අවි ප්‍රහාර ප්‍රතිප්‍රහාර සහ වාග් ප්‍රහාර මධ්‍යයේ ඇමෙරිකා-ඉරාන යුද්ධය දිනෙන් දින ඉදිරියට ඇදේ. මැදපෙරදිග අහසේ එහෙ මෙහෙ විදුලි වේගයෙන් පියාසර කරන මිසයිල ඩ්‍රෝන ගැන ලෝකයේ ම අවධානය යොමු වී ඇතත් මේ ගැටුම් නවත්වා ලෝක සාමය ඇති කළ යුතුය යන හඬ වටා තවමත් මුළු ලෝකයම රොද බැඳ ඇති බවක් නොපෙනේ. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු යළිත් එවැනි බිහිසුණු යුද්ධ ඇතිවීම වැළැක්වීමේ අරමුණින් පිහිටු වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ආයතන පද්ධතිය ලෝක සාමය තහවුරු කිරීමට අසමත් බවත් ඒවා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්හි අතකොළු වී ඇති බවටත් ප්‍රබල විවේචනයක් කාලයක සිට ඉදිරිපත් වේ. මේ සියලු කාරණා සම්බන්ධයෙන් ජාත්‍යන්තර තොරතුරු විශ්ලේෂක මොහාන් සමරනායක සමග පැවැත් වූ සාකච්ඡාවකින් සැකසූ ලිපියක් මෙසේ ය.

ජාත්‍යන්තර තොරතුරු විශ්ලේෂක මොහාන් සමරනායක

මෙම යුද්ධයෙහි පසුබිම වටහා ගැනීමට නම් අප ජීවත් වන ලෝකයේ පවතින අන්තර්ජාතික සබඳතා රටාව තේරුම් ගත යුතු ය. ලෝක රටාව නොහොත් පර්යායෙන් අදහස් වෙන්නේ දේශපාලනික, ආර්ථික, හමුදාමය, සංස්කෘතික හා සමාජ මේ ආදී ක්ෂේත්‍රවලින් සමන්විත ජාතීන් අතර පවතින සබඳතා ව්‍යුහය යි. එම ව්‍යුහය හැඩගැසී ඇති ආකාරය යි. වත්මන් ලෝක රටාවේ ස්වභාවය වනාහී ධනවත් හා බලවත් රටවල් අතළොස්සක් තමන්ට අභිමත පරිදි සමස්ත ලෝකයම පාලනය කරන ක්‍රමයකි. එම රටවල් අතර සිටින බටහිර අධිපතිවාදී රටවල් සමූහය සමන්විත වන්නේ ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, යුරෝපා සංගමය ඇතුළු තවත් රටවල් කිහිපයකිනි. ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ජපානය, දකුණු කොරියාව යනාදී රටවල් ද මේ කඳවුරට අයත් ය. තවත් බලකේන්ද්‍ර කිහිපයක් තිබේ. රුසියාව, චීනය සහ ඉන්දියාව යන රටවල් ද මැදපෙරදිග කලාපයේ ඉරානය, සෞදි අරාබිය යනු ඒවාය.

ධනේශ්වර ආර්ථිකය-ඛනිජ තෙල් සහ ඇමෙරිකාව

මෙම බලකඳවුරු අතරින් ලෝකයේ වැඩි ප්‍රමාණයක් හසුරුවනු ලබන්නේ ඇමෙරිකාවේ නායකත්වයෙන් යුත් අධිපති රාජ්‍යය සමූහය විසිනි. යථාර්ථය එය යි. වත්මන් ලෝක රටාව බිහිවන්නේ දීර්ඝ කාලයක් ඇවෑමෙනි. 16 වැනි සියවසේ දී නව ආර්ථික සමාජ ක්‍රමයක් බිහි වූ අතර එය ධනේශ්වර ක්‍රමය ලෙස හැඳින්වේ. එය හැකි තරම් ලාභ ඉපැයීම අරමුණු කරගත් ක්‍රමයකි. මෙයින් ආර්ථික සංවර්ධනයක් අත් කරගත් රටවල් වන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සමූහය යි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදී ආයතන හා තවත් ඒවායෙන් සමන්විත ජාත්‍යන්තර ආයතන පද්ධතිය තිබෙන්නේ ද මේ අධිපතිවාදී රටවල් සමූහයේ අණසක යටතේ ය. ඊට අමතරව මේ රටවල් සතුව දැවැන්ත මිලිටරි බලයක් ද මාධ්‍ය ජාලයක් ද තිබේ.

මේ අධිපතිවාදී රටවල් අතර සිටින කේන්ද්‍රය යැයි සැලකිය හැකි ඇමෙරිකාවට කලක සිට තිබෙන අවශ්‍යතාවක් නම් මැදපෙරදිග කලාපය සිය අණසක යටතේ තබාගැනීම ය. ඊට බලාපන හේතු ගණනාවක් ඇතත් ප්‍රධාන හේතුව වනාහි මැදපෙරදිග කලාපය සතු ඛනිජ සම්පත් ය. ධනවාදී ආර්ථිකයට සහ කාර්මික ශිෂ්ටාචාරයට ජීවනාලිය සපයන්නේ ඛනිජ තෙල් මගිනි. එබැවින් ඛනිජ තෙල් නොමැතිව ධනේශ්වර ආර්ථිකයට පැවැත්මක් නැත. ඛනිජ තෙල් ව්‍යාප්තිය සමාන නැත. එනම්, ලෝකයේ සමහර කලාපවල ඛනිජ සම්පත් බහුලව පවතින විට තවත් කලාපවල සීමා සහිත ය. ලෝකයේ මේ දක්වා හඳුනාගෙන ඇති ඛනිජ නිධිවලින් තුනෙන් දෙකක ප්‍රමාණයක් තිබෙන්නේ මැදපෙරදිග කලාපයේ ය. එයින් ද ගල්ෆ් කලාපය විශේෂ ය. සෞදි අරාබිය, ඉරාකය, ඉරානය, බහරේන්, කුවේටය, කටාර්, ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මැදපෙරදිග කලාපයේ තෙල් සම්පතින් පෙහොසත් රටවල් ය. ඊට අමතරව වෙනිසියුලාව, රුසියාව, චීනය සහ ඇමෙරිකාව යන රටවල ද ඛනිජ සම්පත් යම් ප්‍රමාණයක් ඇත. බටහිර අධිපති රටවල් සමූහයට මැදපෙරදිග කලාපය ඔවුන්ගේ අණසක යටතේ තබාගැනීමට අවශ්‍ය වන්නේ මේ තෙල් සම්පත් නිසා ය.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය

මැදපෙරදිග ගල්ෆ් කලාපයේ රාජ්‍යයන් සමූහය එනම්, සුල්තාන්වරුන්ගේ පාලනය යටතේ පවතින රටවල් ඇමෙරිකාව සමග සමීප සබඳතා පවත්වයි. මේ ඇමෙරිකා-ඉරාන යුද්ධයේදී ඉරානය පහර දෙන්නේත් ඇමෙරිකාවට මිත්‍ර එම රටවල්හි ස්ථාපිත කර තිබෙන ඇමෙරිකානු යුද කඳවුරුවලටය. මැදපෙරදිග කලාපයේ රාජ්‍යයන් කිහිපයක් අතීතයේ පටන්ම ඇමෙරිකානු ආධිපත්‍යය පිළිගැනීමට අකැමැති විය. ඉරානය, ඉරාකය, ලිබියාව, සිරියාව සහ එක්තරා ප්‍රමාණයකට ඊජිප්තුව ද ඇමෙරිකානු ආධිපත්‍යයට විරුද්ධ ය. වර්තමානය වනවිට එම රාජ්‍යයන් අතරන් ඇමෙරිකානු ආධිපත්‍යය නොපිළිගන්නා එකම රාජ්‍යය ඉරානය යි. එබැවින් ඉරානය යටත් කරගැනීමට ඇමෙරිකාවට අවශ්‍ය ය. මේ තත්ත්වය පැහැදිලි කළ හැකි ඓතිහාසික ලිඛිත සාක්ෂි දෙකක් ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. එකක් 2001 සැප්තැම්බර් 11 වැනි දින අල්ක්වයිඩා ත්‍රස්තයන් ඇමෙරිකාවේ නිව්‌යෝර්ක් නුවර වෙළෙඳ මධ්‍යස්ථාන කුලුනු දෙක ඇතුළුව තවත් ස්ථාන කිහිපයකට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එවකට ඇමෙරිකානු ජනාධිපති කනිෂ්ඨ ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම  (War on Terror) ආරම්භ කළේ ය. එම මෙහෙයුමේදී ත්‍රස්තවාදයට ආධාර කරන බවට තමන් විසින් ම හඳුනාගන්නා ලද රාජ්‍යයන් කිහිපයක් සිය අණසක යටතට ගැනීම සඳහා සැලසුම් සකස් කෙරිණ.

ඇමෙරිකානු හමුදාවේ ජෙනරාල්වරයෙක් එරට රූපවාහිනී වැඩසටහනක Democracy now දී අදාළ සැලැස්ම හෙළි කළේ ය.. එම ජෙනරාල්වරයාගේ නම වෙස්ලි ක්ලාක් ය. හෙතෙම සාමාන්‍ය යුද නිලධාරියකු නොවන අතර නේටෝ සංවිධානයේ අණදෙන නිලධාරියෙකි. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝව 1998 දී සර්බියාවට විරුද්ධව කළ අඛණ්ඩ ගුවන් යුද්ධයේ දී අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළේ ද වෙස්ලි ක්ලාක් ය. යට කී හමුදා සැලැස්ම අදාළ රූපවාහිනී වැඩසටහනේදී හෙළි කරමින් මේ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ වසර පහක් ඇතුළත රටවල් හතක ආණ්ඩු පෙරළීමටත් ඒවා ඇමෙරිකාවට කීකරු රාජ්‍යයන් බවට පත්කිරීමටත් සැලසුම් සකස් කළ බව ය. එම රටවල් වනාහී ඉරාකය, ලිබියාව, සිරියාව, ලෙබනනය, සෝමාලියාව, සුඩානය සහ ඉරානය යි. මේ රටවල් අතරින් ඉතුරු වී සිටින්නේ ඉරානය පමණි.

දෙවැනි නිදර්ශනය 1950 ගණන්වලට සම්බන්ධ ය. 1951 දී මොහොමඩ් මොසැඩෙක් නමින් නව අගමැතිවරයෙක් ඉරානයේ බලයට පත්විය. මජ්ලිස්ට් නමින් හැඳින්වූ එවක ඉරාන මන්ත්‍රණ සභාවේ සාමාජිකයන්ගේ සියයට 90 කට ආසන්න ඡන්ද ප්‍රතිශතයකින් ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට ඔහු බලයට පත් විය. බලයට පැමිණ මාස හයකින් පසු බ්‍රිතාන්‍යයන් සතුව පැවති ඉරාන තෙල් කර්මාන්තය ජනසතු කිරීමට ඔහු කටයුතු කළේ ය. එම අවධියේදී ඉරානයේ තෙල් සම්බන්ධ අධිකාරිය වශයෙන් ක්‍රියාත්මක වුණේ British Persian Oil Company නමැති සමාගම යි. නව අගමැතිවරයා තෙල් සම්පත ජනසතු කළ පසු ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ තවත් යුරෝපා රටවල් කිහිපයක් ඉරනායට සම්බාධක පැනවීය. එයින් ද නොනැවතී සීඅයිඒ ආයතනයේ කුමන්ත්‍රණයක් මගින් මොසැඩෙක් අගමැතිවරයා බලයෙන් පහකෙරිණ. රාජ්‍යද්‍රෝහී වීමේ පදනම මත ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කරන ලදී. මොසැඩෙක් අගමැතිවරයා නඩු විභාගය අතරතුර ප්‍රකාශ කළේ තමන් කළ එකම පාපය වනාහී රටේ තෙල් සම්පත ඉරාන ජනතාවට පවරා දීම බව ය. ඔහු ඉරාන තෙල් සම්පත ජනසතු කළ අවස්ථාවේ ඉරාන වැසියෝ දස ලක්ෂ ගණනින් වීදිවලට බැස ඊට සතුට පළ කළෝ ය. නිවාස අඩස්සියට පත්කරනු ලැබීමෙන් පසු මොසැඩෙක් අගමැතිවරයා 1968 දී මිය ගියේ ය.

ඉරානයට එරෙහිව කරන යුද්ධය චීනයට විරුද්ධව කරන යුද්ධයක්

ඉරානය යටත් කර ගැනීමේ ඇමෙරිකානු අභිලාෂය පසුපස ඇති යථාර්ථය මෙය යි. වත්මන් ඉරාන-ඇමෙරිකා යුද්ධයට එම ප්‍රධාන හේතුවට අමතරව තවත් හේතු කිහිපයක් එකතු වී ඇත.. බටහිර කඳවුරේ නායකයා වන එක්සත් ජනපදය තවමත් ලෝකයේ විශාලතම ආර්ථිකය යි. එහෙත් දැන් එම ආර්ථික ශක්තිය පිරිහෙමින් තිබේ. 1950 දී ඇමෙරිකාවේ මුළු ආර්ථික නිමැවුමෙන් සියයට 50 ක් නොහොත් අඩකි. අද වෙනවිට එම අගය සියයට 21 දක්වා පහළ වැටී ඇත. එයින් නොනැවතී එරටේ හමුදාමය සන්නිවේදන ආධිපත්‍යයට ද අභියෝග එල්ල වී ඇත. ඇමෙරිකානු ආර්ථික ආධිපත්‍යයට එල්ල වී ඇති අභියෝගයෙහි ප්‍රධාන කර්තෘකයා වන්නේ චීනය යි. 1950 දී චින ආර්ථික නිමැවුම ලෝක ආර්ථික නිමැවුමේ ප්‍රතිශතයක් ලෙස සියයට 5 ක් විය. එසේ වුවත් මේ වෙද්දි එම අගය සියයට 18 දක්වා වර්ධනය වී තිබේ. බොහෝ සමීක්ෂණ අනුව තව වසර කිහිපයකින් චීනය ආර්ථික බලය අතින් ඇමෙරිකාව අබිබවා යයි. මේ සන්දර්භයේ ඇමෙරිකාවේත් බටහිර කඳවුරේත් ප්‍රධාන අරමුණක් වී තිබෙන්නේ චීනයේ නැගීම පාලනය කිරීම යි. ඒ සඳහා යොදා ගනු ලබන එක් උපක්‍රමයක් නම්, චීනයට ඛනිජ තෙල් සපයන රටවල් චීනයේ මිත්‍ර වළල්ලෙන් ඈත් කර තැබීම ය.
චීනයේ තෙල් සැපයුම්කරුවන් අතර ඉරානය හා වෙනිසියුලාව ප්‍රධාන ය. මේ වෙද්දි වෙනිසියුලාව ඇමෙරිකාවේ ග්‍රහණයට ගෙන ඇත. ඉරානයට කරමින් සිටින මෙම යුදමය මැදිහත්වීම මගින් ඉරානය බිඳවැට්ටුවහොත් ඇමෙරිකාවට කීකරු පාලනයක් ගෙනා හැකි ය. එවැන්නක් වුව හොත් එයින් චීනයේ බලයට දැවැන්ත අභියෝගයක් එල්ල වේ. එබැවින් ඇමෙරිකාව ඉරානයට එරෙහිව කරන යුද්ධය සැබැවින් ම චීනයට විරුද්ධව කරන යුද්ධයකි.

උපන්ගෙයිම අතපය ගැටගැසූ එක්සත් ජාතීන් සහ ලෝක සාමය සඳහා නව ප්‍රතිසංස්කරණ

මෙම සංග්‍රාමය මධ්‍යයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතන පද්ධතිය ලෝක සාමය වෙනුවෙන් ඵලදායී මැදිහත්වීමක් කිරීමට අසමත්වීම සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් වේ. ජාත්‍යන්තර ආයතන පද්ධතිය ගත්විට ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන තිබෙන්නේ ඇමෙරිකානු ග්‍රහණයේ ය. ඒ ගැන විවාදයක් නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ යුද්ධයේ දී අකර්මණ්‍ය ස්වභාවයෙන් යුතුව කටයුතු කරන බව ද සැබෑ ය. ඊට හේතුව කුමක් ද? මේ සම්බන්ධයෙන් විචාරකයන් එම සංවිධානය දැඩිව විවේචනය කරන බව පෙනේ. එය මුවහමට තඩිබෑමක් හැටියට මම දකිමි. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය කරන අවස්ථාවේ දී ම එහි අතපය ගැටගැසුවේ ය. ඒ, බලවත් රාජ්‍යයන්ට එම සංවිධානය පාලනය කළ හැකි ආකාරයටය. බලවත් හා ධනවත් රාජ්‍යයන්හි පොදු එකඟත්වය නැතිනම් එක්සත් ජාතීන්ට ලෝක සාමය ඇතිකිරීමට හැකියාවක් නැත. ඒ අරබයා බලයක් එම සංවිධානයට ලබා දී නැත. එවැනි සන්දර්භයක එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනය කිරීම නිරර්ථක ය.

එම සංවිධානයේ ව්‍යවස්ථාව නොහොත් ප්‍රඥප්තියෙහි ආරම්භක වාක්‍යයෙහි දැක්වෙන්නේ යුද්ධයේ ශාපයෙන් මතු පරම්පරාව බේරාගැනීම උදෙසා යනුවෙනි. එහෙත් එය කිරීමට අවශ්‍ය මුදල් හෝ බලය සංවිධානය සතුව නොමැත. ලෝක සාමය සහ ආරක්ෂාව පවත්වා ගෙන යෑම භාර ආයතනය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය යි. එය එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් පහළොවකින් සමන්විත වේ. එයින් රටවල් පහක් ස්ථිර සාමාජිකයන් වන අතර සෙසු රටවල් ස්ථාවර නොවන සාමාජිකයන් ය. කවර හෝ යෝජනාවක් ආරක්ෂක මණ්ඩලයට යොමු වුව හොත් සහ නිත්‍ය සාමාජිකයන් පස් දෙනාගෙන් එක් රාජ්‍යයක් හෝ විරුද්ධ නම්, අදාළ යෝජනාව අහෝසි වේ. නිෂේධ බලය වශයෙන් හඳුන්වන්නේ ද එයයි. ඇමෙරිකාව, රුසියාව, බ්‍රිතාන්‍යය, චීනය සහ ප්‍රංශය යන ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් න්‍යෂ්ටික බලය හිමි රටවල් වන අතර එක් රටක් ගෙන එන යෝජනාවක් තවත් රටක් විසින් නිෂේධ බලය යොදවා ප්‍රතික්ෂේප කරනු ලැබීම නිතරම දැකිය හැකි ය. ඊශ්‍රායලය ගාසා තීරයේ කළ ඝාතන සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයට යෝජනා ඉදිරිපත් වූ හැම අවස්ථාවකදීම ඇමෙරිකාව ඒවා නිෂේධනය කළේ ය. එසේම යුක්රේන යුද්ධය සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ රුසියාව එය නිෂේධනය කළේ ය. මේ සංවිධාන ව්‍යුහය ඇතුළත එක්සත් ජාතීන්ගේ සංවිධානයට අර්ථාන්විත මැදහත්වීමක් කිරීමට ඇති හැකියාව සීමාසහිත ය. උපන්ගෙයිම ආබාධිත බවක් ආරෝපණය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය කර ඇත. 

මීළඟ වැදගත් කාරණය නම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට තමන්ගේම වූ අරමුදලක් හෝ ආදායම් මූලාශ්‍රයක් නොමැති වීමය. මෙම සංවිධානයට ප්‍රධාන ක්‍රම තුනක් ඔස්සේ මුදල් ලැබේ. පළමු වැන්න සාමාජික රාජ්‍යයන්ගෙන් ලැබෙන දායක මුදලයි. එසේ ගෙවනු ලබන දායක මුදල් රටින් රටට සමාන නොවන අතර ඒ ඒ රටවල දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය ආදී සාධක තුනක් මත පදනම්ව එම මුදල් තීරණය වේ. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ අයවැයෙන් සියයට 21 ක් ගෙවිය යුත්තේ ඇමෙරිකාව යි. හේතුව, එය ලෝකයේ අංක එකේ ආර්ථිකය නිසා ය. අනෙක් වැදගත් කාරණය වන්නේ ඇමෙරිකාව ඇතුළු බොහෝ රටවල් දායක මුදල් නිසි වේලාවට නොගෙවීමත් හිඟ මුදල් තිබීමත් ය. ශ්‍රී ලංකාව සිය සාමාජික මුදල් සෑම වසරකම නිසි වේලාවට ගෙවයි. සියලු සාමාජික මුදල් ලැබුණත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැවරී තිබෙන කටයුතු ඉටු කිරීමට එම මුදල් ප්‍රමාණවත් නොවේ. දෙවැනි ආදායම් මූලාශ්‍රය වන්නේ මේ සංවිධානය සතු ආයතන මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා සාමාජික රාජ්‍යයන්ගෙන් හෝ පරිත්‍යාගශීලින්ගෙන් ලැබෙන මුදල් ය. තුන්වැනි ක්‍රමය යටතේ මෙම සංවිධානය විසින් ආරම්භ කරනු ලබන සුවිශේෂ ව්‍යාපෘති වෙනුවෙන් සාමාජික රටවලින් මුදල් ඉල්ලා සිටීම සිදු වේ. මෙපරිදි මූල්‍ය ස්වාධීනත්වයක් නොමැතිවීම මත ස්වභාවයෙන් ම අකර්මණ්‍ය සංවිධානයක් බවට පත්වීම වැළැක්විය නොහැකි ය. ලෝක සාමය වෙනුවෙන් රාජ්‍යයන්ගෙන් බාහිර සංවිධානයක් ස්ථාපිත කිරීමට අවැසි නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිසැකයෙන්ම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ය.

එක්සත් ජාතීන්ගේ ආයතන පද්ධතියට වැඩිම මූල්‍ය දායකත්වයක් දක්වන්නේ ද ඇමෙරිකාවයි. එහෙත් ඒ ආයතන තමන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියා නොකරන විට ඇමෙරිකාව ඒවායෙන් ඉවත් වේ. විශේෂයෙන් ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අත්තනෝමතික ලෙස තීරණ ගනී. ඔහුගේ පළමු ධුර කාලයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමෙරිකාව ඉවත් කරගත්තේ ය. යුනෙස්කෝ සංවිධානයෙන් ද ඔහු ඉවත් විය. ජෝ බයිඩන් බලයට පැමිණීමෙන් පසු නැවත එම සංවිධානවල සාමාජිකත්වය ලබා ගත්ත ද ට්‍රම්ප් දෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත් වූ පසු යළිත් වතාවක් එම සංවිධානවලින් ඉවත් විය. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ වියරු ස්වරූපයේ ක්‍රියාකාරිත්වයට එරෙහිව ඇමෙරිකානු ජනතාව අතරින්ම විරෝධතා එල්ල වී තිබේ. ලෝක සාමය සුරක්ෂිත වීමට නම්, පවතින අන්තර්ජාතික රටාව වෙනස් විය යුතු ය. ලෝක බලවත් රාජ්‍යයන් නිර්-බල කළ නොහැකි වුවත් බලතුලනයක් තිබිය යුතු ය. සෝවියට් දේශයේ බිඳවැටීම ඉතාම හානිකර ආකාරයට ලෝක බලතුලයට බලපෑවේ ය. මගේ විශ්වාසය නම්, මේ අසාධාරණ අධිරාජ්‍යවාදී ලෝක රටාව වෙනස් නොවුණ හොත් මානව සංහතියම යම් දිනක විනාශ විය හැකි බව ය.

සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ