වසර 2ක කාලයක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ  විනිශ්චයකාරවරුන්ගේ නිලකාලය දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව මේ වනවිට රටේ විශාල ආන්දෝලනයකට ලක්ව ඇති කාරණයකි. රජය තවමත් නිල වශයෙන් මෙම කාරණය ප්‍රකාශ නොකළත් රජය එවැනි උත්සාහයක නිරත වන බවට මතයක් ගොඩනැගී තිබේ. එවැනි සේවා දිගුවක් නිසා ඇතිවිය හැකි ගැටලු‍ පිළිබඳව මෙරට නීති ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයකු මෙන්ම, නීති සිසුන් දහස් ගණනකට අධ්‍යාපනය ලබාදුන් මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් විමසුවෙමු. 

“මෙම කාරණය සම්බන්ධව මතුවන මූලිකම ගැටලු‍ව වන්නේ මෙවැනි දෙයක් සිදුකිරීමේ අවශ්‍යතාව කුමක්ද යන්නයි. විශේෂයෙන් කෙළවරක් නොමැති ප්‍රශ්න වැළක රට පැටලී සිටියදී මෙවැනි කාරණයකට ප්‍රමුඛත්වයක් දෙන්නට උත්සාහ දරන්නේ මන්ද යන්න ගැටලු‍ සහගතයි. මෙම කාරණයේ බැරෑරුම්කම පිළිබඳව දැනුමක් ඇති සමාජයේ පිරිස් මීට දැඩි විරෝධයක් පළ කරමින් සිටිනවා. විශේෂයෙන් නීතිඥ ප්‍රජාව, සිවිල් සංවිධාන, වෘත්තීය සමිතිවල දැඩි විරෝධය මේ පිළිබඳව පළ කරමින් සිටිනවා. 

මහාධිකරණ, දිස්ත්‍රික් අධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් නිල වශයෙන් නියෝජනය කරන අධිකරණ සේවා සංගමය නිල නොවන මට්ටමින් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පවත්වා ඇති බව පුවත්පත් වාර්තා කර තිබුණා. එසේම පුවතින් කියවුණේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ නිලකාලය වසර 2ක් සඳහා දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධතාවක් නොමැති බවට එම සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළ බවයි. නමුත් අධිකරණ සේවා සංගමයේ අවසාන රැස්වීමේදී සාමාජිකයන් පවසා තිබුණේ මෙය තමන්ගේ මතය නොවන බවත් එවැනි මතයක් පළකරන ලෙස සභාපතිවරයාට නොපැවසූ බවත්ය. කෙසේ නමුත් අවසානයේ තමන් එවැන්නක් නොපැවසූ බව සභාපතිවරයා පැවසුවත් එම සංගමයේ ලේකම්වරයා අවධාරණය කර තිබුනේ තමන්ද එම අවස්ථාවට සහභාගි වී සිටි බවත් සභාපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදු කළ බවත්ය. අවසානයේ එය සංගමයේ නිල ප්‍රකාශයක් නොවන බව ද ප්‍රකාශ වුණා. 

අධිකරණ ​ෙත්‍රය තුළ අනවශ්‍ය වාදවිවාද ඇති කරලා

මින් පැහැදිලි වන්නේ රජයේ වගකීම් විරහිත ක්‍රියාකාරකම් නිසා කෙතරම් අනවශ්‍ය වාද විවාද අධිකරණ ක්ෂේත්‍රයේ ඇතිකර තිබෙනවාද යන්නයි. මෙවැනි සිදුවීම් අධිකරණ ක්ෂේත්‍රයට යහපත් නොවන සිදුවීම් ලෙස හැඳින්විය යුතුයි. 

අධිකරණයේ තේජසට, ගෞරවයට මෙය හොඳ තත්ත්වයක් නොවන බව පසුගිය දිනවල මාධ්‍ය තුළ පළවූ වාර්තා , කාටුන් ආදියෙන් පැහැදිලි වනවා. මෙය මම දකින්නේ ඉතාම අවාසනාවන්ත සිද්ධියක් ලෙසටයි. 

අපේ රටේ බැරෑරුම් ප්‍රශ්නයක්ව පැවති නීතියේ ප්‍රමාද වැළැක්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව වැඩි කළා. “යුක්තිය පසිඳලීම අසාධාරණ ලෙස ප්‍රමාදවනවා නම් යුක්තිය පසිදලීම නිෂේධනීය වනවා”‍ යැයි ප්‍රකට කියමනක් තිබෙනවා. කෙසේ නමුත් 20 වැනි සංශෝධනය මගින් විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව විශාල ලෙස වැඩි කළා. 20 වැනි සංශෝධනයට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව වූයේ අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු විනිශ්චයකාරවරුන් 11යි. අභියාචනාධිකරයේ සිටි විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව වූයේ අභියාචනාධිකරණ සභාපති ඇතුළු 12කි. 20 සංශෝධනයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව17 දක්වා වැඩි කළා. අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ සංඛයාව 20 දක්වා වැඩි කළා. 

රජය කළ යුත්තේ නිලකාලය දිගුකිරීම ​ෙනාව පුරප්පාඩු පිරවීමයි

නමුත් අද වන විට ශ්‍රේෂ්ඨාධිකරණ වින්ශ්චයකාරවරුන්ගේ පුරප්පාඩු 4ක් සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ පුරප්පාඩු4ක් තිබියදී ඒවා පිරවීමට උත්සාහ නොකර හිස්ව තැබීම පුදුම සහගතය. 

රජයේ ප්‍රමුඛතාව විය යුත්තේ විනිශ්චයකාරවරුන්ගේ නිල කාලය දීර්ඝ කිරීම නොව පුරප්පාඩු පිරවීමය. ඒවා නොපුරවා තබන්නෙ ඇයිද යන්න විශාල ගැටලු‍වක්.

මා පෞද්ගලික දන්නා අන්දමට උසස්වීම් නිසි ලෙස නොලැබීම තුළ පහළ උසාවිවල විනිශ්චය කාරවරුන් අතර පුදුම විදිහේ අසහනයක් ඇතිව තිබෙනවා. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ නීති පීඨ මහාචාර්යවරයෙකු ලෙස සහ නීති පීඨාධිපති ලෙස මම වසර 26ක් නීතිය ඉගැන්නුවා. මගෙන් නීතිය ඉගෙනගත් ශිෂ්‍යයන් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු සෑම අධිකරණයකම සිටිනවා. මේ නිසා මම දන්නා අන්දමට විනිශ්චයකාරවරුන් 35කට අධික පිරිසක් මෙම ගැටලුවට මුහුණ දී සිටිනවා.

අප අවිවාදයෙන් පිළිගන්නා කාරණයක් වන්නේ උසස්වීම් ලබාදීමේ එකම මිනුම දණ්ඩ ජ්‍යෙෂ්ඨත්වය නොවන බවය. ජ්‍යෙෂ්ඨත්වයට වඩා  කුසලතාව වඩා වැදගත් යැයි කීවත් කුසලතාව මනින්නේ කෙසේද සහ ඊට අදාළ මිනුම් දණ්ඩ කුමක්ද යන ගැටලුව පවතිනවා. 

ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ට උසස්වීම් නොලැබීම ඔවුන් අතෘප්තියට පත්කිරීමක්

ජ්‍යෙෂ්ඨත්වය අවසාන මිනුම් දණ්ඩ නොවන නමුත් ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරයකුට උසස්වීම නොදී කනිෂ්ඨ විනිශ්චයකාරවරයකුට උසස්වීම ලබාදීමට හේතුවක් තිබිය යුතුයි. එක්කෝ එම ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරතුමා සිය කර්තව්‍ය නිසි ලෙස ඉටු නොකරන අලස අයෙක් වීම, එසේත් නැතිනම් ඔහු ලබාදුන් නඩු තීන්දු විශාල ප්‍රමාණයක් ඉහළ උසාවිවලින් ප්‍රතික්ෂේප වී තිබීම හෝ වැරදි හැසිරීම ආදි හේතුවක් තිබිය යුතුයි. එවැනි කිසිදු හේතුවක් නැතිව ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරයකුට උසස්වීමක් නොදේ නම් එම විනිශ්චයකාරවරයා තුළ ලොකු කනස්සල්ලක්, අතෘප්තියක් ඇතිවෙනවා. සහෝදර විනිශ්චයකාරවරුන් අතරත් ඒ හැඟීම ඇතිවෙනවා. මේ තත්ත්වය අද ලොකු ප්‍රශ්නයක් වෙලා. 

උසස්වීම් පමණක් නොව ස්ථානමාරුවීම් පිළිබඳවත් අද ලොකු ගැටලුවක් ඇතිවෙලා තිබෙනවා. උදාහරණයක් ලෙස යාපනයේ මහාධිකරණ විනිසුරු ඒ.ජී. ඇලෙක්ස් රාජා මහතාට යාපනය මහාධිකරණ විනිසුරු ලෙස පත්වීම ලබාදී කිසිදු හේතුවක් නොදන්වා මාසයක් ඇතුළත බදුල්ලට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා. විනිශ්චයකාරවරුන්ගේ මාරුවීම්, උසස්වීම් සම්බන්ධ වගකීම පැවරී තිබෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙතයි. එහි සාමාජිකයන් ක්‍රියාත්මක කරන්නේ අධිකරණ බලතල නොව පරිපාලන බලතලයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තියේ පළමුවැනි උපවගන්තිය අනුව ඒ සම්බන්ධව මානව අයිතිවාසිකම් පෙත්සමක් මත ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකියි. කෙසේ නමුත් මේවා නඩු තීන්දු නොවේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව සමන්විත වන්නේ අග්‍ර විනිශ්චයකාරතුමා, අග්‍ර විනිශ්චයකාරතුමාට පසුට සිටින ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකාරතුමා  සහ මුල් අවස්ථා අධිකරණවල පළපුරුද්දක් සහිත විනිශ්චයකාරතුමෙක් යන තිදෙනාගෙනුයි. මෙම පත්කිරීම් සිදුකරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනුයි. මෙම තිදෙනාගෙන් දෙවැන්නා දීර්ඝ කාලයකට පත් කිරීමක් සිදුකළේ නැහැ. ඒ අනුව මේ වසරේ මාර්තු 19 සිට හිස්ව තිබූ එම තනතුර සඳහා සාමාජිකයෙකු පත්කරනු ලැබුවේ මැයි 24දායි. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කිරීමක්. මේ මාස 2කට අධික කාලය තුළ වැදගත් තීරණ රැසක් ගනු ලැබුවා. විනිශ්චයකාරවරුන් උසස් කිරීම, මාරු කිරීම, විනය පරීක්ෂණ සිදුකිරීම ආදි කටයුතු රැසක් සිදුකරනු ලැබුවා. අසම්පූර්ණ සංයුතියකින් යුක්ත අධිකරණ සේවා කොමිසමක් මගින් මේ කටයුතු සිදු කළේ? මෙලෙස අධිකරණ සේවා කොමිසමට සාමාජිකයකු පත් නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සෘජුව පටහැණියි. ඇයි එහෙම වුණේ කියන ප්‍රශ්නය විමසිය යුත්තක්. 

මහාචාර්ය හැරල්ඩ් ලැස්කි පවසන අන්දමට යම්කිසි සමාජයක් නිදහස ගරු කරනවා නම් හැමවිටම විමසිල්ලෙන් සිටිය යුතුයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ කාලසීමාව අවුරුදු 2ක් වැඩිකරනවා නම් පහළ උසාවිවල සියලු‍ විනිශ්චයකාරවරුන්ට ප්‍රායෝගික ගැටලුවක් ඇතිවෙනවා. මේ අය සිය වැඩකරන ජීවිතය ඇප කැප කර තිබෙන්නේ අධිකරණ සේවය සඳහායි. නමුත් මේ සේවා දිගු නිසා පහළ උසාවි විනිශ්චයකාරවරුන්ගේ මාර්ග හරස් වෙනවා. එවිට ඔහුන්ගේ යුක්ති සහගත අභිලාෂ බිදී යනවා. ඔහුන් අපේක්ෂා කළාට කලින් විශ්‍රාම ගැනීමට සිදුවනවා. එය අසාධරණයක්. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අධෛර්යවත් වනවා. විනිශ්චයකාරවරුන් අධෛර්යවත්වීම යුක්තිය පසිදලීමේ ගුණාත්මකභාවයට අහිතකර බලපෑමක් සිදුවනවා.  එවිට සතුටින්, තෘප්තියකින් නොවෙයි ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරන්නෙ. එය කිසිසේත් යහපත් ප්‍රවණතාවක් නොවේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107වැනි වගන්තියේ පස්වැනි උපවගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකුගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65යි. අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයකුගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63යි. දැන් රජය විසින් යෝජනා කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට තවත් වසර 2ක සේවා දිගුවකුයි. එවිට එම විනිසුරුවරුන්ට අවුරුදු 67 දක්වා සේවය කළ හැකියි. 

මේ පිළිබඳව අදහස් දක්වන සමහර පහළ උසාවි විනිශ්චයකාරවරුන් පවසා සිටින්නේ සියලු‍ම විනිශ්චයකාරවරුන්ට අවුරුදු 67 දක්වා සේවය කිරීමේ අවස්ථාව ලබාදිය යුතු බවයි. 

රාජ්‍ය සේවයේ සමාන සැලකීමටත් විශාල ප්‍රශ්නයක්

එය එසේ සිදුවුව හොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවුරුදු 2ක් වැඩිවනවා, අභියාචනාධිකරණයේ අවුරුදු 4ක් වැඩිවනවා, මහාධිකරණ විනිශ්චයකාරවරුන්ට අවුරුදු 6ක් වැඩිවනවා, දිසා හා මසේත්‍රාත් අධිකරණ විනිශ්චයකාරවරුන්ට අවුරුදු 7ක් වැඩිවනවා. 

ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය වසර 2කින් දීර්ඝ කිරීමට රජය සෙසු සියලු‍ කාර්යන් පසෙකලා ප්‍රමුඛත්වය දී ඉටු කිරීමට උත්සාහ දරන බවක් පෙනෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් කළ යුතු තැන් තිබෙනවා නම් වෙනස් කළ යුතු බොහෝ දේ තිබෙනවා. හොඳම උදාහරණය වන්නේ ඡන්ද ක්‍රමයයි. අවසන් වරට පළාත් සභා ඡන්දයක් පැවැත්වූයේ මීට වසර 12කට පෙරයි. ඒ ඡන්ද ක්‍රමයේ ව්‍යාකූලභාවය, ආණ්ඩුකාරවරුන්ගේ බලතල පිළිබඳ ලොකු ප්‍රශ්න තිබෙනවා. මේවා ගැන අවධානයක් නැත්තෙ ඇයි?

විනිශ්චයකාරවරුන්ගේ නිලකාලය වසර 7කින් දීර්ඝ කළ හොත් ඊට වඩා බරපතළ ගැටලු‍ රැසක් ඉස්මතු වනවා. මන්ද යත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් හා විශ්‍රාම වයස විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් හා සංසන්දනය කෙරුණා. මහාචාර්යවරුන් විශ්‍රාමගන්නේ අවුරුදු 65න්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් විශ්‍රාම ගන්වන්නෙත් අවුරුදු 65න්. විනිශ්චයකාරවරුන්ගේ විශාම වයස දීර්ඝ කරනවා නම් එහි වාසිය විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට ලබාදෙන්නේ නැද්ද? 

එසේම රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගතයුතු වයස වන්නේ අවුරුදු 63යි. එවිට අවුරුදු 63දී විශ්‍රාම ගන්නා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට වසර 2ක සේවා දීර්ඝ කිරීමක් ලබාදෙන්නේ නම් එය රාජ්‍ය සේවයේ  විශේෂඥ වෛද්‍යවරුන්ට ලබාදෙන්නේ නැද්ද?

රාජ්‍ය සේවයේ සමානව සැලකීම කියන කාරණයට මේ හරහා විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තියේ පළමුවන උපවගන්තියේ සඳහන්වෙනවා මේ සියලු‍ දෙනා එක විදිහට සැලකීම නෛතික අවශ්‍යතාවක් කියලා. ඒ අනුව රාජ්‍ය සේවයේ අනික් සියලු‍ කොටස් අමතක කරලා එක පිරිසකට පමණක් සෑහෙන වරප්‍රසාද ලබාදෙනවා නම් සමානතාව පිළිබඳව මූලධර්මය පැහැදිලිවම උල්ලංඝනය වනවා. එය පදනම් කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැකියි. නමුත් මෙම නඩුව අහන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණය. එය ස්වාභාවික යුක්තිය පිලිබඳ මූලික සිද්ධාන්තවලට සෘජුව පටහැණියි. 

සාකච්ඡා කළේ 
නිරෝෂාන් ප්‍රේමරත්න