• පෙට්‍රෝලියම් නිෂ්පාදන අපනයනයේ කැපී පෙනෙන වර්ධනයක් 
  • රබර්, ආහාර සහ යන්ත්‍ර සූත්‍ර අපනයන ආදායමත් ඉහළට 

මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා වූ කාලසීමාව තුළ මෙරට සමස්ත කාර්මික අපනයන ආදායම ඩොලර් මිලියන 7,327 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ එම කාලසීමාව තුළ වාර්තා වූ ඩොලර් මිලියන 7,015 ක කාර්මික අපනයන ආදායම හා සැසඳීමේදී ඩොලර් මිලියන 312 ක එනම් සියයට 4.44 ක වර්ධනයකි.

ශ්‍රී ලංකා මහ බැංකුව 2026 අගෝස්තු මාසය සඳහා නිකුත් කළ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවේ මේ පිළිබඳව සටහන්ව තිබේ. 

මෙහිදී මූලිකවම ගත වූ කාලසීමාව තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය වීම ඩොලර් ඉපැයීම් අගය ඉහළ යාමට හේතුව වී තිබේ.

මෙහිදී කාර්මික අපනයන ආදායම යටතේ වැඩිම දායකත්වය රෙදිපිළි සහ ඇගලු‍ම් හරහා ලැබී තිබේ. එය ඩොලර් මිලියන 3,356 කි. කෙසේ වෙතත් එය 2025 වසරේ වාර්තා කළ ඩොලර් මිලියන 3,595 ක් හා සැසඳීමේදී ඩොලර් මිලියන 239 ක අඩුවීමකි. 

කෙසේ වෙතත් පෙට්‍රෝලියම් නිෂ්පාදන අපනයන ආදායම 2025 මුල් මාස අටේදී පැවැති ඩොලර් මිලියන 655 ක සිට ඩොලර් මිලියන 945 ක් දක්වා ඩොලර් මිලියන 290 කින් ඉහළ නැග තිබේ. 

රබර් නිෂ්පාදන අපනයන ආදායමද ඩොලර් මිලියන 619 ක සිට 656ක් දක්වාත්, ආහාර, පාන වර්ග සහ දුම්කොළ අපනයන ආදායම ඩොලර් මිලියන 577 ක සිට 616 ක් දක්වාත් ඉහළ නැග තිබේ. එසේම යන්ත්‍ර සහ යාන්ත්‍රික උපකරණ අපනයන ආදායමද ඩොලර් මිලියන 313 ක සිට ඩොලර් මිලියන 446ක් දක්වා ඉහළ ගොස් ඇත.