නිරෝෂාන් ප්‍රේමරත්න

ජුනි මාසයේ සිට ලොව පුරා පවතින එල්නිනෝ තත්ත්වය 2027 මාර්තු - අප්‍රේල් දක්වා පැවතීමේ අවදානමක් පවතින බවත් මුලින් මධ්‍යම මට්ටමේ එල්නිනෝ තත්ත්වයක් ගැන පුරෝකථනය කළද මේ වනවිට එය උපරිම තලයේ එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වන බවට ලොවපුරා කාලගුණ විශ්ලේෂකයන් විසින් අනාවැකි පළකරනු ලැබ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.

දරුණු එල්නිනෝවක්....

එළඹෙන ජූලි - අගෝස්තු මාස වන විට මෙම එල්නිනෝ තත්ත්වය උපරිම තලයකට ළඟාවන බවට අනාවැකි පළවී ඇති අතරම මෙරට ජල විදුලි, කෘෂිකර්මාන්ත හා පානීය ජල ක්ෂේත්‍රවලට බලපෑම් එල්ලවිය හැකි බවද එම නිසාම ජල කළමනාකරණය සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය. 

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙසේද පැවසීය.

‘‘එල්නිනෝ තත්ත්වය කියන්නේ මධ්‍යම පැසිෆික් සාගරයේ සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යාමයි. මුහුදු මතුපිට උෂ්ණත්වය ඉහළ යාම වායුගෝලයේ වෙනස්වීම්වලට බලපානවා. එය කාලගුණයේ වෙනස්වීමට බලපානවා.

මුහුදු මතුපිට උෂ්ණත්වය වෙනස් වුණාම වායුගෝලයේ සුළං සංසරණ රටාවේ වෙනස්වීම් ඇතිවෙන්න පුළුවන්. එල්නිනෝ තත්ත්වය ලෝකයේ විවිධ ප්‍රදේශවලට විවිධ විදියට බලපානවා. උදාහරණයක් ලෙස නැගෙනහිර පැසිෆික් කලාපයේ රටවල් වන දකුණු ඇමරිකානු රටවල වර්ෂාපතනය වැඩිවීමක් අපේක්ෂා කරනවා. බටහිර පැසිෆික් සාගරයේ රටවල් වන ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව වැනි රටවලට සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරනවා. ආසියානු කලාපය ගත්තොත් සමහර පැතිවලට වියළි කාලගුණයකුත් තවත් ප්‍රදේශවලට වර්ෂාපතනයේ වැඩිවීමකුත් තමයි දක්නට ලැබෙන්නෙ.

ශ්‍රී ලංකාව සම්බන්ධව ගත්තොත් සාමාන්‍යයෙන් මැයි මාසයේදී ආරම්භ වූ නිරිතදිග මෝසම් තත්ත්වය සැප්තැම්බර් මාසය දක්වා මාස 5ක කාලයක් පවතිනවා. නමුත් එල්නිනෝ තත්ත්වය ගැන පසුගිය දත්ත විශ්ලේෂණය කිරීමේදී වර්ෂාපතනයේ අඩුවීමක් තමයි දක්නට ලැබෙන්නෙ. ඒ අනුව මෙවර අපේක්ෂිත නිරිතදිග මෝසම් වර්ෂාපතනය සාමාන්‍ය වර්ෂාපතන ප්‍රමාණයටත් වඩා අඩුවේවි. මෙවර එල්නිනෝ තත්ත්වය මධ්‍යම මට්ටමේ පවතිවී යැයි මුලින් අදහස් පළ වූවත් මේ වනවිට උපරිම තත්ත්වයේ එල්නිනෝ තත්ත්වයක් කරා ගමන් කරන බවටයි අනාවැකි පළ වෙන්නේ.

මේ අනුව එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමට සියයට85ක පමණ සම්භාවිතාවක් පවතින අතර එය ජුනි මාසයේ සිට ක්‍රමයෙන් ආරම්භ වී 2027 මාර්තු - අප්‍රේල් දක්වා පවතින බවට අනාවැකි පළ වෙනවා. ජූලි අගෝස්තු මාස වනවිට එය ඉහළම මට්ටමකට ගමන් කරනවා.

අපේ රටට වැඩිම වර්ෂාතනයක් ලැබෙන්නෙ මේ වකවානුවේ ක්‍රියාත්මක වන නිරිතදිග මෝසම හරහායි. බස්නාහිර, සබරගමුව, වයඹ, මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර ප්‍රදේශවලට විශාල වර්ෂාපතනයක් සාමාන්‍යයෙන් මෙම වකවානුවේ ලැබෙනවා. සෙසු පළාත්වන උතුරුමැද, උතුරු - නැගෙනහිර හා හම්බන්තොට ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් නිරිත දිග මෝසමෙන් ලැබෙන්නෙ නැහැ. වෙනත් වර්ෂවල වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනයත් එල්නිනෝ නිසා අඩු මට්ටමකට පත්වීමේ අවදානමක් පවතිනවා. වෙනදාටත් අඩුම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය තවත් අඩුවී යා හැකියි. විශේෂයෙන් කෘෂිකාර්මික වගා වැඩි වශයෙන් පවතින උතුර, උතුරු මැද හා නැගෙනහිර පළාත්වලට වර්ෂාව තවදුරටත් අඩුවීයාමෙන් දැඩි බලපෑමක් ඇතිවීමේ අවදානමක් පවතිනවා.

මේ නිසා ජලය කළමනාකරණය කරගැනීම සඳහා දැඩි අවධානයක් යොමු කළ යුතු වනවා. බලශක්ති මාධ්‍යයක් වන ජලවිදුලියට මෙයින් බලපෑම් අතිවිය හැකියි. එමෙන්ම කෘෂිකර්මාන්තය හා පානීය ජලය සැපයීම සම්බන්ධයෙන් කල්තබා සැලසුම් සකසාගත යුතු වනවා.  

නිරිත දිග මෝසමෙන් පසුව ඔක්තෝබර් - නොවැම්බර් මාසවලදී දෙවන අන්තර් මෝසම ඇති වීමට නියමිතයි. සාමාන්‍යයෙන් එල්නිනෝ තත්ත්වයකදී දෙවන අන්තර් මෝසම් වර්ෂාපතනයේ වැඩිවීමක් තමයි අපේ දත්ත විශ්ලේෂණ අනුව බලාපොරොත්තු විය හැක්කේ. ඒ වැස්ස අපට ලැබුණොත් යම් ගලපා ගැනීමක් කරගන්න පුළුවන්. සමස්ත වර්ෂාපතනයෙන් සියයට 30ක් පමණ වෙනදා අපට එම කාලසීමාවේදී ලැබෙනවා. නමුත් එතෙක් අපි ජලය අරපිරිමැස්මෙන් අනිවාර්යෙන් සිදුකළ යුතුයි.

දැනටත් අපට ජලය සම්බන්ධව යම් සහනයක් ලැබිලා තිබෙන්නේ පසුගිය නොවැම්බරයේ දිට්වා සමයේ උතුර, උතුරු මැද හා නැගෙනහිර ජලාශ සියල්ල පිරීයාම නිසයි. මේ තත්ත්වය කළමනාකරණය කරගෙන ඉදිරියට රැගෙන යාමට සිදුවනවා’’.

මේ අතර ලෝක කාලගුණ සංවිධානය ද (WMO) අවධාරණය කොට ඇත්තේ ජුනි සහ අගෝස්තු කාලය තුළ එල්නිනෝ කාලගුණික තත්ත්වයක් ඇතිවීමේ සියයට 80ක සම්භවිතාවක් පවතින බවය. එසේම එම එල්නිනෝ තත්ත්වය නොවැම්බර් මාසය දක්වා පැවතීමට සියයට 90ක සම්භාවිතාවක් පවතින බවත් පෙරවසරවල එල්නිනෝ තත්ත්වයට වඩා මෙවර එල්නිනෝ තත්ත්වය බලපෑම් සහගත විය හැකි බවත් අවධාරණය කර තිබේ.