
බදු පිට බදු පහර එල්ල කරන ට්‍රම්ප් සාධකයට විකල්පයක් ලෙස ගෝලීය වශයෙන් නව සන්ධාන ගොඩනැගෙන ලකුණු පෙන්නුම් කෙරෙමින් තිබේ. ට්‍රම්ප්ගේ බදු මුගුරෙන් රිදෙන්නට බැට කෑ පාර්ශ්ව දෙකක් වසර 35ක් පුරා පැවති වෙෙළඳ සබඳතා යටතේ වසර 20 කට අධික කාලයක් පුරා පවත්වාගෙන ආ නිදහස් වෙළෙඳ සාකච්ඡා අවසන් කරමින් සාර්ථක ලෙස නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීම ඉකුත් සතියේ ලොව වඩාත් කතා බහට ලක්වූ පුවතයි. ඒ හා සමගාමීව පෝලිමට චීන වන්දනාවේ යන බටහිර නායකයන්ගේ රාජ්‍ය චාරිකා පිළිබඳව ද ලෝකයේ කතාබහට ලක්වූයේ මෙතෙක් ලොව සන්ධානගතව පැවති බටහිර බල කේන්ද්‍රය විකල්ප විභව කරා යොමුවීමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙමින් පවතීද යන්න ගැන විවිධ විශ්ලේෂණාත්මක සටහන් විවිධ විද්වත් හා පරිචයකින් යුත් මූලාශ්‍ර ඔස්සේ මාධ්‍ය වේදිකාවට ගලා ඒමෙනි. ඒ සියලු විශ්ලේෂණ මගින් පැහැදිලි වන කරුණක් ඇත.
එනම් ගෝලීය වෙළෙඳ රටාව ඉතිහාසගත සන්ධිස්ථානයක් කරා යොමුවෙමින් පවතින බවයි. ට්‍රම්ප් බදු දැල මගින් ගෝලීය වෙෙළඳාම පැරණි සංවෘත ක්‍රමෝපායයන් කරා ඇදගෙන යද්දී නිදහස් වෙළඳාම පෝෂණය කරන, ඉන් විශාල වාසි ලබන බලවත් රටවල් තමන් රැඳී සිටින දේශපාලන කඳවුරු මායිම් ඉක්මවා යමින් නව සන්ධානගතවීම් සඳහා උත්සුක වන බවක් පෙන්නුම් කරයි. ට්‍රම්ප් ද මෙය ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇති අතර එය වැළැක්වීමට ඔහු උත්සාහ දරන්නේද උපායශීලී බවෙන් නොව ඍජු තර්ජනවලිනි. හොඳම උදාහරණය කැනඩා අගමැති මාක් කානිගේ චීන චාරිකාවයි. ඔහු මීට දෙසතියකට පෙර රාජ්‍ය චාරිකාවක් සඳහා චීනයට ගිය අතර එම අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඍජු තර්ජනයක් එල්ල කරමින් කියා සිටියේ චීනය සමග වෙළෙඳ ගිවිසුමකට එළැඹෙන්නේ නම් කැනඩාවට සියයට100ක තීරු බදු පැනවීමට තමා සූදානම් බවයි.
ට්‍රම්ප් මේ තර්ජනය කරන්නේ කැනඩා අමෙරිකා වෙළෙඳ සාකච්ඡා සඳහා වේදිකාව සකස් වී ඇති මොහොතකයි. කැනඩා අගමැති මාක් කානි අමෙරිකානු ජනාධිපතිවරයා දිගින් දිගට කළ බලපෑම් ගණන් නොගෙන සිටි ස්වභාවයක් පෙන්නුම් කළද මෙවර තර්ජනය හමුවේ ඔහු කියා සිටියේ චීනය සමග පූර්ණ වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ සූදානමක් නැති බවයි. ඒ ට්‍රම්ප්ගේ බදු මුගුරේ ශක්තියයි.
කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ බදු මුගුරේ සැර බාල කරන නව අන්තර්ජාතික සන්ධාන බිහිවීම අර්ථ දැක්විය හැක්කේ ඕනෑම ක්‍රියාවකට එරෙහි ප්‍රතික්‍රියාවක් පවතින්නේ යන විද්‍යාත්මක මූලධර්මය පදනම් කරගනිමිනි. ඉන්දියා යුරෝපා නිදහස් වෙළෙඳ ගිවිසුම, කැනඩා චීන නව වෙළෙඳ සම්මුතිය හා බ්‍රිතාන්‍ය චීන නව ආර්ථික සබඳතා යන සියලු සාධක අමෙරිකානු බලපෑම්වලට විවිධ මුහුණුවරින් අභියෝග එල්ල කෙරෙන සාධක බවට පත්ව තිබේ. ඉන්දියා යුරෝපා නිදහස් වෙළෙඳ ගිවිසුම ඒ අතරින් මුල් තැනක් ගනී. එය ට්‍රම්ප්ගේ බදු අභියෝගයට පිළියමක් ලෙස කඩිමුඩියේ ඇතිකරගත් දෙයක් නොවේ. ඉන්දියාව හා යුරෝපය වෙෙළඳාම ශක්තිමත් කිරීම ගැන තිරසර අවධානයක් යොමු කළේ වත්මන් යුරෝපා සංගම් ආකෘතිය බිහිවීමට පෙර යුරෝපා ප්‍රජාව පැවති කාල වකවානුවේදීය. එනම් වසර 35කට පෙරාතුවයි. දීර්ඝ හා දුෂ්කර සාකච්ඡා වට ගණනාවකින් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් පසුව ඉන්දියාවත් යුරෝපා සංගමයත් මේ ගිවිසුමට එළැඹියේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා දෙපාර්ශ්වයටම මේ ගිවිසුම අත්‍යවශ්‍යව පවතින අවස්ථාවකයි. විශේෂයෙන්ම ඉන්දියාවට මෙය වැදගත් වන්නේ “මෝදි මගේ මිතුරා “ කියමින් ඔළුව අතගා සියයට50ක බදු ටොක්කක් ඇන්න ට්‍රම්ප්ට යම් අභියෝගයක් එල්ල කිරීමට ඉන් ලැබෙන ඉඩ ප්‍රස්තා නිසාය.
ඉන්දු යුරෝපා බදු ගිවිසුම, අතීතය හා වර්තමානය
කලින් ඡේදයේ සඳහන් කළ පරිදි ඉන්දියාවත් යුරෝපයත් අතර වෙළෙඳ සාකච්ඡාවල ඉතිහාසය 1991 තරම් ඈත වකවානුවක් කරා දිවයයි. සාකච්ඡාවලට මූලාරම්භයක් ලබා දුන්නේ ඉන්දියාවේ වත්මන් ආර්ථික පුනරුදයේ නියමුවා වූ එවකට සිටි මුදල් ඇමති ආචාර්ය මන්මෝහන් සිං. ඔහු පසුව ඉන්දියාවේ අගමැති පදවියට පත්වූ අතර වත්මන් වෙළෙඳ ගිවිසුමට මුල පුරන කාලයේ ඔහු, එවකට අග්‍රමාත්‍ය නරසිංහම් රාඕගේ ප්‍රධානත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂ රජයේ මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළේය. 1991-1994 නව වෙළෙඳ සම්බන්ධතා සමාරම්භක යුගයෙන් පසුව දෙපාර්ශ්වය වෙළෙඳ සබඳතා ඉදිරියට ගෙනයාම ගැන නිල සාකච්ඡා ආරම්භ කළේ 1995 වසරේදී එවකට පැවති වෙළෙඳ හා තීරු ගාස්තු පිළිබඳ පොදු සම්මුතිය හෙවත් ගැට් ගෝලිය වෙළෙඳ රාමුව යටතේය. පසු කාලීනව ලෝක වෙළෙඳ සංවිධානය දක්වා වර්ධනය වූයේ මේ ගැට් සම්මුතියයි.
BTIA හෙවත් ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන ගිවිසුම ගැන නිල සාකච්ඡා 2007 වසරේදී ආරම්භ වූ අතර වාහන හා යන්ත්‍රෝපකරණ, ඖෂධ හා ජෛව තාක්ෂණ මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සාකච්ඡා ඉදිරියට ගෙනයාමට දෙපාර්ශ්වය පියවර ගත්තේ ඉන්දියාව ක්‍රමයෙන් ආර්ථික බලවතෙකුගේ තත්ත්වය අත්කරගැනීම හා බටහිරට වඩාත් විශ්වාසය තැබිය හැකි මහා වෙළෙඳ පොළක් බවට පත්වීමේ ප්‍රවණතාවද සමගයි.
ද්විපාර්ශ්වික සාකච්ඡා 2016 වසරේ සිට කඩිනම් කරනු ලැබූ අතර 2016-2020 වකවානුවේ ද්විපාර්ශ්වික වෙළෙඳ බාධක රැසක් පිළිබඳව එකඟතාවන්ට පැමිණීමට දෙපාර්ශ්වයට හැකි විය. පූර්ව කොවිඩ් සමයේ එළැඹි එකඟතා ලෙස, තරගකාරිත්වය පිළිබඳ රාජ්‍ය සහයෝගය, තිරසර සංවර්ධනය හා බැඳුණු කරුණු, ඖෂධ හා තොරතුරු තාක්ෂණ වැනි ක්ෂේත්‍ර සඳහා වන විවෘත භාවය ආදිය පෙන්වා දිය හැක. 2021-2024 පශ්චාද් කොවිඩ් සමයේ අවසන් සාකච්ඡාවලින් පසු 2026 ජනවාරි 27 වෙනිදා එනම් ඉන්දියාවේ 77 වැනි ජනරජ දිනයට පසු දිනයේ යුරෝපා සංගමය සමග ඉතිහාසගත වෙළෙඳ ගිවිසුමට එළැඹීමට ඉන්දියාවට හැකි විය. යුරෝපා සංගමයේ සභාපතිනි උර්සුලා වෑන්ඩර් ලියෙන් හා යුරෝපා කවුන්සිලයේ සභාපති අන්තෝනියෝ කොස්තා මේ අවස්ථාවට යුරෝපා සංගමයේ නියෝජිතයන් ලෙස දායක වූහ.
මහා මවු ගිවිසුම
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසන පරිදි මේ ගිවිසුම මවු ගිවිසුමක් වන්නේ ඇයි? ඉන් ආවරණය වන ක්ෂේත්‍ර කවරේ ද? ඉන්දියාව යුරෝපා ආනයන සඳහා පනවා තිබූ තීරු ගාස්තු සියයට86 ක් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත. යුරෝපා සංගමය ඉන්දියාවෙන් යුරෝපයට කෙරෙන ආනයන සඳහා සම්පූර්ණයෙන් තීරුගාස්තු ඉවත් කළ ප්‍රතිශතය සියයට90කි. ඉහළ පෙළේ යුරෝපා නිෂ්පාදන සඳහා ඉන්දීය වෙළෙඳපොළ විවෘත වන අතර ඉන්දීය අපනයන සඳහා සමස්ත වශයෙන් යුරෝයෙන් ලැබෙන බදු කපාහැරීම් සියයට99කි. යුරෝපා නිෂ්පාදන සඳහා කෝටි 145ක පාරිභෝගික ප්‍රජාවගෙන් යුත් මහා වෙළෙඳපොළක් විවෘත වන අතර ඉන්දීය නිෂ්පාදන සඳහා යුරෝපයේ කෝටි 45ක ඉහළ පාරිභෝගික ප්‍රජාවගෙන් යුත් වෙළෙඳපොළක් විවෘත වේ. ඉන්දිය ඇඟලුම් හා ඖෂධ සඳහා යුරෝපා වෙළෙඳපොළට බදු රහිතව පිවිසිය හැක.
යුරෝපා වාහන ආනයනය සඳහා ඉන්දියාව පනවා තිබූ සියයට110 බදු වසර 5 ක කාලයක් තුළ සියයට10 දක්වා අඩු කෙරේ. මූලික වශයෙන් වාහන 250000 දක්වා මේ සහනය බලපැවැත්වේ. ඉන්දීය ඇඟලුම් හා ඖෂධ සඳහා කිසිදු බද්දකින් තොරව යුරෝපා වෙළෙඳපොළට පිවිසීමේ අවස්ථාව ලබාදී තිබේ. යුරෝපා වයින් හා සෙසු මත්පැන් සඳහා සියයට120ක් ව පැවති බද්ද සියයට20 දක්වා අඩු කෙරේ. සංවේදී නිෂ්පාදන හැර දෙපාර්ශ්වයේ සෙසු කෘෂි නිෂ්පාදන සඳහා පූර්ණ බදු සහන යටතේ වෙළෙඳපොළ පිවිසුම් ලබාදී තිබේ.
අමෙරිකාව ඉන්දීය ඉහළ වෘත්තිකයන් සඳහා දොර වසා ඇති පසුබිමක යුරෝපය ඉන්දීය ඉහළ වෘත්තිකයන් සඳහා කෙටිකාලීන රැකියා අවස්ථා සැලසීමට ඒකඟ වී ඇත. මේ සමස්ත සහන යටතේ ඉන්දියාව වසර 5ක් තුළ අමෙරිකානු ඩොලර් බිලියන 50 ක අපනයන වර්ධනයක්ද යුරෝපා සංගමය වාර්ෂිකව යූරෝ බිලියන 4 ක බදු සහන ද අත්කර ගනී. මේ යටතේ ඉන්දියාවේ යූරෝ බිලියන 2 ක වෙළෙඳ වටිනාකමකින් යුත් නිදහස් වෙළෙඳ කලාපයක් බිහි කෙරෙන අතර දිගු කාලීන වශයෙන් එය වාසිදායක අංගයක් ලෙස යුරෝපය සලකන්නේ China-Plus-One” Strategy හෙවත් චීනයට විකල්ප මහා නිෂ්පාදනාගාරයක් ආසියාවේ බිහිකිරීමට එයින් අඩිතාලම වැටීම නිසයි. ඉන්දියාවට මෙහිදී අවාසිදායක තත්ත්වයන් කිහිපයක්ද ඇත. ඉන් පළමුවැන්න යුරෝපා හරිත බද්ද හෙවත් Carbon Border Adjustment Mechanism (CBAM) බද්ද නිසා ඇතැම් ඉන්දීය නිෂ්පාදනවලට අවාසිදායක තත්ත්වයක් පවතී. උදාහරණයක් ලෙස ඉන්දීය වානේ කර්මාන්තය යුරෝපා රෙගුලාසිවලට අදාළ නොවන නිසා පූර්ණ බදු සහන යටතේ වුවද ඉන්දීය වානේවලට සියයට20ක පමණ කාබන් බද්දක් යුරෝපා වෙළෙඳපොළේදී ගෙවීමට සිදුවනු ඇත. අනෙක් අතට යුරෝපා කම්කරු නීති හා ඉන්දීය කම්කරු නීති අතර විෂමතා නව ගිවිසුම යටතේ ඇතැම් ක්ෂේත්‍රවලදී ආවරණය නොවන අතර ඒම නිෂ්පාදන සඳහා යුරෝපා වෙළෙඳපොළ පිවිසුම ගැටලුසහගත වනු ඇත.
ඉන්දීය වාහන නිෂ්පාදකයන් දුෂ්කරතාවට පත්වන්නේ සියයට110ක් ව පැවති යුරෝපා වාහන බද්ද සියයට10 දක්වා අඩු කිරීමයි. මේ නිසා ඉන්දීය වාහන සඳහා නව අභියෝගයක් යුරෝපා නිෂ්පාදනවලින් එල්ල වීමේ ඉහළ ප්‍රවණතාවක් ඇත. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වයින් නිෂ්පාදකයන්ද දුෂ්කරතාවට පත්වන්නේ බදු සහන යටතේ යුරෝපා වයින් ඉන්දීය වෙළෙඳපොළ ආක්‍රමණය කරනු ඇතැයි යන භීතිකාවත් සමගයි. සමස්තයක් වශයෙන් ගත්කල යුරෝපා නිෂ්පාදනවල සීමිත ස්වභාවය හා ඉන්දීය නිෂ්පාදන ධාරිතාව හා වර්ගීකරණය ඉහළ මට්ටමක පැවතීම යන සාධක සැලකිල්ලට ගැනීමේදී ඉන්දීය අභ්‍යන්තර වෙළෙඳපොළට යුරෝපා නිෂ්පාදන බදු සහන යටතේ අවතීර්ණ වීම විශාල ප්‍රශ්නයක් නොවනු ඇත. ඉන්දියාව ඉතා ඉහළ ආරක්ෂණවාදී ක්‍රමවේද ඔස්සේ තම නිෂ්පාදකයන් රකින නිසා මේ ගිවිසුමෙන් ඉන්දීය නිෂ්පාදකයන් අපහසුතාවට පත්වීම වැළැක්වීමට දීර්ඝ සාකච්ඡාවලදී ඉන්දියාව තම උපරිම ශක්තිය යෙදවූ බව එම සාකච්ඡාවල වාර්තා සැලකීමේදී පෙනී යයි. මේ නිසා ඉන්දියාවට යුරෝපා ගිවිසුම වාසි අවාසි සංසන්දනාත්මක තුලනයේදී වාසි පැත්ත වැඩි බවක් පෙනී යයි.
අමෙරිකාවට අභියෝග කිරීම
ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉන්දියාවට සියයට50ක තිරුබදු පැනවුවද ඉන්දියාව නොසැළී සිටියේ අමෙරිකානු බලපෑම පිටුදැකීමට අවශ්‍ය තත්ත්වයන් ඉතා ඉක්මනින් සපුරා ගනිමින් සිටීම නිසාය. මේ ගිවිසුමෙන් ඉන්දියාවටත් යුරෝපයටත් අමෙරිකානු වෙළෙඳපොළ යම් තාක් දුරකට අතහැර ඉදිරියට ගමන් කළ හැක. අමෙරිකානු වෙළෙඳපොළෙන් ක්‍රමයෙන් ඈත්වීම අනුව බදු බලපෑම අවම කරගැනීමට දෙපාර්ශ්වයටම ඉඩ ලැබේ. ට්‍රම්ප් කුමන ප්‍රකාශයක් කළද ඉන්දියාව හා යුරෝපා සංගමය වැනි දැවැන්ත බලවේග සම්පූර්ණයෙන්ම අතහැර යාමට අමෙරිකාවට ඉඩක් නැත. ට්‍රම්ප්ගේ බදුවල අන්තර්ගත වන්නේ කේවල් කිරීමයි. එයින් අමෙරිකාවට වඩාත් වාසිදායක ගිවිසුම්වලට එළැඹීමට ඇති ප්‍රවණතාව ඉහළ යයි. එහෙත් ඉන්දු යුරෝපා ගිවිසුම වැනි සම්මුතීන් හරහා කේවල් කිරීමේ බලය අමෙරිකානු පාර්ශ්වයෙන් ප්‍රතිවාදී පාර්ශ්වයට යොමුවේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දු අමෙරිකා වෙළෙඳ සාකච්ඡාවලදී ඉන්දියාව මේ තුරුම්පුව පාවිච්චි කරනු ඇතැයි විශ්වාස කෙරේ.
ශ්‍රී ලංකාවට ඇති බලපෑම
ඉන්දු යුරෝපා වෙළෙඳ ගිවිසුම ශ්‍රී ලංකාවට අවාසි මෙන්ම ඇතැම් වාසිද ගෙන දෙන ලක්ෂණ පෙන්නුම් කරයි. යුරෝපය ශ්‍රී ලංකාවේ ඉහළතම විදෙස් වෙළෙඳපොළ දෙකෙන් එකකි. අනෙක අමෙරිකාවයි. 2025 වසරේ වෙළෙඳ දත්ත අනුව යුරෝපය සඳහා ශ්‍රී ලංකාවෙන් අපනයනය කළ ඇඟලුම් ප්‍රමාණාත්මකව සියයට12.48 කින් ඉහළ ගිය අතර සමස්ත වටිනාකම ඩොලර් බිලියන 1.58ක් දක්වා වර්ධනය විය. අමෙරිකානු වෙළෙඳපොළේද ශ්‍රී ලංකාවට අනෙක් තරගකරුවන් අබිබවා ඉදිරියට ඒමට හැකි වූයේ අමෙරිකානු තීරුබදු සියයට20 මෙරට සෙසු වෙළෙඳ තරගකරුවන්ට සාපේක්ෂව සාධනීය මට්ටමක පැවතීමයි. එමෙන්ම යුරෝපා වෙළෙඳපොළේද ජී ඒස් පී + සහනය යටකේ තීරු ගාස්තු නොමැතිව අපනයන සිදු කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ ප්‍රස්ථා ලැබී තිබේ.
දැන් තත්ත්වය වෙනස්ය. ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රධාන තරගකරුවකු වූ ඉන්දියාව යුරෝපයෙන් පූර්ණ බදු සහන ලබා ඇත. ශ්‍රී ලංකාවද පූර්ණ බදු සහන ලබා තිබේ. එහෙත් බදු සහන යටතේ යුරෝපා වෙළෙඳපොළේ ඇතිවිය හැකි ඉන්දීය රැල්ල අපේ ඇඟලුම් නිෂ්පාදන සඳහා අභියෝගයක් එල්ල කරනු ඇත. මෙරට ඇඟලුම් නිෂ්පාදකයන්ගේ අවධානය දැනටමත් මේ ගැන යොමුවී තිබේ. ඇඟලුම් පමණක් නොව මෙරට තේ හා මත්ස්‍ය නිෂ්පාදන යන ක්ෂේත්‍රවලටද ඉන්දියාව සමග ඇතිවන තරගකාරිත්වයට මුහුණ දීමට සිදුවනු ඇත. වාසි සැලකූ විට ප්‍රධානතම හා එකම වාසිය ලෙස දැනට පෙනී යන්නේ නව බදු සහන යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ලබාගැනීමේදී ඉහළ ගුණාත්මක බවකින් යුත් අමුද්‍රව්‍ය පූර්ණ බදු සහන යටතේ ගෙන ඒමට ශ්‍රී ලංකාවටද ඉඩ ලැබීම නිසයි.
චීන-බටහිර නව සබඳතා
ඩොනල්ඩ් ට්‍රම්ප් තීරුබදු යොදාගනිමින් ලොවට කළ අභියෝගය නිසා අමෙරිකාවට සමීපව සිටි රටවල් විකල්ප ධාරාවන් වෙත යොමුවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇත. උදාහරණයක් වශයෙන් චීන සාධකය කලින් සඳහන් කළ පරිදිම පෙන්වා දිය හැක. 2026 ජනවාරි මාසයේ පමණක් දකුණු කොරියාව, කැනඩාව, ෆින්ලන්තය හා බ්‍රිතාන්‍යය යන රටවල රාජ්‍ය නායකයෝ චීනයේ චාරිකා කළහ. ඒ නිකම්ම වන්දනා ගමන් නොව චීනය සමග විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගිතාව නැංවිය හැකි මාර්ග සොයා බැලීමට හා කඩිනමින් ඊට අවතීර්ණ වීමටයි. මෙය අවබෝධ කරගත් චීනයද පුළුල් සහන ක්‍රියාක්මක කර ඇත. බ්‍රිතාන්‍ය ජාතිකයන්ට වීසා සහන ලබාදීම අගමැති කියර් ස්ටාමර්ගේ චාරිකාව තුළදීම ප්‍රකාශයට පත් කිරීම ඊට කදිම උදාහරණයකි. මේ අනුව 2026 යනු ඉතා තීරණාත්මක පරිවර්තනීය කාලසීමාවක් බව උපකල්පනය කළ හැකිය.
ප්‍රසාද් කෞශල්‍ය
දොඩන්ගොඩගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd