ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු වන තිස්ස කුට්ටිආරච්චි විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට එල්ල කළ වාග් ප්‍රහාරයත් ඔහුට පිළිතුරු පිණිස සජබ සංවිධායකවරුන් කිහිප දෙනකු තිස්ස කුට්ටිආරච්චි සහ රාජපක්ෂවරුන්ට එල්ල කළ වාග් ප්‍රහාරයත් ඉකුත් දිනවල දැකගත හැකි විය. 

මෙම පක්ෂ දෙකම ආණ්ඩුවට එරෙහි දේශපාලනයක නිරතව සිටියදී හදිසියේ එකිනෙකාට එරෙහිව වාග් ප්‍රහාර එල්ල කරන්නේ ඇයිදැයි බොහෝ දෙනාට කුතුහලයක් ඇති කර තිබිණ. එළැඹෙන ජනාධිපතිවරණයේදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන නාමල් රාජපක්ෂ සමග සමීප හිතවත්කමක් පෙන්වන තිස්ස කුට්ටිආරච්චි මෙයට පෙරද පවසා තිබුණේ නාමල් ජනාධිපති වූ විට නිල නොවන ජනාධිපතිවරයා තමා බවය. මෙම ප්‍රකාශය බොහෝ දෙනාගේ විරෝධයට ලක්වූ අතර  එවැනි ප්‍රකාශ නොකරන ලෙස තිස්ස කුට්ටිආරච්චිට අවවාද කරන්නටද පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ට සිදුවිය.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වී සිටින සජබය පාර්ලිමේන්තුවෙන් බැහැර වී රටේ ප්‍රධාන විපක්ෂය ලෙස පිළිගන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම් නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථාන කාර්ය මණ්ඩලය හා හිතවතුන් නිතරම පවසන්නේ 2029 ජනපතිවරණයේදී මෙරට ජනාධිපතිවරයා වශයෙන් පත්වන්නේ නාමල් රාජපක්ෂ බවය. ඒ අනුව මෙම වාග් ප්‍රහාරයද විපක්ෂයේ ඡන්ද ගොඩ තම පක්ෂයට ලබා ගැනීම සඳහා කරන සටනකි. ප්‍රධාන විපක්ෂය වන සජබයේ නායකයාගේ චරිතයට පහර දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂාව වී ඇත්තේ සජිත් ප්‍රේමදාස හැර සජබයේ වෙනත් ජනතාවට ආකර්ෂණය වූ ප්‍රධාන දේශපාලන සංකේතයක් නොමැති නිසාය. එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සජබය අරභයා කළ මෙම ප්‍රහාරයෙන් රාජපක්ෂවරුන් පිළිබඳව තවත් වටයක ප්‍රහාරයක් සජබයෙන් එල්ල විය. මෙම මත ගැටුමේ වාසිය ලැබෙන්නේ ආණ්ඩු පක්ෂයට බව දෙපාර්ශ්වයේම නායකයන්ට තවමත් වැටහී තිබේදැයි යන්න සැක සහිතය. 

සජබය සහ පොදුජන පෙරමුණ අතර මෙම මත ගැටුමට හේතු වන්නේ රට තුළ තවමත් පවතිනව ශ්‍රීලනිප සහ එජාප පක්ෂ දේශපාලනයයි. කැපුවත් කොළ යැයි සම්මත පාක්ෂිකයන් පිරිස සජබයටද කැපුවත් නිල් යැයි සම්මත පාක්ෂිකයන් පිරිස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටද ගොනු වී සිටිති. බොහෝ දුරට ගම්බද ජන සමාජයේ ඡන්ද පවතින්නේ මෙම නිල් කොළ සහ රතු කඳවුරුවලට වෙන්වය. නිල් පැහැයේ ඡන්ද දායකයන් පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා තරමක් දුරට ශ්‍රී ලනිපය වටා එකතු වනවා මිස පැරණි එජාප කොළ පැහැයෙන් යුතුවන සමගි ජන බලවේගයට එකතු වන්නේ නැත. පැරණි එජාප කොළ පැහැයේ ඡන්දදායකයන්ද සජබයට එකතු වනවා මිස පොදුජන පෙරමුණට එකතු වන්නේ නැත. අද වනවිට රට තුළ නිල් හා කොළ දේශපාලන පක්ෂ උදාසීන වී ඇතත් ඡන්දදායකයා තුළ එම වර්ණ ඔහුගේ මනසේ මෙන්ම රුධිරය තුළද කැටිවී පවතී. මේ නිසා වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව පරාජයට පත්වන යම් දිනක - නිල් හා කොළ පැහැති ඡන්ද දායකයා තමන්ගේ පැරණි මතය සමග සිටිනවා මිස සජබය වටා හෝ පොදුජන පෙරමුණ වටා සියලු දෙනාම පොදුවේ ගොනුවන්නේ නැත.

“පොහොට්ටුවේ ඡන්ද අපට එන්නේ නෑ... එකතු වෙන්න ඕනෑ සජබයයි එජාපයයි. අපේ ජය තියෙන්නෙ එතන...” සජබ මහ ලේකම්වරයා පැවසුවේ එම බිම් මට්ටමේ තත්ත්වය දන්නා නිසාය. මේ නිසා අනාගත මැතිවරණයකදී සජබ ප්‍රතිවාදියා වන්නේ පොදුජන පෙරමුණය. පොදුජන පෙරමුණේ ප්‍රතිවාදියා වන්නේ සජබයයි. මේ පක්ෂ දෙක එක් වුවත් ඡන්ද දායකයා උදාසීන වන බව සජබ ප්‍රධානීන්ගේ අදහස වේ. මේ  නිසා තම පක්ෂය අබිබවා යාමට අනෙක් පක්ෂයට ඉඩදීමට මෙම පක්ෂ දෙකම කැමැත්තක් නැත. තිස්ස කුටිටිආරච්චි හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සජිත්ට පහර දෙන්නේ අනාගත ජනාධිපතිවරණයේ ලොකුම ඡන්ද කොටස කඩා ගන්නය. ඒ අයුරින්ම නාමල් ඇතුළු රාජපක්ෂලාට සජබ මන්ත්‍රීවරුන් හා සංවිධායකවරුන් පහර දෙන්නේද විපක්ෂයේ බලය තමන් සතු කර ගන්නය. එහෙත් මෙම විපක්ෂ ගැටුම නිසා යම්  ඡන්ද ප්‍රමාණයක් අනුරට වැටෙන්නටද බැරිකමක් නැත.  

ලබන ජනාධිපතිවරණයද පැවැති ජනාධිතිවරණය සේම තුන් කොන් සටනක් වන ආකාරයක් පෙනෙන්නට තිබේ. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට එරෙහිව විපක්ෂනායක සජිත්  ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අතර එම තුන්කොන් තරගය පැවැත්වෙනු ඇත.

විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් සිටින විට ප්‍රධාන පක්ෂය වීම සඳහා එම පක්ෂ අතර අරගල ඇතිවෙයි. ඒ සඳහා හොඳම උදාහරණය  ඇත්තේ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ආණ්ඩුවෙන් එළියට පැමිණ සටන් කළ ලලිත් සහ ගාමිණී ඇතුළත් රාජාලියා පිල සහ ශ්‍රීලනිපය අතරය. 1988 ජනාධිපතිවරණයෙන් ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නොසිතූ ලෙස පරාජයට පත්වීමෙන් ඉක්බිතිව ඇය ඇතුළු ශ්‍රීලනිපයට යළිත් පිබිදීමක් ඇතිවුණේ ප්‍රේමදාස රජයට එරෙහිව එජාපයේම ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක ඇතුළු එජාපයේ ප්‍රධාන බලකණු ගණනාවක් පක්ෂයෙන් හා රජයෙන් එළියට  පැමිණි පසුවය. මුලදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමග සමීප සබඳතාවක් ඇති කරගත් මෙම පිරිසට පාක්ෂිකයන් සහ විවිධ පාර්ශ්වවලින්  එල්ලවූ බලපෑම් නිසා ‘‘රාජාලියා’’ ලාංඡනය යටතේ වෙනම පක්ෂයක් ලෙස ගොනුවන්නට සිදුවිය. මැතිනියගේ ශ්‍රිලනිපය වෙනම දේශපාලන ගමනක යෙදුණු අතර දෙපාර්ශ්වයේම පොදු සතුරා වූයේ ජනාධිපති ප්‍රේමදාසය.

මුලදී ශ්‍රීලනිප නායකයන් සහ ලලිත් හා ගාමිණී ඇතුළු පිරිස එකම වේදිකාවක දැකගත හැකි වුවත් ප්‍රේමදාසගේ රජය ඇද නොවැටී ස්ථාවරව සිටීම හේතුවෙන් ලලිත් හා ගාමිණී ඇතුළු එජාපයෙන් ආ කණ්ඩායමට එජාප පාක්ෂිකයා වෙනුවෙන් වෙනම වේදිකාවක සිට තම අනන්‍යතාව රැක ගැනීමට සිදුවිය. අනතුරුව වසරක් වැනි කාලයක් තුළ පළමුව ලලිත් ඇතුළත් මුදලි හා ඉන් පසුව ජනාධිපති ප්‍රේමදාස ඝාතනයවීමෙන් පසු පොදු සතුරා පිළිබඳ සංකල්පය වියැකී ගොස් රාජාලියා පාර්ශ්වය සහ ශ්‍රිලනිපය අතර දේශපාලන වේදිකාවේ විවිධ ඝට්ටන  සිදුවිය. අනතුරුව පැවැත්වුණු පළාත් සභා මැතිවරණයේදී මේ දෙපාර්ශ්වය තරග වැදුණේ වෙන වෙනමය. දෙපාර්ශ්වයම එකිනෙකාට තදබල ලෙස පහර එල්ල කර ගත්තේ විපක්ෂයේ ඡන්ද ගොඩ ඩැහැගැනීමටය. ප්‍රේමදාසට එරෙහිව මුලදී තිබූ එකඟතාව ඉන් පසුව කිසි විටෙකත් දෙපාර්ශ්වය අතර තිබුණේ නැත. ඒ සමගම පැමිණි බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති අපේක්ෂකයන් වූ චන්ද්‍රිකා කුමාරතුංග සහ ලලිත් ඇතුළත් මුදලි අතර දෙපාර්ශ්වයේ වේදිකාවලදී තදබල වාග් ප්‍රහාර ඇතිවිය. ලලිත්ගේ ඛේදනීය අභාවයෙන් පසු එම මත ගැටුම නැවතුණද සෙසු පළාත් සභා මැතිවරණවලදී මෙම ගැටුම දිගටම තිබුණි. එකම අරමුණකින් විපක්ෂයේ සිටින විට ආණ්ඩු විරෝධී ඡන්ද තම පාර්ශ්වයට ලබාගැනීම සඳහා මෙවැනි මත ගැටුම් මෙරට දේශපාලනයේ සුලබය. 

සමගි ජන බලවේගයේ ප්‍රධාන පෙළේ නායකයන්ට අනුව එළඹෙන 2029 ජනාධිපතිවරණයේදී සජබ නායක සජිත් ප්‍රේමදාසද එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වදියි. එම පක්ෂයේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ ජනාධිපතිවරණය එළැඹෙන විට එක්සත් ජාතික පක්ෂය සමග පොදු එකඟතාවක් ඇති කර ගත හැකි බවය. එජාපයේ හිටපු මන්ත්‍රීවරු පිරිසක්ද ජනාධිපතිවරණයට පසුව එන මහා මැතිවරණයකදී සජබ මූලික සංධානයකින් තරග කිරීමට කැමැත්තෙන් සිටිති. එහෙත් සජබ මුල් පෙළේ අයගේ මතය වන්නේ පොදු සංධානයක් මිස නැවත සජබය එජාපය තුළට යාමක් සිදු නොවන බවය. මෙම පාර්ශ්ව දෙකේම මතය වන්නේ නාමල් රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගද්‍ ජනාධිපතිවරණයේදී  පොදු සන්ධානයකට එළඹීම ඵල රහිත ක්‍රියාවක් බවය. ‘‘කැපුවත් නිල්’’ ඡන්ද දායකයා සජිත්ට ඡන්දය නොදෙන බව ඔවුන්ගේ මතය වේ. මේ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂයේ තවත් පක්ෂයක් ලෙස මිස තම පාර්ශ්වයට ඡන්ද එකතු කරන පාර්ශ්වයක් ලෙස ඔවුන් සලකන්නේ නැත.

බොහෝ ගම්බද ඡන්ද දායකයා තුළ ඉකුත් ජනාධිපතිවරණයේදීද එම මතය දැකගත හැකි විය. ‘‘කැපුවත් නිල්’’ ලෙස හංවඩු ගැසී තිබූ පැරණි ශ්‍රීලනිප පාක්ෂිකයන් බොහෝ දෙනා රනිල්ට හෝ සජිත්ට ඡන්දය දුන්නේ නැත. ඔවුන් කිසි දිනක එජාප හෝ කොළ පැහැති වර්ණයෙන් යුත් පක්ෂයක අපේක්ෂකයකුට ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැත. ඒ නිසා රනිල් හෝ සජිත් වෙනුවට ඔවුන් තෝරා ගත්තේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර දිසානායකය. එළඹෙන ජනාධිපතිවරණයේදීද මෙම සාම්ප්‍රදායික නිල් සහ කොළ දේශපාලනය ක්‍රියාත්මක වන බව සජබයේ මතය වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පොදු සන්ධානයක් ඇති කරගැනීම ඵල රහිත බව ඔවුන් කියන්නේ ඒ නිසාය.

මෙම පක්ෂ දෙකම දැන් සිටම සුදානම් වන්නේ එළඹෙන ජනාධිපතිවරණයටය. ඒ නිසා අනෙක් පක්ෂය ඔවුන් සලකන්නේ සතුරු පාර්ශ්වයක් ලෙසය. මෙම වාග් ප්‍රහාර කැපුවත් නිල් සහ කැපුවත් කොළ ඡන්දදායකයාට ලබාදෙන පණිවිඩයක් ලෙසද ඒ අනුව සැලකිය හැකිය. 

මේ අනුව ලබන ජනාධිපතිවරණයද පැවැති ජනාධිතිවරණය සේම තුන් කොන් සටනක් වන ආකාරයක් පෙනෙන්නට තිබේ. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට එරෙහිව විපක්ෂනායක සජිත්  ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අතර එම තුන්කොන් තරගය පැවැත්වෙනු ඇත. තරගයෙන් ජය ලැබෙන්නේ කාටදැයි දැන්ම කිව නොහැකි මුත් විපක්ෂයේ සටන නම් මේ වනවිටත් ඇරඹී ඇති බව මෙම වාග් ප්‍රහාරවලින් වටහා ගත හැකිය.
ප්‍රේමකීර්ති රණතුංග