ශ්‍රී ලංකාවට මහජන සම්බන්ධතාව සහ මාධ්‍ය කළමනාකරණය අධ්‍යයන විෂය ක්ෂේත්‍රයක් ගොඩනැගීම
විෂය ක්ෂේත්‍රයක ආරම්භය
2008 වර්ෂයේදී, එවකට මගේ ජන සන්නිවේදන අධ්‍යයන අංශ ප්‍රධානී, මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මගේ ගුරුතුමා මගෙන් ඇසූ සරල නමුත් ගැඹුරු ප්‍රශ්නයක් අදත් මට මතකය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මහජන සම්බන්ධතාව යන විෂයය තවමත් පැහැදිලි අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස පිළිගැනීමට ලක්ව නොතිබූ අවස්ථාවක, ඒ සඳහා නව උපාධි වැඩසටහනක් නිර්මාණය කිරීමට මා උත්සාහ නොකරන්නේ මන්දැයි ඔහු විමසා සිටියේය.
එවකට අප හට මහජන සම්බන්ධතාව, ජන සන්නිවේදනයේ තවත් එක විෂය ක්ෂේත්‍රයක් ලෙස ඉගැන්වූයේ අපගේම ගුරු මහාචාර්ය මාපා තිලකරත්න ඇදුරිදුය. මහජන සම්බන්ධතාව විෂයය තවමත් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතිය තුළ ස්වාධීන අධ්‍යයන අනන්‍යතාවක් ගොඩනගාගෙන නොතිබූ යුගයක අප මේ විෂය පටන්ගන්නේ නොයෙකුත් ආයතනික, ජාතික, කලාපීය සහ ගෝලීය ගවේෂණ මෙන්ම හැලහැප්පීම් ගණනාවක ප්‍රතිඵලයක් වශයෙනි.
එවකට ලංකාවේ මහජන සම්බන්ධතාව අධ්‍යයන ක්ෂේත්‍රය බොහෝවිට ජන මාධ්‍යවේදී ලේඛනය, පුවත්පත් කලාව, අලෙවිකරණය හෝ සන්නිවේදන අධ්‍යයනයේ උප ක්ෂේත්‍රයක් ලෙස සලකනු ලැබීය. ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක, මහජන සම්බන්ධතාව නමැති ශික්ෂණය ගත්විට එයටම ආවේණික න්‍යාය, පර්‌යේෂණ ක්‍රමවේද සහ වෘත්තීය දිශානතියක් සහිත ස්වාධීන විෂයක් ලෙස එකල දක්නට ලැබුණේ නැත. මෙම අවබෝධය සහ විභවය අතර තිබූ තාක්ෂණික පරතරයම අපගේ දීර්ඝ ශාස්ත්‍රීය ගමනක ආරම්භය බවට පත්විය.
මෙම ගමන හුදු ඕපපාතික ක්ෂණික වෙනසක් නොවීය. එය වසර පහකට ආසන්න කාලයක් පුරා ක්‍රමානුකූලව වර්ධනය වූ ක්‍රියාවලියකි. එනම් ලෝකයේ මේ විෂය ක්ෂේත්‍රය ගමන් කරන මග පිළිබද යම් ප්‍රමාණික හැදෑරීමක් කිරීම අපට අත්‍යවශ්‍ය විය. එහිදී මා ඇමරිකාවේ මේරිලන්ඩ් සරසවියේ ලෝ ප්‍රකට මහජන සබඳතා නුතන න්‍යාය පිළිබඳ මහාචාර්ය ජේම්ස් ගෘනිග්, බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් සරසවියේ මාධ්‍ය සංස්කෘතික සහ ජනප්‍රිය සෙලිබ්රිටි පිළිබද මහාචාර්ය බැරී ගුන්ටර්, වෙස්ට්මින්ස්ටර් සරසවියේ ජාත්‍යන්තර සන්නිවේදනය පිළිබද මහාචාර්ය දයා තුස්සු, ඇමෙරිකාවේ මිනෙසෝටා සරසවියේ ජන සන්නිවේදනය පිළිබද මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්න, හවායි සරසවියේ යෝශිතක මයික්, ඕස්ට්‍රේලියාවේ මැක්විල්ස් සරසවියේ මෘදු බලය සහ ජාත්‍යන්තර සන්නිවේදනය පිළිබද මහාචාර්ය නරේන් චිත්ති යන සුධිමතුන් අප හට අන්තර්ජාලය ඔස්සේ එවකට ක්ෂණිකව අප අසන නගන මතුකරන පැනයකට දක්වන ලද ඉගැන්වීම් අතිශය කෘතවේදී ලෙස මෙහිදී අගය කරමි. එහි ප්‍රතිඵලයක් ලෙස, 2013 ජනවාරි 14 වැනි දින පළමුව මහජන සහ මාධ්‍ය සම්බන්ධතා ඩිප්ලෝමාවක් ආරම්භ කරන ලදී. එහි අරමුණ වූයේ පන්ති කාමර ඉගෙනුම හා වෘත්තීය භාවිතය අතර සම්බන්ධයක් ගොඩනැගීමයි.
පසුව, 2015 පෙබරවාරි 24 වැනි දින “මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය” උපාධි වැඩසටහන ආරම්භ විය. එමෙන්ම 2016 ඔක්තෝබර් 1 වැනි දින මෙම විෂය ශික්ෂණයේ උසස් ඩිප්ලෝමාව සහ 2023 ජුලි 30 වැනි දින පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද හඳුන්වා දෙමින් සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල ප්‍රවේශ මාර්ගයෙන් පිටත සිටින වෘත්තිකයන්ට ද අධ්‍යාපන අවස්ථා විවෘත කරන ලදී.
අද ආපසු හැරී බලනවිට, මහජන සම්බන්ධතාව හා මාධ්‍ය කළමනාකරණය යනු හුදෙක් උපාධි වැඩසටහනක් නොවේ. එය අද න්‍යාය, වෘත්තීය භාවිතය සහ වෘත්තීය සන්නිවේදනය යනාදී නන්විධ අංශ ඒකාබද්ධ කරන, එකට එක්වන, සංවිධිත අධ්‍යයන පරිසරයක් බවට පත්ව ඇති විෂය ශික්ෂණයකි. එහි දස වැනි සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී, සන්නිවේදන අධ්‍යාපනයේ අනාගත දිශාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාතික මහජන සම්බන්ධතාව පිළිබද සමුළුව සංවිධානය කිරීමට කැලණිය විශ්ව විද්‍යාලය සූදානම් වෙයි.
තොරතුරු පාලනයේ සිට විශ්වාසය සොයා යන ගමන
ලෝකයේ මහජන සම්බන්ධතා ඉතිහාසය යනු සන්නිවේදන වටිනාකම් වෙනස් වූ ආකාරය පිළිබඳ ඉතිහාසයක් ද වේ. ආරම්භක අවධියේදී මහජන සම්බන්ධතාව ප්‍රචාරණය, දැන්වීම්කරණය, අලෙවිකරණය සහ පණිවිඩ පාලනය සමග සමීපව සම්බන්ධ වී තිබුණි.
1906 දී අයිවි ලෙඩ්බීටර් ලී (Ivy Lee) “අපගේ සියලු කාර්ය කරන්නේ විවෘතව” යැයි ප්‍රකාශ කරමින් මෙම රහස්‍ය ප්‍රවේශයට අභියෝග කළේය. අයිවී ලී ඇමරිකානු පුලිට්සර් ජනමාධ්‍යවේදියකු ලෙස එවකට 18 වැනි සියවසේ සිට විසි වැනි සියවස වන තෙක් පැවති මනමෝහනිය භාවාතිශය කහ පුවත් කලාවේදයට පටහැනිව පැවසුවේ, “බොරු නොකියන්න, ඒ මන්ද යත් දැන්ම නැතත් පසුව හෝ ඔබගේ සේවාලාභියා, පාර්ශ්වකරුවා විසින් සැබෑ ඇත්ත දැනගතහොත් ඔබ කොහොමද ඔවුන්ට මුහුණ දෙන්නේ, ඔබ කරන දෙයට මිනිසුන් අකැමැති නම්, ඔවුන් කැමැති පැත්තේ සිට ඔබ ඔවුන් ඔබගේ පැත්තට හරවා ගන්න”. මේ දක්වන ලද අයිවී ලී ශිල්ප ක්‍රමයේ ගැඹුර සොයා යාම අපගේ ඉගැන්වීමේ මූලික විද්‍යාවයි. මේ ඔස්සේ, එමගින් සංවිධාන සන්නිවේදනයේ සදාචාරාත්මක පදනමක් ලෙස තොරතුරු සහ සන්නිවේදනයේ දී අත්‍යවශ්‍ය වන විනිවිදභාවය මහජන සබඳතාවේ මුල සකස් කරමින් අයිවී ලී විසින් හඳුන්වා දෙන ලදී.
එඩ්වඩ් බර්නේස් (Edward Bernays) පසුව මහජන සම්බන්ධතා විධිමත් ඇමරිකාවේ නිව්‌යෝක් සරසවියේදී නව නුතන විෂය ක්ෂේත්‍රයක් බවට පත් කළේය. 1923 දී ඔහු එය තොරතුරු හා බලපෑම් කිරීම ඔස්සේ මහජන සහයෝගය ගොඩනැගීමේ ක්‍රියාවලියක් ලෙස මහජන සබඳතාව විස්තර කළේය. එවකට යුරෝපයේ පැවති පළමු සහ දෙවැනි ලෝක යුද්ධ ඇසුරේ වඩාත් ප්‍රචාරණ සහ දේශපාලන අගතිගාමී සන්නිවේදනයක අසිරිය ගෙන බහුජන මනෝ විද්‍යාවක් (Mass psychology) ලෙස මුලින්ම බර්නෙස් මහජන සබඳතාව හඳුන්වා දුන්නේය. එහිදී , “ඔබ දන්නවා නම් කණ්ඩායමක් කටයුතු කරන රංචු ලැදියා මනෝභාව ආකාරය, ඔබට පුළුවන් ඔවුන්ට ද නොදැනුවත්ව, හරියට හමුදා භට පිරිසක් හසුරවන යුද හමුදා අණදෙන නිලධාරියකු ලෙස ඔවුන් ඔබට නතු වන සේ ඔබගේ කාර්ය කරගැනීම සඳහා ඔවුන් මෙහෙයවන්න.” විශේෂයෙන්ම එවකට ලෝකයේ වඩාත් කතාබහට ලක් වූ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ සහෝදරියකගේ පුතකු වූ එඩ්වර්ඩ් බර්නෙස් විශේෂයෙන්ම ෆ්‍රොයිඩ් විසින් හඳුන්වා දුන්, මිනිස් මනසේ අවිඥානික මනස, වඩාත් සූක්ෂ්ම ලෙස කාර්මික සන්නිවේදනය සඳහා මෙහෙයවන ආකාරය පිළිබඳ මෙහිදී කරුණු දක්වා ඇත්තේය. ඒ කෙසේදයත්, කොහොමද පාරිභෝගිකයා හෝ අපගේ සේවා ලාභියා වඩාත් දිගුකාලින වශයෙන් අප වටා සංකේන්ද්‍රණය කරගන්නේ යන්න පිළිබඳවයි. කෙසේ වෙතත්, කාලයත් සමග ඔහුගේ අදහස් ද වෙනස් විය. 1952 වනවිට ඔහු සන්නිවේදනය යනු ආයතනික සංවිධාන සහ මහජනයා අතර දෙපාර්ශ්වීය ක්‍රියාවලියක් ලෙස විස්තර කළේය.
1976 දී රෙක්ස් හාර්ලෝ (Rex Harlow) මහජන සම්බන්ධතා යනු සංවිධාන සහ ඔවුන්ගේ පාර්ශ්වකරුවන් (මහජන කණ්ඩායම්) අතර අන්‍යෝන්‍ය අවබෝධය, පිළිගැනීම සහ සහයෝගීතාව ගොඩනගන කළමනාකරණ ක්‍රියාවලියක් බව සඳහන් කළේය.
අද වන විට පිලිප් ජේ. කිචන් (Philip J. Kitchen) වැනි විද්වතුන් මහජන සම්බන්ධතා සංවිධාන තීරණ ගැනීමේ හදවතේම පවතින උපායමාර්ගික ක්‍රියාවලියක් ලෙස දක්වයි. එහිදී සන්නිවේදනය යනු කෙටි කාලීන බලපෑම් කිරීමකට වඩා විශ්වාසය, කීර්තිය සහ සංවිධානයක දිගුකාලීන පැවැත්ම සමග අවිච්ඡින්නව සම්බන්ධ වන අඛණ්ඩ ක්‍රියාවලියක් ලෙස වර්ධනය විය. ඕනෑම කාර්යක් වඩාත් හොඳින් ක්‍රියාත්මකවීමට සන්නිවේදනය පලදායි ලෙස භාවිත කරන ආකාරය මෙහිදී අවධාරණය විය.
සන්නිවේදනය අන්‍යෝන්‍ය සංවාදයක් බවට පත් වූ විට
1984 දී ජේම්ස් ග්‍රනිග් (James E. Grunig) සහ ටොඩ් හන්ට් (Todd Hunt) විසින් ඉදිරිපත් කරන ලද අනර්ඝතව න්‍යාය (Excellence Theory) මහජන සම්බන්ධතා ක්ෂේත්‍රයේ විශාල වෙනසක් ඇති කළේය. ඔවුන්ගේ මතය වූයේ සාර්ථක සන්නිවේදනය යනු එක් දිශාවකට පණිවිඩ යැවීම නොව, සංවාදය, සාකච්ඡාව සහ අන්‍යෝන්‍ය ගැළපීම් මත පදනම් වූ දෙපාර්ශ්වීය ක්‍රියාවලියක් බවයි. මහජන සබඳතා සන්නිවේදනයේදී, ද්විපාර්ශ්වීය සමමිතික ආකාරයෙන් සන්නිවේදනය සංවාදයක් අන්‍යෝන්‍ය සහජීවනයක් ලෙස මතු කිරීම මෙහි විශේෂයි.
එම කාලයේදීම ආර්. එඩ්වඩ් ෆ්‍රීමන් (R. Edward Freeman) විසින් පාර්ශ්වකරුවන් පිළිබඳ න්‍යාය ( Stakeholder Theory) ඉදිරිපත් කරමින් සංවිධාන සහ ආයතනික සන්නිවේදනය යනු හුදෙක් කොටස් හිමියන් සඳහා පමණක් නොව සේවකයන්, ප්‍රජාව, රජය සහ සමස්ත සමාජය සඳහා ද වගකීම් දරන ආකාරය පෙන්වා දුන්නේය. මෙම අදහස් සමග මහජන සම්බන්ධතා පණිවිඩ පාලනයේ සිට සබඳතා ගොඩනැගීමේ ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය විය.
ඩිජිටල් යුගය සහ මහජන සන්නිවේදනයේ නව ස්වභාවය
අද ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් සන්නිවේදන පරිසරයක ක්‍රියාත්මක වෙයි. ඩිජිටල් වේදිකා, සමාජ මාධ්‍ය ජාල සහ ඇල්ගොරිතම මත පදනම් වූ පද්ධති මගින් පණිවිඩ බෙදා හැරීම පමණක් නොව, අර්ථය නිර්මාණය වන ආකාරය ද වෙනස් වී ඇත. මැනුවෙල් කැස්ටෙල්ස් (Manuel Castells) සහ සිසි පැපචරිසි (Zizi Papacharissi) වැනි විද්වතුන් මෙම අප ජීවත්වෙන සන්නිවේදන පරිසරය විස්තර කරන්නේ විවිධ සත්‍ය එකවර තරග කරන, මිනිස් භාව කම්පන හැඟීම්වලින් පිරුණු, ආතතිමය වශයෙන් බෙදුණු සන්නිවේදන ලෝකයක් ලෙසය.
මෙවැනි පරිසරයක සන්නිවේදනය ස්ථාවර හෝ රේඛීය ක්‍රියාවලියක් නොවේ. එය වේදිකා, ප්‍රේක්ෂකයන් සහ අවධානයේ වේගවත් චක්‍ර මගින් නිරන්තරයෙන් වෙනස් වෙයි. එම නිසා මහජන සම්බන්ධතාව අද “අවදානම් ආර්ථිකය” (Attention Economy) තුළ ක්‍රියාත්මක වේ. එහිදී මිනිසා සහ සන්නිවේදනය තුළ පෙනී සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. නුතන සන්නිවේදන පරිස්ථිතිය තුළ මහජන සබඳතාවේදී විශ්වාසනීයත්වය, සම්බන්ධ වීම සහ විශ්වාසය වඩා වැදගත් වී ඇත.
2000 සිට 2025 දක්වා ලෝකයේ ප්‍රමුඛ පෙළේ සන්නිවේදන පර්‌යේෂණ ආයතනයක් වන ඊඩල්මන් ට්‍රස්ට් බරෝමිටර් (Edelman Trust Barometer) ආයතනයේ අධ්‍යයන නැවත නැවත පෙන්වා දී ඇත්තේ, නව සන්නිවේදන යුගයේ ආයතනික, සමාජීය සහ සංස්කෘතික සහ පෞද්ගලික වශයෙන් මිනිසා සහ සමාගම්වල සාර්ථකත්වය මැනීමේ ප්‍රධාන මිනුම විශ්වාසය බවයි.
වෙනස්වන සන්නිවේදන පරිසරයක ශ්‍රී ලංකාව
ඉන්දියාව සහ සිංගප්පූරුව වැනි රටවල් ඩිජිටල් මාධ්‍ය මූලික මහජන සම්බන්ධතා පද්ධති වෙත දැනටමත් ගමන් කර ඇත. ටාටා සමුහ ව්‍යාපාර (Tata Group) සහ Reliance Industries වැනි සංවිධාන සන්නිවේදනය අද සම්ප්‍රදායික මාධ්‍ය, ඩිජිටල් වේදිකා සහ කීර්තිනාම ජාල ඔස්සේ එකවර ක්‍රියාත්මක වන ආකාරය පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව ද මෙම පරිවර්තනයේ කොටසකි. රජයේ ආයතන, බැංකු, විදුලි සංදේශ ආයතන සහ පෞද්ගලික අංශයේ සංවිධාන තුළ මහජන සම්බන්ධතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
කෙසේ වෙතත්, ලංකාවේ මහජන සබඳතා අධ්‍යයන පුහුණුව සහ වෘත්තීය අපේක්ෂා අතර තවමත් පරතරයක් පවතී. විශේෂයෙන්ම, මෙහිදී අර්බුද සන්නිවේදනය, ඩිජිටල් විශ්ලේෂණ, තත්‍ය කාලීන ප්‍රතිචාර සහ උපායමාර්ගික පාර්ශ්වකරුවන්ගේ සම්බන්ධතා වැනි ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් ඉල්ලා සිටී.
අද මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය වඩාත් වැදගත් වන්නේ ඇයි?
කැලණිය විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය අධ්‍යයන පාඨමාලාව බිහිවීම යනු, මෙම වෙනස්වන ජාතික, කලාපීය සහ ගෝලීය යන බහුවිධ සන්නිවේදන පරිසරයට ප්‍රතිචාරයක් ලෙස නැගී ආකාරය අප වටහා ගත යුතුය. අයිවි ලී, බර්නේස් සහ හාර්ලෝගේ මූලික අදහස්, ග්‍රනිග්, ෆ්‍රීමන් සහ කිචන්ගේ උපායමාර්ගික සන්නිවේදන චින්තනය සහ ඩිජිටල් යුගයේ යථාර්ථය එකට සම්බන්ධ කරමින් මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය යනු අධ්‍යයන න්‍යාය හා වෘත්තීය භාවිතය අතර පාලමක් නිර්මාණය කරන්නකි.
නූතන සන්නිවේදනය බලපෑම් කිරීමේ සිට සබඳතා ගොඩනැගීම දක්වා
මහජන සම්බන්ධතා ක්ෂේත්‍රයේ වැදගත්ම වෙනස වන්නේ තොරතුරු, තාක්ෂණය සහ සන්නිවේදනය තුළ පවතින හුදු තාක්ෂණික විෂය ක්ෂේත්‍රමය අංශයට වඩා සන්නිවේදනයේ තිබෙන මානවීය විශ්වසනීය සදාචාරාත්මක වෙනසකි. නූතන අධි ව්‍යාපාරික හෝ ආර්ථික හෝ දේශපාලන සංස්කෘතික සන්නිවේදනය යනු අද පණිවිඩ පාලනය හෝ බලපෑම් කිරීම පමණක් නොවේ. එය මිනිස් මානවීය සබඳතා ගොඩනැගීම, විශ්වාසය වර්ධනය කිරීම සහ විනිවිදභාවය පවත්වා ගැනීමේ ක්‍රියාවලියකි.
ඇන් ග්‍රෙගරි (Anne Gregory) පෙන්වා දෙන පරිදි, මහජන සම්බන්ධතාව මූලික වශයෙන් අදහස් ප්‍රවර්ධනය කිරීමකට වඩා සබඳතා සහ කීර්තිය කළමනාකරණය කිරීම පිළිබඳ විෂයයකි. ආරම්භයේදී හුදෙක් ප්‍රසිද්ධිය සඳහා කීර්තිය සඳහා උපයෝගී කරගත් මහජන සබඳතාව අද ලෝකයෙන් ගිලිහී යන අපූර්ව මානවීය විශ්වසනීයතාව පිළිගැනීම කළමනාකරණය සඳහා භාවිත කිරීම කෙරෙහි වඩාත් අවධානය යොමු කරයි.
සන්නිවේදනය ආරම්භ වන්නේ පුද්ගලයාගෙන්
මහජන සම්බන්ධතාව බොහෝ විට සංවිධාන හෝ සමාජ මට්ටමින් සාකච්ඡා කෙරුණද, එය ආරම්භ වන්නේ පුද්ගලයා තුළිනි. පුද්ගලයා තමන්ව තේරුම් ගැනීමෙන්, හැඟීම් කළමනාකරණය කිරීමෙන් සහ අභ්‍යන්තර සන්නිවේදනය වර්ධනය කිරීමෙන් එය ආරම්භ වෙයි. එනම් ආයතනයක කෙතරම් විශිෂ්ට ආයතනික සන්නිවේදනයක් තිබුණත් පුද්ගලයා තමන් කවුද තමන් කෙතරම් සතුටකින් තෘප්තියකින් වැඩ කරන්නේද යන්න අද නූතන මහජන සබඳතාවේ කේන්ද්‍රීය අවධානය බවට පත්ව තිබේ.
ඉන් පසුව පුද්ගලයාගේ සිට ක්‍රමයෙන් එය පවුල්, ප්‍රජාව, සංවිධාන සහ සමාජ මට්ටම් දක්වා පුළුල් වේ. අවසානයේ එය ගෝලීය සන්නිවේදන පද්ධති තුළ අර්ථය, අනන්‍යතාව සහ විශ්වාසය පිළිබඳ සාකච්ඡා බවට පත්වේ.
මේ අර්ථයෙන් මහජන සම්බන්ධතාව යනු වෘත්තීය විෂයයක් පමණක් නොවේ. එය නූතන සමාජයට අත්‍යාවශ්‍ය මානව ජෛව තාක්ෂණික යහපැවැත්ම, සහයෝගීතාව සහ සමාජ අවබෝධය වර්ධනය කරන මානව සන්නිවේදන රාමුවකි. එනම් හුදෙක් ව්‍යාපාරික ප්‍රවර්ධන සන්නිවේදන කළමනාකරණයකට වඩා නූතනයේ මහජන සබඳතාව අනෙකුත් සරසවි ශික්ෂණ මෙන්ම නොයෙකුත් අනෙකුත් ශික්ෂණ සමග එකිනෙකට බැඳී කටයුතු කරන මානව සතුට, අයිතීන් සහ සමාජ වෙනසක් අපේක්ෂාවෙන් කරනු ලබන සන්නිවේදන කළමනාකරණ අංශයකි.
නිගමනය
මහජන සම්බන්ධතාව හා මාධ්‍ය කළමනාකරණය ශික්ෂණය ආරම්භය යනු හුදෙක් ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක තවත් උපාධි වැඩසටහනක වර්ධනය පිළිබඳ කතාවක් පමණක් නොවේ. එය නූතන සමාජය තුළ සන්නිවේදනය පිළිබඳ අපගේ අවබෝධය මෙන්ම නූතන මානවීය සන්නිවේදන භාවිතය පිළිබඳ වන සමකාලීන සහජාත ප්‍රත්‍යුත්පන්න වෙනස්වීම දක්වන කතාවකි.
නූතන මහජන සබඳතාව, අයිවි ලීගේ නූතන ජනමාධ්‍යවේදයේ තිබිය යුතු විනිවිදභාවය සඳහා වූ අවධානය මගින් ආරම්භ වී, බර්නේස්ගේ බලපෑම් කිරීමේ ආකෘතිය ඔස්සේ ගමන් කර, ග්‍රනිග්ගේ සංවාදමය සන්නිවේදන න්‍යාය වෙත පැමිණ තිබේ. අද වන විට නූතන මහජන සබඳතාව යනු මානව විශ්වාසය කේන්ද්‍ර කරගත් කෘත්‍රිම බුද්ධිගත යාන්ත්‍රික තාක්ෂණික ඩිජිටල් සන්නිවේදන පද්ධති දක්වා මහජන සම්බන්ධතාව විශාල පරිණාමයකට ලක්ව ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතාව හා මාධ්‍ය කළමනාකරණ උපාධි වැඩසටහන මෙම ගෝලීය පරිණාමයේ කොටසකි. වේගයෙන් වෙනස් වන සන්නිවේදන කර්මාන්තයේ යථාර්ථය සමග ශ්‍රී ලාංකික අධ්‍යාපනය ගැළපීමේ දේශීය අවශ්‍යතාව කෙරෙහි අප විසින් දක්වන ලද ප්‍රතිචාරයක් ලෙස මෙම ශික්ෂණය ආරම්භය සහ මේ තාක් දස වසක් මේ ශික්ෂණය වර්ධනය කළ ආකාරය කෙසේද යත් දිය හැක.
අවසානයේදී මහජන සම්බන්ධතාව හා මාධ්‍ය කළමනාකරණය යනු ශ්‍රී ලංකාවේ සන්නිවේදන අධ්‍යාපනය පිළිබඳ නැවත සිතීම සඳහා වූ උත්සාහයකි. නූතන මහජන සම්බන්ධතාව යනු හුදෙක් කාර්මික අංශයේ අවශ්‍යතා සඳහා පමණක් යොමුවෙන වැඩපිළිවෙළක් නොවේ. එය, තොරතුරුවලින් විශ්වාසය වෙත ද, පණිවිඩවලින් අර්ථය වෙත ද, ගමන් කරමින් නවතින හුදෙක් මූල්‍ය ලාබය පමණක් අරමුණු කරන ආයතනික ව්‍යාපාරික ව්‍යවසායකත්ව සන්නිවේදනයක් පමණක් නොවේ. වත්මන් සමාජයේ මහජන සබඳතාව යනු මාධ්‍ය සහ සන්නිවේදන පාලනය ඔස්සේ නූතන මිනිසා ලබන එකිනෙකා කෙරෙහි ඇති අන්‍යෝන්‍ය විශ්වාසය සහ අවබෝධය වෙත ගමන් කරන නව මානව සන්නිවේදන ප්‍රවේශයකි.
සැබෑ තොරතුරු පෙර මෙන් සඟවනවාට වඩා, ආයතනික නූතන ව්‍යසන සහ අර්බුද ඉදිරියේ සැබෑ තතු නොවලහා යථා පරිදි හෙළි කරමින් මිනිසුන් ඍජු, අවධි සම්පන්න සතිමත් ජාතියක් කිරීම නූතන සමාගම්, ව්‍යාපාර සහ සමාජ දේශපාලන සංස්කෘතික සන්නිවේදනයේ අව්‍යාජ මහජන සබඳතාවයි. මේ දර්ශනය අනුව ලංකික මානවයා තුළ අපූර්ව මානව සෞන්දර්ය සදාචාර සත්පුරුෂ ගුණ වඩවාලීම මහජන සම්බන්ධතාව හා මාධ්‍ය කළමනාකරණයේ කාර්යය ලක්‍ෂ්‍යයයි. මේ පිළිබඳ, හුදෙක් සරසවි ඇදුරන් පමණක් නොව, ව්‍යාපාරික ව්‍යවසායකත්ව දැනුමැති නිපුණයන් ද එකතු කරගෙන ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල වත්මන් විද්‍යාර්ථියා පුහුණු කිරීම අපගේ අධ්‍යාශය යි.
ජාතික මහජන සම්බන්ධතාව පිළිබද සමුළුව 2026 ජූනි 18 දින කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජීය විද්‍යා පිඨයේදී පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd