
වසර තිහකට වැඩි කාලයක් තිස්සේ තමිල්නාඩුව “විජේ” යන නාමය හමුවේ වශී වී සිටියේය. ඔහුගේ චිත්‍රපට හුදු විනෝදාස්වාදය ඉක්මවා යමින්, මුළු ප්‍රාන්තයක්ම අලංකාර කරවන මහා උත්සව බවට පත් විය. නව චිත්‍රපටයක් ප්‍රදර්ශනය වන දිනයට පාසල් පවා නිල නොලත් ලෙස වසා දැමුණු අතර, පළමු දර්ශනය ආරම්භ වීමටත් පෙර සිටම රසිකයෝ වීදි පුරා සැමරුම් පවත්වමින් සිනමා ශාලා ඉදිරිපිට රොක් වූහ. “තලපති” නමින් ප්‍රකට වූ මෙම පුද්ගලයා, තමාගේ නොසැලෙන කැපවීම සහ සාමාන්‍ය ජනතාවගේ හදගැස්ම හඳුනා ගැනීමේ සුවිශේෂ හැකියාවෙන් ඉන්දීය සිනමාවේ වඩාත්ම උද්යෝගිමත් රසික පිරිසක් නිර්මාණය කර ගත්තේය. ඉන්පසුව, කවුරුත් බලාපොරොත්තු නොවූ මොහොතක ඔහු සිනමා කර්මාන්තයෙන් මිදී වඩාත් පුළුල් වේදිකාවක් වෙත පිවිසියේය.
සුපිරි තරුවක උදානය
විජේ ප්‍රධාන නළුවකු ලෙස සිය මංගල දර්ශනය සනිටුහන් කළේ තම පියාවූ දමිළ සිනමාවේ ප්‍රකට අධ්‍යෂකවරයකු සහ නිෂ්පාදකවරයකු වන එස්. ඒ. චන්ද්‍රසේකර්ගේ චිත්‍රපටයකිනි. 1992 වසරේදී, එවකට 18 හැවිරිදි වියේ ඔහු රඟපෑ “නාලය තීර්පු” (Naalaiya Theerpu) එම චිත්‍රපටයයි. එම චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා අතර අසාර්ථක වූ අතර විචාරකයන්ගෙන් ද ඔහුගේ පෙනුම සහ රංගනය පිළිබඳව දැඩි දෝෂාරෝපණ එල්ල විය. එහෙත් විජේ නොසැලී ඉදිරියටම ගියේය. ඔහු පසුව “රසිගන්” (1994) සහ “පූවේ උනක්කාගා” (1996) වැනි චිත්‍රපට හරහා සාර්ථකත්වය සොයා ගත් අතර, 1997 දී “කාදලුක්කු මරියාදෙයි” ආදර කතාව වෙනුවෙන් ප්‍රාන්ත සිනමා සම්මානය පවා දිනා ගත්තේය.
කෙසේ වෙතත්, ආදර කතා යනු ඔහුගේ දීර්ඝ ගමනේ ආරම්භය පමණි. සාමාන්‍ය නළුවකු වූ විජේ, සුපිරි තරුවක් වන “තලපති” බවට පත් කළ හැරවුම් ලක්ෂය වූයේ 2004 වසරේ තිරගත වූ “ගිල්ලි” (Ghilli) චිත්‍රපටයයි. දේශීය බොක්ස් ඔෆීස් වාර්තා අතර රුපියල් කෝටි 50 සීමාව පසු කළ පළමු දෙමළ චිත්‍රපටය බවට පත් වූ මෙය ප්‍රාන්තය පුරා දින 200ක් අඛණ්ඩව ප්‍රදර්ශනය විය. මෙහිදී කබඩි ක්‍රීඩකයකු ලෙස විජේ දැක්වූ විද්‍යුත් රංගනය ප්‍රේක්ෂකයන් මින් පෙර කිසිදා ඔහුගෙන් දැක නොතිබූ එකකි.
අධ්‍යාපන පසුබිම සහ තීරණාත්මක තේරීම
තලපති විජේ ලෙස ප්‍රකට ජෝසප් විජේ චන්ද්‍රශේඛර්ගේ අධ්‍යාපන පසුබිම දෙස බැලීමේදී, ඔහුගේ පාසල් ගමන ආරම්භ වූයේ චෙන්නායිහි පිහිටි කොඩම්බක්කම්හි ෆාතිමා පාසලෙනි. පසුව ඔහු විරුගම්බක්කම්හි බාලලෝක් පාසලට ඇතුළත් විය. ඔහුගේ පාසල් කාලය සාමාන්‍ය එකක් වූ අතර, අනාගතයේදී ඔහු ලැබීමට නියමිත මහා කීර්තිය පිළිබඳ කිසිදු සලකුණක් එහි නොවීය.
පාසල් අධ්‍යාපනයෙන් පසු විජේ චෙන්නායිහි ලොයෝලා විද්‍යාලයට ඇතුළත් වූයේ දෘශ්‍ය සන්නිවේදනය (Visual Communication) පිළිබඳ උපාධියක් හැදෑරීමේ අරමුණිනි. කෙසේ වෙතත්, ඔහුගේ අධ්‍යාපනික මාවත වෙනස් දිසාවකට යොමු විය. රංගන වෘත්තිය තෝරාගැනීම සඳහා ඔහු සිය උපාධිය සම්පූර්ණ කිරීමට පෙර විද්‍යාලයෙන් ඉවත් විය. බොහෝ සිසුන් උපාධියක් ලබාගැනීමට වෙහෙසෙන යුගයක, ඔහු අවිනිශ්චිතතාවෙන් සහ අවදානමෙන් පිරුණු සිනමා ලෝකය තෝරා ගත්තේය. මෙම තේරීම ඔහුව සෘජුවම සිනමා කර්මාන්තයට ගෙන ගිය අතර, කාලයත් සමඟ ඔහු දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් බවට පත් විය.
පොදු ජනතාවගේ හඬ සහ දේශපාලන සිනමාව
2010 දශකය උදාවන විට විජේගේ ප්‍රතිරූපය වෙනස් වී තිබුණි. ඔහු හුදු පෙම්වතකු පමණක් නොව, පොදු ජනතාවගේ හඬ බවට පත් විය. 2012 වසරේ “තුප්පාක්කි” හරහා හමුදා නිලධාරියකු ලෙස පෙනී සිටි ඔහුට, 2014 දී “කත්ති” චිත්‍රපටය හරහා ගොවි අරගල සහ සංස්ථාපිත සූරාකෑම ගැන කතා කිරීමට හැකි විය.
“මෙර්සල්” චිත්‍රපටය මෙහිදී තීරණාත්මක විය. එහිදී ඔහු ප්‍රථම වරට ත්‍රිත්ව භූමිකා නිරූපණය කළ අතර වෛද්‍ය ක්ෂේත්‍රයේ දූෂණයට එරෙහිව හඬ නැඟීය. එය තමිල්නාඩුවෙහි සැබෑ දේශපාලන කතිකාවක් ඇති කළේය. ඉන්පසුව 2018 වසරේ “සර්කාර්” හරහා ඔහු දූෂිත දේශපාලන ක්‍රමයට අභියෝග කරන විදේශගත ඉන්දියානුවකුගේ චරිතයක් නිරූපණය කළේය. “බිගිල්” (2019) හරහා කාන්තා සවිබල ගැන්වීමත්, කොවිඩ් වසංගතය මධ්‍යයේ තිරගත වූ “මාස්ටර්” (2021) හරහා ඔහුගේ නොසැලෙන ජනප්‍රියත්වයත් තහවුරු විය.
දේශපාලන ප්‍රවේශය සහ 2026 ඓතිහාසික ජයග්‍රහණය
2024 පෙබරවාරි මාසයේදී විජේ සිනමාවෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කරමින් “තමිලග වෙට්ට්‍රි කසාගම්” (TVK) පක්ෂය තමිල්නාඩු විජයග්‍රාහී පක්ෂය පිහිටුවිය. 2026 මාර්තු 18 වන දින ඔහු ප්‍රකාශ කළේ තම පක්ෂය ආසන 234 ටම තනිවම තරග කරන බවය. මාර්තු 29 වැනි දින ඔහු සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් මත්ද්‍රව්‍යවලින් තොර ප්‍රාන්තයක්, තරුණ රැකියා සුරක්ෂිතතාව සහ ඇප රහිත අධ්‍යාපන ණය ලබා දෙන බවට පොරොන්දු විය.
ඔහුගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය විශේෂ අවධානයට ලක් විය. උපාධිය සම්පූර්ණ නොකළ අයකු වුවද, ඔහු ග්‍රාමීය පවුල් ඉලක්ක කර ගනිමින් සුවිශේෂ පොරොන්දුවක් ලබා දුන්නේය. එනම්, අක්කර දෙකකට වඩා අඩු ඉඩම් හිමි ගොවි පවුල්වල දරුවන්ගේ සහ රජයේ රැකියාවල නියුක්ත අය නොමැති පවුල්වල දරුවන්ගේ උසස් අධ්‍යාපන වියදම් සම්පූර්ණයෙන්ම රජය මගින් දැරීමට ඔහු පොරොන්දු විය.
මැතිවරණ ප්‍රතිඵලය මුළු ඉන්දියාවම මවිතයට පත් කළේය. (TVK) පක්ෂය ආසන 108ක් දිනා ගනිමින් විශාලතම පක්ෂය ලෙස නැගී සිටියේය. විජේ තමා තරග කළ පෙරම්බූර් සහ තිරුචිරප්පල්ලි නැගෙනහිර යන ආසන දෙකම විශිෂ්ට මනාප සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළේය.
දශක තුනක් තිස්සේ මධ්‍යම රාත්‍රී දර්ශන සඳහා සිනමා ශාලා පිරවූ ඔහුගේ උද්‌යෝගිමත් රසිකයෝ, මෙවර ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණ තම සුපිරි තරුවගේ දේශපාලන සිහිනය සැබෑ කළහ. 18 හැවිරිදි වියේදී විවේචනයට ලක් වූ නවක නළුවකුගේ සිට, තමිල්නාඩුවේ වසර 60ක දේශපාලන ද්වි-අධිකාරිය බිඳ දැමූ නායකයකු දක්වා වූ විජේගේ මෙම කතාව, ඔහුගේ දක්ෂතම තිර රචකයකුට පවා සිතාගත නොහැකි වූවකි.
දේශපාලන ගමනේ අභියෝග සහ පසුබෑම්
විජේගේ දේශපාලන ජයග්‍රහණය කරා වූ මාවත එතරම් සුමට එකක් නොවීය. පසුගිය වසරේ ඔහුගේ පක්ෂයේ රැලියකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් දුසිම් ගණනක් මියයාම ඔහුට එල්ල වූ බරපතළ පසුබෑමක් විය. එම සිදුවීම සම්බන්ධයෙන් ඔහු දැක්වූ මුල් ප්‍රතිචාරය විවේචනයට ලක් වුවද, ඡන්දදායකයන් එයින් ඔහුට සමාව දී ඇති බව පෙනේ.
ඔහුගේ අවසන් සිනමා නිර්මාණය ලෙස සැලකූ “ජන නායගන්” (Jana Nayagan) චිත්‍රපටය ද දැඩි අර්බුදයකට ලක් විය. පූර්ණකාලීන දේශපාලනයට පිවිසීමට පෙර තිරගත වීමට නියමිතව තිබූ මෙම චිත්‍රපටයට ඉන්දීය චිත්‍රපට වර්ගීකරණ මණ්ඩලයෙන් බාධා එල්ල වූ අතර, එහි නිෂ්පාදකයන්ට එය නිදහස් කර ගැනීමට අධිකරණය හමුවට පවා යාමට සිදු විය.
වසර ගණනාවක දේශපාලන සැලසුම්
විජේ සිය TVK පක්ෂය නිල වශයෙන් 2024 දී ආරම්භ කළද, ඔහුගේ දේශපාලන තීරණ ඊට වඩා බොහෝ ඈතට දිව යන්නකි. 2009 තරම් ඈත අතීතයේදී ඔහු සිය රසික සමාජ “විජේ මක්කල් ඉයක්කම්” (විජේගේ ජනතා ව්‍යාපාරය) ලෙස ප්‍රතිසංවිධානය කළේය. එය සහන සේවා, අධ්‍යාපන ආධාර සහ ප්‍රාදේශීය සහාය ලබා දෙන සුබසාධන ජාලයක් ලෙස ගම් මට්ටමින් ක්‍රියාත්මක විය. 2011 වන විට, රසික පදනම ඡන්ද පදනමක් බවට පත් කළ හැකිදැයි පරීක්ෂා කරමින් ඔහු AIADMK සන්ධානයට සහාය පළ කළේය.
පසුගිය දශකය පුරා විජේගේ චිත්‍රපට උත්සව ක්‍රමයෙන් දේශපාලන මුහුණුවරක් ගත්තේය. එහිදී ඔහු විභාග පීඩනය, විරැකියාව සහ දූෂණය පිළිබඳව තරුණ පරපුරට කතා කළ අතර, 2019 වසරේ මතභේදාත්මක පුරවැසි සංශෝධන පනත (CAA) ද විවේචනය කළේය. චිත්‍රපට 70කට ආසන්න සංඛ්‍යාවකට පසුව ඔහු රංගනයෙන් සමුගත්තේ සිය ජනප්‍රියත්වය දේශපාලන ප්‍රාග්ධනයක් බවට පත් කිරීමේ පැහැදිලි අරමුණ ඇතිවය.
වෙනසක් අපේක්ෂා කරන තරුණ හා කාන්තා ඡන්ද පදනම
තමිල්නාඩු ඡන්දදායකයන් සැමවිටම ආකර්ෂණීය නායකත්වයට ළැදි පිරිසකි. නමුත් විජේගේ විශේෂත්වය වන්නේ ඔහු ගොඩනැගූ පදනමේ විශාලත්වයයි. මැතිවරණ විශ්ලේෂකයන්ට අනුව, වයස අවුරුදු 18-39 අතර පසුවන තරුණ ඡන්දදායකයෝද කුල භේදයකින් තොරව පොදු පන්තිවල (OBC) සහ උපකෘත කුලවල (SC) ජනතාවද ඔහු වටා රොක් වී සිටිති.
ප්‍රකට උපායමාර්ගිකයකු වන ප්‍රශාන්ත් කිෂෝර් පවසන්නේ “ඔහු තමිල්නාඩුවේ නව බලාපොරොත්තුව” බවයි. ප්‍රකට ගායක හා ක්‍රියාකාරිකයකු වන ටී. එම්. ක්‍රිෂ්ණා පවසන්නේ විජේගේ ආකර්ෂණය හුදු ප්‍රතිපත්ති මත නොව “නව පරිකල්පනයක්” (New Imagination) මත ගොඩනැගී ඇති බවය.
දශක ගණනාවක් තමිල්නාඩුව පාලනය කළ ද්‍රවිඩ දේශපාලනය සමාජ යුක්තිය සහ සුබසාධනය අතින් සාර්ථකත්වයක් අත්කර දී තිබුණද, තරුණ පරපුර තුළ ඇති වී තිබෙන “වෙනසක් සඳහා වූ නොසන්සුන්තාව” විජේ වෙත ගලා ආවේය.
දෘෂ්ටිවාදී අරගලය සහ විවේචන
රජිනිකාන්ත් වැනි සුපිරි තරු දේශපාලනයට පැමිණීමට උත්සාහ කර නතර වූ අතර, කමල් හසන්ට බිම් මට්ටමේ බලපෑමක් කිරීමට නොහැකි විය. එහෙත් විජේ තමාගේ දෘෂ්ටිවාදී ප්‍රතිවාදියා ලෙස භාරතීය ජනතා පක්ෂය (BJP) නම් කළ අතර, වත්මන් පාලක DMK පක්ෂය සිය ආසන්නතම දේශපාලන සතුරා ලෙස නම් කළේය.
කෙසේ වෙතත්, ඇතැම් විචාරකයන් පවසන්නේ TVK පක්ෂයේ ප්‍රතිපත්තිවල ගැඹුරක් නොමැති බවයි. කතුවර නිලකන්ටන් ආර්. එස්. පවසන්නේ විජේගේ ක්‍රියාවන් බොහෝ විට ”ප්‍රසිද්ධිය” (Virality) මත පදනම් වූ ඒවා බවයි.
ඔහුගේ දේවස්ථාන සංචාර සහ පොදු හැසිරීම් හුදු ප්‍රතිරූපය ගොඩනැගීමේ උපක්‍රම බවට විවේචන එල්ල වේ. එසේ වුවද, ප්‍රධාන පක්ෂ දෙක කෙරෙහිම කලකිරී සිටින ජනතාව, විශේෂයෙන්ම තරුණයන්, මෙය “මැතිවරණය වෙනසක ඇරඹුම” ලෙස හඳුන්වමින් විජේ වටා රොක් වී සිටිති.
IMDb ශ්‍රේණිගත කිරීම් අනුව වැඩිම මනාප ලැබූ විජේගේ චිත්‍රපට 10 අංක පටිපාටියට අනුව පහත පරිදි දැක්විය හැකිය:
- තුප්පාක්කි (Thuppakki - 2012) - IMDb අගය: 8.2
- කත්ති (Kaththi - 2014) - IMDb අගය: 8.1
- පූවේ උනක්කාගා (Poove Unakkaga - 1996) - IMDb අගය: 8.0
- ඝිල්ලි (Ghilli - 2004) - IMDb අගය: 8.0
- නන්බන් (Nanban - 2012) - IMDb අගය: 7.7
- ප්‍රියමුදන් (Priyamudan - 1998) - IMDb අගය: 7.6
- කාදලුක්කු මරියාදෙයි (Kadhalukku Mariyadhai - 1997) - IMDb අගය: 7.5
- මෙර්සල් (Mersal - 2017) - IMDb අගය: 7.5
- කුෂි (Kushi - 2000) - IMDb අගය: 7.4
- සර්කාර් (Sarkar - 2018) - IMDb අගය: 7.0
(IMDb (Internet Movie Database) යනු ලොව පුරා විසිරී ඇති චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, නළු නිළියන් සහ වීඩියෝ ක්‍රීඩා පිළිබඳ තොරතුරු ඇතුළත් ලොව විශාලතම සහ ජනප්‍රියම අන්තර්ජාල දත්ත පද්ධතියයි.
මෙහිදී ප්‍රේක්ෂකයන්ට තමන් නරඹන චිත්‍රපට සඳහා 1 සිට 10 දක්වා අගයක් ලබා දෙමින් මනාපය පළ කළ හැකි අතර, එම "IMDb Rating" අගය මත පදනම්ව චිත්‍රපටයක ජනප්‍රියත්වය සහ ගුණාත්මකභාවය ලොව පුරා මැන බලනු ලබයි. මෙය දැනට ඇමසන් (Amazon) සමාගමට අයත් සේවාවකි.)
රජයක් පිහිටුවීමට ආණ්ඩුකාරවරයාගෙන් තිබූ බාධා මැඩ විජේ සටන දිනයි
විජේගේ ‘තමිලග වෙට්රි කසාගම්‘ (TVK) පක්ෂය - තනි විශාලතම පක්ෂය ලෙස ආසන108ක් හිමිකර ගෙන තිබිය දීත්, රජයක් පිහිටුවීමට ආරාධනා කිරීම ආණ්ඩුකාරවරයා ප්‍රතික්ෂේප කිරීමත් සමග තමිල්නාඩුව දැඩි ව්‍යවස්ථාපිත අර්බුදයකට මැදිවී තිබුණි. එහෙත් පසුගිය සිකුරාදා සවස වනවිට මන්ත්‍රීවරු 120 දෙනෙකුගේ සහය තමන්ට ලැබෙන බව විජේ තමින්නාඩු ආණ්ඩුකාරවරයාට දැන්වූයේය. මේ අනුව සෙනසුරාදා උදෑසන ඔහු මහ ඇමති ධුරයේ දිවුරුම් දෙන බව කියැවුණි.
ආණ්ඩුකාරවරයාගේ පෙර තීරණයට ප්‍රතිචාර දක්වමින් TVKපක්ෂය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබුණි. එනම්, DMKහෝ AIADMK පක්ෂ රජයක් පිහිටුවීමට උත්සාහ කළහොත් - තම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වන බවයි. දශක ගණනාවක් තිස්සේ පසමිතුරන්ව සිටි DMK සහAIADMK පක්ෂ එක්ව එඩප්පාඩි පලනිසාමි(EPS) ගේ නායකත්වයෙන් යුත් රජයකටDMK පක්ෂය පිටතින් සහාය දීමට සලකා බලන බවට වාර්තා වීමත් සමග මෙම අනතුරු ඇඟවීම නිකුත් විය.
ආණ්ඩුකාර ආර්. වී. අර්ලේකර් බ්‍රහස්පතින්දා (මැයි 7) දෙවන වරටත් විජේ හමු වූ නමුත් - රජයක් පිහිටුවීමට අවසර දීම නැවතත් ප්‍රතික්ෂේප කළේය. ආණ්ඩුකාරවරයාගේ ස්ථාවරය වන්නේ - TVKපක්ෂය සතුව බහුතර බලයක් ඇති බව මෙතෙක් තහවුරු කර නොමැති බවයි. දිවුරුම් දීමේ උත්සවයක් සංවිධානය කිරීමට පෙර, රජයක් පිහිටුවීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් 118 දෙනාගේ සහයෝගය ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ඔහු විජේට දන්වා ඇත. අවසානයේදී 120 දෙනෙකුගේ සහාය දිනා ගත්තේය.
TVK සතුව ආසන108ක් තිබූ අතර කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ සහායද ඔවුන්ට හිමිවිය. ඉතිරි මන්ත්‍රී සංඛ්‍යාව සම්පූර්ණ කරගැනීම සඳහා වමේ පක්ෂ සහ කුඩා කණ්ඩායම් විජේ සමග එක්විය.
කෙසේ වෙතත්, ආණ්ඩුකාරවරයාගේ පෙර තීරණයට ව්‍යවස්ථා විශේෂඥයින් සහ TVK මිත්‍ර පක්ෂ දැඩි විරෝධයක් එල්ල කළහ. CPI පක්ෂය පෙන්වා දුන්නේ සුප්‍රසිද්ධ ‘එස්.ආර්. බොම්මායි‘ (SR Bommai) නඩු තීන්දුවට අනුව - බහුතරය පරීක්ෂා කළ යුත්තේ ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයේ නොව සභා ගර්භය තුළ බවයි.
VCK පක්ෂ නායක තොල් තිරුමාවලවන් පැවසුවේ - “සහාය දෙන අයගේ ලැයිස්තුවක් ඉල්ලීමට ආණ්ඩුකාරවරයාට නොහැකි” බවයි. ඉවත් වනDMK රජය පවා මෙය මහජන වරමට කරන නිග්‍රහයක් බව පැවසූ අතර, නළු කමල් හසන් ද විජේ වෙත සිය සහයෝගය පළ කළේය.
DMK සහ AIADMK පක්ෂවල උපායමාර්ගය
DMK ආරංචි මාර්ග පවසන්නේ විජේ බලයට පත් වුවහොත් - ඔහු එම්.ජී.ආර්. මෙන් පරම්පරාවක් පුරා තමිල්නාඩු දේශපාලනයේ ආධිපත්‍යය පතුරුවනු ඇතැයි යන බියක් උදයනිධි ස්ටාලින් ඇතුළු නායකයින් තුළ පවතින බවයි. මේ නිසා විජේ ව බලයෙන් ඈත්කර තැබීම සඳහා පලනිසාමිගේ රජයකට සහාය දීම ගැන ඔවුහු සාකච්ඡා කළහ. කෙසේ වෙතත් මෙවැනි අස්වාභාවික සන්ධානයක් නිසා ඇති විය හැකි මහජන විරෝධය පිළිබඳව එම්.කේ. ස්ටාලින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් සැකයකින් පසුවිය.
මේ සියලු අර්බුද මැද්දේ සාමාජිකයන් 120 දෙනෙකු තමන් සමග සිටින බව විජේ සිකුරාදා සවස ආණ්ඩුකාරවරයාට දන්වා යැවූයේය. මේ අනුව තලපති විජේ තමිල්නාඩුවේ නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙනු ඇත.
කෙසේ වුවද විජේ මේ තත්ත්වය ජය ගත්තත් 2015 දී ඇති වූ බදු වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නීතියෙන් කටයුතු කිරීමට විරුද්ධ පක්ෂ හිතවාදීන් දැනටම සැලසුම් සකස්කර සිටිති.
එසේම ඉන්දීය මධ්‍යම ආණ්ඩුවද තමිල්නාඩුව යම් ආකාරයකින් අස්ථාවර වනු දැකීමට අකැමැත්තෙන් පසුවේ. විජේගේ පැමිණීම හරහා එය සිදුවිය හැකි බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. කෙසේ වුවද මේ සියල්ල අවසානයේ පෙනී යන්නේ අනුව විජේගේ දේශපාලන ආගමනය චිත්‍රපටයක් තරම් සුන්දර එක්ක නොවන්නට යන බවය.
කේ.ආර්. විතානගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd