
ඇමරිකාවෙන් ආ දේශපාලකයාගෙන් ජනපති කළ ඉල්ලීම
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉකුත් සතියේ හෙලිකොප්ටර් යානා දහයක් පරිත්‍යාග වශයෙන් ලැබිණි. එම පරිත්‍යාගය භාරදීම සඳහා පැමිණියේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය පෝල් කපූර්ය. සහකාර රාජ්‍ය ලේකම්වරයා එම ගමනේ දී ජනාධිපති අනුර දිසානායක ද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමුවී සාකච්ඡා පැවැත්වීය.
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර හැත්තෑ හත් වසරක ද්විපාර්ශ්වික සබඳතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අඛණ්ඩව පවත්වාගෙන යන බව කී ජනාධිපතිවරයා ගුවන් හමුදාවට ලැබුණු පරිත්‍යාගය ගැන තම ස්තුතිය පළ කළේය. කලාපයේ මුහුදු ආරක්ෂාව ගැන ද අදහස් පළවිය. මැද පෙරදිග යුද තත්ත්වය මේ වන විට සාධනීය දිශාවකට ගමන් කරමින් තිබෙන බව දෙපාර්ශ්වයේම අදහස විය. යුද ගැටුම අවස්ථාවේ දී ශ්‍රී ලංකාව අනුගමනය කළ මානුෂීය ප්‍රතිපත්තිය මෙහි දී සාකච්ඡාවට ලක් වූ අතර ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ දී ආපදාවට පත් නෞකා දෙක සඳහා මානුෂීය සහන සැලසීමට ශ්‍රී ලංකාව ගත් පියවර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයාගේ ඇගයීමට ලක් විය. කලාපයේ සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාව උපරිම සහාය පළ කරන බව ජනාධිපතිවරයා එහි දී කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ අපනයනවලින් වැඩිම ප්‍රමාණයක් සිදු කරන්නේ ඇමරිකාව සමග බව කී ජනාධිපතිවරයා මෙම වෙළෙඳ සහයෝගීතාව දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අයුරින් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව කියා සිටියේය. පෝල් කපූර්ගේ එකඟතාව ද එයට ලැබිණි. ඇමරිකාව විසින් ඉකුත් කාලයේ පැන වූ තීරු බදු ගැන ද එහිදී අවධානය යොමු වූ අතර ශ්‍රී ලංකාව වැනි විශාල ආර්ථිකයකට හිමිකම් නොකියන රටක් අතර වෙළෙඳ පරතරය පියවීම පහසු නොවන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ත්‍රස්ත මර්දන පනත වෙනුවට අපරාධ මර්දන පනතක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව ජාත්‍යන්තර සංවිධාන සහ මෙරට මානව හිමිකම් සංවිධාන දිගු කලක සිට විරෝධතා ගෙන එයි. ඔවුන් කියන්නේ එම පනත අහෝසි කරන ලෙසය. පැවැති ආණ්ඩු ද එම පනත අහෝසි කරන බවට පොරොන්දු වී නව පනත් කෙටුම්පත් ගෙන ආවද සම්මත වූයේ නැත.
වර්තමාන රජය විපක්ෂයේ දී පොරොන්දු වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර කාලීනව නව පනතක් ගෙන එන බවය. ඉකුත් දිනවල ජනාධිපති අනුර දිසානායක ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර සමග මේ පිළිබඳව සාකච්ඡා කළේය. එහිදී අවධානය යොමු වූයේ ත්‍රස්තවාදය දැන් මෙරට නැතත් මත්ද්‍රව්‍ය හා අපරාධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් නොවන බවය. මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානීන් සහ අපරාධ කල්ලි නායකයන් මේ වන විට රඳවා සිටින්නේ ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනත යටතේ ය. ත්‍රස්තවාදයෙන් කාලයක් තිස්සේම බැට කෑ මෙරටට දැන් අපරාධවලින් බැට කෑමට සිදුවී ඇතැයි ජනාධිපතිවරයා එහි දී පවසා තිබේ. සංවිධානාත්මක අපරාධවලින් සහ වෙනත් විවිධ ක්‍රමවලින් අයථා ලෙස උපයන ධනය මෙරටින් පිටතට ගලාගෙන යන බවත් එය වැළැක්වීම සඳහා නීතිමය හා තාක්ෂණික ක්‍රමවේද ශක්තිමත් කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. ඒ නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට මහජන අයිතීන් සුරක්ෂිත වන පරිදි සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා වූ නව පනතක් ළඟදීම හඳුන්වා දෙන බවද ජනාධිපතිවරයා එහි දී පැවසුවේය.
ඇඟලුම් අවුල්
මැද පෙරදිග ගැටුම සහ ලෝක ආර්ථික තත්වය අනුව මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට යම් අර්බුදකාරී තත්ත්වයක් උදාවී තිබේ. ජනාධිපති අනුර දිසානායක ඉකුත් සතියේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමග ඔවුන්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡාවක් පැවැත් වීය.
රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන්නට ඕනෑ. ඒ වෙනුවෙන් අපනයනකරුවන්ට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන්න අපි සූදානම්’’ ජනාධිපතිවරයා කීවේය.
යම් යම් ප්‍රවාහන අපහසුකම් ගැන ආයෝජකයෝ එහිදී කියා සිටියහ.
“කර්මාන්ත ශාලා නගරෙම තියාගෙන බෑ. අපි හිතනවා මාර්ග පද්ධතිය දියුණු කරලා අධිවේගී මාර්ග ජාලය පුළුල් කළාම කර්මාන්ත ගමේ තිබුණා කියලා ගැටලුවක් ඇති වෙන්නෙ නෑ. ඒ ප්‍රශ්න අපි විසඳන්නම්” ‘‘ජනාධිපතිවරයා කීවේය. ඊළඟට ආයෝජකයන් පැවසුවේ අලුත් ව්‍යාපෘති අනුමත කරවා ගැනීමට ගතවන කාලය වැඩි බවය. එම කටයුතු ඉතා දුෂ්කර බවද කර්මාන්තකරුවෝ කීහ.
‘‘“ඔව්... අපි ඒ ගැටලු අඳුනාගෙන තිබෙනවා. ඒ නිසා ඒ සියලු සේවා එක වහලක් යටට ගන්න අපි කටයුතු කරගෙන යනවා. ඒ සඳහා වෙළෙඳාම සඳහා වූ ජාතික තනි කවුළුව’’ නමින් අපි ආයතනයක් පිහිටුවා තියෙන්නෙ. එම ආයතනය ජූලි මාසෙ අග වෙද්දී ක්‍රියාත්මක කරනවා. ආයෝජන සඳහාත් ‘‘ජාතික තනි කවුළුව’’ නමින් ආයතනයක් මේ වසර අග වෙන්න කලින් පටන් ගන්නවා. එවිට ඔය දුෂ්කරතා සමනය වේවි.’’ ජනාධිපතිවරයා එහි දී කියා සිටියේය.
සජබ – එජාප තවත් සාකච්ඡා වටයක්
සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ කිරීමේ තීරණාත්මක සාකච්ඡා වටයක් ඉකුත් සති අන්තයේ පැවැත්විණි. එම සාකච්ඡාව සාර්ථකව පැවැති අතර තවත් සාකච්ඡා වටයක් මෙම සති අන්තයේ පැවැත්වෙයි.
ඉකුත් සතියේ සාකච්ඡාව සිදුවූයේ එජාප නායක රනිල් සහ සජබ නායක සජිත් එකට මුණ ගැසී සාකච්ඡා කිරීමෙනි. නායක දෙපොළගේ හමුවට පෙර සජබ ජ්‍යෙෂ්ඨ නායකයෝ පිරිසක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පස්වැනි පටුමග නිවසේදී එතුමා මුණ ගැසී සුහද සාකච්ඡාවක නිරතවූහ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සභාපති කබීර් හෂීම් හා ලක්ෂ්මන් පොන්සේකා එම ජ්‍යෙෂ්ඨ නායකයෝද වූහ. පක්ෂ දෙක එකතු වීමේ දී ඇති වෙන ප්‍රශ්න ගැන දෙපාර්ශ්වයේම අදහස් එහිදී පළවිය. ‘‘“මට දැන් අවුරුදු හැත්තෑ හතක්. ඔයාල කරන්න මං බලාගෙන ඉන්නම්...’’ එජාප නායක රනිල් එහිදී කියා සිටියේය. රටේ ජනමතය සජබ හා එජාප එකතු වී දේශපාලන කරන අවස්ථාවක් ඉල්ලා සිටින බව සජබ නියෝජිතයෝ එහිදී කියා සිටියහ. පක්ෂ දෙක එකතු වීමෙන් අදහස් කරන්නේ සජබය එජාපය තුළට ඇතුළු වීම නොවන බව මෙහිදී සජබ නියෝජිතයෝ කීහ. ප්‍රධාන මැතිවරණයක් ආසන්න වෙද්දී සජබය සහ එජාපය ඇතුළත් පොදු සංධානයක් පිහිටු විය යුතු බවට එහිදී එකඟතාවකට පැමිණියේය. පොදු සංධානයක් බිහිකිරීම සඳහා පක්ෂ දෙකම පක්ෂයේ විධායක කමිටුවලින් අනුමත කළ යෝජනා මාලා දෙකක් ඉදිරිපත් කිරීමටත් අවසාන එකඟතාව ලෙස එම යෝජනා තනි යෝජනාවක් ගෙන ඒමටත් එකඟතාව පළවිය.
ඊළඟ පියවර සජිතුයි ඔබතුමාගෙයි සාකච්ඡාව...’’ සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.
මම ඕනෑ වෙලාවක සූදානම්’’ සජිත්ට එන්න කියන්න.’’ එජාප නායකයා කීවේය. ඒ අනුව සජිත් සහ රනිල් ගේ සාකච්ඡා ඉකුත් සති අන්තයේ සිදු කෙරිණි. පැය එක හමාරක වේලාවක් පැවැති එම සාකච්ඡාව නායකයන් දෙදෙනා අතර පුළුල් අවබෝධයක් ඇති කළ බවද දැන ගන්නට ඇත.
ප්‍රේමදාස ගුණ සමරුව
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ 102 වැනි ගුණ සමරුව යෙදී තිබුණේ ඉකුත් විසිතුන්වැනි දාටය. හිටපු ජනාධිපතිවරයාට පිං පිණිස කුණ්ඩසාලේ සීවලී මහා විහාරයේ අසූරියන් පිළිමයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ කටයුතු ආරම්භ වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි. සජිත් වෙනුවෙන් එම ඉදිකිරීමේ බර පැන දරන්නේ සුජිත් නිශාන්ත යෝගීතුමාය. සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, අර්ල් ගුණසේකර, චමින්ද්‍රානී කිරිඇල්ල ඇතුළු පිරිසක් ද එම ගුණසමරු උලෙළට සහභාගී වූහ.
විපක්ෂ නායක සජිත් එම ගුණ සමරු උලෙළට පැමිණ පැය හතරකට වැඩි කාලයක් මහා සංඝරත්නය ඇතුළු පැමිණ සිටි පිරිස සමග කතා කරමින් එහි ගත කළේය. මහනුවර මහරෝහලට වෛද්‍ය උපකරණ තොගයක්ද පිරිනමමින් තම පියාට පිං පැතූ විපක්ෂනායකවරයා ඉන්පසුව මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන්ද බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. උන්වහන්සේලා දෙනමම එහිදී ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා රටට කළ සේවය අගය කරමින් කතා කළ අතර අද එවැනි නායකයන්ගේ හිඟයකින් රට පෙළෙන බවද කියා සිටියහ.
සමගි තරුණ බලවේගයේ මූල්‍ය පරිත්‍යාගයෙන් මහනුවර රෝහලට ඉහත පරිත්‍යාගය සිදුකළ අතර සජබය ක්‍රියාත්මක කරන ‘‘හුස්ම’ වැඩ සටහන යටතේ මෙවැනි පරිත්‍යාග සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 2388ක් වැයකර ඇත.
ඇඟිලි පාට නොකිරීමේ වාසිය
මැතිවරණයක දී ඡන්දය පාවිච්චි කිරීමෙන් පසු බොහෝ දෙනා ඡන්දය සලකුණු කිරීමේ සංකේතය ලෙස අන්‍යයන්ට පෙන් වූයේ තීන්ත ආලේප කළ ඇඟිල්ලය. දශක කිහිපයක්ම ඡන්දය සලකුණු කිරීමේ සංකේතය ලෙස තීන්ත ගැල් වූ ඇඟිල්ල ජනතාව අතර ජනප්‍රියව තිබිණ. රජය තීන්දු කර ඇත්තේ ඉදිරි මැතිවරණවල දී ඡන්දය භාවිත කරන පුද්ගලයන්ගේ ඇඟිල්ලේ තීන්ත ආලේප කිරීම අහෝසි කරන්නටය. හොර ඡන්ද වැළැක්වීම සඳහා දශක කිහිපයකට පෙර ඇරඹූ මෙම ක්‍රමය මේ වන විට යල් පැන ඇති බවත් හැඳුනුම්පත අනිවාර්ය කර ඇති නිසා හොර ඡන්ද දැමීම අවම වී ඇති බවත් රජයේ අදහසය.
මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි පවසන්නේ පළමුවතාවට ඇඟිල්ල වර්ණ ගන්වන ක්‍රමයක් ආරම්භ වී ඇත්තේ 1967 බදුල්ල අතුරු මැතිවරණයේ දී බවය. හොර ඡන්ද දැමීම වැළැක්වීම සඳහා යොදාගත් මෙම උපක්‍රමය 1977 මහාමැතිවරණයේ දී රට පුරාම භාවිත කර තිබේ. පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ ඇඟිල්ලේ තීන්ත ආලේපය අහෝසි කිරීමෙන් මැතිවරණයක දී රුපියල් මිලියන 100ක පමණ මුදලක් ඉතිරි කිරීමට හැකියාව ලැබෙන බවය.
ඇත්තටම ඔය තීන්දුව ගත්තේ අපේ යෝජනාවක් නිසයි. හොර ඡන්ද වැළැක්වීම සඳහායි. ඇඟිලි පාට කිරීම පටන් ගත්තේ. ස්ථාන අටක ලියාපදිංචි වූ ඡන්දදායකයන් අතීතයේ සිටියා. මෙයාලට කීවේ අටමස්ථානාධිපති කියලා. දෙදාස් අට විතර කාලෙ ඉඳල අපි හොර ඡන්ද වැළැක්වීම සඳහා විවිධ පියවර ගත්තා. ඡන්දය දැමීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය කළේ එම පියවර යටතේ. දැන් හොර ඡන්ද දැමීමට ඇති අවස්ථා ඉතාම අවමයි.
මේ හැඳුනුම්පත අනිවාර්ය කරලා තියෙන නිසා ඇඟිල්ල පාට කිරීම දැන් අවශ්‍ය නෑ. ‘‘රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරයි. මෙම තීන්දුවත් සමග ඇඟිලි වර්ණ ගැන්වීමේ තීන්ත ආනයනයට යන වියදම මෙන්ම ඇඟිලි වර්ණ ගැන්වීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන දහතුන් දහසකට එක් නිලධාරියකු බැගින් යෙදවීමේ අවශ්‍යතාවය ද ඉවත්ව යයි.
තිස්ස රනිල් හමුවේ
සජබයේ ජාතික සංවිධායක තිස්ස අත්නායක එජාපයේ හිටපු මහලේකම් වරයාය. එජාප නායක රනිල්ගේ එකල සමීපතම නිලධාරියා වූයේ මහලේකම් තිස්සය. තම පැරණි නායකයාගේ සුවදුක් විචාරීම සඳහා තිස්ස ඉකුත් බදාදා කොල්ලුපිටිය පස්වැනි පටුමගේ රනිල්ගේ නිවසට ගියේය. සැත්කමකින් පසුව විවේකිව ගත කරන එජාප නායකයා දැන් සුව වී සිටින අතර ලෙන්ගතුව තිස්ස පිළි ගත්තේය.‘‘සර්ගේ සුවදුක් බලන්න ආවා...’’ තිස්ස රනිල්ට කීවේය.
එන්න තිස්ස... එන්න...’’ තිස්ස දුටු විගසම එජාප නායකයා කිවේය. තිස්ස රනිල්ට අචාර කර සුවදුක් විචාලේය.ඉන් පසුව කතා කළේ රට තොට සහ දේශපාලන තොරතුරුය.
සජිතුත් ගිය සතියේ මාව මුණ ගැසුණි. අපි පැය එක හමාරක් විතර කතා කළා. අපිට වුවමනාව තිබුණේ පක්ෂ දෙක එකතු කරලා ජාතික ජන බලවේගයකට විරෝධී ලොකු බලවේගයක් ගොඩ නැගීම. එ්ක මම සජිත්ට තේරුම් කරල කිව්වා. සජිතුත් සුබවාදීව කතා කළා. අපි කොහොමහරි එකතු වෙලා වැඩ කරමු. මම මේ ගන්න උත්සාහයේ ප්‍රතිඵලය ඔයාලට ලැබෙයි..’’ එජාප නායක එනිල් කියා සිටියේය. තම හිටපු නායකයාට නිරෝගී සුව ප්‍රාර්ථනා කළ සජබ ජාතික සංවිධායක තිස්ස එම නිවසින් පිටව ආවේය.
විනිසුරු ප්‍රශ්නය දිගටම
අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධි-කරණයේ විනිශ්චයකාරවරුන්ගේ පුරප්පාඩු පිරවීමට රජය මෙතෙක් කටයුතු කර නැතැයි විපක්ෂය දැඩි විරෝධයක් පාර්ලිමේන්තු මට්ටමින් ගෙන යමින් සිටියි. විපක්ෂයේ සියලු පක්ෂවල නායකයන්ගේ අත්සනින් යුතුව මෙයට පෙර කතානායකවරයාට ලිපියක් භාරදුන්නේ ඉහළ අධිකරණවල පුරප්පාඩු ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලමිනි. එහෙත් එම ලිපියට ද පිළිතුරක් ඉකුත් සතිය වනවිට ද නොලැබිණි. මේ නිසා විපක්ෂ නායක සජිත් ඇතුළු පක්ෂ නායකයන් තීන්දු කළේ පාර්ලිමේන්තු ක්‍රමය යටතේ තවදුරටත් විරෝධය පළ කරන්නටය.
ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වූ අවස්ථාවේම විපක්ෂය තීන්දු කළේ මේ පිළිබඳ විවාදය යළිත් ඉල්ලා සිටින්නටය. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි දෙනකු අත්සන් කළ ලිපියක් කතානායකවරයාට භාර දී තිබේ. විනිසුරු පුරප්පාඩු පිරවීම මගහැර දැනට සිටින විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීමට රජය උත්සාහ කරන බවත් එයින් රජයට යම් පක්ෂපාති අධිකරණයක් ස්ථාපිත කර ගැනීමට වෑයම් දරන බවත් විපක්ෂයේ මතය වේ. පාර්ලිමේනතු රීති අනුව විවාදයක් ඉල්ලා සිටිය ද රජය පියවර නොගැනීම නිසා අඟහරුවාදා උදෑසනම විපක්ෂය සිදු කළේ මන්ත්‍රීවරු විසි දෙනක් නැගිට විවාදයක් ඉල්ලා සිටීමය. පාර්ලිමේන්තු සම්ප්‍රදායේ 19 වැනි වගන්තිය අනුව විපක්ෂය මෙම හදිසි ඉල්ලීම සිදු කළේය. එහිදී මේ සම්බන්ධව විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය අතර උණුසුම් වාද විවාද ඇති වූ අතර සභාව ඝෝෂාකාරී වීම හේතුවෙන් කතානායකතුමා කළේ සභාවේ කටයුතු විනාඩි දහයකට අත්හිටුවීමය.
අපි ඉල්ලන්නේ පැය දෙකක විවාදයක්. ඇයි ඒක දෙන්න බැරි..? අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුවෙන් අපි අධිකරණයේ ප්‍රශ්න ගැන කතා කළ යුතුයි.’’ කළුතර සජබ මන්ත්‍රී අජිත් ජී. පෙරේරා කීවේය.
අපිට එම යෝජනාව අද උදේ ලැබුණා. ඒත් මේ වෙලාවේ අධිකරණයේ පවතින කටයුතු ගැන විවාදයක් අවශ්‍ය වේ යැයි අපි හිතන්නේ නෑ...’’විපක්ෂයට එසේ උත්තර දුන්නේ සභානායක බිමල් රත්නායක. විපක්ෂය සටන් පාඨ කියමින් සභාව මැදට පැමිණියේ ඉන් පසුවය.
ඊ.පී.එෆ්. අරමුදල් ගැන බය හිතෙන අනාවරණයක්
සේවක අර්ථසාදක අරමුදල රැක ගැනීම විපක්ෂයට බලය ඇති වෘත්තීය සමිතිවල නිරන්තර සටන් පාඨයක් විය. රජය යටතේ පැවතුණත් රජයට එම අරමුදලේ ඇති මුදල් තම ප්‍රයෝජයට ගත නොහැකිය. මහින්ද රාජපක්ෂ රජය සමයේ ආර්ථසාධක අරමුදල රජයට පවා ගැනීමට ගත් වෑයමක් අවසන් වූයේ පෞද්ගලික අංශ සේවකයකු වූ රොෂාන් චානක පොලිස් වෙඩි තැබීමකින් ඝාතනය වීමෙනි. ජවිපෙ සහ ජාතික ජන බල වේගය අර්ථ සාධක අරමුදල රැක ගැනීම වෙනුවෙන් වසර ගණනාවක්ම වෘත්තීය අරගල මෙහෙයවීය.
පෙරටුගාමි සමාජවාදි පක්ෂය පවසන්නේ වත්මන් ජාතික ජනබලවේග රජය ද ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් යන අරමුදල් දෙක ඒකාබද්ධ කිරීමේ උත්සාහයක නිරත වන බවය. එම පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ, බහුජන ලේකම් දුමින්ද නාගමුව, චමීර කොස්වත්ත ඇතුළු පිරිසක් ඉකුත් සතියේ සාකච්ඡා කළේ වත්මන් රජය යටතේද මෙම අරමුදල් දෙක අවදානමක පවතින බවය.
පසුගිය පහළොස් වැනිදා කැබිනට් මණ්ඩලය යෝජනාවක් සම්මත කරලා තියෙනවා. ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් අරමුදල් දෙක ඒකාබද්ධ කරන්න. මේක මේ අරමුදල් දෙක කොල්ලකන වුවමනාවේම කොටසක්.’’ පක්ෂ නායක කුමාර් ගුණරත්නම් කියා සිටියේය.” ‘‘ඔව්... රාජපක්ෂ ආණ්ඩුවට ඒ වැඩේ කරන්න බැරි වුණා.. රොෂේන් චානකගේ දිවි පිදිමෙන් රාජපක්ෂලට බැරිවුණා වැඩේ මෙයාලා කරන්න යනවා...’’ දුමින්ද නාගමුව කීවේය.
මේ අරමුදල් දෙකේ අරමුණු දෙකක් තියෙන්නේ. ඒකාබද්ධ කළාම වෙන්නේ සේවකයන්ට එම ප්‍රතිලාභ අහිමි වෙන එක. ආණ්ඩුව යෝජනා කරන්නේ මෙම අරමුදල් පාලනය කිරීම රජයයි පෞද්ගලික අංශයයි ඒකාබද්ධ කරපු විශේෂ ව්‍යහයකට පවරන්න. නරින්ට කුකුල් කොටුව බාර දීලා දැන් එම අරමුදලෙන් රජයට ණය දෙන එක වළක්වලා පෞද්ගලික අංශයේ ධනපතියන් අතට එම මුදල්වල භාරකාරත්වය ගන්නයි යන්නේ. ඒකෙන් මේ අරමුදල් දෙකම අනතුරේ වැටෙනවා. තියෙන සාමාජික මුදල්වල නියම වටිනාකම පහළ යනවා. මේක අපි ජනතාවට පැහැදිලි කර දෙන්න ඕනෑ...’’ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේය. ඒ අනුව එම පක්ෂය තීන්දු කළේ කම්කරුවන් ඒකරාශි කරන අරගලයක් ආරම්භ කිරීමටය. ඒ පිළිබඳ මූලික දැනුවත් කිරීම කරන ලෙස දුමින්ද නාගමුවට භාර කෙරිණි.
සජබ මන්ත්‍රීන්ට නාමල් මොක ද කීවේ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානින්ගේ හමුවක් ඉකුත් සතියේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, මහලේකම් සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න හා ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එම හමුවට සහභාගී වූහ.
අද වෙනකොට ඩෙංගු රෝගීන් පනස් දාහකට කිට්ටු වෙලා. මෙයාල ඒ ගැන මුකුත්ම නොකරන පාටයි. බිමල් රත්නායක ඒ කාලේ ඩෙංගු මර්දනය උගන්වන එකකුත් මම ළඟදී දැක්කා....’’ නාමල් රාජපක්ෂ කීවේය.
කිසිම දෙයක් අහන්නෙ නැති ආණ්ඩුවක්...’’ ඩී.වී. චානක කීවේය.
‘‘අපි ප්‍රාදේශීය මට්ටමින් කියමු අපේ ආසන සංවිධායකවරුන්ට ජනතාව දැනුවත් කරන්න කියලා....’’ නාමල් කියා සිටියේය.
‘‘අපි පසුගිය සතියේ ගොවි සංවිධාන හමු වුණා... වීවලට හොඳ මිලක් නෑ කියලා හැමෝම කිව්වා.
ගොවි සංවිධානයක සභාපති කෙනෙක් මට කතා කළා. එයා මහින්ද මහත්තයාගෙ හොඳ කීවා. ඒ දවස්වල හැමෝම ළඟ සල්ලි තිබුණා. වී වලටත් හොඳ මිලක් දුන්නා කියලා අගය කළා...’’ නාමල් කීවේය.
පසුදා පාර්ලිමේන්තුවේ දී නාමල් ගොවි ප්‍රශ්න අල්ලා කතාවක් පැවැත්වීය. ඔහු එම කතාව නිම කර පිටතට පැමිණෙද්දී ඔහු සජබ මන්ත්‍රීවරුන් පිරිසක් හමුවිය.
ඒ කතාව නම් හොඳයි’’ සජබ මන්ත්‍රීවරයෙක් කීවේය.
‘‘ඔව්.... මේ අය ඒ කාලේ ගොවීන්ව සූරාගෙන කාලා අද.
ඉල්ලීම් ඉල්ලන කොට කියනවා කසිප්පු කාරයෝ කියලා. ඔන්න මම අපේ අයටත් කීවා සජබ ඉලක්ක කරගෙන මුකුත් කියන්න එපා කියලා...’’ නාමල් කීවේය.
ඒක හොඳයි’’ සජබ මන්ත්‍රීවරයෙක් කීවේය.
‘‘මම අපේ අයට කීවා අපට තියෙන්නෙ ආණ්ඩුව එක්ක ප්‍රශ්නයක් මිස විපක්ෂය එක්ක ප්‍රශ්නයක් නොවෙයි කියලා. අපට විපක්ෂය එක්ක පැටලෙනවට වඩා කරන්න ඕනෑ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටු කරන්න බල කරන එක. ජනතාවට අපි කරන සේවය එකයි. මම යනවා....’’ සජබ මන්ත්‍රීවරුන් පිරිසකට එසේ කී නාමල් එතැනින් පිටව ගියේය.
රනිල් කතා
මන්ත්‍රී කණ්ඩායම් හමුවට පෙර හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න රනිල් හමුවට ආවේ රනිල් ජනාධිපති සමයේ නීති උපදෙස් ලබාගැනීම සිදුවූයේ කෙලෙසදැයි පැහැදිළි කර ගැනීමටය.
නීති උපදේශකයෙකු ඔබතුමාට සිටියා ද කියාත් දැනගන්න අවශ්‍ය බව ද දිනිත් මෙහිදී පැවසීය. ඒ අවස්ථාවේ දී රනිල් දුන්නේ අපූරු උත්තරයකි.
“මට ජනාධිපති කාලේ නීති උපදේශකලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් නීතිපති දෙපාර්තමේන්තුව. අනිත් එක්කෙනා මම” රනිල් කී කතාවේ උපහාසය තේරුම් ගන්නට දිනිත්ටත් තත්ත්පර කීපයක් ගතවිය.
ආණ්ඩුව ඇතුළේ භේද බින්න වීම තවත් ආකාරයකට පැන නැගී ඇති බව මන්ත්‍රී කණ්ඩායමේ කතාබහට ලක්වූ ප්‍රධාන කාරණයක් විය. රනිල් සමග වැඩ කළ ව්‍යාපාරික පෙළැන්තියේ කීපදෙනෙකු සමග ද අනුර සාකච්ඡා පවත්වා තිබෙන බවත්, බලය තිබූ කාලයේ ආණ්ඩුව සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයකු එහි ප්‍රධාන භූමිකාවක් ඉටුකර ඇති බවත්, එජාප සභාපති වජිර කියා සිටියේය.
“මේ අය සම්පූර්ණයෙන්ම පැලවත්තේ ආර්ථික දැක්මට ප්‍රතිවිරුද්ධ අය. මේ ව්‍යාපාරිකයන් පැලවත්තේ කල්ලිය දැඩි ලෙස විවේචනය කරලා තියෙනවා කියලත් ආරංචියි.” මාන්නපෙරුම පැවසූයේ ඔහුට ලැබුණු ආරංචියක් ද උපුටා දක්වමිනි.
“ජනාධිපති ව්‍යාපාරිකයන් මුණ ගැහෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ඒ අයගේ අයත් එක්ක මුහුණට මුහුණ හමුවුණේ නැත්තේ ඇයි? ඒ අයගේ අය මග හැරලා හමු වුණේ ඇයි? ඒ වගේම මෙවැනි හමුවක් අපේ ආණ්ඩුවට සම්බන්ධව සිටි අයෙකුට බාර දුන්නේ ඇයි?” රනිල් කීවේය.
ජී.එල්.ගේ විග්‍රහය
ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ ඉකුත් සතියේ සුපුරුදු පරිදි ජී. එල්. පීරිස්ගේ නිවසට රැස්වූහ. නායකයෝ 25 ක් පමණ ඊට සහභාගී වූහ. ඒ අනුව ලබන පළවෙනිදා වැඩසටහන් දහයක් පමණ කොළඹ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට සාකච්ඡා විය.
එහිදී සතියේ වැඩසටහන් පිළිබඳව අදහස් දක්වමින් ජී.එල්. මෙසේ කීය.
“ජනතාවගේ ජීවන බර සම්බන්ධයෙන් රජය කිසිම සංවේදී බවක් දක්වන්නේ නෑ. ජනතාව විඳින දුක් විඳිනවා. ඒ තේමාවෙන් තමයි අප මේ වැඩසටහන් කරන්නේ.මේ අතර ලබන 9 වැනිදා අමාරි හෝටලයේ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් වැඩසටහන පැවැත්වෙනවා. ජනාධිපති නීතිඥවරු වගේම නීතිඥ සංගමයේ හිටපු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්වෙන්නේ. මේ අයුරින් කිසි දිනක ආණ්ඩුවක් විසින් අධිකරණයේ ස්වාධීනත්වයට අත පෙව්වේ නැති බව එහිදී පෙන්වා දෙනු ලබනවා.”
“ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු අටක් තිබෙනවා.ඒවා පුරවන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ.ඒ වගේම විනිසුරු වයස වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධවත් මෙහිදී ජනතාව දැනුවත් කිරීමක් සිදුකෙරෙනවා.”
“ලබන 12 වෙනිදා ඒකාබද්ධ විපක්ෂයේ කුරුණෑගල සම්මන්ත්‍රණය පැවැත්වෙනවා.”
“ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අයි.එම්.එෆ්. නියෝජිතයන් හමුවෙන් පසු පිටත්වී විනාඩි කීපයකින් සුගීශ්වර බණ්ඩාර අත්අඩංගුවට ගත්තා. ඒ කියන්නේ රහස් පොලිසිය ඒ පිළිබඳව අවධානයෙන් ඉඳලා තියෙනවා .මේවා පොලිස් රාජ්‍යයක ලක්ෂණ. විපක්ෂයේ වැඩකටයුතු කරගෙන යාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකමක්. වද හිංසා පැමිණවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුකමිටුවක් ලංකාවට පැමිණ සතියක් පමණ ගතකළා. ඔවුන් ආවේ ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙන ජාත්‍යන්තර සම්මුතියක් ක්‍රියාත්මක වනවාද කියා බලන්නයි.”
“වත්මන් අධිකරණ ඇමති ඉදිරිපත් කළ නව පනත හැම පැත්තකම විවේචනයට ලක්වුණා. පසුව ආණ්ඩුව එය හකුලා ගත්තා. අලුත් පනතක් ගේනවා කිව්වත් තවමත් එය සිදුවී නැහැ. මොනවා කරනවද කියලා කවුරුත් දන්නේ නෑ. මේවා කරන්නේ විනිවිද භාවයකින් තොරවයි. ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකාරක බිනෝයි හෙට්ටිආරච්චි, සුගීශ්වර සමග සිටියදී අත්අඩංගුවට ගැනීම කිසිදු පදනමක් නැති කාරණයක්. ඔහු පැය පහක් පමණ හිර කර තබාගත්තා. එය පැහැදිලිව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒ සම්බන්ධයෙන් අප අධිකරණයේ මානව හිමිකම් පෙත්සමක් ගොනු කරනවා. මීට අමතරව දිසා අධිකරණයේ වන්දි ඉල්ලා නඩුවක් පැවරීමටද අප බලාපොරොත්තු වෙනවා. බිනෝයි කළ වරද ඒ වාහනයේ සුගීශ්වර සමග සිටීම පමණයි. මේවා භයානක පෙර නිමිති.මේ ගැන ජනතාව දැනුවත් විය යුතුයි.” ජී.එල්. ඉදිරි වැඩපිළිවෙළ ගැන කරුණු පැහැදිලි කළේ එසේය.
රාජ දූත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd