බාලයන් පත් කිරීමද දිගටම සිදුවිය. එය දිගින් දිගටම පාඩු ලබන්නට පටන් ගත්තේය.
හරි විදියට කරන්නේ නම් ඛනිජ තෙල් කර්මාන්තය යනු රටක ආර්ථික දියුණුව ළඟාකර ගැනීමේ ප්‍රධානම අවස්ථා කීපයෙන් එකකි. හොඳම උදාහරණය සිංගප්පූරුවය. සිංගප්පූරුවේ එකම තෙල් ළිඳක් හෝ නැතත් පිරිපහදු කරන ලද ඉන්ධන විකුණන රටවල් අතර තුන්වැනි තැනට පත්ව ඇත්තේ සිංගප්පූරුවය. රටවටා ඉදිකර ඇති තෙල් ටැංකිවලට බොරතෙල් රැගෙනවිත් පිරිපහදු කර විකිණීමෙන් සිංගප්පූරුව සුවිශාල ආර්ථික වර්ධනයක් ලබා ගත්තේය. ත්‍රිමලය වරායත් හම්බන්තොට මුහුදු කිලෝමීටර් හතරක් දුරින් ඇදී යන ජාත්‍යන්තර නෞකා මාර්ගයත් ආර්ථික දියුණුව කරා ළඟාවීමට අපට හැකියාව ඇතත් එය ඉටුනොවන සිහිනයකි.
මෙවැනි යුදමය අවස්ථාවල බොහෝ රටවල් බොරතෙල් සංචිත පාවිච්චියට ගනී. ඉන්දියාව එවැනි රටකි. ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල ඉදිකළ ඛනිජතෙල් ගබඩා තිබේ. ලංකාවට බොරතෙල් ගබඩා කිරීමට එවැනි ගබඩා හෝ බොරතෙල් පිරිපහදු කිරීමේ පහසුකම් නැත. ඒ නිසා පිරිපහදු තෙල්ම ගෙන ඒමට සිදුවේ. වත්මන් යුද ගැටුම නිසා පිරිපහදු කළ තෙල් ගෙන ඒමේ හැකියාවක්ද නැත. රාජපක්ෂ යුගයේ ඛනිජතෙල් අර්බුදය ඇතිවූ මොහොතටම අප යළිත් පැමිණ ඇත්තේ පිරිපහදුවක් හෝ ගබඩා පහසුකම් හෝ නොමැති නිසාය. නිකරුණේ දිරා යන ත්‍රිකුණාමලය හිස් තෙල් ටැංකි දෙස බලාගෙන සිටීම තීන්ත වියළුණු හම්බන්තොට යෝජිත තෙල් පිරිපහදුව ගැන සුරංගනා කතා අසමින් සිටීම හැර අපට අන් සරණක් නැත.
ප්‍රේමකීර්ති රණතුංග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd