
දිනය - 2026-07-07
වේලාව - අඟහරුවාදා පෙරවරු 9.00ට පමණ.
ස්ථානය - මීගමුව බන්ධනාගාරය
විලාප දෙන මව්වරුන්ගේ සහ බිරින්දෑවරුන්ගේ කඳුළු සහ ලේ විලක් මැද අවසන් හුස්ම හෙළූ නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ නිසසල සිරුරු මිහිකත වැලඳගනිමින් පැවති මොහොතක මරණයේ සහ ක්‍රෝධයේ බිහිසුණු ඝෝෂාව මධ්‍යයේ මීගමුව බන්ධනාගාර භූමියේ යුද පිටියට පා තැබුවෙමු.
අප එහි යන විටත් එම පරිශ්‍රය වෙලාගෙන තිබුණේ නොසන්සුන්, වියරු සහ වේදනාවෙන් හා වෛරයෙන්ද උස් හඬින් මොරගසන මිනිසුන්ගේ හඬා වැලපුම් මිශ්‍රිත මහා ඝෝෂාවකි.
නිරතුරු මේ භුමියෙන් ඇසෙන්නේ රැඳවියන්ගේ දරුවන්, සැමියන් සොයා පැමිණි බිරින්දෑවරු, මව්පියන්ගේ මරලතෝනියයි. බන්ධනාගාරයේ ඉතිරිව සිටින පිරිමි රැඳවියන් පටවාගත් බන්ධනාගාර බස් රථ, පිටුපස දොරටුවෙන් පිටව යද්දී රැස්වූවෝ කඩිගුල ඇවිස්සුණාක් මෙන් ඉවක් බවක් නැතුව දිව යන්නේ - තම සහෘදයා එහි සිටීදැයි දැන තහවුරු කරගැනීමටය.
“මගේ පුතා තවමත් ජීවතුන් අතර ඉන්නවා ද?”
“ඔවුන්ව කොහෙටද මේ අරගෙන යන්නේ?
“රෝහල්ගත කරපු අයගේ විස්තර කෝ?
“අනේ ඇයි අපිට දරුවන්ව බලන්න දෙන්නේ නැත්තේ?."
බන්ධනාගාරය ඉදිරිපිටට රැස්වුණු දහස් සංඛ්‍යාත ජනතාව දින ගණනාවක් තිස්සෙ බලධාරීන්ගෙන් සහ රජයෙන් අසමින් සිටින්නේ මේ ප්‍රශ්න වැලය.
බන්ධනාගාර නිලධාරින් 8 දෙනාම මිය ගියේ හිසට සහ පපුවට ෙමාට ආයුධ වලින් පහර දීමෙන්
රැඳවියන්ගේ - දරුවන්, බිරින්දෑවරු, මව්පියන්, සහෝදරයා සහෝදරිය, පවුලේ ඥාතින් එතනට රැස්ව ඇත්තේ ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසීමටවත්, බන්ධනාගාරය කඩාගෙන ඇතුළට යන්නටවත් නොව, තමුන්ගේ එකාගේ හුස්මපොද ඉතිරි වී තිබේද යන්න පිළිබඳ තොරතුරක් දැනගැනිමේ පිපාසයෙනි.
‘සිරකරුවන්ද මනුෂ්‍යයෝය.” යනුවෙන් බන්ධනාගාර තාප්පවල ලියැවී තිබුණත් - ඉකුත් 6 වැනි සඳුදා මීගමුව සිරගෙයින් අප දුටුවේ මනුෂ්‍යත්වයේ නාමය නොව, ඇතැම් රැඳිවියන්ගේ අමනුෂ්‍ය, මෘගත්වයේ හා කෲරත්වයේ යථා ස්වභාවයයි. තමන්ට ආහාර පාන සැපයූ නිලධාරීන් අමානුෂීය ලෙස ඝාතනය කරන්න තරම් මිලේච්ජ වූයේ කෙසේද?
අප බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වන විට එහි ආරක්ෂාව තර කර තිබුණු අතර, රැඳවියන්ගේ භාරකාර ඥාතීන් සහ ආරක්ෂක නිලධාරින් අතර තිබුණේ ඉතා උණුසම්කාරි තත්ත්වයකි.
මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති රැඳවියන්ගේ නාම ලේඛන ද ඥාතීන්ට බලාගත හැකි පරිදි බන්ධනාගාර ඉදරිපිට ප්‍රදර්ශනය කර ඇති අයුරු දැකගත හැකි විය. ඒ වුනත් ලේඛණවල නම් නොමැති රැඳවියන්ගේ මව්පියන් තමන්ගේ දුරකථනවල ඇති පින්තූර පෙන්වා නිලධාරින් ඉදිරියේ බැගෑපත් වන්නේ අනේ මගේ දරුවා කෝ සර් යන අඳොනා වෙනි.
බන්ධනාගාරය ඉදිරිපිට තාප්ප බිත්තියේ අලවා ඇති නාමලේඛන දෙස බලමින් - "මගේ දරුවාගේ නම මෙතන නෑ. උන් කොහෙද සර්, මැරිලානම් ඒකවත් කියන්න සර් නැත්නම් මගේ පපුව පැලිලා මැරෙයි. " කියා කෑ ගසන්නේ දරාගත කොහැති වේදනාවකින් බව සත්‍යය. කොතරම් දරුණු අපරාධකරැවකු වුවත් වැදු මවගේ දරු සෙනෙහසට ඒ සියල්ල යට බැව් සැබෑය.
සිරකරුවෙකුට වුවත් මේ තරම් අමනුෂ්‍ය විය හැකිද යන ප්‍රශ්නය අද මුළු සමාජයම හමුවේ ඉතිරිව ඇත. රැඳවියන්ගේ හදවත් තුළ මෙතරම් වෛරයක් පැලපදියම් වූයේ ඇයි? ලැබී ඇති තොරතුරු අනුව මෙම මෘග වෛරයේ උපත සිදුවූයේ බන්ධනාගාරය තුළ රහසින් ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය ජාවාරමක් පදනම් කරගෙනය.

මෙම මහා විනාශයේ මුල්ම ගිනි පුපුර ඇවිළුණේ ජූලි 5 වන ඉරිදා පෙරවරුවේය. බන්ධනාගාරය තුළ රහසින් ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව, එහි සිටි රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාර බලධාරීන්ට රහසිගත තොරතුරු ලබා දී තිබුණි.
මත්ද්‍රව්‍ය "බිස්නස් එක" පාවා දුන් බව දැනගත් වහාම, බන්ධනාගාරය තුළ සිටි සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් දැඩි වෛරයෙන් සහ ක්‍රෝධයෙන් දැවෙන්නට වූහ. කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ ගෝලයකු වන බූරුමූණා නමැත්තාගේ සමීපතමයකු වූ කටුවැල්ලේගම සුරේෂ් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙම ගැටුමේ එක් පාර්ශ්වයක් විය. මීගමුවේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන දැනට ඩුබායිහි සිටින චූටි සහ අඩා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගෝලබාලයන් පිරිසක් ද කටුවැල්ලේගම සුරේෂ්ගේ පාර්ශ්ව සමග එක්ව සිට ඇත.
ඒ අනුව ‘කටුවැල්ලේගම සුරේෂ් නමැති රැඳවියාගේ මෙහෙයවීමෙන්, තොරතුරු ලබා දුන් රැඳවියන් ඉලක්ක කර ගනිමින් බිහිසුණු ප්‍රහාරයක් දියත් විය. එහිදී ඔත්තු සැපයූ බවට සැකකෙරුණු රැඳවියන් දෙදෙනෙකු එම අවස්ථාවේදීම පහරදී ඝාතනය කළහ. 5 වැනිදා එලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ 29 හැවිරිදි වර්ණකුලසූරිය නිලංක දුල්ෂාන් හා 31 හැවිරිදි ගනේගොඩ ආරච්චිලාගේ ගයාන් සම්පත් නම් රැඳවියන් දෙදෙනාය.
සමතයකට පත්වෙමින් සාමකාමී වූ යැයි කියූ බන්ධනාගාර රැඳවියන්ගේ ප්‍රචණ්ඩත්වය ගිනි යට පුපුරු මෙන් රාත්‍රීයේද තරමක් ඇවිලී ගියේය. ප්‍රචණ්ඩත්වයෙන් උමතු වූ රැඳවියන් පිරිස බන්ධනාගාර ඔසුසල බිඳ, එහි තිබූ මානසික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ පෙති වර්ග මත්ද්‍රව්‍ය ආදේශක ලෙස අධික ලෙස පානය කළහ. ඉන් ඔවුහු අධික ලෙස උමතු වී, පාලනයෙන් තොර ආවේගශීලී තත්ත්වයකට පත්ව සිටියහ.
ජූලි 6 වන සඳුදා උදෑසන, බන්ධනාගාර නිලධාරීන් සුපුරුදු පරිදි උදේ ආහාරය ලබාදීමට සූදානම් වන විට, ඖෂධවලින් මත්වී සිටි රැඳවියෝ යළිත් වරක් පෙරදින තොරතුරු දුන් රැඳවියෙකුට මාරාන්තික ලෙස පහර දෙන්නට වූහ. මෙය වැළැක්වීමට සහ රැඳවියන් බේරාගැනීමට මැදිහත් වූ බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව රැඳවියන්ගෙන් කල්ලියම දරුණු ලෙස වට වූහ.
සිරකරුවෝ එහි තිබූ විශාල ගල් හා යකඩ පොලු වලින්ද, අතින් පයින් ද, නිලධාරීන්ට පහර දුන්හ. එම අමානුෂික ප්‍රහාරවලින් එක් ජේලර්වරයෙක් සහ බන්ධනාගාර නියාමකවරුන් 7 දෙනෙකු එම ස්ථානයේදීම ඉතා අවාසනාවන්ත අයුරින් ජීවිතක්ෂයට පත්වූහ.
“සර් ඔයාලා දුවන්න මුං පිස්සෝ වගේ” - පැරණි රැඳවියෝ කෑ ගැහුවා
එක් අයෙකු රෝහල් ගත කළ පසු මිය ගියේය.
06දා පෙරවරුවේ නැවතත් හටගත් ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් යටකී නිලධාරීන් ද ඇතුළුව පුද්ගලයෝ 27 දෙනෙක් ඝාතනයට ලක් වූ අතර, 100 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. එතැන් පටන් මේ මොහොත වන තුරුත් මීගමුව බන්ධනාගාර භුමිය යුද පිටියකි. ඒ තවමත් බහුතර රැඳවියන්ගේ තොරතුරක් නොලැබීම හේතුවෙනි.
“දැන් දවස් කීපයකට කලින් මම බලන්න ආවා අම්මේ මට ඉක්මනට ගෙදර එන්න පුළුවන් වෙයයි නේද කියලාත් ඇහුව්වා එදා.." දින කිහිපයකට පෙර තමන් බැලීමට ආ මවට එක් රැඳවියෙකු පවසා තිබුණේ එවැන්නකි.

එම මව අද පපුවට අත තබා හඬන්නීය."මගේ පුතා මට එහෙම කියලා, අද පෙට්ටියකින් ගෙදර එන්නේ කොහොමද? සර්..."
සිද්ධියෙන් පසු බන්ධනාගාරය අසල රැඳී සිටි මව්වරුන් කිහිපදෙනකු සමග අපි කතා කළෙමු. ඔවුන්ගේ වචනවල තිබුණේ දරාගත නොහැකි ශෝකයකි.
“මගේ කොල්ල කුඩු බිව්ව. දැන් පුනරැත්ථාපනය කරලා හොඳ රස්සාවක් කරන් හිටියේ. අනේ ගෙවල්වල හිටියත් පාරෙ යද්දි වුණත් මගෙ දරුවා අල්ලගෙන යනවා. කුඩු අතින් දාලා ඇතුළට දානවා. සෙනසුරාදා ඉඳන් මෙතන ඉන්නේ මගේ දරුවට මොකද වුණේ කියලා කිසිම ආරංචියක් නෑ.”
වියරු වැටුණු රැඳවූවකුගේ මවක් බන්ධනාගාරය ඉදිරිපිට සිට එසේ කියමින් කෑ මොර දුන්නාය.
“අනේ බුදු මහත්තයෝ... මගේ කොල්ලෝ දෙන්නයි. රත්තරන් පුතා වැරැද්දක් කළා තමයි. අනේ උන් දෙන්නාව බල්ලෝ වගේ මරලා දාලා මහත්තයෝ. අනේ මට දරැවෝ දෙන්නාගේ මූණු බලන්න දෙන්න මහත්තයෝ.”
මීගමුව බන්ධනාගාර තාප්පයෙන් පිටත පොලිස් උසස් නිළධාරියෙකුගේ දෙපා ලඟ වැටී හඬා වැලපෙන ඒ අහිංසක අම්මාගේ හැඟුම්බර හඬ මුළු පරිසරයම කම්පා කරවන්නකි.
ඒ යකඩ ගේට්ටුවෙන් ඇතුළත, ලේ විලක් මැද නිසල වූ තාරුණ්‍යයේ ජීවිත 29ක් මේ වන විටත් මෙලොව හැර ගොස් හමාර ය.
මේ ඛේදවාචකය දෙස දේශපාලන කණ්ණාඩි ගලවා මැද මාවතක සිට බැලිය යුතුය. මෙහි වැරැද්ද ඇත්තේ කා අත ද?
රජයට සහ බන්ධනාගාර පාලනාධිකාරියට මෙහි වගකීමෙන් මිදිය නොහැක. බන්ධනාගාරවල පවතින අධික තදබදය, අවම පහසුකම්, සහ රැඳවියන්ගේ මානුෂීය අයිතිවාසිකම් කඩවීම දිගින් දිගටම මෙවැනි ගැටුම්වලට ඉන්ධන සපයනවා සේම රැඳවියන් තුළ පවතින මානසික පීඩනය කලමනාකරණය කිරීමට නිසි වැඩපිළිවෙළක් නොමැතිකම රජයේ පැහැදිලි දුර්වලතාවකි.
රැඳිවියන්ගේ පහර කෑමට ලක්ව යාන්තමින් දිවිගලවා ගැනීමට වාසනාව තිබූ බන්ධනාගාර නිලධාරියෙකු මුහුණ දුන් සිදුවීම ගැන “ඉරිදා ලංකාදීප”යට මෙසේ පවසා සිටියේය.
“5 වැනිදා තත්ත්වය සමකාමි වුණා. පසු දා උදෑසන ඒ කියන්නේ 6 වැනිදා සඳුදා අධිකරණ කටයුතු තිබුණූ දවසක්. කෑම ලබා දීලා ඒ කටයුතු ආරම්භ කරන්නයි නිලධාරීන් ප්‍රවේශ වෙලා තිබුණේ. ඒ වගේම එදා රැඳවියන් බැලීමට නිවෙස් වලින් එන දිනයක් නිසා ඊටත් අපි සූදානම් වුණා. ඒ වෙනකොට ෆාමසිය කඩලා මානසික රෝගී තත්ත්වයන්ට දෙන බෙහෙත් අධිමාත්‍රාවෙන් බීලා තියෙනවා.”
“සිද්ධිය වුණේ කෑමට කලින්. මට වෙලාව නම් ලොකුවට මතකයක් නැහැ. එදා කොහොමටත් රාජකාරියේ නිරතව හිටියේ නිලධාරින් විසි ගානක් පමණයි. ඒ වෙනකොට ගොඩාක් නිලධාරීන්ට ඩෙංගු හැදිලා තිබුණා. දවසකට දහ දෙනෙක් විතර ඇබ්සන් වෙන තත්ත්වයකට. ඩෙංගු සහ වෙනත් වෛරස් උණ නිසා. ඒ නිසා වැලිකඩ බන්ධනාගාරයෙනුත් නිලධාරින් කීප දෙනෙක්වම මීගමුව බන්ධනාගාරයට ගෙන්නුවා.”

“රැඳවියන්ගෙනුත් සැලකිය යුතු ප්‍රමාණයකට ඩෙංගු වැළඳී තිබුණා. ඩෙංගුම නොවුණත් ඇඟපත අමාරුව වැනි රෝග ලක්ෂණ එක්ක, වයිරස් උණ තත්ත්වයක් හැමෝටම වගේ තිබුණා. ඒ නිසා මේ අපි පැනඩෝල් පවා දුන්නා. ඩෙංගු වලින් රැඳවියන් තුන් දෙනෙකුට වඩා පහුගිය දවස් වල නැති වෙලාත් තිබුණා.”
“තත්ත්වය පාලනය වෙලා තිබුණ නිසා නිලධාරින් තුන් හතර දෙනෙක් උදේ ගිහින් තිබුණා කෑම දෙන්න. මුලින්ම ගිය අයට පහර දෙනකොට ඒක බේරන්න තවත් නිලධාරීන් කීප දෙනෙක් ගියා. ඒ හැම කෙනාම ගියේ බැටන් පොලු අරගෙන. එතනදී නිලධාරින්ගේ බැටන් පොලු අරගෙන ඒ නිලධාරීන්ටත් ගහන තත්ත්වයක් තමයි තිබුණේ. ඔය වාට්ටු අසල ආරක්ෂක කවුළු දෙකක් තියෙනවා. එක් ආරක්ෂක කවුළුවක හිටපු නිලධාරියෙකුට ගහලා තමයි ඒ කවුලුවේ තිබුණ ටී පනස් හය අරන් තියෙන්නේ.”
“තුන්වෙනි පාර සෙට් එකේ තමයි මම යන්නේ ඇතුලට. යන්නේ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් තුමා එක්ක. ඒ වෙනකොට සහෝදර නිලධාරීන්ට පහරදීලා රැඳවියන් ඔවුන්ව ප්‍රාණ ඇපයට තියාගෙන තිබුණා.බන්ධනාගාරය තුළ රැඳවියන්ට ක්‍රීඩා කිරීමට තිබූ ශරීර අභ්‍යාස ඒකකයේ ක්‍රීඩා උපකරණවල තිබූ යකඩ පොලු කඩලා අරන් ඒවායිනුත් නිලධාරින්ට පහර දුන්නා.”
“ඇතුළට ගිය ගමන්ම වෙනදා නැති හැසිරීම් රටාවක් තමයි දැක්කේ. වෙනදා එහෙම රැඳවියන් හැසිරෙනවා මම දැකලා නෑ. උන් යක්කු වගේ හැසිරැණේ. සර්වයි මාත් එක්ක ගිය අනිත් නිලධාරියාවයි රැඳවියන් තුන්සීයක් විතර එකපාරටම වටකරගත්තා. අපිට මුලින්ම රැඳවියන් ගල් ගැහුවා.”
“මුලින්ම ගිය කීප දෙනා බේරගන්න දෙවෙනි කණ්ඩායමේ ගියේ. දෙවෙනි කණ්ඩායමත් බේරගන්න තමයි අපි ගියේ. ගියාට පස්සේ තමයි දැක්කේ මේක හිතන තරම් ලේසියෙන් පාලනය කරන්න පුළුවන් ගැටුමක් නෙවෙයි කියලා . අපිට වට කරලා ගහන්න ගත්තා. මාව බිම වැටුණා.“සර්, ඔයගොල්ලේ එන්න එපා යන්න. මුං පිස්සෝ වගේ.” හිතවත් පැරණි රැඳවියෝ කෑ ගැහුවා.
“ඒ වෙලාවේ වටකරලා අපිට ගැහුව්වා." සර්ට ගහන්න එපා සර්ට ගහනන් එපා කියලා පරණ රැඳවියන් හතර දෙනෙක් මාව වට කරගත්තා සර්ලාට ගහන්න එපා කියලා අපිට ආරක්ෂා කරන්න ආපු රැඳවියන්ටත් අරුන් හොඳටම ගැහුව්වා. ඔය අතරේ බැටන් පොලු පාරක් මගේ ඔළුවට වැදුණා. ඒ එක්කම කවුරැහරි මගේ බෙල්ලට කකුලක් හරි බැටන් පොල්ලක් හරි තියලා තද කරා. එහෙමම මාව බිම දිගේ ඇදගෙන ගිහිල්ලා මාව විසික් කරා කොහෙට හරි මට මතක එච්චරයි. වීසි කරාම මාව බිත්තියකත් හැපුණා. ඊටපස්සේ කවුරුහරි මගේ නහය ලඟට ඇඟිල්ල තියලා මම හුස්ම ගන්නවාද කියලා බලවා වගේ මට දැනුණා. එතනින් එළියට පණ පිටින් නම් යන්න ලැබෙන එකක් නැහැ කියා ඒ වෙලාවේ හිතුණා. පරණ රැඳවියෝ සර් දුවන්න සර් දුවන්න කියලා කෑ ගැහුවා. එයාලා තමයි යකඩ ගේට්ටු ඇරලා දුන්නේ එලියට යන්න. අපේ අතේ තිබුණ ෆෝන් රැඳවියෝ උදුරලා අරගත්තා. මගේ කරේ තිබුණ චේන් එකවත් තිබුණේ නැහැ.”
බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාරය තුළ ඇති පළමු යකඩ දොර කඩා, ලෑලි දොර අසලට පිවිස තිබූ බවත් ඔවුන් ලෑලි දොර කඩා එළියට පැමිණියේ නම් පාලනය කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවත් ඔහු තවදුරටත් පවසා සිටියේය.

මියගිය බන්ධනාගාර නිලධාරින්ගේ පශ්චාත් මරණ පරික්ෂණ පසුගිය8 වෙනිදා සිදුකළ අතර, හිසට සහ පපු ප්‍රදේශවලට මොට අයුධයකින් පහර පහර දීමෙන් ශරිර අභ්‍යන්තරයටවලට සිදුවු දැඩි හානි හා ලේ ගැලීමෙන් ඇතිවු කම්පන තත්ත්වයන් මත මෙම මරණ සිදුව ඇති බැව් එහිදී හෙළි වී ඇත. එමෙන්ම මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ එක් නිලධාරියකු ප්‍රතිකාර ලබන බවත්, තවත් නිලධාරින් 6 දෙනෙකු ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටු වල ප්‍රතිකාර ලබන බවත්, ඔවුන්ගේ තත්ත්වය මේවන විට සාමාන්‍ය අතට හැරී ඇති බවත්, රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඒ අතර බන්ධනාගාරය තුළ මියගිය රැඳවියන්ගේ සිරුරු අතර සිටි මියගොස් ඇතියි සිතු රැඳවියකුට පණ තිබෙන බව දැනගත් වහාම රෝහල් ගත කර ඇතැයිද බන්ධනාගර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒමෙන්ම මියගිය රැඳවියන් අතර කේරල ගංජා මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ සිටි ඉන්දියන් ජාතිකයක්ද සිටින බව තව දුරටත් බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේය.
මීගමුව බන්ධනාගාරයේ අවසානයේ වෙඩි තියන්නට සිදු වූයේ ඇයි?
යකඩ දොර කඩා පැමිණි රැඳවියන් ඒ අසල සිටි බන්ධනාගාර නිලධාරීන්ට පහර දී ඇති බවත්, පසුව එම නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සහ රැඳවියන් එළියට පැමිණ පළා යාම වැළැක්වීම සඳහා ගත හැකිව තිබූ එක ම පියවර ලෙස ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම් සිදු කළ බවත් තවත් සිදුවීමට මුහුණ දුන් තවත් බන්ධනාගාර නිලදාරියෙක් අප වෙත පැවසීය.
“බන්ධනාගාර පරිශ්‍රය අනුව බන්ධනාගාරවල ප්‍රධාන දොරටු දෙකක් තියෙනවා. ඉස්සෙල්ලාම තියෙන්නේ යකඩ දොර, ඊට පස්සේ තමයි තියෙන්නේ ලෑලි දොර. රැඳවියන් යකඩ දොරත් කඩාගෙන ඇවිල්ලා ලෑලි දොර පැත්තට ආවා. ඒ ලෑලි දොර කඩාගෙන එළියට ආවා නම් ඔක්කෝ ම පැන යනවා. ඔක්කෝ ම එන්නේ සමාජයට. එහෙනම් වෙන විනාශය හිතාගන්න බැහැ වගේම ගණනය කරන්න බැහැ. එතන අතිශය දරුණු අපරාධකාරයොත් ලොකු ප්‍රමාණයක් හිටියා. ඒ වෙලාවේ ගන්න තියෙන හොඳම තීරණය තමයි ඒ නිලධාරියා ගත්තේ. අනිත් කාරණය ඇක්ටින් වෙඩි තියන්න කියලා නියෝගය දෙන්න ප්‍රමාද වීමත් මේ විනාශයට ලොකු හේතුවක්. මේවා හිත හිත කල්පනා කර කර ඉන්න අවස්ථා නෙමයි. බන්ධනාගාර නිලධාරීන් ජීවිත පරදුවට තියලා මේ විදිහට කටයුතු කළේ නැත්නම් මේක මීට වඩා ලොකු විනාශයක් බවට පත් වෙනවා. අපේ එකා ඒ වෙලාවේ ඒ තීරණය ගත්තේ මුළු සමාජයේම ජීවිත ගැන හිතලා. නිලදාරින් විදිහට අපි හැමෝම ඉල්ලන්නේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ ඔහුට සාධාරණයක් කරන්න කියන එක විතරයි. අපි ඇතුලට යද්දි ගන්න බේරගන්න කියලා ජීවිතයක් උන් ඉතුරු කරලා තිබුණේ නැහැ. ඉතාම අමානුශිය විදිහට උන් ඒ ජීවිත විනාශ කරලා දාලා තිබුණා. ඒත් එක්කම උදේ හවස අපිත් එක්ක රාජකාරි කරපු අපේ මිනිස්සුන්ව බේරගන්න බැරි වුණ වේදනාව වචනයෙන් කියලා නිම කරනන් බැහැ.” කඳුළු පිරි දෑසින් ඔහු කියා සිටියේය.

සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන මීගමුව දිස්ත්‍රික් රෝහලට යනවිට තුවාල ලබා රෝහල් ගතකර ඇති රැඳවියන්ගේ නාම ලේඛනයක් මීගමුව රෝහල ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇති අතර, තුවාලකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අවශ්‍ය අවසර පත් මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කිරීමට පියවර තිබුණි.
“මෙතන මැරිච්ච අයගේ ෆොටෝ තියෙනවා. තමන්ගෙ අය ඉන්නවා නම් අඳුනගන්න.."
"නැත්නම් ලිස්ට් එකෙත් බලන්න"
"ආ ඔයා අම්මනෙ, අඳුන ගත්තනෙ පුතාගේ මිනිය
කෝ අයිඩෙන්ටිය තියෙනවා ද ?"
"ආ ඔයා මැරිච්ච කෙනෙක්ගෙ වයිෆ්නෙ. අයිඩෙන්ටිය අරන් ඇතුළට යන්න"
තමන්ගෙ කෙනා ජීවතුන් අතර කියලා තරයේ විශ්වාස කර එන මේ මිනිස්සුට හඬා වැලපෙනවාට වඩා කරන්නට දෙයක් ඉතිරිව නැත.
තම ආදරණියන්ගේ මළසිරැරැ හඳුනා ගෙන ඒවා භාරගැනිම සඳහා අපි එම ස්ථානයට යන විටත් ඥාතිහු බොහෝ පිරිසක් මෘත ශරිරාගාරය ලඟ රැස් වී සිටියහ.
බිම දිගේ ඇදන් ගිහින් බෙල්ල පාගලා නහයට ඇඟිල්ල තියලා හුස්ම ගන්නවා ද කියලා බැලුවා - - දිවි බේරාගත් බන්ධනාගාර නිලධාරියෙක්
ඒ අතර මෝචරිය අසල බංකුව මත හඬා වැටෙන මව අසල කිසිවකුත් නොදන්නා පුංචි දරැවකු වැලි හාරමින් සෙල්ලම් කරමින් රැඳවුම්භාරයේ සිටි පියාගේ මෘතදේහය භාරදෙන වෙලාව එන තෙක් බලා සිටි සිදුවීම වේදනාබර විය. පුංචි දරුවන් තුරුලු කරගෙන සිය සැමියාගේ සිරුරු භාරගන්න ආ
තරුණ මව්වරැන් බොහෝ දෙනෙක් ඒ අතර විය.
"මගේ පොඩි පුතා ගහලා ගහලා මරලා, ඔළු පළලා, ඇස්වලට කෝටුවවලින් ඇනලා, මගේ පුතාට නවක වධය දීලා, මගේ පුතාව මරලා දාලා අම්මා කෙනෙක් කොහොමද ඉවස්නනේ දෙයියනේ,”'..
මේ මෝචරිය දෙසින් ඇසුණු තවත් මවකගේ විලාපයකි. මෙවැනි විලාපයන් එකක් දෙකක් නොව දහස් ගණනකි.
බන්ධනාගාර තුළ රිදවුම් දුන් අතීතයේ ලේ පැල්ලම්
මේ මීගමුවේ සිදුවීම අහම්බයක් හෝ අලුත් දෙයක් නොවේ. මීට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන්ද, පසුව මහර බන්ධනාගාරයෙන්ද මෙවැනි ලේ වැගිරීම් වාර්තා වුණි. එදා වැලිකඩදීත්, මහරදීත් රැඳවියන් දිවි පිදුවේ පද්ධතියේ ඇති පීඩනය සහ පාලනයේ නොහැකියාව හේතුවෙනි.
මීට වසර දහතුනකට පෙර, එනම් 2012 නොවැම්බර් 09 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල මුළු රටම කම්පා කළේය. එහිදී බන්ධනාගාරය තුළ තහනම් ද්‍රව්‍ය සහ ආයුධ සෙවීමේ සෝදිසි මෙහෙයුමක් අතරතුර හටගත් ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. ආරක්ෂක අංශ සහ රැඳවියන් අතර ඇති වූ එම වෙඩි හුවමාරුව, ලාංකීය බන්ධනාගාර ඉතිහාසයේ කළුම දිනයක් ලෙස සටහන් විය. නමුත් දරුණුතම ලේ වැහිරීම සිදුවන්නේ 1983 දෙමළ දේශපාලන රැඳවියන් 53 දෙනෙකු ඝාතනය කරමිනි.
එපමණක් නොව වඩාත් මෑතකදී, එනම් කොවිඩ්-19 වසංගතය උච්චතම අවස්ථාවක පැවති 2020 නොවැම්බර් 29 වැනිදා මහර බන්ධනාගාරය තුළද මෙවැනිම ඛේදවාචකයක් සිදු විය. එහිදී බන්ධනාගාරය තුළ වෛරසය ව්‍යාප්ත වීමේ බිය සහ අධික තදබදය මුල් කරගනිමින් රැඳවියන් ඇති කළ නොසන්සුන්තාවය පාලනය කිරීමට ආරක්ෂක අංශ වෙඩි තැබූ අතර, ඉන් රැඳවියන් 11 දෙනෙකු මිය ගොස් 117 දෙනෙක් තුවාල ලැබූහ.
එදා වැලිකඩදීත්, මහරදීත්, අද මීගමුවේදීත් දිවි පිදුවේ මිනිසුන්ය. ඒ හැම අවස්ථාවකදීම පද්ධතියේ ඇති පීඩනය, රැඳවියන්ගේ ප්‍රචණ්ඩත්වය සහ පාලනයේ නොහැකියාව එක ලෙස දායක වී ඇත.
බන්ධනාගාර ඇතුළත පුපුරා යන මේ ක්‍රෝධය සහ වෛරය පිටුපස ඇත්තේ එක් පැත්තකින් වසර ගණනාවක පාලන තන්ත්‍රයේ අසාර්ථකත්වයය.
ලංකාවේ සමස්ත බන්ධනාගාර පද්ධතියටම රඳවා ගත හැක්කේ සිරකරුවන් 10,000ක් පමණක් වුවද, මේ වන විට 41,000කට අධික පිරිසක් එහි ගාල් කර ඇත. සිරකරුවන් 100 දෙනෙකුට එක වැසිකිළියක් බැගින් ඇති පරිසරයක, අවම නිලධාරීන් පිරිසක් යොදවා මෙම මහා මිනිස් පවුර පාලනය කිරීමට යාමෙන් අද වන විට රැඳවියන්ගේ පීඩනය හරහා අනතුරේ වැටී ඇත්තේ නිළදාරින්ගේ ජීවිතය.
මේ වන විට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂාව සඳහා වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක “ඉරිදා ලංකාදීප”යට පැවසීය. අගුණකොළපැලැස්ස, බූස්ස, දුම්බර, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මෙම රැඳවියන් මාරු කර යැවූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේය.
තවද, මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 600 ක් පමණ රඳවා තැබීමේ පහසුකම් තිබුණ ද, මේ වනවිට එහි රැඳවියෝ 1800 කට අධික පිරිසක් රඳවා සිටින බවත් අධික තදබදය නිසා මෙම බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන්ට අවම පහසුකම් නොලැබෙන බව ආරංචි මාර්ග පැවැසීය. බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන් දැඩි පීඩනයකින් පසුවීම මෙහි ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වීමට ප්‍රධාන හේතුවූ බවද බන්ධනාගාර ආරංචි මාර්ග පැවසීය.
මීගමුව බන්ධනාගාරය තුළ ප්‍රධාන පෙළේ පාතාල අපරාධකරුවන් 16 දෙනකු රඳවා සිටින අතර, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ද රඳවා සිටිති. ඊට අමතර මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් විවිධ වංචා සම්බන්ධයෙන් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත්වන විදේශිය සැකකරුවන් ද විශාල පිරිසක් ද මෙහි රඳවා සිට ඇත.
මීගමුව සිපිරිගෙයින් නැගුණු ඒ වෙඩි හඬ දැන් නිහඬය. සිය ගණනක් රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇත. නමුත්, මියගිය නිලධාරීන්ගේ නිවාසවලින් ඇසෙන වැලපීම් සහ රැඳවියන්ගේ මව්වරුන්ගේ කඳුළු, මේ සමාජ ක්‍රමයට සහ බන්ධනාගාර පද්ධතියට එල්ල කරන ප්‍රබල චෝදනා පත්‍රයක් බඳුය.
නදීශා අතුකෝරළ
ඡායාරූප : ලහිරු හර්ෂණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd