පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳ කතිකාව නැවත කරළියට පැමිණ ඇත. පළාත් සභාවක් යනු කුමක් ද? එහි සබෑ ස්වරූපය කුමක් ද? එහි ප්‍රයෝජනය ඇත්තේ කාට ද යන්න විමසීම මෙහි අරමුණය.
පළාත් සභාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
පළාත් සභා ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද්දේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙනි. 1987 නොවැම්බර් 14 වැනි දින කථානායකවරයා විසින් එය සහතික කර තිබේ. එම සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල ද නැද්ද යන බව තීරණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් විභාගයක් එවකට අග්‍රවිනිශ්චකාර එස්. ශර්වානන්ද ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නව දෙනකු ඉදිරිපිට දින අටක් පුරාවට (1987-10-22 සිට 1987-11-06 දක්වා) පැවතිණ. එම විමසීමේදී වෙනත් කරුණු අතර ප්‍රධාන කරුණක් ලෙස සාකච්ඡා වුණේ 13 වැනි සංශෝධනය මගින් රටේ ඒකීය රාජ්‍යය බිඳවැටේ ද යන්නයි.
ඉහත විනිසුරුවරුන් අතුරින් අග්‍රවිනිශ්චකාර ශර්වානන්ද සහ කොලින්තෝම්බ්, ඊ. ඒ. ඩී. අතුකෝරාළ සහ එච්. ඩී. තම්බයියා යන විනිසුරුවරුන් සෘජුවම ප්‍රකාශ කළේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකීය රාජ්‍යයට හානියක් නොවන බවත්, එය ව්‍යවස්ථාවට අනුකූල බවත් වේ. ඒ අතර කේ. ඒ. පී. රණසිංහ විනිසුරුවරයා ප්‍රකාශ කළේ සංශෝධිත කෙටුම්පතේ වගන්ති දෙකක් වෙනස් කළහොත් එය ව්‍යවස්ථාවට අනුකූල වන බව ය. ඒ අතර ආර්. එස්. වනසුන්දර, එල්. එච්. ද අල්විස්, ඕ. එස්. එම්. සෙනෙවිරත්න, එච්. ඒ. ද සිල්වා යන විනිසුරුවරුන් සිව්දෙනා එමගින් ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යයට හානියක් වන බවත්, එම සංශෝධනය ව්‍යවස්ථාවට පටහැණි බවත්, එය සම්මත වීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටත් තීරණය කරන ලදී.
ඒ අනුව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එකීය රාජ්‍යයට හානියක් නොවන බව පිළිගනු ලැබුවේ විනිසුරුවරුන් නව දෙනකුගෙන් පස් දෙනකු විසින් පමණි.
ඉන්දු-ලංකා සාම ගිවිසුම
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බිහිවූයේ 1987 ජූලි 29 වැනි දින ඉන්දියානු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර කොළඹදී අත්සන් තබන ලද ඉන්දු-ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් වශයෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පළාත් සභා ක්‍රමය ඇතුළත් කිරීමටත් ප්‍රථම අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම සම්පූර්ණයෙන්ම පදනම් කර තිබුණේ පළාත් සභා ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු සැලැස්මක් මතය. එහි ඇතුළත් කර තිබූ පහත වගන්ති ඊට සාක්ෂි දරයි. එනම්,
“2(1) සමීපව පිහිටි පළාත්වලට එක් පරිපාලනමය ඒකකයක් සෑදෙන සේ සම්බන්ධවීමටත් උතුරු සහ නැගෙනහිර පළාත් සම්බන්ධයෙන් පහත විස්තර කර ඇති අයුරින් ජනමත විචාරණයක් මාර්ගයෙන් ඒවාට වෙන්වීමටත් ඉඩදීමටත් ශ්‍රී ලංකා රජය යෝජනා කරන හෙයින්...”
“2(8) මීළඟ මාස තුන ඇතුළතදී, කෙසේ වෙතත් 1987 දෙසැම්බර් මස 31 වනදාට පෙර, පළාත් සභා සඳහා ඡන්ද විමසීම් පැවැත්වෙනු ඇත. උතුරෙහි සහ නැගෙනහිර පළාත්සභා ඡන්ද විමසීම් සඳහා ඉන්දියානු නිරීක්ෂකයන්ට ආරාධනා කෙරෙනු ඇත. ”
ජනතා පරමාධිපත්‍යය යට කිරීම
පළාත් සභාක්‍රමය ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු ද යන්න පළමුව තීරණය කිරීමට බලය ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ය. එය ව්‍යාවස්ථාවට අනුකූල ද යන්න පිළිබඳව තීරණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇතැම් විට ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ද තීරණය කරන්නට හැකියාව තිබිණ. ඒ කිසිත් නොකර හා ඒ සැමට ප්‍රථම පළාත් සභා ඇති කර ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවට ඉන්දියාව සමග එකඟ වීමට සිදු වීම පසුපස ඇති යථාර්ථය වන්නේ පළාත් සභාව දේශීය නිර්මාණයක් නොව ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප මත පැටවූ පාලන යාන්ත්‍රණයක් බවය. එය ජනතා පරමාධිපත්‍ය බලය උල්ලංඝනය කිරීමකි.
ඉන්දියානු බලහත්කාරකම
ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමට ඇතුළත්වීමට ශ්‍රී ලංකාවට සිදුවුණේ ඉන්දියාවෙන් කරන ලද තර්ජනය හමුවේ බව කවුරුත් දන්නා කරුණකි. එම තර්ජනය සිදු වූයේ ඉන්දියාවේ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් සහනාධාර ගුවනේ සිට උතුරු ප්‍රදේශයට හෙලීමෙනි. එවැන්නක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ විරෝධතාව කොතෙක් ද යන්න 1987 ජූනි 02 වන දින ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ඒ. සී. එස්. හමීඩ් මහතා ඉන්දීය මහකොමසාරිස් ජේ. එම්. ඩික්සිත් ට භාරදුන් ලිපියේ සඳහන් පහත ඡේදවලින් තහවුරු වේ.
“දෙරටේ ආණ්ඩු විසින් සහනාධාර සැපයීම හා බෙදීම පිළිබඳ යාන්ත්‍රණයක් සඳහා එකඟතාවක් ඇතිකරගන්නා තුරු සහනාධාර හෝ එම සහනාධාර සමග එන පුද්ගලයන් පිළිගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව සූදානම් නැත.
මේ පසුබිම තුළ ඉන්දීය රජය ඒකපාර්ශ්විකව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට ශ්‍රී ලංකා ආණ්ඩුව සිය දැඩි විරෝධය පළ කරන අතර එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමක් ලෙස සලකයි. ”
1987 ජුනි 02 වැනි දින ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි වෙත යැවූ අතිශය රහස්‍ය පණිවුඩයේ ද මෙසේ සඳහන් වේ.
“අපේ විදේශ අමාත්‍යාංශය සමග මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඔබේ නියෝජිතයකු පත් කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. වෙනත් ආකාරයකින් සහනාධාර එවීමට දරන උත්සාහය අපේ භෞමික අඛණ්ඩතාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, එම හැඟීම ඇති වනු දැකීමට ඔබ කැමති නොවනු ඇතැයි මම කල්පනා කරමි. (මෙම උපුටාගැනීම් ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් පළ කළ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව යන කෘතියෙනි -එහි උපුටාගැනීම ජනදාස පීරිස් ගේ “ගෝත්‍රික රාජ්‍යයේ සිට නූතන රාජ්‍ය දක්වා” Avtar Singh Bhasin; INDIA – SRILANKA Relations and Sri Lanka’s Ethnic Conflict Documents-1947-2000 ).
ඉන්දියානු විදේශ අමාත්‍යාංශයේ සේවය කළAvtar Singh Bhasin ගේ India in Sri Lanka කෘතියේ (2004) කෘතියේ, අප කැමති වුණත් නැති වුණත් ඉන්දියාවේ මැදිහත්වීම නමැති යථාර්ථය පිළිගත යුතු බවට එවකට ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි විසින් 1987 ජූලි 27 වන දින ප්‍රකාශ කර තිබෙන බව කියයි. එම දිනයේදීම පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස ඇතුළු අමාත්‍යවරු කිහිප දෙනෙක් ම මෙවැනි ගිවිසුමක් ඇතිකරගැනීම සම්බන්ධයෙන් විරෝධය ප්‍රකාශ කර තිබේ.
ජනතා විරෝධය
ඉන්දු ලංකා ගිවිසුමට හා 13 වැනි සංශෝධනයට එරෙහිව දැඩි ජනතා විරෝධයක් තිබුණි. එම විරෝධය ආණ්ඩුව විසින් කෲර ලෙස මර්ධනය කෙරුණි. ගිවිසුම අත්සන් කරන්නට පැමිණි රජිව් ගාන්ධි වෙනුවෙන් පැවති උත්මාචාරයේ දී නාවික හමුදා භටයෙකු (විජිත රෝහණ) විසින් රයිෆල් බඳෙන් පහර දීම එම විරෝධතාවයේ උච්ඡතම අවස්ථාවකි.
බලහත්කාරයෙන් ඇතිකරගත් ජාත්‍යන්තර ගිවිසුම් ජාත්‍යන්තර නීතියට අනුව බල රහිත කළ හැකිය.
ඉන්දියාවේ යටි අරමුණ
ඉන්දියාව ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් වූයේ ජනවාර්ගික ගැටලුව සමතයකට පත් කිරීමට බවට හුවා දැක්වීමට ඇතැම්හු උත්සාහ කරති. එහෙත් ඉන්දියාවේ සැබෑ යටි අරමුණ රාජ්‍ය ආරක්ෂාව හා භූදේශපාලනික ආධිපත්‍ය මත ගොඩනැගුණකි. ඒ බව ප්‍රකට ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ ශිවශංකර් මෙනන් විසින් රචිත CHOICES නමැති ග්‍රන්ථයේ (2016) සඳහන් වේ. ඔහුට අනුව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් දමිළ ජනතාව ඉන්දියාවට සරණාගතයන් ලෙස ඇතුළු වීම ද, ශ්‍රී ලංකා සන්නද්ධ කණ්ඩායම් ඉන්දීය භූමියේ සිට සටන් වැදීමද, අර්බුදය උග්‍රවත්ම ශ්‍රී ලංකා ආණ්ඩුව ආයුධ සඳහා චීනය, පකිස්ථානය, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය මත යැපෙන්නට වීම ද ඊට හේතු වී ඇත. එම අවධියේ දී ඉන්දියාව එක්සත් ජනපදය සමග සම්බන්ධතා දියුණු කිරීමට උත්සාහ ගනිමින් සිටි අතර අවසානයේදී ශ්‍රී ලංකාවට ඉන්දියාව මැදිහත් වී ඇත්තේ රේගන් පරිපාලනය සමග ඇතිකරගත් අවබෝධය මතය. එහෙත් ඉන්දියාව යුද වැදෙමින් සිටි චීනයේ සහ පකිස්ථානයේ බලපෑම ශ්‍රී ලංකාව ලැබීම ඉන්දියාවේ කනස්සල්ලට හේතු වි ඇත. එබැවින් ඉන්දියානු මැදිහත්වීම ශ්‍රී ලංකාවට බාහිරයන්ගේ බලපෑම ඉවත් කිරීමේ හා වැළැක්වීමේ උත්සාහයක් සහ එවැන්නකට ඇති ඉඩකඩ ඇහිරීම සඳහා ද කරන ලද ප්‍රයත්නයක් බව ශිව ශංකර් මෙනන් ප්‍රකාශ කර තිබේ.
ඉන්දියාවේ විදේශ වෙෙළඳාමෙන් සියයට අනූවක් සහ ඉන්ධන සැපයුම් මාර්ග ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු මාර්ග ඔස්සේ සිදුවන බැවින් ශ්‍රී ලංකාව විරුද්ධවාදී බලපෑම්වල ග්‍රණයට නතුවීමට ඉඩහැරීම කිසි සේත් කළ නොහැකිය . ශ්‍රී ලංකාව ඉන්දියානු වෙරළ තීරයේ සිට සැතපුම් දාහතරක් එපිටින් නැංගුරම් ලා තිබෙන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ලෙස ඉන්දියාව දකින බව ඔහු විසින් සඳහන් කර ඇත.
ඊනියා ජනවාර්ගික ගැටලුවට කිසිදු සම්බන්ධතාවක් නොමැති කොන්දේසි ලෙස ත්‍රිකුණාමලයේ හෝ ශ්‍රී ලංකාවේ අන් කිසිදු වරායක් ඉන්දියාවේ යහපතට අහිතකර වන අන්දමට කිසිදු රටක යුද කටයුතුවල ප්‍රයෝජනය සඳහා ලබා නොදිය යුතු බවත්, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය ප්‍රතිසංස්කරණය කර ප්‍රයෝජනයට ගැනීම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර හවුල් ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත් ඉන්දු-ලංකා ගිවිසුමට ඇතුළත් කිරීමෙන් ඉන්දියාව විසින් සිදු කළ ආක්‍රමණයේ සැබෑ අරමුණ පෙනී යයි.
අර්ධ ලෙස යටත්විජිතකරණය වීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රටක ජනතාව විසින් තම අභිලාෂ මත පිහිටා තම රටේ පාලනය කෙසේ විය යුතු ද යන්න පිළිබඳව සකස් කරගන්නා ලියවිල්ලකි. රටක් යටත්විජිතයක්ව පවතින විට එය විදේශ ව්‍යවස්ථාවක් යටතේ පාලනය වේ. ශ්‍රී ලංකාව 1972 මැයි 22 වන තෙක් විදේශ ව්‍යවස්ථාවලින් පාලනය වූ අතර, ව්‍යවස්ථා විප්ලවයකින් පසුව බිහි වූ ජනරජ ව්‍යවස්ථාව ප්‍රථම ස්වයංතන්ත්‍ර (දේශීයව ජනනය වූ/ Autochthonous) ව්‍යවස්ථාවයි. මෙම ස්වයංතන්ත්‍රභාවය තවමත් අඛණ්ඩව පවතින ඇතැමුන්ගේ අදහසයි. එහෙත් ඉහත විග්‍රහයට අනුව අපට පූර්ණ ස්වයංතන්ත්‍ර ව්‍යවස්ථාවක් පැවතියේ 1987 නොවැම්බර් 14 දින වන තෙක් පමණි. ඉන්පසුව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පාලනය ඉන්දියාව විසින් බලහත්කාරයෙන් ව්‍යවස්ථාවට හඳුන්වාදුන් ආකෘතියක් අනුව සිදු කිරීමට සිදුව තිබේ.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ ජනතාවගේ අපේක්ෂාවක් හෝ අවශ්‍යතාවක් නොවේ. එය ඉන්දියාවේ බලබෙදීමේ ආකෘතිය බව ශිවශංකර් මෙනන් විසින් සඳහන් කර තිබේ. ඒ අනුව 1987-11-14 වන දින සිට ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අර්ධ වශයෙන් යටත්විජිතකරණය වූ එකක් බවට පත්ව තිබේ. එය ඉන්දියාවේ භූදේශපාලන සහ ආර්ථික අවශ්‍යතාව අනුව සකස් වූවකි.
රටක ජනතාවට ප්‍රාදේශීය වශයෙන් තම කටයුතු තීරණ කර ක්‍රියාත්මක කිරීම උදෙසා ඒකීය රාජ්‍ය ව්‍යුහයට හානියක් නොමැතිව බලතල ලබා දීම සිදු කළ යුතුය. එහෙත් එවැන්නක් සිදුකළ යුත්තේ ජනතාවගේ අවශ්‍යතා මත බිහිවූ දේශීය සැකැස්මක් අනුව මිස විදේශීය අවශ්‍යතා මත බහලත්කාරයෙන් පැටවූ පාලන ව්‍යුහයක් අනුව නොවේ. අපගේ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ සැබෑ පරිපාලන ඒකකය වන්නේ දිස්ත්‍රික්කය ය. (5 වන ව්‍යවස්ථාව).
අර්ධ ආක්‍රමණික ව්‍යවස්ථාව කරගහගෙන යාම
1987 සිට මේ දක්වා බලයට පත් වූ සියලු ආණ්ඩු විසින් සිදු කළේ ආක්‍රමණයක ප්‍රතිපලයක් ලෙස ව්‍යවස්ථාවට ඇතුළත් කළ ඉන්දියාවේ භූ-දේශපාලනික හා ආර්ථික සැලැස්ම වූ පළාත් සභා දේශීය පොළොව මත ක්‍රියාත්මක කිරීමයි. එහෙත් එම ආණ්ඩු විසින් එය පූර්ණ ලෙස ක්‍රියාත්මක කළේ නැත. එනම් පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත්වලට පැවරුවේ නැත. එය එසේ සිදු වූයේ නම් අද වන විට පොළොවේ පවතින යථාර්ථය මීට වඩා බොහෝ සෙයින් භයානක වනු ඇත. ඉන්දියාව අද වන විටත් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත බලකරන්නේ 13 පූර්ණ වශයෙන් බලාත්මක කරන ලෙසය. ඉන්දියානු අතකොලු ලෙස කටයුතු කරන ඇතැම් ජාතිවාදී දෙමළ පක්ෂ (මොවුන් දෙමළ ජනයාගේ යහපත පිණිස කටයුතු කරන්නන් නොවේ) හරහාද මෙම බලපෑම සිදුකරමින් පවතී.
ඉන්දියානු බල ව්‍යාප්තිය
පළාත් මත පදනම් ව පාලන ව්‍යුහයක් ඇති කිරීමෙන් ඉන්දියාව බලාපොරොත්තු වී ඇත්තේ උතුරු - නැගෙනහිර වෙනම පාලන ඒකක ලෙස හඳුනා ගෙන ඒවා සමග සෘජුව ගනුදෙනු කිරීමේ පසුබිමක් ඇති කිරීම බවය. 1987 පටන් ඉන්දියානු උපාය මාර්ගයේ වෙනසක් වී නොමැත. මෑතක දී ඉන්දියාව සමග ඇතිකරගත් ගිවිසුම්වල නැගෙනහිර පළාත වෙනම සංවර්ධන ඒකකයක් ලෙස හඳුනාගෙන ඉන්දියාවේ මැදිහත් වීමෙන් සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත. ත්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක් විය යුතු බව ඉන්දිය විදේශ අමාත්‍යවරයා පවසා ඇත. පළාත් සභා පූර්ණ බලතල ඇතිව ක්‍රියාත්මක වුවහොත් (කුමන ව්‍යවස්ථාමය බාධක තිබුණද) ඉන්දීය රජයට හෝ තමින්නාඩු ප්‍රාන්ත පාලනයට සෘජුව එම පළාත් සමග කටයුතු කිරීමේ පසුබිමක් නිර්මාණය වනු ඇත. ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ දැඩි විරෝධතාව මැද බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය උල්ලංඝනය කළ ගනුදෙනු කිරීමට කොළඹින් අවසර ඉල්ලා සිටීමට හේතුවක් නොවනු ඇත.
පළාත් සභා පණගැන්වීම

වසර ගණනාවක් තිස්සේ අක්‍රියව පැවැති මෙම ඉන්දීය භූ-දේශපාලනික හා ආර්ථික සැලැස්ම නැවත බලගැන්වීමට දේශීය දේශපාලන පක්ෂ හා ඊට සහාය ලබාදෙන සංවිධාන හා පුද්ගලයන් විසින් (දැනුවත්ව හෝ නොදැනුවත්ව) උත්සාහ ගනිමින් සිටීම කනගාටුදායකය. පළාත් සභා ඡන්දයක් පැවැත්වීමේ කතිකාව නැවත කරළියට පැමිණ තිබෙන්නේ ඒ නිසාය. මේ පසුපස සැබෑවටම සිටින්නේ කවුරුන් ද යන්න පිළිබඳව විමසිය යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd