මීගමුව බන්ධනාගාරයේ පසුගිය 6 වැනිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීම එවැනිම ශෝකාන්තයක් ලෙස රටම කම්පාවට පත් කළේය. රාජකාරිය ඉටු කරමින් සිටි නිලධාරීන් අටදෙනකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ එම මොහොත, ඔවුන්ගේ පවුල්වලට පමණක් නොව, සමස්ත සමාජයටම ආරක්ෂක සේවයේ සැඟවුණු අවදානම් නැවත සිහිපත් කළ කඳුළුබර මතකයක් බවට පත්ව තිබේ.


මගේ මාමා කවදාවත් රුඳවියන් දිහා වෛරයෙන් බැලුවේ නැහැ. නිතරම කිව්වේ 'ඒ අයත් මිනිස්සුනේ' කියලා - පළමු පෙළ ජේලර් එස්. එම්. ජී. චන්ද්‍රවංශගේ ඥති පුත්‍රයා කියයි

රුඳවියන්ගේ ප්‍රහාරයෙන් දිවි අහිමි වූ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පළමු පෙළ ජේලර් එස්. එම්. ජී. චන්ද්‍රවංශ මහතා කෑගල්ල, ගොඩිගමුව ප්‍රදේශයේ උපන් නිලධාරියෙකි. එවකට ඔහු පදිංචිව සිටියේ බොරුල්ල බන්ධනාගාර නිල නිවසේය.

හදිසි රාජකාරි කැඳවීමක් අනුව මීගමුව බන්ධනාගාරය වෙත ගිය ඔහුට කිසිදා නොසිතූ ඉරණමකට මුහුණ දීමට සිදුවිය. රාජකාරිය සිය ජීවිතයට වඩා උසස් කොට සැලකූ ඒ නිලධාරියා, අවසානයේ රැඳවියන්ගේ ප්‍රහාරයට ගොදුරුව සිය දිවි පුදමින් තම වගකීමේ අවසාන මොහොත දක්වාම සේවයට කැප වූ නිලධාරියකු ලෙස ඉතිහාසයට එක්විය.

චන්ද්‍රවංශ තම ගම්පියසේදී එකට ඇසුරු කළ එස්. දයානන්ද ඉරිදා ලංකාදීපයට පැවසීය.

එස්. එම්. ජී. චන්ද්‍රවංශ පුතුන් දෙදෙනකුගේ ආදරණීය පියෙකි. වැඩිමහල් පුතු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර මේ වනවිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරයි. අවාසනාවන්ත ලෙස සිය පියාගේ දේහය පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ දිනයේදීම ඔහුට විශ්වවිද්‍යාලයේ අවසන් විභාගයට මුහුණ දීමට සිදුවිය. පියාගේ වියෝවේ දැඩි ශෝකයෙන් පසු වූ ඔහු, එම තත්ත්වය තුළ විභාගයට පෙනී සිටීමට තමන්ට නොහැකි බව දැඩිව ප්‍රකාශ කර තිබිණ. එහෙත් පවුලේ සාමාජිකයන්ගේ සහ සමීපතමයන්ගේ දැඩි ඉල්ලීම මත ඔහු අවසානයේ විභාගයට පෙනී සිටියේය.

"මේ නැති වුණේ මගේ මාමා කෙනෙක්. හරිම ආදරණීය කෙනෙක්. බන්ධනාගාරේ රස්සාව කළත් මාමා කවදාවත් රැඳවියන් දිහා වෛරයෙන් බැලුවේ නැහැ. අපි ඒ ගැන කතා කළත් එයා කියන්නේ, 'ඒ අයත් මිනිස්සුනේ' කියලයි. හැමෝටම මනුස්සකමින් සලකපු කෙනෙක් තමයි මාමා.

මාමාට උගුරේ පිළිකා තත්ත්වයක් තිබුණා. ඒකට ප්‍රතිකාරත් කළා. මාස හයකට පස්සේ ගත්ත පරීක්ෂණ වාර්තාව එන්න තිබුණේ එයාගේ දේහය මල්ශාලාවේ තැන්පත් කරලා තිබුණු දවසේ හවස.

ඒ වාර්තාවේ සඳහන් වෙලා තිබුණේ එයාගේ තත්ත්වය හොඳ අතට හැරිලා, ප්‍රතිකාර සාර්ථකයි කියලා.පිළිකාවත් එක්ක සටන් කරලා ජීවිතේ බේරගත්ත මගේ මාමාට, අන්තිමේදී ඒ ජීවිතය තවදුරටත් ගෙනියන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒක අපේ පවුලට කවදාවත් පුරවන්න බැරි හිස්තැනක්."

ජය චන්ද්‍රවංශගේ ඥාති පුතෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.


මගේ පුතා වීරයෙක් - බන්ධනාගාර නියාමක නිලක්ෂ රුවන් තිලකසිරිගේ මව කියයි

බන්ධනාගාර රැඳවියන්ගේ ප්‍රහාරයකින් අවාසනාවන්ත ලෙස දිවි අහිමි වූ බන්ධනාගාර නියාමක නිලක්ෂ රුවන් තිලකසිරි අනුරාධපුර, පහිඹියාගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
වයස අවුරුදු හතළිස් දෙකක් වූ නිලක්ෂ මහතා, තම රාජකාරිය වගකීමෙන් හා කැපවීමෙන් ඉටු කළේය. ජනතාවගේ ආරක්ෂාව සහ නීතියේ පිළිවෙළ රුක ගැනීම වෙනුවෙන් රාජකාරියේ නිරතව සිටියදී සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම ඔහුගේ පවුලටත්, සමීපතමයන්ටත්, සහෝදර නිලධාරීන්ටත් දැඩි කම්පනයක් සහ වේදනාවක් ඉතිරි කර තිබේ.
 
"මේ නැති වුණේ මගේ චූටි පුතා. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒ තුන්දෙනාගෙන් මගේ චූටි පුතා තමයි මේ විදිහට අපිව දාලා ගියේ. පුතා අවුරුදු දොළහක් නාවික හමුදාවේ සේවය කළා. මහව, අගුණුකොළපැලැස්ස, මඩකලපුව බන්ධනාගාරවලත් සේවය කළා. හදිසි කැඳවීමක් නිසා තමයි මීගමුව බන්ධනාගාරයට යවලා තිබුණේ.
 
මගේ පුතා වීරයෙක්."
 
එලෙස සිය වේදනාව පිට කළේ නිලක්ෂගේ මවයි. නිලක්ෂගේ බිරිඳ මේ වනවිට විදේශගතව රැකියාවක නිරතව සිටී.
 
නිලක්ෂගේ වියෝව පිළිබඳ ශෝකය පළ කරමින්, අනුරාධපුර, පිහිඹියාගොල්ලෑව ප්‍රදේශයේ සෑම නිවසකම පාහේ සුදු කොඩි ඔසවා තිබුණේ ඔහුට තිබූ ගෞරවය සහ ආදරය මොනතරම්ද යන්න පෙන්වමිනි.

පුතේ... ඇයි උඹට මෙහෙම වුණේ? - මියගිය උපක්‍රමික බලකායේ සැරයන් බී. එන්. එන්. තරංගගේ මව කියයි

බන්ධනාගාර හදිසි ප්‍රතිකාර උපක්‍රමික බලකායේ සැරයන් බී. එන්. එන්. තරංග  රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, පින්නවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රටේ ආරක්ෂාව වෙනුවෙන් වසර දොළහක කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගෞරවනීය සේවයක් ඉටු කළ ඔහු, එම සේවා කාලය අවසන් කිරීමෙන් අනතුරුවද රාජ්‍ය සේවයෙන් ඈත් නොවී, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එක්වීමට තීරණය කළේය. ඒ අනුව, 2022 වසරේදී බන්ධනාගාර නියාමකවරයකු ලෙස සේවයට එක් වූ තරංග මහතා, තමන්ට පැවරුණු සෑම වගකීමක්ම කැපවීමෙන් හා විනයගරුකව ඉටු කළ නිලධාරියකු ලෙස සිය සහෝදර නිලධාරීන් අතර ප්‍රසාදයට පත්ව සිටියේය. 
 
"අනේ මගේ පුතා මේ මාසේ මුල ගෙදර ආවා. බාප්පාගේ දානෙට මීගමුවෙන් මාළුත් අරගෙන එනවා අම්මේ කියලා පොරොන්දු වෙලා ගියා. ඒත් මගේ පුතා ආයෙමත් ගෙදර ආවේ එහෙම නෙවෙයි.අනේ පුතේ... ඇයි උඹට මෙහෙම වුණේ?
 
දරාගත නොහැකි ශෝකය වචනවලට පෙරළාගත නොහැකිව කඳුළින් පිට කළේ තරංග මහතාගේ මවයි.

මහත්තයා හරිම කරුණාවන්තයි - බන්ධනාගාර නියාමක දිව් වසන්ත පුෂ්පකුමාර බිරිඳ කියයි

බන්ධනාගාර ගැටුමේදී  දිවි අහිමි වූ බන්ධනාගාර නියාමක දිව් වසන්ත පුෂ්පකුමාර  කෑගල්ල, රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වයස අවුරුදු හතළිස් තුනක් වූ ඔහු ආදරණීය දෙදරු පියෙකු විය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එක් වූ ඔහු, තම රාජකාරිය විනයගරුකව හා කැපවීමෙන් ඉටු කළ නිලධාරියකු ලෙස සහෝදර නිලධාරීන් අතර ගෞරවයට පාත්‍රව සිටියේය.

"මගේ මහත්තයා බොහොම කරුණාවන්ත කෙනෙක්. එයා දෙවැනිදා ගෙදර ආවා. ඇවිත් වත්ත සුද්ද කරලා, ගෙදර වැඩවලට අපිට උදව් කළා. මගේ මහත්තයා දරුවන්ට හරිම ආදරෙයි. අපේ දුවලා දෙන්නා වෙනුවෙන් එයා ගොඩක් කැපවුණා. ඒ වගේම එයාගේ දෙමාපියන්ටත්, නෑදෑයන්ටත්, අපි හැමෝටම එයා හරිම ආදරණීය කෙනෙක්."

එලෙස හඬා වැටුණේ වසන්ත පුෂ්පකුමාර මහතාගේ බිරිඳයි.


මගේ පුතා අවංකව රාජකාරිය කළ කෙනෙක් - බන්ධනාගාර නියාමක ඩී. එස්. අබේවංශගේ මව කියයි

මෙම ප්‍රහාරයෙන් දිවි අහිමි වූ බන්ධනාගාර නියාමක ඩිලාන් ඩී. අබේගුණවර්ධන කුරුණෑගල, වත්තේගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වයස අවුරුදු හතළිස් එකක් වූ ඔහු සිය රාජකාරියට කැපවූ නිලධාරියකු ලෙස සේවය කළේය. ඩිලාන් වසර දොළහක කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරමින් රට වෙනුවෙන් තම වගකීම් ඉටු කළ අයෙකි. එම සේවයෙන් නීත්‍යනුකූලව ඉවත්වීමෙන් අනතුරුව,  බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එක් වූ ඔහු, පසුව විශේෂ බුද්ධි මෙහෙයුම් ඒකකයේ රාජකාරි සඳහා එක්විය.

"මගේ පුතා මුලින්ම සේවය කළේ නාවික හමුදාවේ. පස්සේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එකතු වෙලා විවිධ බන්ධනාගාරවල රාජකාරි කළා. අන්තිමේදී පුතා සේවය කළේ වැලිකඩ බන්ධනාගාරයේ.

පුතා විවාහ වුණු දුව මේ වෙද්දි  කුරුණෑගල පාසලක පුස්තකාලාධිපතිනිය  විදියට සේවය කරනවා. පුතාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු දුවට දැන් අවුරුදු අටයි. චූටි පුතාට තවම මාස එකොළහයි.පුතාට රාජකාරි අතරින් ඉඩ ලැබෙන හැම වෙලාවකම අපිට කතා කරලා අපේ දුක සැප අහනවා. එයා අපි ගැන හරිම හොයලා බලපු දරුවෙක්. කවදාවත් කාටවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි.අද මගේ චූටි මුණුපුරා ලොකු වුණාම එයාගේ අප්පච්චි ගැන අපි කොහොමද කියන්නේ? එයා අවංකව රාජකාරිය කළ, හොඳ හිතක් තිබුණු මනුස්සයෙක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මගේ පුතා මේ රට වෙනුවෙන් සේවය කරපු වීරයෙක්" මියගිය ඩිලාන් අබේගුණවර්ධනගේ මව පැවසුවාය.


රෝහලේදී මිය ගිය බන්ධනාගාර නියාමක ඩබ්. පී. උපාලි

බන්ධනාගාරයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් තුවාල ලබා, රැඳවියන්ගේ ප්‍රහාරයට ගොදුරු වූ බන්ධනාගාර නියාමක ඩබ්ලිව්. පී. උපාලි  කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී දින දෙකකට පසුව ජීවිතක්ෂයට පත්විය. රාජකාරිය ඉටු කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් උපාලි තම වගකීම වෙනුවෙන් කැපවූ බන්ධනාගාර නිලධාරියෙකු විය.

දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාරූප : ලහිරු හර්ෂණ

 
පුතාට කිහිප වරක් කථා කළත් පිළිතුරු ලැබුණේ නැහැ - දර්ශන තරංගගේ මව කියයි
 
“බන්ධනාගාරයේ ගැටුමක් කියලා දැනගන්න ලැබුණු ගමන් පුතාට කෝල් ගත්තා. කතා කළේ නැහැ. පසුව එයාගේ  නෝනට ඇමතුමක් අරන්  පුතා ගැන ඇහුවා, එයා කිව්වා හදිසි රාජකාරි වැඩකට මීගමුවට ගිහින් අම්මෙ කියලා, මම කිව්වා අනේ දුවේ පුතා ආවහම මට කෝල් එකක් දෙන්න කියන්න කියලා,  මම බලාගෙන සිටියත් පුතා මට කෝල් කළේ නෑ. පසුදා අනේ මගේ රත්තරන් පුතා පිරිසකගේ කර මතින්  තමයි ගෙදරට ආවේ.”
 
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමින් මියගිය බන්ධනාගාර නිලධාරීන් අතර සිටි බුලත්සිංහල, දෙල්මෑල්ල, අඹගහකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි බන්ධනාගාර පොලීසියේ සේවය කළ  (36)  හැවිරිදි දර්ශන තරංග අතුකෝරල මහතාගේ මව කරැණාවති පෙරේරා මහත්මිය තම පුතුගේ දේහය නිවසට රැගෙන ආ දා වාවාගත නොහැකි දුකකින් එසේ පැවසුවාය.
 
සහෝදරයන් දෙදෙනකු සහ එක් සහෝදරියක් සිටින දර්ශන තරංග මහතා පවුලේ  බාලයාය. බුලත්සිංහල ජාතික පාසලෙන් අධ්‍යාපනය හදාරා ඇති තරංග, වසර තුනකට පමණ පෙර විවාහයට පත්ව ඇති අතර, මිය යන විට මාස හතක බිලිඳියකගේ පියෙකි. ඔහුගේ බිරිඳ අසිනි කුමුදුමාලි මහත්මියයි. ඇයද තම ස්වාමියාගේ වියෝවෙන් දැඩි කම්පනයට  පත්ව සිටියි.  
 
දර්ශන තරංගගේ පියා,කරැණාසිරි මහතාත් සිද්ධියෙන් කම්පනයට පත්ව සිටින අතර ඔහුද හැඬූ කඳුළින් මෙසේ පැවසීය.
 
චූටි පුතා සේවය කළේ වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර නිලධාරියකු හැටියටයි. ලංකාවේ ඕනෑම තැනකට රාජකාරි සඳහා එයාල යවනවා. නමුත් මම කවදාවත් හිතුවේ නෑ චූටි පුතාට මෙහෙම කරදරයක් වෙයි කියලා.”
 
දර්ශනගේ වියෝවෙන් කම්පනයට පත් වූවන් අතර සිටි  දෙල්මෑල්ලේ පදිංචි පාසල් මිතුරෙක් වූ සමීර චතුරංග මහතා ද තම හොඳම මිතුරා පළිබඳව මෙසේ කිය.
 
“දෙල්මෑල්ල කනිෂ්ට විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා උසස් පෙළ හැදෑරීම සඳහා බුලත් සිංහල ජාතික පාසලට ඇතුළත් වූ ඔහු පාසලේ උසස් පෙළ කාලයේ සිට මගේ හොඳම මිතුරෙක්, ඔහු කවදාවත්ම දුම්පානය මෙන්ම කිසිදු මත්ද්‍රව්‍යයක් අරගත්ත කෙනෙක් නෙවෙයි. කවදාවත් කා, සමගවත් රණ්ඩු සරැවල්  ඇතිකර ගත්ත කෙනෙකුත් නොවෙයි. ඔහුට මිතුරන් අතර සුළු ගැටලුවක් ඇතිවුණත් අපිට තමයි කියන්නේ. අපි තමයි ඒ ගැටලු‍ව විසඳා දෙන්නේ බන්ධනාගාර රැකියාවට ගියත් කවදාවත් වෙනස් වුණේ නෑ”
අගලවත්ත 
සුමති කුඩලිගම

මං ගැන බලන්න එපා බං.. ජීවිතේ බේරාගෙන මෙතැනින් පලයන්.. - දිවි බේරාගත් නිලධාරියෙ කියයි

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ අමානුෂික සහ අතිශය ම්ලේච්ඡ රැඳවි ප්‍රහාරයෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරී රොෂාන් සංජීව මහතා මීරිගම මුගුරුගම්පල දියගැල්ම ප්‍රදේශයේ පදිංචි හතළිස් හතර හැවිරිදි දෙදරු පියෙකි..
 
උසස් අධ්‍යපනයෙන් පසු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වූ රොෂාන් සංජීව මහතා අතිශය කැපවීමෙන් සහ විනයගරුකව වසර 10ක පමණ කාලයක් ගුවන් හමුදාවේ අභිමානවත් සේවයක නිරත විය. තරැණ වියේ වැඩි කාලයක් රටේ ආරක්ෂාව වෙනුවෙන් කැප කළ ඔහු, පසුව  ගුවන් හමුදා සේවයෙන් නීත්‍යනුකූලව ඉවත් විය.
 
ගුවන් හමුදාවෙන් ඉවත් වීමෙන් පසු කෙටිකාලයක් පෞද්ගලික ආයතනයක රැකියාවක් කළද, නීතිය සහ සාමය සුරුකීමේ සන්නද්ධ නිල ඇඳුම් සේවයට පැවැති දැඩි ළැදියාව නිසාම ඔහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තනතුරැ සඳහා අයදුම් කළේය. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සුවිශේෂ ඒකකයක් වන බන්ධනාගාර බුද්ධි අංශය හෙවත් ව්‍යවහාරිකව ”‍බන්ධනාගාර පොලිස්”‍ ලෙස හඳුන්වන විශේෂ බලකායට තේරී පත් විය.
 
"සඳුදා උදෑසන මීගමුව බන්ධනාගාරය වෙත යන අතරතුර, සංජීව මහතා තම ආදරණීය බිරිඳට දුරකථන ඇමතුමක් ලබා දෙමින් පැවසූයේ, ”මම මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කරන්න යනවා...”‍ යනුවෙනි. එහෙත් එය තම ආදරණීය බිරිඳට ඇසුණු ඔහුගේ අවසන් කටහඬ වේ යැයි ඇය සිහිනෙනිදු නොසිතන්නට ඇත. ඉන්පසුව දවස පුරා බිරිඳ විසින් කිහිප වතාවක්ම ඔහුගේ දුරකථනයට ඇමතුම් ලබා දුන්නද, ඒ කිසිදු ඇමතුමකට සංජීවගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
 
රැඳවියන්ගේ අමානුෂික පහරදීම් හමුවේ බරපතළ ලෙස තුවාල ලබා, අසල වැටී සිටි රොෂාන් සංජීව මහතා, මරණයේ සෙවණැලි තමන් වෙත ළඟා වෙද්දී පවා සිතුවේ තමන් ගැන නොවේ. තමන් අසලම තුවාල ලබා සිටි තම හිතවත් සහෝදර නිලධාරි මිතුරාගේ අත තදින් අල්ලාගත් සංජීව, අවසන් වරට පවසා ඇත්තේ:
 
”මං ගැන බලන්න එපා බං... උඹේ ජීවිතේ හරි බේරාගෙන මෙතැනින් කොහොම හරි පලයන්...”‍යන යනුවෙනි.
 
තමන්ගේ ජීවිතය අවසන් සුසුම හෙලන මොහොතේ පවා තම සගයාගේ ජීවිතය රැකගැනීමට ඔහු තුළ තිබූ ඒ උදාර සහෝදරත්වය සහ නිර්භීතකම ශ්‍රී ලාංකේය රාජ්‍ය සේවා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු නොඅනුමානය.
 
"මේ හිරකාරයෝ මෙහෙම නඩත්තු කර කර හිර කරන් ඉන්න එකේ තේරැමක් නෑ. පොඩි කාලේ ඉඳන්ම දහදුක් විඳලයි මම මගේ පුතා හැදුවේ. මගේ පුතාට මම ජීවිතේටම ගහලා තියෙන්නේ දෙපාරයි. ඒ වැරදි දෙකකට දඬුවම් කරන්න. එයා ඒ වැරදි දෙකෙන් හැදුණා. මම අතපය නොකඩපු පුතා අද ගෙදර ආවේ අතපයත් කඩාගෙන... මගේ පුතා අපේ අතරින් සදාකාලයටම සමුඅරන්. මේ ඉන්න අනිත් නිලධාරීන් හරි බේරගන්න රජය මොනවා හරි තද ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. මියගිය අටදෙනාම පොඩි දරුවෝ ඉන්න තාත්තලා.
මීරිගම 
පුෂ්පකුමාර මල්ලව ආරච්චි
 

 

 

 
 

 

 
දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාරූප : ලහිරු හර්ෂණ