පොලිස් ඇමති ඉහළ නිලධාරීන්ට නීතිය සිහිපත් කරදෙයි

සුජිත් හේවාජුලිගේ 

විවිධ අපරාධ සහ වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිසියේ රඳවාසිටින සැකකරුවන්ට පහරදීම් සිදුකළහොත්  ඒවායේ වගකීම අනිවාර්යයෙන්ම පොලිස් ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා බාර ගතයුතු බවට දැනුම්දී ඇත.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ විශේෂ උපදෙස් මත පොලිස්පතිවරයා ඇතුළු ප්‍රධානීන් විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් මේ සම්බන්ධව දැනුවත් කරනු ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ දිවයින පුරා සියලු‍ම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සූම් තාක්ෂණය ඔස්සේ අද හෙටම කැඳවා, අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ (නීතිය) නැවත සිහිපත් කර දෙන බවයි.

පොලිස් අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ට පහරදීම ඇතුළු හිරිහැරකිරීම් කිසිසේත් අනුමත නොකරන බවත්, එවැනි ක්‍රියා සිදුකරන පොලිස් නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත්, අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

හෝමාගම පොලිසියේ අත්අඩංගුවේ සිටි තරුණයකු මියයෑමේ සිද්ධියෙන් පසු ඊට සම්බන්ධවූ බව පැවසෙන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එම පොලිසියේ දී යම් පහරදීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි පැවසූ ආනන්ද විජේපාල ඇමතිවරයා වෛද්‍ය වාර්තා සහ සෙසු සාක්ෂි පදනම් කරගෙන අධිකරණය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බවද ප්‍රකාශ කළේය.

මේ අතර හෝමාගම පොලිස් භාරයේ සිටිය දී පුද්ගලයකු මියයාමේ සිද්ධිය පහරදීමක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට විශ්වාස කරන නමුත්, ඒ සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශ කළ හැක්කේ වෛද්‍ය වාර්තාවේ කරුණු අනුව බව බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පවසයි.

ඔහු මෙසේ පැවසුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ දී පෙරේදා (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

මියගිය  පුද්ගලයාගේ ඉළඇට තුනක් කැඩී මොළයේ රුධිර වහනයක් සිදුව ඇති බව අදාළ වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ යැයි ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. එමෙන්ම මෙතෙක් අනාවරණය වී ඇති තොරතුරු අනුව ඔහුගේ හිසට ද තුවාල සිදුව ඇති බව මැදවත්ත සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ, අදාළ පුද්ගලයා සිරමැදිරියට ගෙන ඒමට පෙර යම් කාලයක් පොලිස් අපරාධ අංශයේ රඳවාගෙන සිට ඇති බවයි. එම කාලසීමාවේදී ඔහුට පහරදීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් එම පහරදීම පිළිබඳ තොරතුරු මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කෙරෙමින් පවතින බව හෙතෙම සඳහන් කළේය.

මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළඹීම සඳහා වෛද්‍ය වාර්තාවේ කරුණු ඇතුළු විමර්ශනවල ප්‍රතිඵල වැදගත් වන බව ද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මෙසේ ද පැවසීය.

“හෝමාගම සිද්ධියේ දී වෛද්‍ය වාර්තාවේ දැනුම්දීලා තියෙන්නේ ඔහුගේ ඉළ ඇට තුනක් කැඩිලා තියෙනවා කියලා. ඒ වගේම ඔහුගේ මොළේ රුධිරය වහනයවීමක් වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙනවා. අපි දැනගෙන තියෙන තොරතුරු අනුව හිස තුවාලවීමක් වෙලා තියෙනවා. ඔහුගේ මරණයට හේතුව පහරදීමක් කියලා විශ්වාස කරනවා. නමුත් ඒක හරියටම කියන්න වෙන්නේ වෛද්‍ය වාර්තාවේ තොරතුරු අනුව. සිරමැදිරියට දාන්න ප්‍රථම ඔහු යම්කිසි කාලයක් රඳවාගෙන ඉඳලා තියෙනවා අපරාධ අංශයේ. ඒ කාලයේ දී පහරදීමක් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. තාම ස්ථීර නෑ. ඒ සම්බන්ධයෙන් විමර්ශන කරනවා.”