මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීම මේ දිනවල ශ්‍රී ලංකාවේද පුළුල් ලෙස කතාබහට ලක්වන මාතෘකාවකි. පාතාල ඝාතන හා මෙහෙයුම් මැඩලීම වර්තමානයේ මෙන්ම අතීතයේද ආණ්ඩු හමුවේ පැවති අභියෝගයකි. ඒ අතරතුර මෑත ඉතිහාසයේ ලොව ලොකුම පාතාල මර්දන මෙහෙයුම ගැන ඉකුත් සතියේ වාර්තා වූයේ මෙක්සිකෝවෙනි. අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු අසල්වැසියා වන මෙක්සිකෝවේ සිටි ලොකුම පාතාල “ බොසා” එල් මෙන්චෝ අමෙරිකා-මෙක්සිකෝ ඒකාබද්ධ හමුදා මෙහෙයුමකදී මියයාම හා ඉන් පසුව ඇතිවූ සිද්ධි දාමය පාතාල බලය හා එය මැඩලීමේ අවශ්‍යතාව ගැන ලෝකය පුරා කතිකාවතක් ඇතිකිරිමට මුල්විය. එල් මෙන්චෝගේ මරණයෙන් පෙන්නුම් කෙරුණේ මෙක්සිකෝ පාතාලයේ ඇති බලවත් භාවයයි. එය එක් අතකින් මෙක්සිකෝවේ ස්ථාවර බවට තර්ජනයක් එල්ල කළද අනෙක් අතින් පාතාල ක්‍රියාකාරිත්වයේ විවෘත වපසරිය අවබෝධ කරගනිමින් මෙහෙයුම් සැලසුම් කිරීමට බලධාරීන්ට ලැබුණු වැදගත් අවස්ථාවක් සේ සැලකිය හැක. එමෙන්ම එල් මෙන්චෝ ඝාතනය ලෝකය පුරා පාතාල හා මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලට විශාල උත්තේජනයක් ලබාදුන් සිද්ධියක් ලෙසද සැලකිය හැකිය. ඒ මන්ද යත් එල් මෙන්චෝ සැලකුණේ නීතියේ හස්තයට කිසිදා ළඟාවිය නොහැකි අනභිභවනීය ඉලක්කය ලෙසය. 

එවැනි ඉලක්කයක් ගැනීමට ආරක්ෂක අංශ සමත්වීම යනු එක් අතකින් පාතාල-මත් කල්ලිවල චිත්ත ධෛර්යය අඩාළ වීමක් වන අතර අනෙක් අතින් කෙටි කලකට‌ පාතාල ක්‍රියාකාරකම් අඩාළ වීමකට මුල්වන සාධකයක් සේ සැලකේ. එහෙත් එය දිගුකාලීන බලපෑමක් මත් වෙළෙඳාමට ඇති නොකරන්නේ,“ප්‍රධාන විධායක නිලධාරියා මියගියත් සමාගම් ජාලය හා නිෂ්පාදනාගාර ජාලය බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමේ”පසුබිමක් මේ ජාවාරමෙහි පවතින බැවිනි. අනෙක් අතට එල් මෙන්චෝගේ කල්ලිය වහා ප්‍රතිසංවිධානය වූ බවක් පෙන්විමට උත්සාහ දැරුවේ මෙක්සිකෝවේ ප්‍රාන්ත 31න් 20කම තම සන්නද්ධ මැරයන් වීථි බස්වා රජයේ හා පොදු මහජනතාවගේ දේපල ගිනිතබා විනාශ කරමිනි. ඒ පණිවුඩය මෙක්සිකෝ රජයට ද ඍජුවම දීමට කල්ලිය උත්සුක වූයේ එල් මෙන්චෝගේ බළකොටුව වන ජලිස්කෝ පළාතේ සියලු ජාතික ආරක්ෂක බලකා කඳවුරුවලට පහරදී සොල්දාදුවන් 25 දෙනෙකු ඝාතනය කරනු ලැබීමෙනි. එමෙන්ම කලින් සදහන් කළ පරිදි මෙක්සිකෝවට මෙන්ම ලතින් අමෙරිකානු කලාපයේ මත්විරෝධී සටනේ ප්‍රධාන මෙහෙයුම්කරු වන අමෙරිකාවටද මත්-පාතාලයේ බලය ක්ෂණිකව අවබෝධ කරගැනීමේ අවස්ථාවක් මේ පාතාල ප්‍රහාරය හමුවේ ලැබි තිබේ. ප්‍රශ්නය වන්නේ ඇතැම් ප්‍රදේශවල නීතිය හා සාමය ස්ථාපනය කිරීමට තවමත් මෙක්සිකෝ  ආරක්ෂක අංශවලට නොහැකිවිමය.

එල් මෙන්චෝ යනු

සරලව කිවහොත් ලොව ප්‍රබලතම මත්කල්ලි ජාවාරම් නායකයකු මෙන්ම අමෙරිකාවට හා මෙක්සිකෝවට නීතියේ හස්තය යටතට ගැනීමට අවශ්‍යව සිටි දරුණුතම අපරාධකරුවා මොහුය. බොහෝ අපරාධකරුවන්ගේ ජීවන කතාව මෙන්ම එල් මෙන්චෝගේ ජීවන කතාවද ඇරඹෙන්නේ දරිද්‍රතාව හා සමාජ අසාධාරණය, අධ්‍යාපන වරම් නොලැබීම යනාදී සිද්ධි දාමයකිනි. ඔහුද අප දන්නා මරුසිරා හා පොඩිවිජේ මෙන් බිහිවූයේ දුෂ්කර ගම්බද ගොවිබිමකිනි. 1966 උපත ලැබු එල් මෙන්චෝගේ සැබෑ නම නෙමෙසිකෝ ඔස්ගුවේරා සෙර්වාන්ටෙස්ය. එල් මෙන්චෝ යනු මම කලින් සඳහන් කළ ලංකාවේ උදාහරණ මෙන් සමාජය ඔහුට ආරෝපණය කළ නාමයයි. මෙන්චෝ යනු නෙමෙසිකෝ යන මුල් නමට මෙක්සිකානු ආමන්ත්‍රණ ක්‍රමවේදය අනුව හිමිවෙන ආමන්ත්‍රණයයි. එය හරියට අපේ සමාජය නිර්මාණය කරන සිරා, විජේ, ලැසී, පද්මේ වැනි පදයකි. එකම වෙනස අපේ මෙන් අපරාධකරුගේ නාම කොටසට පෙර විශේෂණයක් එක් නොවීමය. එල් මෙන්චෝ පිරිමි දරුවන් හයදෙනෙකුගෙන් යුත් ගොවි පවුලක උපත ලැබිය. පස්වන ශ්‍රේ‌ණිය වනවිට තවදුරටත් අධ්‍යාපනයට මුදල් නැති නිසා අලිගැටපේර ගොවිපොළක ගොවි සහායකයෙක් ලෙස ජීවන සටන ඇරඹීය. තරුණ විය පසුකරද්දී ඔහුට ඇතැම් මෙක්සිකෝ තරුණයන්ට මෙන් අමෙරිකාවට නීතිවිරෝධි සංක්‍රමණිකයෙක් ලෙස පලායාමේ අවස්ථාවක් හිමිවිය. 

1980 දශකයේ මැද භාගයේදි කැලිපෝනියා ප්‍රාන්තයට පිවිසි මෙන්චෝ,  සැන් ෆ්‍රුන්සිස්කෝ නුවර දී අපරාධ ලෝකයට පිවිසුණේ පොඩි හොරෙකු හා හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහකයකු ලෙසය. 1990 දශකයේ මැද භාගයේදී අමෙරිකානු පොලිසියට කොටුවුණ ඔහු තෙවසරක සිරදඬුවමකින් පසු යළි මෙක්සිකෝවට පිටුවහල් කරනු ලැබීය මෙක්සිකෝවට පැමිණි ඔහුට පුදුමයකට මෙන් එරට පොලිසියේ කනිෂ්ඨ නිලධාරියෙකු ලෙස සේවය කිරිමේ වරම හිමිවිය. 

එය ඔහුට අපරාධ ලොවට පිවිසීමට ලැබුණු නිදහස් බලපත්‍රයකි.  පහේ පන්තියට ඉගෙන ගත්තත් “මොළකාරයෙකු වූ මෙන්චෝ පොලිසියේදී, අපරාධ කල්ලි මර්දනය සදහා යොදාගන්නා මෙහෙයුම් ක්‍රමවේද අධ්‍යයනයටත්, පොලිසියේ දූෂිත ප්‍රධානීන් හා ඔවුන් නම්මවා ගන්නා ක්‍රමවේද ගැන සොයා බැළීමටත්, අතුරු හමුදා ශෛලියේ අවි පුහුණුවක් හා මෙහෙයුම් පුහුණුවක් ලැබිමටත් සමත්වෙයි.  ඒ අනුව කෙටි කලකින් ඔහු පොලිස් සේවය අතහැර තමා සේවය කළ ජෙලිස්කෝ පළාතේ දරුණුතම හා ප්‍රබලතම මත් කල්ලිය වූ , “මිලෙනිලෝ” හා එක් වූයේ සිකාරියෝ නමින් හදුන්වනු ලබන ප්‍රහාරක ඝාතකයෙකු හා කල්ලියේ නායකයා වූ ඉග්නාෂියෝ කොරොනෙල්ගේ ආරක්ෂකයෙකු ලෙසය. 2010දී ඉග්නාෂියෝ ප්‍රහාරයකින් මියගිය අතර මිලෙනිලෝ කල්ලිය ඉන් පසු කැබලිවලට වෙන්විය. කල්ලියේ ප්‍රබලතම අංශය වූ “ලොස් මාටා සේටාස්” ඝාතක කණ්ඩායම මෙන්චෝගේ යටතේ සිටි බැවින් ඔහු එම කොටසද සමග වෙන්ව 2011දී  “ජෙලිස්කෝ නව පරම්පරාවේ මත් කල්ලිය” යන අර්ථයෙන් සී ජේ එන් ජේ යන මැර හමුදාව ස්ථාපනය කළේය එය වර්තමානයේ ඔහු මියයන අවස්ථාව වන විට මෙක්සිකෝවේ මෙන්ම ලතින් අමෙරිකාවේ ප්‍රබලතම මත් කල්ලියක් වූ අතර එහි සාමාජික සංඛ්‍යාව 33000ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ. මෙක්සිකෝවේ ප්‍රාන්ත 31න් 27ක එම කල්ලියේ බලය පැතිර තිබේ.  එහි වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් කෝටි 5000 ඉක්මවන බවට අමෙරිකානු බුද්ධි අංශ විසින් ගණන් බලා ඇත. මෙන්චෝගේ පෞද්ගලික වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 500 ඉක්මවයි. කල්ලියේ අරමුදල් පාලනය කරනු ලබන්නේ මෙන්චෝගේ බිරිඳ රොසලෙන්ඩා ගොන්සාලෙස් විසිනි. සන්නද්ධ අංශය පුත්‍රයා වන ජුවාන් කාලෝස් වැලෙන්සියා විසින් පාලනය කරනු ලබයි. ඉන් අදහස් වන්නේ කල්ලියේ නායකත්වය නොමැති වුවද එහි පහළ ස්තර ස්ථාවර නිසා ඔවුන්ගේ මත් මෙහෙයුම්වලට විශාල බලපෑමක් ඇති නොවන බවයි. එහෙත් සාමාන්‍යයෙන් සිදුවන පරිදි සාමාජිකත්වයෙන් කොටසක් කැඩී ගොස් කල්ලිය ඇතැම් විට කැබලි කිහිපයකට වෙන්වීමටත්, වත්කම් වෙනුවෙන් වෙනම සටනක් ඇරඹීමටත් ඇති ඉඩකඩ ඉහළ යයි. එහෙත් එහි අයහපත් ප්‍රතිළුල රුසකි. ප්‍රධාන වශයෙන්ම කල්ලි යුද්ධයක් ඇරඹීම නිසා රට තුළ ප්‍රචණ්ඩත්වය ඉහළ යාමක් දක්නට හැක. එමෙන්ම මෙන්චෝගේ මරණයෙන් ඇතිවු කැළල මකාගැනීමට අපරාධකරුවන් වඩාත් පුළුල් ලෙස ප්‍රචණ්ඩත්වයට අවතීර්ණ වීමක් දක්නට හැක.  මෙක්සිකෝවේ දූෂිත පොලිස් හා ආරක්ෂක මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද මත් ජාලයේ වැටුප් ලබන බව ප්‍රසිද්ධ රහසකි.  

වත්මන් ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෞම් 2024 වසරේදි “ ඔපරේසියොන් එන්ජාම්බේ”  හෙවත් රංචුව යන අරුතෙන් යුත් රාජ්‍ය දූෂණ මර්දන මෙහෙයුම ඇරඹුවේ ඒ නිසාය. මේ යටතේ දැනට නගරාධිපතිවරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා ආරක්ෂක අංශ අධ්‍යක්ෂවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් 60 කට අධික සංඛ්‍යාවත් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණ ප්‍රතිසංස්කරණ, දූෂණ විරෝධී කාර්යාංශය ශක්තිමත් කිරීම, රාජ්‍ය ඔත්තු සේවය ප්‍රතිසංවිධානය කිරීම හා පොලිසියේ වෘත්තීය භාවය නැංවීම වැනි පියවරද ජනාධිපතිනිය ප්‍රමුඛ රජය විසින් ගනු ලැබ ඇත. කිසිදා ළංවිය නොහැකි මිනීමෝරෙකු බඳු එල් මෙන්චෝ වැන්නෙකුට ළංවීමට මෙක්සිකෝ ආරක්ෂක අංශ වලට හැකිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙන් යැයි උපකල්පනය කළ හැකි වන්නේ මෙන්චෝ ගැත්නන්ගේ රාජ්‍ය ජාලය අඩපණ වීමේ තත්ත්වයක් පැහැදිලිව දක්නට ඇති නිසාය. එමෙන්ම අමෙරිකාව මෙහිදී ලබාදුන් මෙහෙයුම් නායකත්වය ප්‍රධාන සාධකයයි.  ඒහෙත් මෙන්චෝ යනු ලතින් අමෙරිකානු මත් ජාලය නම් සාගරයෙන් දිය පොදක් පමණි.

ලතින් අමෙරිකානු මත් ජාලයේ වපසරිය

ලොව ප්‍රබලතම මත් කල්ලි ක්‍රියාත්මක වන්නේ ලතින් අමෙරිකාවේ බව නොරහසකි. මෙක්සිකෝවේ සන්නද්ධ බලය අතින් මුල් තැනක සිටින්නේ  මෙන්චෝගේ සී ජේ එන් ජී කල්ලිය වුවද වැඩිම මෙහෙයුම් ජාලයකට හිමිකම් කියන්නේ සිනහෝලා කල්ලියයි. 2017දී මෙක්සිකෝවෙන් අමෙරිකාවට පිටුවහල් කරනු ලැබු අති ප්‍රබල කල්ලි නායක හා අමෙරිකාවේ සහ මෙක්සිකෝවේ මරණ 34000කට වගකිව යුතු යැයි සැලකෙන එල් චාපෝට අයත්ව තිබූ මේ කල්ලිය දැනට මෙහෙයවනු ලබන්නේ ඔහුගේ පුතුන් විසිනි. ඔවුන් අතර ගැටුම් පැවතුණත් සිනහෝලා කල්ලියේ අන්තර්ජාතික ජාවාරම් ජාලය රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් පුරා විහිදී පවතී. එහෙත් කලාපයේ ප්‍රබලතම කල්ලි ක්‍රියාත්මක වන්නේ දකුණු අමෙරිකානු මහද්විපය තුළය. ඒ අතරින්ද කොලොම්බියාව මත් ජාවාරම් තෝතැන්නකි. ප්‍රධාන ජාවාරම කොකේන්ය. ප්‍රධාන කොකේන් නිෂ්පාදනාගාරයද ලතින් අමෙරිකාවයි. 2025 වසරේදි අන්තර්ජාතික ත්‍රස්තවාදී කල්ලියක් ලෙස අමෙරිකාව විසින් නම්කරනු ලැබු කොලොම්බියාවේ ක්ලෑන් ඩි ගොල්ෆෝ කල්ලිය දැනටත් ලෝකයේ කොකේන් ජාවාරමෙන් විශාලම පංගුවට හිමිකම් කියයි. ජාවාරම සඳහා සරණාගතයන් යොදාගනී. 

දකුණු අමෙරිකාවේ වේගයෙන් ව්‍යාප්ත වන කල්ලිය වන්නේ වෙනිසුවේලාවේ ට්‍රෑන් ඩි අර්ගුවාය. රටේ අස්ථාවර තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නා මේ කල්ලිය දැන් තම බලය වඩාත් දකුණේ පිහිටි චිලි හා පෙරෑ වැනි රටවල් දක්වා ව්‍යාප්ත කර ඇත.  කලාපයේ වැඩිම කල්ලි සාමාජිකත්වයකට හිමිකම් කියන්නේ බ්‍රසීලයේ එෆ් සී සී කල්ලියයි. ඔවුන්ගේ ජාවාරම් කලාපය යුරෝපය හා අප්‍රිකාවයි.  මධ්‍යම අමෙරිකානු කලාපය සැලකූ කළ එල් සැල්වදෝරයේ එම් 13 හා බරියෝ 18 යන කල්ලි මත්ද්‍රව්‍ය මෙහෙයුම්වල ගේට්ටුකරුවන් ලෙස ක්‍රියාකරති. ගෝතමාලාවේ කබානාස් හා මෙන්ඩෝසා පවුල් මත් ජාවාරමේ ප්‍රබලයන් වන අතර ඔවුන් තම බලය මෙක්සිකෝ දේශසිමාව දක්වාම පතුරුවා ඇත. මේ අනුව ලතින් අමෙරිකානු කල්ලිවල බලය හා වපසරිය ගැන යම් අදහසක් ලබා ගත හැකිවනු ඇත. දකුණු අමෙරිකානු ප්‍රදේශ පිහිටා ඇත්තේ ලංකාවට හරියටම අංශක 180ක් ලෝකයේ අනෙක් පස නිසා මේ කල්ලි හා මැරයන් කුමක් කළත් අපට මොකදැයි අපේ ඇතැම් පාඨකයන් සිතිය හැක. එහෙත් කාලයක් කොකේන් ගැන අසාවත් නොතිබුණු අපේ රටට ධීවර යාත්‍රාවල කොකේන් කිලෝ සිය ගණන් හාල් මුට්ට සේ පටවා මෙරට තරුණ තරුණියන් බිලි ගැනීමට  දේශීය වෙළෙඳපොළට එවන්නේ ඉහත සදහන් කළ අප්පුහාමිලාය. ඒ නිකම්ම නොවේ. අපේ රටේ හා කලාපයේ පාතාල මැරයන් සමග ඩීල් දමා ඔවුන්ගේ බලය පැතිරවිමට අවශ්‍ය අඩුම කුඩුමද සමගයි. එමෙන්ම දැන් ඔවුන් කොකේන් හා හෙරොයින් වැනි සාම්ප්‍රදායික මත්ද්‍රව්‍යවලින් ඈත් වෙමින් ක්‍රිස්ටල් මෙත් (අයිස්) හා ෆෙන්තයිල් වැනි රසායනික, ඉතා පහසුවෙන් නිපදවිය හැකි මත්ද්‍රව්‍ය කරා යොමුවිම අනෙක් උවදුරයි. 

අමෙරිකානු මෙහෙයුම්

අමෙරිකා එක්සත් ජනපදය දකුණු අමෙරිකානු මත් විරෝධී සටනට දායක වී ඇත්තේ වසර 54කට පෙර එනම් 1971 වසරේ සිටය. ඒ මන්ද යත් මත් ද්‍රව්‍ය අමෙරිකා එක්සත් ජනපදයට බරපතළ පිළිලයක් වී ඇති බැවිනි. අමෙරිකාවේ වර්තමානයේ මත් ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 48.4කි. සමස්ත ජනගහනයෙන් සීයට16.8ක් මතට දරුණු ලෙස ඇබ්බැහි වූවන්ය. 2023 වසර වනවිට අමෙරිකාවේ වසරක් තුළ මත්ද්‍රව්‍ය විෂවිමෙන් මරණ 100000කට මඳක් වැඩි ගණනක් සිදුවිය. එහෙත් මෑතකදී එම සංඛ්‍යාව 72,000ක් දක්වා අඩුවී ඇත්තේ අමෙරිකානු මෙහෙයුම් ක්‍රියාවලියේ සාර්ථකත්වයක් ලෙසය. ට්‍රම්ප් පාලනය යටතේ මත්විරෝධී ක්‍රියාවලිය රාජ්‍ය ප්‍රතිපත්තියක් ඉක්මවා ගොස් ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් දක්වා වර්ධනය කොට ඇත. මේ අනුව අමෙරිකාව සැකකටයුතු මත් යාත්‍රාවලට ඍජුවම පහර දෙයි. මෑතදී එවැනි යාත්‍රා රැසක් විනාශ කරන ආකාරය පිළිබඳ දර්ශන පෙන්ටගනය මාධ්‍යයට නිකුත් කළේය. අනෙක් අතට අමෙරිකාව මත්විරෝධී සටන හා තම භූ දේශපාලනික අවශ්‍යතා සමපාත කර ඇති බවක් පෙනී යයි. ට්‍රම්ප් යුගයේදී මේ ක්‍රියාවලිය ලතින් අමෙරිකානු කලාපයේ එක්සත් ජනපද බලය නංවාලීම දක්වා පුළුල් කොට ඇත.  වෙනිසුලා ජනාධිපති නිකලස් මදුරෝ කුදලාගෙන යන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අද වෙනිසුලාව අමෙරිකාව සමග සහයෝගයෙන් ක්‍රියාකරන තත්ත්වයට පත්ව තිබේ. ඊට අමතරව තම දිගුකාලීන කලාපීය හිසරදය වන කියුබාවටත් “ෂොට්” ඒකක් දීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ අවස්ථාව උපයෝගි කරගන්නා බවක් පෙනේ. 

කියුබාවට වෙනිසුලාවෙන් ලැබුණු තෙල් අවහිර කිරීමෙන් දැන් එරට බලශක්ති අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඊළඟ අපේක්ෂාව පීඩිත ජනතාවගේ නැගිටීමකි. බ්‍රහස්පතින්දා කියුබාවට ඇතුළු වූ, අමෙරිකාවේ ලියාපදිංචි සන්නද්ධ යාත්‍රාව කුමක්ද යන්න ගැන පවා ප්‍රශ්නයක් තිබේ. කෙසේ වෙතත් සන්නද්ධ විසඳුම් යටතේ පවතින තත්ත්වය සමනය කළ හැකි වුවද කලාපීය වශයෙන් පවතින දරිද්‍රතාව, සමාජ අසාධාරණකම්, අධ්‍යාපනයට වරම් නොමැතිවීම්, ආදී වූ බරපතළ සමාජ විෂමතාවලට දිගුකාලීන විසඳුම් ලබා නොදී මෙවැනි ප්‍රශ්න කිසිවිටකත් විසඳිය නොහැක. ට්‍රම්ප් දැනටමත් මෙවැනි සමාජ සුබසාධන ගෝලීය ආධාර රැසක් කපා හැර ඇත. ඒ තත්ත්වය යටතේ අනාගතයේදී ලතින් අමෙරිකාවෙන් පමණක් නොව අප්‍රිකාවෙන් හා සමස්ත ලෝකයෙන්ම එල් මැන්චෝලා හා ඒල් චාපෝලා බිහිවීමේ අවදානම පවතී. එදා අතිශය දිළිඳුකම නිසා මෙක්සිකෝවේ නෙමිසියෝ ඔසෙගුවේරා දරුවාට පස්වන පන්තියේදි අධ්‍යාපනය අතහැර දමා ළමා කම්කරුවකු ලෙස අලිගැටපේර වත්තක වැඩට යාම සිදු නොවුණේ නම් අද එල් මැන්චෝ නමැති අපරාධකරුවෙකු හා සී ජේ ඒන් ජී නම් අපරාධ කල්ලියක් බිහි නොවීමට ඉඩ හසර තිබිය හැකිව තිබිණ.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ