ඉදිරිපෙළ: දිල්ශානි ශෂිකලා (කුසලතා සම්මානය - ජීවිත රක්ෂණ විකුණුම් අධීක්ෂක කාණ්ඩය), කේමන්ති පීරිස් (ලෝකඩ සම්මානය - විකුණුම් සහාය කළමනාකරු සහ ඉහළ කළමනාකාරීත්වය කාණ්ඩය) සහ සුරේෂ් මධුශංක (ලෝකඩ සම්මානය - ජීවිත රක්ෂණ විකුණුම් විධායක කාණ්ඩය).
පසුපෙළ: කෞෂල්ය අබේගුණරත්න (රිදී සම්මානය - සාමාන්‍ය රක්ෂණ ප්‍රාදේශීය කළමනාකරු කාණ්ඩය), පාලිකා දිල්රුක්ෂි (කුසලතා සම්මානය - ජීවිත රක්ෂණ පාරිභෝගික සේවා පෙරමුණු නිලධාරී කාණ්ඩය), හසර සංඛල්ප (ලෝකඩ සම්මානය - ජීවිත රක්ෂණ ප්‍රාදේශීය කළමනාකරු කාණ්ඩය), මන්මදනායකී එලියතම්බි (කුසලතා සම්මානය - ජීවිත රක්ෂණ විකුණුම් අධීක්ෂක කාණ්ඩය) සහ යශෝධා සඳමාලි (රන් සම්මානය - ජීවිත රක්ෂණ විකුණුම් විධායක කාණ්ඩය). 

 


LOLC රක්ෂණ සමාගම්හි විකුණුම් ක්ෂේත්‍රයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ සාමාජිකයන් අටදෙනකු 2026 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී විවිධ සම්මාන කාණ්ඩ යටතේ ඇගයීමට ලක්වෙමින් සිය වෘත්තීය විශිෂ්ටත්වය තහවුරු කිරීමට සමත් විය. මෙම ජයග්‍රහණය, ආයතනයේ විකුණුම් ක්ෂේත්‍රයේ ශක්තිමත් හැකියාව මෙන්ම ව්‍යාපාරික වර්ධනයට සහ පාරිභෝගික සබඳතා ශක්තිමත් කිරීමට දායක වන දක්ෂතා සහිත මානව සම්පතක් සංවර්ධනය කිරීම කෙරෙහි LOLC ඉන්ෂුවරන්ස් දක්වන අඛණ්ඩ අවධානය ද පිළිබිඹු කරයි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM ) විසින් සංවිධානය කරනු ලබන ජාතික විකුණුම් සම්මාන උළෙල, විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවල විකුණුම් වෘත්තිකයන්ගේ කාර්යසාධනය, කැපවීම සහ ආයතනික සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන් ලබාදෙන දායකත්වය ඇගයීමට ලක්කරන ජාතික මට්ටමේ සම්මාන උළෙලකි. 

මෙවර සම්මාන උළෙලේදී ජීවිත රක්ෂණ අංශයේ විකුණුම් විධායක කාණ්ඩයෙන් යශෝධා සඳමාලි රන් සම්මානය දිනාගත් අතර, එම කාණ්ඩයේම ලෝකඩ සම්මානය සුරේෂ් මධුශංක විසින් හිමිකර ගන්නා ලදී. සාමාන්‍ය රක්ෂණ අංශයේ ප්‍රාදේශීය කළමනාකරු කාණ්ඩයෙන් කෞෂල්ය අබේගුණරත්න රිදී සම්මානය දිනාගත් අතර, ජීවිත රක්ෂණ අංශයේ ප්‍රාදේශීය කළමනාකරු කාණ්ඩයෙන් හසර සංකල්ප ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය.

විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරමින් ඉදිරිපත් වූ තරගකරුවන් අතරින්, විකුණුම් සහාය කළමනාකරු සහ ඊට ඉහළ කාණ්ඩය යටතේ කේමන්ති පීරිස් ලෝකඩ සම්මානය දිනාගත් අතර, ජීවිත රක්ෂණ අංශයේ විකුණුම් අධීක්ෂක කාණ්ඩයෙන් දිල්ශානි ශෂිකලා සහ මන්මදනායකී එලියතම්බි කුසලතා සම්මාන හිමිකරගත් අතර, එම අංශයේ පෙරමුණු සේවා නිලධාරී (Front Liner) කාණ්ඩයෙන් පාලිකා දිල්රුක්ෂි ද කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවාය.

මෙම ඇගයීම්, රක්ෂණ විසඳුම් පාරිභෝගිකයන් වෙත හඳුන්වාදීමෙන් ඔබ්බට ගොස්, ඔවුන්ගේ සැබෑ අවශ්‍යතා අවබෝධ කරගනිමින් ඔවුන්ට සුදුසු විසඳුම් තෝරාගැනීමට මගපෙන්වීම සහ විශ්වාසය මත පදනම් වූ දිගුකාලීන සබඳතා ගොඩනැගීම සඳහා LOLC රක්ෂණ වෘත්තිකයන් දක්වන දායකත්වය ද තහවුරු කරයි.

විකුණුම් වෘත්තිකයන්ගේ ජයග්‍රහණ ඇගයීමේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ සභාපති/ ප්‍රධාන නිලධාරී සහ LOLC ජීවිත රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ කිත්සිරි ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

“LOLC ඉන්ෂුවරන්ස් හි සාර්ථකත්වයේ පදනම වන්නේ අපගේ මානව සම්පතේ ශක්තිය සහ ඔවුන් පාරිභෝගිකයන් සමග ගොඩනගන විශ්වාසයයි. අපගේ කාර්ය මණ්ඩලයේ වෘත්තීය සංවර්ධනයට ආයෝජනය කිරීම සහ ඔවුන්ගේ ජයග්‍රහණ ඇගයීමෙන්, ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට මෙන්ම ආයතනයේ දිගුකාලීන ප්‍රගතියට ද විශාල දායකත්වයක් ලබාදිය හැකි බව අපි විශ්වාස කරනවා.”

“තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) විකුණුම් ක්ෂේත්‍රයේ නව පරිවර්තනයන් ඇති කරන පසුබිමක, පාරිභෝගික විශ්වාසය ගොඩනැගීමේදී අත්‍යවශ්‍ය වන මානව සබඳතාවල වටිනාකම සුරකිමින්, වෙනස්කම්වලට අනුවර්තනය වීමටත්, නවෝත්පාදන හඳුන්වා දීමටත්, විශිෂ්ටත්වය කරා ගමන් කිරීමටත් අපගේ කාර්ය මණ්ඩලය සවිබල ගැන්වීම අපගේ අරමුණයි. තාක්ෂණික දියුණුව මානව අවබෝධය සහ සංවේදීභාවය සමඟ ඒකාබද්ධ කිරීමෙන් පාරිභෝගිකයන්ට වඩාත් අර්ථවත් සේවාවක් සහ වැඩි වටිනාකමක් ලබාදීමට අපි කැපවී සිටිනවා.”

ජයග්‍රාහකයන්ට සුබපැතුම් එක්කරමින් LOLC ජීවිත රක්ෂණ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී/ප්‍රධාන නිලධාරී ජයන්ත කාලිංග මහතා මෙසේ පැවසීය.

“2026 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී අපගේ විකුණුම් වෘත්තිකයන් අටදෙනකු ඇගයීමට ලක්වීම පිළිබඳව අපි ඉතා සතුටු වෙනවා. මෙම ජයග්‍රහණය ඔවුන්ගේ කැපවීම, පාරිභෝගිකයන් සමග ගොඩනගා ඇති සබඳතා සහ ඔවුන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට දක්වන අඛණ්ඩ උත්සාහය මැනවින් පිළිබිඹු කරනවා. එමෙන්ම, ඔවුන්ගේ සාර්ථකත්වය පිටුපස සිටින කළමනාකරුවන්ගේ මගපෙන්වීම සහ සෙසු කාර්ය මණ්ඩලයේ සහයෝගය ද මෙහිදී අගය කළ යුතුයි.”