සත්‍යග්‍රහය ගැන ජනපති කී කතාව

හිටපු බුද්ධි අංශ ප්‍රධානියකු වන සුරේෂ් සලේට සහාය පළකරමින් කොටුවේ සත්‍යග්‍රහයක් ඇරඹූ පසු පාක්ෂිකයන්ගෙන් ජනාධිපතිවරයාට ද විවිධ බලපෑම් එල්ල විය. ඔවුන් පවසා තිබුණේ මෙම සත්‍යග්‍රහකරුවන්ට පහර දී පලවා හළ යුතු බවටය.

ඉකුත් සතියේ මැති ඇමැතිවරුන් සහ ජාතික ජනබලවේගයේ නායකයන් මුණ ගැසුණු අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ පිළිබඳව මෙසේ පැහැදිලි කළේය.

‘‘සමහරු කියනවා මුංට ගහලා පන්නන්න ඕනෑ.... ජනාධිපතිතුමා ඔබතුමාගේ බුරුල නිසා තමයි මෙයාල නටන්නේ කියනවා. තුනෙන් දෙකක බලයක් තියාගෙන මොනවට බය වෙනව ද කියල අහනවා. අන්න එතැනයි අපේ වෙනස උද්ඝෝෂණවලට ගහන්න අපි බලයට එන්න ඕනද? ජනතාවට තමන්ගේ අදහස් දක්වන්නයි ආණ්ඩුව විවේචනය කරන්නයි උපරිම නිදහස දෙන්න ඒනෑ. මේක ජනතා ආණ්ඩුවක්. උද්ඝෝෂණවලට විරෝධතාවලයි ගත යුතු සාධනීය දෙයක් තියෙනවා නම් ආණ්ඩුව මැදිහත් වෙලා සාකච්ඡා කරලා උත්තරයක් දෙනවා.’’ ජනාධිපතිවරයා සඳහන් කළේය.

‘ඔය වගේම ප්‍රශ්නයක් තියෙනවා චැනල් ගැන. ඔය සමහර චැනල් තහනම් නොකරන්නේ ඇයි කියලා අපිට ගම්වල මිනිස්සු බනිනවා. අපි මොකටද එහෙම තහනම් කරන්නේ? අපි උත්තර දෙන්න ඕනෑ වැඩවලින්නේ. අනික ඕනෑම බොරුවකට පැවැත්ම කෙටියි. අපි කලබල වෙන්නෙ ඕනෑ නෑ.’’ ජනාධිපතිවරයා කියා සිටියේය.

ආණ්ඩුවක් කරගෙන යනවිට ඇතිවන ගැටලු ගැන ජනාධිපතිවරයා සහ මැති ඇමැතිවරුන් අතර එහිදී අදහස් හුවමාරු විය. රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව ගැන එහිදී බොහෝ දෙනා කියා සිටියහ.

ඔව්.... සමහරු ඉල්ලීම් කරනවා ප්‍රාදේශීය ලේකම්වරුන් ඉහළ නිලධාරීන් පොලිස් නිලධාරීන් මාරු කරල දෙන්න කියලා අපිට එහෙම කරන්න බෑ.

දේශපාලන අධිකාරීය පැය විසිහතරම වැඩ කරන්න සූදානම් වුණත් රාජ්‍ය නිලධාරීන්ට එහෙම පුරුද්දක් නෑ. එයාල උදේ අටේ ඉඳල සවස හතර වෙනකම් වැඩ කරන අය එයාලට පුරුදු වෙච්චි රටාවක් තියෙනවා. අපිට මේ අය අතඇරල වැඩ කරන්න බෑ. ඒ අය එක්කම තමයි අපිටත් වැඩ කරන්න වෙන්නේ. නිලධාරීන් මාරු කරලා වැඩක් තියෙනව ද? ඒකෙන් වෙන්නේ එක තැනක තියෙන ලෙඩේ තව තැනකට යන එක විතරයි. ආපහු අමාරුවේ වැටෙන්නෙත් අපේම අය. අපි ඒ අය එක්කම වැඩ කරලා තමයි මේ රාජ්‍ය යාන්ත්‍රණය හදන්න ඕනෑ. අපි මේ වෙද්දි සෑහෙන දුරට එම අභියෝගය ජය අරගෙන ඉතිරි ටිකත් ඒ ආකාරයටම කරමු.’’ ජනාධිපතිවරයා සඳහන් කළේය.

‘‘ඒක ඇත්ත ජනාධිපතිතුමනි, සමහර අය අපට බල කරනවා. පොලිසියේ සමහරු අය මාරු කරන්න කියලා. එකතැන ගොඩක් කල් හිටපු අයනම් කමක් නෑ. එහෙම නැතුව ඒ නිලධාරීන් මාරු කර යවලා ගෙන්න ගන්නෙ කාව ද? සමහර විට ඊටත් අන්ත කෙනෙක් වෙන්න පුළුවන්’’ එම හමුවේදී ඇමැතිවරයෙක් කියා සිටියේය.

‘‘ඒක හරි මොකද අපි මේ පොලිසිය ගෙදර යවලා වෙන පොලිසියක් පත්කර ගන්නයැ. අනික අපි ඇයි ඒ මාරුවීම්වට මැදිහත් වෙන්නේ එතකොට පරණ ආණ්ඩු  කළ ක්‍රමයට නේද? අපි ආවේ ඒ ක්‍රමයම ගේන්නද? අපි ආවේ ඒ ක්‍රමය වෙනස් කරන්න. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි ඒ ක්‍රමය වෙනස් කරන්න යන්නෙ කොහොමද කියලා ජනතාව තවම හරියට තේරුම් අරගෙන නැතිකම’’ ජනාධිපතිවරයා කියා සිටියේය.

බදු මුදල්වලට වෙන දේ

මෙම හමුවේදී ආණ්ඩුවේ වැඩ පිළිවෙල පිළිබඳ බොහෝ අදහස් මතු විය. එක් මතයක් වූයේ ජනතාවගෙන් එකතු කරන බදු මුදල්ය. ජනතාවගෙන් බදු මුදල් එකතු කරගෙන ජනතාවට මොනව ද දෙන්නේ වැනි ප්‍රශ්න ඇතැම් අයට තිබෙන බව සමාජ මාධ්‍යයෙන්ද දැකගත හැකිය. ආණ්ඩුව කියන්නේ ඔවුන්ට ලැබුණේ දුවන රටක් නොව නතරවුණු රටක් බවය. බිමල්  රත්නායක ඇමැතිවරයා එහි දී මෙසේ පැවසීය.

‘‘අපිට ලැබුණේ අධිවේගී මාර්ග ඉදිකරමින් තිබූ රටක් නොව ඉදිකිරීම් නවත්තල දාල ජරාවාස වෙමින් තිබූ රටක්. මේ නිසා මහා භාණ්ඩාගාරයෙන් මුදල් යොදවා එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට අපි කටයුතු යොදා තියෙනවා. කුරුණෑගල දඹුල්ල මාර්ගය කහතුඩුව – රත්නපුර කොටස, රඹුක්කන-ගලගෙදර අධිවේගී මාර්ගය අපි කිසිදු විදේශ රටකින් ණය නොගෙන ජනතා බදු මුදල්වලින් ආරම්භ කරන්න කටයුතු යොදා තියෙනවා.’’ බිමල් රත්නායක ඇමැතිවරයා එහි දී කීවේය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අතරමග නවතා තිබූ අත්‍යවශ්‍ය ඉදිකිරීම් ව්‍යාපෘති විසිපහක් සඳහා රුපියල් බිලියන 76ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කිරීමට ද රජය කටයුතු කර ඇත.

‘‘අපිට මෙහෙම වැඩ කරන්න පුළුවන් වෙන්නේ අපි ගැන විශ්වාසයෙන් ජනතාව බදු ගෙවූ නිසයි. ඒ වගේම අපි ඒ විශ්වාසය රකිමින් ජනතා බදු මුදල් සත පහක්වත් හොරකම් නොකරපු නිසා’’ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දිගටම

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කළ අවස්ථාවේ විපක්ෂයෙන් එල්ල වූ උද්ඝෝෂණ නිසා එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වසරකින් කල් දැමුණි. අධ්‍යාපන ඇමැතිනිය ලෙස අගමැතිනිය මේ වන විට පාසල්වල අඩුපාඩු සම්පූර්ණ කරමින් එම වැඩසටහනට සහාය වීමට පරිසරය සකසමින් සිටියි. සුහුරු පුවරු හෙවත් ස්මාට් බෝඩ් නොමැති පාසල්වලට එම පුවරු ලබාදීම ඉන් එක් පියවරකි. රුපියල් බිලියන එක හමාරක වියදමින් පාසල් 2890 කට ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ව්‍යාපෘතියක් ලෙස පාසල් 1000 කට සහ චීන රජයේ ප්‍රධානයක් ලෙස පාසල් 500කට ද මේ වනවිට සුහුරු පුවරු ලබා දී ඇත. ඉබ්බාගමුව කිරිබමුණ විද්‍යාලයට හිමි වූ සුහුරු පුවරු පන්ති කාමරය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවේ අධ්‍යාපනය යනු පොතට හා විභාග ප්‍රතිඵල මත පමණක් තීරණය වන දෙයක් නොවන අතර පාසල දරුවකුගේ පවුලට සමාන විය යුතු බවය.

මාලිමාව ගැන ජනපති ගත් තීන්දු

ආණ්ඩුවේ ඉදිරි ගමන් මග පිළිබඳව ආණ්ඩුව අභ්‍යන්තරයේ ඉකුත් කාලය පුරාම විවිධ සාකච්ඡා පැවැත්විණි. දිට්වා සුළි කුණාටු විපත සහ මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට ආතිව තිබෙන ඉන්ධන අර්බුදය පොදු ජනතාවට බලපාන ආකාරය පිළිබඳව ද එම සාකච්ඡාවල දී අවධානයට ලක්විය. එහි දී ආණ්ඩුවේ බලවතුන්ගේ දැඩි අවධානයට ලක්වී ඇත්තේ ජනාධිපතිවරයා කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තබාගෙන ඡන්දය ප්‍රකාශ කළ ජාතික ජනබලවේග පාක්ෂිකයාගේ යම් සැලීමක් ඇති බවය.

විවිධ ජනමාධ්‍යවලින් සහ විපක්ෂයෙන් වරින්වර හඬ නැගූ පරිදි අනුරට බලය දුන් මාලිමාව යට ගොස් ජවිපෙ උඩට පැමිණ ඇති බවට වූ මතවාදය ද මෙහි දී සාකච්ඡාවට ලක්ව ඇත. මේ සියලු කරුණු අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක තීන්දු කර ඇත්තේ සෑම මැතිවරණ කොට්ඨාසයකම තමා සහභාගි වන එක් රැස්වීමක් බැගින් පවත්වා මාලිමාවේ පාක්ෂිකයන් මුණ ගැසීමටය.

බොහෝ ප්‍රා​දේශීය සභාවල දී වඩාත් ක්‍රියාකාරීව ඉස්මතු වී ඇත්තේ මාලිමාව නොව ජනතා විමුක්ති පෙරමුණ රජය මෙයට හේතුව ලෙස දකින්නේ මාලිමා පාක්ෂිකයාට වඩා ජනතා විමුක්ති පෙරමුණු  පාක්ෂිකයාට සංවර්ධන  කටයුතුවල දී ක්‍රියාකාරීව මැදිහත් වූ අත්දැකීම් පැවතීමය. නිලධාරීන්ගේ උදාසීනත්වය හමුවේ මාලිමා පාක්ෂිකයා මුළු ගැන්වෙන බවත් එහෙත් ජවිපෙ පාක්ෂිකයා නොබියව නිලධාරීන් සමග වාද විවාද කර තම අරමුණු ඉටු කරගන්නා බවත් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත. රජයේ පැවැත්ම සඳහා ජවිපෙ මෙන්ම මාලිමා සාමාජිකයාගේ ද ක්‍රිකාරිත්වය සමව පවත්වාත යුතු බව මෙහි දී අවධානයට ලක්වී ඇති අතර මාලිමා පාක්ෂිකයා ඍජුව හමුවීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇත්තේ ඉන් පසුවය.

ජාතික ජනබලවේගය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් මත පිහිට වූ දේශපාලන පක්ෂයක් වන අතර ජවිපෙ ප්‍රතිපත්ති පිළි නොගන්නා බොහෝ මධ්‍යස්ථ පිරිස් එහි වෙති.

සජබ කළමනාකරණ කමිටුව

සමගි ජනබලවේගයේ කළමනාකරණ කමිටු​වේ රැස්වීමක් ඉකුත් බදාදා පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. ඉදිරි දිනවල පක්ෂයක් ලෙස කළ යුතු දේ එහිදී සාකච්ඡාවට ගැනිණි.

“එන්න එන්නම රටේ ජනතාවගේ ජීවන තත්ත්වය දුෂ්කර වෙනවා. මේ ගැන අපි නිතරම ජනතාවට අවබෝධයක් ලබාදිය යුතුයි. ජනතාව දැනුවත් කරන ව්‍යාපාරයකුයි අපේ පක්ෂයේ සංවිධාන ටික හදන එකයි ඉතා ඉක්මනින්ම ආරම්භ කරන්න ඕනෑ. මේ කටයුතු වේගවත් කළ යුතුයි. අපේ පක්ෂ සංවිධාන ශක්තිමත් කිරීම ඉක්මනින්ම කරමු.’’ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේය. පක්ෂයේ පහළ මට්ටමේ යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු බව කළමනාකරණ කමිටුවේ ද අදහස විය.

‘‘දැන් රටේ අලුත් දේශපාලන මාතෘකා ගණනාවක්ම තිබෙනවා. එකක් තමයි අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බලපෑම. අධිකරණ සේවයේ විශ්‍රාම වයස ඉහළ දැමීමට පාර්ශ්ව ගණනාවකින්ම විරෝධය පළ වුණා. අපිත් පක්ෂයක් ලෙස එයට විරුද්ධයි. මේ තත්ත්වයට අපි සියලු පක්ෂ එකතු වී වැඩ පිළිවෙළක් යෙදිය යුතුයි. අනිකුත් පක්ෂවල නායකයන් සමගත් අපි සාකච්ඡා කර ඉක්මන් වැඩ පිළිවෙළක් යෙදිය යුතුයි. ‘‘විපක්ෂනායක සජිත් පැහැදිලි කළේය. වෙනත් පක්ෂවල නායකයන් සමග සාකච්ඡා කරන වැඩපිළිවෙළ සැකසීමට මුජිබර් රහුමාන් සුජීව සේනසිංහ හා හෙක්ටර් අප්පුහාමිට භාර කෙරිණි.

සජබයේ වෘත්තීය සමිති පක්ෂයට සම්බන්ධ ගොවි කාන්තා හා තරුණ සංවිධාන ආදිය පක්ෂ කටයුතුවලට ක්‍රියාකාරීව දායක කර ගැනීමේ වැඩ සටහනක් සැකසිය යුතු බවට ද එම හමුවේ දී තීරණයකට පැමිණි අතර එම වැඩසටහන සකස් කිරීම සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායකට පැවරුණි. පක්ෂයේ දිස්ත්‍රික් සංවිධාන ද ඉක්මනින්ම රැස් කිරීමට ද එහිදී තීන්දු විය.

නඩු තීන්දු පෝලිමක්

මේ වන විට විපක්ෂයේ හිටපු ප්‍රබල පුද්ගලයන්ට එරෙහිව පවරා ඇති නඩුවල තීන්දු ලබාදෙන ආකාරයක් දැක ගත හැකිය. සරණ ගුණවර්ධන නඩුවේ තීන්දුව ඉකුත් සතියේ ලැබුණේ ඒ මහතාට වසර දහසයක සිර දඬුවම් නියම කරමිනි.

මෙම නඩු බොහොමයක් සඳහා පදනම වැටුණේ 2015 යහපාලන රජය සමයේය. පැවැති රාජපක්ෂ රජයේ ප්‍රබලයන්ට එරෙහිව යහපාලන රජය නඩු ගණනාවක් සඳහා චෝදනා ගොනුකර තිබූ අතර පසුව ඇතැම් නඩු දේශපාලන හේතු මත ඉල්ලා අස්කර ගැනිණි. සමහර නඩු එම පැරණි නඩුගොනු අනුව යළිත් අලුතෙන් පැනවීමට වත්මන් රජය පියවර ගත්තේය. එකල රාජපක්ෂ රජයට එරෙහිව යහපාලන රජය සමග සමීප හිතවත්කමකින් ජාතික ජන බලවේගය හා ජවිපෙ කටයුතු කළ අතර එකල දූෂණ විමර්ශන කාර්යංශය නමැති ඒකකයක්ද ජවිපෙ ප්‍රධානත්වයෙන් පැවැතිණි. පසු කාලීනව රාජපක්ෂවරුන් සමග හිතවත්කම් වැඩිකර ගැනීමෙන් පසු මෙම නඩුවලට අධිකරණ අමාත්‍යංශය හරහා ඇල්මැරුණු ප්‍රතිපත්තියක් දැක්වූ බවට යහපාලන රජයට චෝදනා කෙරිණි. කෙසේ හෝ යළිත් වටයකින් ඇසෙමින් යන්නේ යහපාලන රජය මතුකළ චෝදනා ටිකමය. මේ සම්බන්ධයෙන් රජයේ මතය වන්නේ දෙපාර්ශ්වය එක්ව යටගසා තිබූ නඩු යළිත් මතු කර ගැනීමට තම රජයට හැකි වූ බවය.

විනිසුරු විශ්‍රාම වයස ගැන රජය උත්තර දෙයි

ඉකුත් සතියේ විපක්ෂය මතුකළ ප්‍රධාන කරුණක් වුයේ ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට රජය තීන්දු කර ඇති බවය. ආණ්ඩුව එසේ කරන්නේ තමන්ට හිතවත් විනිසුරුවරුන් පිරිසක් දිගටම එම තනතුරුවල රඳවා තබාගැනීමට බවද විපක්ෂයේ සමහරුන්ගේ මතය විය. විපක්ෂයේ සමහරුන්ට එරෙහිව දැනට පවරා ඇති නඩු කටයුතුවල දී මෙම විශ්‍රාම වයස ඉහළ දැමීම හේතුවෙන් තමන්ට අවාසියක් සිදුවන බවද විපක්ෂයේ මතය විය.

ඉහළ අධිකරණවල විනිසුරුවරුන් සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනාවලට පදනමක් නොමැති බව අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර ඉකුත් බ්‍රහස්තින්දා පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. විපක්ෂනායක සජිත් විමසූ පැනයකට පිළිතුරු වශයෙන් අධිකරණ ඇමැතිවරයා පැවසුවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා රජය නිල වශයෙන් කැබිනට් අනුමැතියක් ගෙන නොමැති බවය. විනිසුරුවරුන්ට අමතරව වෙනත් වෘත්තිකයන් විසින්ද තම විශ්‍රාම වයස ඉහළ නංවන්නයි රජයෙන් ඉල්ලා ඇතැයි එම ඉල්ලීම්වල සාධාරණ ඉල්ලීම්ද ඇති බවත් සමහර ඉල්ලීම් දේශපාලනික ඉල්ලීම් බවද ඇමැතිවරයා කියා සිටියේය. 

විපක්ෂය පවසන්නේ ඉහළ අධිකරණවල විනිසුරු තනතුරු  ගණනාවක්ම පුරප්පාඩුවී ඇති අතර එම පුරප්පාඩු පිරවීමට රජය උනන්දු නොවන බවය. 

සජබ මන්ත්‍රී කණ්ඩායම

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉකුත් සඳදා විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණි. ඉදිරි පාර්ලිමේන්තු සතියේ කටයුතු ගැන සාකච්ඡා කිරීම එහි අරමුණ විය.

ලොකුම ප්‍රශ්නය තමයි ඉහළ අධිකරණ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස ඉහළ දාන්න යනව එක පුරප්පාඩු අටක්ම තිබියදී ඒවා පුරවන්නේ නැතිව තමයි මෙහෙම කාලය දිගු කරන්න හදන්නේ මේකෙන් අධිකරණයේ ස්වාධීනත්වයට ලොකු තර්ජනයක් එල්ල වෙනවා.’’ විපක්ෂනායක සජිත් එහිදී කීවේය.

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙ ගැන ඉන්පසුව විවිධ මත පළවිය. අපි පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අවස්ථා කිහිපයක්ම කතා කර තිබෙනවා. මේ ගැන අලුතෙන් කතා කරන්න දෙයක් නෑ...’’ විපක්ෂ නායක සජිත් එහිදී කියා සිටියේය.

‘‘මතක තියා ගන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ රටේ මුස්ලිම් ජනතාව විශාල පිරිසක් ඉන්නේ මාලිමාව සහ ජවිපෙ එක්ක. එයාලා කල්පනා කරනවා මේ ආණ්ඩුව යටතේ ඔවුන්ට හානියක් නෑ කියලා. ඒ වගේම දමිල සහ කතෝලික ජනතාවත් හිතවත්ව තියාගෙන සුළු ජන ඡන්ද පදනමෙන් ඉදිරියට යන්නයි ජනාධිපතිතුමා උත්සාහ කරන්නේ. අපි හැම පැත්ත ගැනම බැලිය යුතුයි. අපි  කතා නොකර හිටියොත් සිංහල මිනිස්සු ටිකත් අමනාප වෙයි. අපි ජාතිවාදී වෙන්න ඕන නෑ.. එ්ත් සිංහල බෞද්ධ, දමිළ ජනතාව, මුස්ලිම් ජනතාව කතෝලික ජනතාව කියන හැමෝම එක්ක අපි හොඳින් ඉන්න ඕනෑ....’’ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

නාමල් කැකිරාවේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැකිරාව කොට්ඨාස රැස්වීම් ඉකුත් සතියේ පැවැත්වුණේ නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම්, තිස්සකුට්ටි ආරච්චි, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් ද නාමල් සමග එහි ගියහ. පිරිස තේ බීවේ ජොන්ස්ටන්ගේ කුරුණෑගල නිවසෙනි. එහි විශේෂත්වය වූයේ  නාමල් වෙනුවෙන් බිත්තර නැතිව හැදූ කේක් ද සුදානම් කර තිබීමය.

‘‘නාමල් මන්ත්‍රීතුමා. අපිට දැන් රැල්ලක් හැදිල තියෙනවා.. ඉක්මනට කුරුණෑගල රැස්වීම් ටික දාගන්න ඕනෑ..’’ යු.කේ. සුමිත් කීවේය. එදින ජොන්ස්ටන්ගේ නිවසේ නතර වී කුරුණෑගල රැස්වීම් ගැන සැලසුම්ද කතාබහ කරගත් නාමල් පසුදා අනුරාධපුර බලා පිටත්ව ගියේය. එදින පැවැත් වූ රැස්වීම කොට්ඨාස රැස්වීමක් වුවත් විශාල පිරිසක් පැමිණ සිටින බව සාගර ඇතුළු පිරිසගේ කතාබහට ලක්විය. එහි සිටි  බොහෝ තරුණ තරුණියන් නාමල් සමග ඡායාරූප ගැනීමට ද පොර කෑ අතර නාමල් ඒ සියලු දෙනා සමග ඡායාරූපවලට පෙනී සිටියේය. තම බිරිය ලිමිනි ද සමග අනුරාධපුරයට ගොස්  ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑයද වැඳපුදා ගත් නාමල් ඉන්පසු කොළඹ බලා පිටත්ව ආවේය. 

සත්‍යග්‍රහයට ගිය නාමල්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට වදහිංසා සිදුවන බවට හෙළිදරව් කළේ ඔහුගේ බිරිය වන මනෝරි සලේ විසිනි. ඔහු ආහාර වර්ජනයක් ආරම්භ කිරීමත් සමග ‘‘මහජන හඬ’’ සංවිධානය සලේ නිදහස් කරනු යන මැයෙන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී සත්‍යග්‍රහයක් ද පැවැත්වීය. මේ සඳහා පෙරමුණ ගත්තෙ විමල් වීරවංශ හිටපු ඇමැතිවරයාය.

විමල්- ටිරාන් අලස්- උදය ගම්මන්පිල, සංජීව එදිරිමාන්න හා චන්න ජයසුමන මෙම සත්‍යග්‍රහය පැවැත්වීමට අවශ්‍ය සාකච්ඡා පැවැත් වූයේ ජංගම දුරකථන ඔස්සේ වීම විශේෂත්වයකි. සෙනසුරාදා එම සාකච්චාව පවත්වා සඳුදා වනවිට සත්‍යග්‍රහය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කෙරිණි. අඟහරුවාදා නාමල් රාජපක්ෂ ද සත්‍යග්‍රහයට සහාය පළ කිරීමට පැමිණියේ පාර්ලිමේන්තුවේ දී සලේට කරන වදහිංසා ගැන සැර කතාවක් ද කිරීමෙන් පසුවය.

මම දැන් කොටුවට එනව..’’ නාමල් විමල්ට ඇමතුමක් ගෙන කීවේය. 

‘‘හරි...එන්න අපි බලා ඉන්නවා.. විමල් කීවේය. නාමල් සත්‍යග්‍රහ බිමට පැමිණ අට්ටාලයේ වාඩි ගත්තේය. ටික වේලාවකින් එක් පුද්ගලයකු කලහ කරන්නට පටන් ගත්තේය.

‘‘කවුද ඒ කෑ ගහන්නෙ...?’’ නාමල් විමල්ගෙන් විමසීය.

‘‘ඔය පැලවත්තෙන් එවපු කෙනෙක්. පැලවත්තේ ඉඳන් නටවන ඔලුබක්කෙක් තමා ඔය ඉන්නෙ’’ විමල් කියද්දී නාමල්ට සිනා නොවී සිටිය නොහැකි විය.

මට කියන්න තියෙන්නෙ එක දෙයයි. රාජපක්ෂලා එක්ක තියෙන වෛරය රණවිරුවන්ගේ පිටින් යවන්නව එපා කියන එකයි...’’ නාමල් එහි සිටි පිරිස සමග කතා බහේ දී කියා සිටියේය.

මේක තනිකරම රණවිරුවන්ගෙන් පළිගන්න කරන දෙයක්..’’සංජීව එදිරිමාන්න කීවේය.

‘‘ඇයි සහරාන්ගේ නීතිඥයන් මාලිමාවෙන්..’’ නාමල් කීයද්දී ‘‘අපි සෙනසුරාදා කීවා සත්‍යග්‍රහයක් කරනවා කියලා. කිව්වා විතරයි සලේව ජාතික රෝහලට ගෙනාවා.’’ විමල් කීවේය.

‘‘මේක තනිකරම බොරුවෙන් හා උද්ධච්චකමෙන් දුවන ආණ්ඩුවක්...’’ ගම්මන්පිල ද කියා සිටියේය. 

එහි සිටි වැඩිහිටි මාතාවක නාමල්ගේ අත අල්ලාගෙන කියා සිටියේ තමා කාල්ටන් නිවසට ගිය අවස්ථාවක මතක සටහනකි. සත්‍ය ග්‍රහය  අතරතුර සලේගේ සෞඛ්‍ය තත්වය හා ඔහුට සිදුවී ඇතැයි කියන වදහිංසා ගැන සොයා බැලීමට පංච පුද්ගල  වෛද්‍ය කමිටුවක් පත් කිරීමත් සමග සත්‍යග්‍රහය තාවකාලිකව අවසන් කිරීමට ‘‘මහජන හඬ’’ සංවිධානය තීන්දු කළේය.

සරසවි ඇදුරන් සමග නාමල්ගේ සාකච්ඡාවක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්  විසි දෙනකුගේ පමණ කණ්ඩායමක් සමග රටේ ආර්ථික තත්ත්වය ගැන සාකච්ඡාවක යෙදෙන්නට නාමල් හා ඩී.වී චානක ඇතුළු පිරිස ඉකුත් සතියේ කටයුතු කළහ. පැය තුනක පමණ වේලාවක් මෙම කතාබහ සිදුවිය. රටේ ආර්ථිකය යායුතු දිසාව ගැන දෙපිරිස බොහෝ තොරතුරු හුවමාරු කරගත්හ. සතියකට වරක් මෙම හමුව පැවැත්වේ. 

සලේ අත්අඩංගුවට ගැනීම ගැන විවිධ පක්ෂ විවිධ කෝණවලින් විග්‍රහ ඉදිරිපත් කරද්දී එක්සත් ජාතික පක්ෂයද ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළේය. ඒ නිවේදනයේ සඳහන් වූයේ බුද්ධිමත් මධ්‍යස්ථ සියලු‍ දෙනාට එකඟ විය හැකි කාරණයකි. එම නිවේදනයෙන් කියැවුණු මූලික කාරණය වූයේ සුරේෂ් සලේට එරෙහිව ගන්නා හැම ක්‍රියා මාර්ගයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල විය යුතු බවයි. ඒ අදහස ගැන සමාජ මාධ්‍යයේද ප්‍රශංසාව හිමිව තිබූ අතර ආණ්ඩු පාර්ශවයට පවා වරදක් කීමට නොහැකි තර්කානුකූල කාරණයක් විය.

රනිල් අදාළ නිවේදනය සැකසීමේ වගකීම පවරා තිබුණේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නටයි.

”‍එල්ල කර තිබෙන චෝදනාවලට සම්බන්ධ හෝ වගකිව යුතු හෝ බව අද තිබෙන ප්‍රශ්නය නොවේ. අද ඇති ගැටලුව වන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයකුට සලකන ආකාරය පිළිබඳවය”‍ ආදී වශයෙන් එම නිවේදනයේ කරුණු අන්තර්ගත කර තිබුණේ කිසිවකුටවත් විවේචනයක් කිරීමට ඉඩක් නොතබමිනි.

සැත්කමින් පසු දිගු කලක් නිවසට වී විවේකයෙන් ගත කළ රනිල් ඉකුත් සතියේ නැවත සාමාන්‍ය වැඩ කටයුතු ටිකෙන් ටික අරඹන්නට මල් පාර දේශපාලන කාර්යාලයට පැමිණියේය.රනිල්ගේ පැමිණීම ඒකාබද්ධ විපක්ෂ දේශපාලනඥයන්ට ද නව ප්‍රබෝධයක් ගෙන දෙන කාරණයක් විය.

රනිල් කලකට පසු කෘත්‍යාධිකාරී රැස්වීමේ

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද මල් පාර දේශපාලන කාර්යාලයේදී රනිල්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා පස්වරුවේ පැවැත්විණ. රනිල් සැත්කමට ලක් කිරීමෙන් පසු කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ ප්‍රථම අවස්ථාව මෙයයි.එහිදී පක්ෂ ප්‍රතිසංවිධාන මෙන්ම විනය කමිටුවට යොමු කර තිබෙන කාරණා පිළිබඳව සාකච්ඡා විය.

විනිසුරු විශ්‍රාම වයස එළිබඳ ප්‍රශ්නය නිසා ආණ්ඩුව සිරවී තිබේ. රනිල් සමග මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී ද මේ කාරණය ගැන කතා බහට ලක් විය.

”‍මේ ප්‍රශ්නය නිසා ආණ්ඩුව කාරණා කීපයක හිරවෙලා ඉන්නේ. මේකට කනිෂ්ඨ විනිශ්චකාරවරුත් විරුද්ධයි.නීතිඥවරුත් විරුද්ධයි, සංඝයා වහන්සේලාත් විරුද්ධයි. මේක කරන්න ගියොත් රටේ දේශපාලන ව්‍යාපාරයට මුහුණ දෙන්න තියෙනවා. ඒක එක පැත්තක්. අනෙක් පැත්තෙන් දැන් සලේ ගැනත් ආණ්ඩුවට විරුද්ධව විරෝධයක් එනවා, රනිල් කතාවට මුල පිරුවේය.

”‍ආගමික වැඩ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇඟිලි ගැහීම්වලට සංඝයා වහන්සේලාත් කැමති නෑ. විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කරපු කෙටුම්පත සංශෝධනය කර යැවිය යුතු බව සංඝයා වහන්සේලාගේ අදහසයි. වගන්ති දෙක තුනක් සංශෝධනය කරලා ඒක පදනම් කරගෙන නීතිය සම්මත කරන්න කියලයි උන්වහන්සේලා කියන්නේ.මේ ඔක්කොම දැන් ආණ්ඩුවට හිසරදයක් වෙලා රනිල් තවදුරටත් පැවසූයේ ප්‍රසිද්ධ සංඝයා වහන්සේලා තමන්ට පැවසූ කාරණා ද උපුටා දක්වමිනි.

ජාතික ජනබලවේගයේ නීතිඥවරුන් සහ ජනපති අතර සාකච්ඡාවක් ඉකුත් සතියේදී පැවැත්වී ඇතැයිද ආණ්ඩුවට ජනතාවගේ අප්‍රසාදයක් ඇතැයි එහිදී නීතිඥවරුන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන්නේ යැයිද රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න රනිල් හමුවේ සැල කර සිටියේය. 

ඒ කතාවට එක්වෙමින් සුගීශ්වර තමන්ට ආරංචි වූ කාරණයක් දැනුම් දුන්නේය.

”‍මේ රැස්වීමට නීතිඥවරු එකසිය පනහක් විතර ඉඳලා තියෙනවා. චම්පිකලා නාමල්ලා මේ අවුරුද්දේ හි⁣රේ යනවා කියලා ජනාධිපති ලොකු ලැයිස්තුවකුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි නීතිඥවරු චූන් වෙලා තියෙන්නේ.

”‍කොහොම වුනත් ආණ්ඩුවට දැන් විරෝධතා තුනක් එනවා.ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රබල ප්‍රහාර එල්ල කරනවා.. අනික විමල්ලා. මේ වගේම සංඝයා වහන්සේලාගේ ප්‍රබල විරෝධයක් තියෙනවා”‍ රනිල් කීවේ ඊට පිළිතුරක් වශයෙනි.

ඒකාබද්ධ විපක්ෂයට අලුත් බලවේගයක්

ඒ වගේම විපක්ෂයට අලු‍ත් බලවේගයක් එකතු වීමට නියමිත බව රනිල් එහිදී අනාවරණය කළේය. ඒ බලවේගය නම් රට අන්තයට වැටී තිබූ සමයේ ක්‍රියාශීලීව දේශපාලනයේ නිරතව සිට අනතුරුව මඳකට දේශපාලනයෙන් ඉවත්ව සිටි තරුණ නායක පිරිස නැවත සක්‍රීය දේශපාලනයට පිවිසීමට තීරණය කර තිබීමයි.එනම් ශෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර, අනුරාධ ජයරත්න යන තරුණ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් මේ බලමුළුව ඉදිරියට පැමිණීමට නියමිතය. ඒ සම්බන්ධ අභ්‍යන්තර සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී තිබේ.ඒ කණ්ඩායමේ විශේෂත්වය වන්නේ රනිල් දියත් කළ ආර්ථිකය ගොඩ ගැනීමේ මෙහෙයුමේදී යෝධ ශක්තියක් සැපයූ තරුණ නායක කණ්ඩායම වීමයි. මේ තරුණ කණ්ඩායමේ ආගමනයත් සමඟ වත්මන් දේශපාලන පිටියේ ස්වභාවය තවදුරටත් වෙනස් වීමට නියමිත බව දේශපාලනඥයන් බොහෝ දෙනෙක් අදහස් දක්වමින් කීහ.

වත්මන් බඩු මිල වැඩිවීම ගෝලීය ප්‍රශ්නයටම හේත්තු කරන්නට ආණ්ඩුව උත්සාහ දරමින් සිටී.

”‍කඳ සහ ඔලු‍ව එකතු කරන කතාවට සමගි ජන බලවේගයේ ඇතැම් උදවිය නවීන් සමගත් අමනාපයෙන් සිටින බවට සමාජ මාධ්‍යයේ පළවන පුවත් පිළිබඳව ද මෙහිදී කතාබහට ලක් විය.
රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අමාරි හෝටලයේදී ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් සංවිධාන කෙරුණු සම්මන්ත්‍රණයේදී බොහෝ වැදගත් කරුණු රාශියක් හෙළිදරව් විය. එම සම්මන්ත්‍රණය පැවැත්වුණේ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ජී.එල් පීරිස්ගේ ප්‍රධානත්වයෙනි. සිරිමල් අබේරත්න, රෝහාන් සමරජීව, අමින්ද මෙත්සිල යන මහාචාර්යවරු එම සම්මන්ත්‍රණයේ සම්පත් දායකයෝ වූහ.

ජීවත්වෙන්න බැරි තරමට බදු නග්ගලා

”‍සත්‍ය සඟවා කිසි දෙයක් කරන්න බැහැ. මේ රටවල නායකයන් දෛනික පදනම මත ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගන්නවා. ඒ වගේම වර්තමාන සමාජයේ සුබසාධනය පිළිබඳ උග්‍ර ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටිනවා. ලෝක බැංකු වාර්තාව අනුව මෙරට ජනගහනයෙන් සියයට 24.5ක් දරිද්‍රතාවෙන් පෙළෙනවා. මේ අගය ඉතා ඉක්මනින් ජනගහනයෙන් තුනෙන් එකක් දක්වා වැඩි වීමේ ප්‍රවණතාවක් තිබෙන බවද ලෝක බැංකුව පෙන්වා දෙනවා. අපේ ජනගහනයෙන් මිලියන 4.3ක් දැඩි ආහාර අනාරක්ෂිතතාවට ලක්ව සිටි බව ලෝක ආහාර සංවිධානය පෙන්වා දෙනවා.තවත් මිලියන 1.3ක් ඒකට එකතු වෙලා තිබෙනවා. ඒ කියන්නෙ අපේ ජනගහනයෙන් මිලියන හයකට එක පෝෂදායී ආහාර වේලක්වත් දවසකට ලබාගන්න නොහැකි වී තියෙනවා.

වාර්තාගත ආදායමක් ලබා ගන්නවා යැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පුරසාරම් දොඩවනවා. ඒ ආදායම ලබා ගන්නේ කොහොම ද? මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරමට බදු වැඩි කරලා සහ භාණ්ඩ මිල වැඩි කරලා.

ඒ හැම දේටම හේතුව යුද්ධය කියලා පෙන්නුවට ඒකම නෙමෙයි. මහා පරිමාණ දුෂණත් මේකට බලපානවා.ගිය සතියේ ගුණාත්මක බවින් අඩු ගල් අඟු‍රු නැවක් පුත්තලමේ ගොඩ බෑවා.එහි ගුණාත්මක බව අඩු යැයි රජයත් පිළිගන්නවා. එහි ප්‍රතිඵලය වන්නේ විදුලි බලය නිෂ්පාදනය සඳහා ඩීසල් පාවිච්චි කරන්නට සිදුවීමයි. ඒ නිසා හදිසි මිලදී ගැනීම් යටතේ ඩීසල් වැඩි මිලට ගන්න වෙනවා”‍යනාදී වශයෙන් ඊට සහභාගී වූ මහාචාර්යවරු දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වූහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොළඹ කාර්යාලය භාරව සිටින නිලධාරියා හමුවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන ණය නිසි කටයුතු සඳහා යෙදවීමට වගබලා ගන්නවාද කියා සොයා බලන ලෙස එහිදී ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයන් මූල්‍ය අරමුදලට දැනුම් දීමට නියමිතව තිබේ.

ඒකාබද්ධ විපක්ෂ නායකයෝ සෙනසුරාදා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවහ.රජයේ නිරාගමික ප්‍රතිපත්තිය ගැන එහිදී ඔවුහු කරුණු පැහැදිලි කළහ. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දිගු කිරීමට තමන් විරුද්ධ බව ද විපක්ෂයේ නායකයෝ මහා නා හිමිවරුන් හමුවේ සඳහන් කළහ.

ර​ාජ දූත