2021 වසරේ අප්‍රේල් මස 13 වෙනිදා ඉන්දීය නාවික හමුදාව විසින් මාලදිවයින් මුහුදු සීමාවේ සිට ඉන්දියාව දක්වා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගත්තේය. එහි තිබී සොයාගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 337 කි. එහි 

වෙෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 350 ක් පමණ විය. මෙම වැටලීමේදී යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු ද ඉන්දීය නාවික හමුදාව භාරයට ගැනිණි.

මෙම ශ්‍රී ලාංකිකයින් පස්දෙනා මාලදිවයින් මුහුදු සීමාව දක්වා බහුදින යාත්‍රාවෙන් පිටත්ව ගොස් තිබුණේ 2021 වසරේ මාර්තු මස 21 වැනිදා මීගමුව මුහුදු වෙරළෙනි. ජාවාරමේ නිරතව සිටියේ යැයි කියමින් අත්අඩංගුවට ගැනුණු මොවුන් පස්දෙනා නව දිල්ලි පොලිසියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණය හමුවට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කරනු ලැබීය. මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි පිරිස අතර මෙම හෙරොයින් තොගය ප්‍රවාහනය කිරීමේ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සැලකෙන පුද්ගලයා ද විය. ඔහු මොරටුව අඟු‍ලාන ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ධීවරයෙකි.

ඉන්දීය බන්ධනාගාරයෙන් මිදී පාපැදියෙන් කිලෝ මීටර සිය ගණනක් එයි

නවදිල්ලියේ බන්ධනාගාරයක රඳවා සිටියදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානියා ලෙස සැලකෙන අඟු‍ලානේ ධීවරයා එම බන්ධනාගාරයෙන් හොර රහසේ පලා ගියේය. පසුව ඔහු පිළිබඳව කෙරුණු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී එදා සිදුවූ අතිශය දුෂ්කර සිදුවීම ඔහු විස්තර කළේ මෙසේය.

”හෙරොයින් කුඩු තොගයකුත් එක්ක මා ඇතුළු ලංකාවේ පස් දෙනෙක් ඉන්දීය නාවික හමුදාවට කොටුවුණා. අපිව නවදිල්ලියේ පොලිසියකට රැගෙන ගොස් දින ගණනාවක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තා. ඊට පස්සේ අපි පස්දෙනාවම නව දිල්ලියේ අධිකරණයකට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කළා.

බන්ධනාගාරයේ ඉන්න අතරවාරයේ කෙසේ හෝ පලායන්නට ඕනෑයි කියන අදහස මට ආවා. මා එක්ක බන්ධනාගාර ගත වූ අනික් හතර දෙනාට ඒ ගැන කියන්න ගියේ නැහැ. ඒ හතර දෙනත් එක්ක බන්ධනාගාරයෙන් පනින්න ගියොත් අහුවෙන බව තේරුම් ගියා. ඒ හින්දා මම තනියම පැනගන්නවා කියලා තීරණය කළා. දවසක් අපි පස්දෙනාව අධිකරණයේ විභාග වන නඩුවට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් රැගෙන ආවා. එසේ රැගෙන ආ අවස්ථාවේ මම බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගියා.

ඉන්දීය බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැනගත් මම කඩයක් ළඟ නතර කර තිබූ පාපැදියක් සොරාගෙන ඒ පාපැදිය පැදගෙන තමිල්නාඩු ප්‍රාන්තය දක්වා ආවා. මට තමිල්නාඩුවට එන්න දවස් නමයක් ගියා. කන්න බොන්න සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා කාගෙන් හරි ඉල්ලාගෙන කුසගින්න පුරවා ගත්තා. දින නවයක් තිස්සේ පාපැදිය පැදගෙන තමිල්නාඩුවට ආ ගමන හරිම දුෂ්කරයි. පොලිසියට අහුවෙයි කියන බය මට තිබුණා. උදේ කාලයේ පාපැදිය පැදගෙන ඇවිත් රාත්‍රී කාලයට කොහේ හරි කඩපිලක නිදාගත්තා.”‍

සොරාගත් බෝට්ටුවෙන් සහ ඉන්ධනවලින් ලංකාවට

තමිල්නාඩුවට පැමිණීමෙන් පසුවද මොහුගේ උත්සාහය අතහැරුණේ නැත. කෙසේ හෝ ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණින් ඔහු තමිල්නාඩු වෙරළාසන්නයේ රැඳී සිටිමින් කළ නීතිවිරෝධී ක්‍රියාවන් පිළිබඳව වැඩිදුරටත් අනාවරණය කළේ මෙසේය.

”තමිල්නාඩුවට ආවට පස්සේ දින තුනක් මම ධීවර වරාය ආසන්නයේ සැඟව සිටිමින් ඒ ධීවර වරායේ නැංගුරම් ලා තිබූ බෝට්ටුවලින් ඉන්ධන සොරාගෙන ප්ලාස්ටික් බුලි දෙක තුනකට එකතු කර ගත්තා. ඒවා කාටත් නොපෙනෙන්න සඟවා තබාගත්තා. මුහුදු යන්න එන ධීවරයින් රැගෙන එන කෑම පාත්‍රවල තබා යන අවස්ථාවල් බලලා එම කෑම සොරාගෙන කුසගින්න නිවා ගත්තා.

දවස් තුනකට පස්සේ තමිල්නාඩු ධීවර වරායේ නැංගුරම් ලා තිබූ ලොකු බෝට්ටුවක් බලාගෙන ඒ බෝට්ටුවට මම දවස් තුනක් තිස්සේ වෙනත් යාත්‍රාවලින් සොරා ගත් ඩීසල් කෑන් ටික පටවා ගත්තා. ධීවර යාත්‍රාවලින් මුහුදු යාමට ධීවරයින් රැගෙන එන කෑම බීම සොරාගෙන ඒවත් බෝට්ටුවට පටවා ගත්තා. පස්සේ මම හොරා ගත්ත ඒ බෝට්ටුවේ නැගලා එන්න පටන් ගත්තා.

මම යන්න හිතාගෙන හිටියේ අඟු‍ලාන වෙරළ තීරය දෙසටයි. මට ගමන් මාර්ගය වැරදුණා. ගොඩබිම හොයාගන්න කොම්පාසුවක්වත් මට තිබුණේ නැහැ. ගමන් මාර්ගය වැරදුණු නිසා බෝට්ටුවේ තෙල් ඉවර වුණා. බෝට්ටුව පාවෙන්න පටන් ගත්තා. බොහෝ දවස්වලට රෑට කෑම කෑවේ නැහැ. එහෙම කළේ කෑම පරිස්සම් කරගන්න ඕන නිසයි. වතුරත් පරිස්සමට තමයි බිව්වේ. තව දවස් තුනක් විතර බෝට්ටුව මුහුදේ පාවෙමින් ආවා. අන්තිමට මම ඇවිත් තියෙන්නේ වෙන්නප්පුව උල්හිටියාව මුහුදු වෙරළටයි.”‍

වෙන්නප්පුවේදී නැවත පලායාම

මෙලෙස සැකකටයුතු බෝට්ටුවක් වෙන්නප්පුව උල්හිටියාව වෙරළ තීරය දෙසට පැමිණෙමින් තිබෙන බවට තොරතුරක් එවකට වෙන්නප්පුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිට ලැබිණි. තොරතුර ලැබුණු සැණින් ක්‍රියාත්මක වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, ප්‍රධාන අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ඩී. පී. සිරිවර්ධන සහ උප පොලිස් පරීක්ෂක තිලක් බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමග උල්හිටියාව මුහුදු වෙරළ තීරයට ගියේය.

ඒ වන විටත් සැකකටයුතු බෝට්ටුව වෙරළ තීරයට ආසන්නව තිබූ අතර, පොලිස් කණ්ඩායම දුටු සැණින් බෝට්ටුවේ සිටි පුද්ගලයා මුහුදට පැනීමට සූදානම් විය. එහෙත් එම මොහොතේම එල්ල වූ විශාල රළ පහරකට බෝට්ටුව අසුවී, එහි සිටි පුද්ගලයා ද සමගම ගොඩබිමට ඇදී ආවේ විදුලි වේගයෙනි. ඒ නිසා බෝට්ටුවේ සිටි පුද්ගලයාට මුහුදට පැන පලායාමට නොහැකි විය.

ඉන්දීය ධීවර බෝට්ටුවකින් මෙරටට පලා ආ මෙම පුද්ගලයා මොරටුව අඟු‍ලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු නව දිල්ලියේ බන්ධනාගාරයකින් පලා ආ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවටත් ඒ වන විටත් මෙරට බලධාරීන්ට දැනුම් දී තිබිණි. අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා මාරවිල මහ රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු, වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී අසේල පුල්වංශගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන පවත්වන ලදී. ඒ වන විට දිනය 2024 අගෝස්තු මස 11 වැනිදාය.

පසුව මොහු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඒ. ආර්. 261/2024 යන නඩු අංකය යටතේය. අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවූ මොහු, පසුකාලීනව අධිකරණය මගින් ඇප මත මුදා හරිනු ලැබීය. එහෙත් මේ සම්බන්ධයෙන් වූ නඩුවට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින අතරවාරයේ, 2025 වසරේ මැයි මස 5 වෙනිදා නඩුව කැඳවීමට පෙරම බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සිටියදී මොහු නැවතත් පලා ගියේය.

ජාත්‍යන්තර රතු නිවේදනය වාද්දූවේදී අවසන් ගමන

මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් මිදී පලා ගිය මෙම සැකකරු යළි අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කෙරිණි. මොහු ඉන්දීය බන්ධනාගාරයෙන් ද පලා ආ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ බැවින්, නව දිල්ලි පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා මොහු අත්අඩංගුවට ගැනීමට ්-4086/03/2025 දැක්වෙන රතු නිවේදනයක් ද ලබාගෙන තිබූ අතර, ඒ පිළිබඳව මෙරට ජාත්‍යන්තර පොලිස් ශාඛාවට ද දැනුම් දී තිබිණි.

මාරවිල අධිකරණයෙන් පලා ගිය සැකකරු ටික කලක් අඟු‍ලාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ ගතකර, පසුව වාද්දූව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචි වී සිටියේය. මෙසේ සැඟව සිටි සැකකරු පිළිබඳ තොරතුරක් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකරට ලැබුණු අතර, ඔහු එම තොරතුර ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ වෙත භාර දුන්නේය.

ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ ඇතුළු පොලිස් කණ්ඩායමක් වහා ක්‍රියාත්මක වී වාද්දූව දුම්රියපොළ ආසන්නයේ රැඳී සිටියදී, ජාත්‍යන්තර පොලිසිය පවා සෙවූ මෙම සැකකරු අත්අඩංගුවට ගත්තේ පසුගිය පළමු වැනිදාය. පොලිස් අත්අඩංගුවට පත් වූ මොහොතේ අන්දමන්ද වූ 54 හැවිරිදි මෙම ජාවාරම්කාර ධීවරයා,

”සර්, මම කවදාවත් හිතුවේ නෑ මාව ආයෙත් පොලිසියට කොටුවෙයි කියලා...”‍ යැයි පවසා ඇත.

අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවත රිමාන්ඩ් භාරයට පත් කර ඇත. මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ මොහුට එරෙහිව ගොනුකර ඇති නඩුව මෙම වසරේ දෙසැම්බර් මස 12 වෙනිදා නැවත විභාගයට ගැනීමට නියමිතය.

එමෙන්ම උදර්පන නීතිය යටතේ මොහු ඉන්දියාවට භාරදීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු කිරීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ද තොරතුරු දැනුම් දී තිබේ. මීට අමතරව මොහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී අසේල පුල්වංශ වෙත ද ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් දැනුම් දී ඇත. එදා වෙන්නප්පුවේදී මොහු අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මේ වන විට රාජකාරී කරන්නේ මීගමුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ලෙස ය. ඒ අනුව ජාත්‍යන්තරව පවා වරෙන්තු ලැබූ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ධීවරයා ඉදිරියේදී ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට නියමිතය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය