ජනපතිට මහා නාහිමිවරුන්ගෙන් ඇමතුම් වැලක්

ඥානසාර හිමියන් බන්ධනාගාරයේ සිට අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සිවුරු ගලවා ගිහි ඇඳුමකින් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත නායක හිමිවරුන්ගෙන් දුරකථන ඇමතුම් විශාල සංඛ්‍යාවක් ලැබී තිබුණි. ඒ අතරම, ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විරෝධය පළ කරමින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යැවූ ලිපිය ද ජනාධිපතිවරයා අතට පත් විය.

ලිපිය ලැබුණු වහාම අදාළ නිලධාරීන් කැඳවූ ජනාධිපති අනුර කුමාර දිසානායක මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීය. බන්ධනාගාර පනත හා රෙගුලාසි අධ්‍යයනය කරමින් මෙවැනි අවස්ථාවල නිවැරදි ක්‍රමවේද අනුගමනය කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා, ඉදිරිපත් වූ යෝජනා කිහිපයක් අතුරින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ නියෝජිත හිමිවරුන් පිරිසක් සමග බ්‍රහස්පතින්දා දහවල් 1.00ට සාකච්ඡාවක් පැවැත්වීමට වේලාව වෙන් කළේය. එමෙන්ම අණපනත් හා බන්ධනාගාර රෙගුලාසිවල භික්ෂූන් වහන්සේට අදාළ නීතිරීති සහ ධර්ම විනය ආරක්ෂා වන රෙගුලාසි පිළිපැදීමටත්, අඩුපාඩු ඇත්නම් සකස් කිරීම සඳහා වාර්තාවක් ලබාගැනීමට කමිටුවක් පත් කිරීමටත් තීන්දු විය.

රාජ්‍ය නොවන සංවිධාන විගණනයට ජනපතිගෙන් කොළ එළියක්

මූල්‍ය විශුද්ධිකරණයට අදාළව ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පිළිබඳව ඉකුත් සතියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී විවිධ අයථා ක්‍රමවලින් මුදල් ඉපයීම හා සමාගම් පනත පිළිබඳව සාකච්ඡා විය.

”‍රාජ්‍ය නොවන සංවිධාන විගණනය කරන එකට විරුද්ධව සමහරු ජාත්‍යන්තරයට පැමිණිලි කරලා.. එයාලගේ කටයුතුවලට බාධා කරනවා කියලා...”‍ මුදල් අමාත්‍යාංශ නිලධාරියෙක් කීවේය.

”‍හා... එහෙම ද?”‍ ජනාධිපතිවරයා සිනාසෙමින් ඇසීය.

”‍ඒක සාධාරණ කතාවක් නෙවෙයිනේ. හැමෝම කියන්නේ අපි ගැන නැතිව අනෙක් හැමෝම ගැන සොයන්න කියලා.. ආණ්ඩුවකට එහෙම කරන්න බෑ...”‍ ජනාධිපති අනුර කියා සිටියේය.

”‍ඒක ඇත්ත ජනාධිපතිතුමනි, එම සංවිධාන වියදම් කරන්නේ ගෙදරින් ගේන මුදල් නෙවෙයිනේ. ඒ වියදම් කරන ආකාරය ගැන විනිවිදභාවයක් තියෙන්න ඕනෑ...”‍ නිලධාරියා පැවසීය.

”‍ඒ ගැන දෙවරක් නොසිතා නීත්‍යනුකූලව කරන විගණන කටයුතු කරන්න..”‍ ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

අගමැතිනිය ආරක්ෂකයන් නැතිව පොත් ප්‍රදර්ශනයේ

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට පළමු දිනයේ නිල වශයෙන් සහභාගි වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය, පසුව දිනෙක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියට ගියේ තමන්ට උවමනා පොත් නිදහසේ තෝරාගැනීමේ බලාපොරොත්තු වෙනි. ඇය එම අවස්ථාවට සහභාගි වූයේ ආරක්ෂකයන්ගෙන් තොරවය. කුටියෙන් කුටියට යමින් පොත් තෝරාගත් අගමැතිනියට ජනතාව සමග කතාබහ කිරීමට ද අවස්ථාව ලැබිණි. සමහරු ඇය සමග සෙල්ෆි ඡායාරූප ද ලබාගත්හ.

”‍අපි මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නෙ නෑ මැඩම්. සමහරුන්ගෙ කතාවලට අපි බය වුණා... ඒත් දැන් වැඩ කරගෙන යන හැටි දැක්කම සතුටුයි...”‍ එක් කාන්තාවක් කීවාය. අගමැතිනිය ඇයට සුහද සිනාවකින් සංග්‍රහ කරමින් පොත් ප්‍රදර්ශනයේ සිරිය නැරඹුවාය.

සජබ කළමනාකරණ කමිටුවේදී ගල් අඟු‍රු හා එක්ස්ප්‍රස් පර්ල් උණුසුම

සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීම ඉකුත් බදාදා පැවැත්විණි. සියලු‍ මන්ත්‍රීවරුන් සහ පක්ෂ නිලධාරීන් සහභාගි වූ එම රැස්වීමේදී දිස්ත්‍රික් මට්ටමේ සංවිධාන කටයුතු සහ අයවැය යෝජනාවලියට මුහුණ දෙන ආකාරය සාකච්ඡා විය.

රැස්වීම ආරම්භ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදහස් දැක්වීය. ”‍අපි උසාවි තීන්දු වලට ගරු කරනවා... ඒත් බන්ධනාගාර පාලනාධිකාරිය ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කරන්න ගිහි ඇඳුමින් ගෙන ආ ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදි පූර්වාදර්ශයක්.. සිරකරුවකුව නැවත උසාවියට ඉදිරිපත් කරනවා නම් ඔහු මුලින් හැඳ සිටි ඇඳුමෙන්ම ගේන්න ඕනෑ කියලා නියමයකුත් තියෙද්දියි මේක කරලා තියෙන්නෙ... මම උන්වහන්සේගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා..”‍ යි පැවසූ සජිත්, පක්ෂයක් ලෙස මෙයට දැඩි විරෝධය පළ කරන බවත්, මන්ත්‍රීවරුන්ට ද ඒ වෙනුවෙන් කතා කරන ලෙසත් උපදෙස් දුන්නේය.

ඉන් අනතුරුව අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ නිලධාරීන් ලබාදුන් ලිඛිත සාක්ෂි උපුටා දක්වමින් බාල ගල් අඟු‍රු ගෙන ඒම සහ විදුලිය අඩුවෙන් නිපදවීම නිසා ඩොලර් බිලියන 15ක පාඩුවක් සිදුව ඇති බව හෙළි කළේය. මෙය ලංකාවේ සිදුවූ ලොකුම වංචාව බවත්, ජනාධිපතිවරයා මේ ගැන පියවර නොගන්නා බැවින් අදාළ ඇමැතිවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීම රජයේ වගකීම බවත් ඔහු කීය.

එහිදී අදහස් දැක්වූ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ද සඳහන් කළේ, මහ බැංකු බැඳුම්කර සිද්ධියටත් වඩා විශාල වංචාවක් ලෙස මෙම ගල් අඟු‍රු ප්‍රශ්නය ඉස්මතු වී ඇති බැවින් ජනතාව දැනුවත් කර එම මුදල් අයකර ගැනීමට රජයට බලකළ යුතු බවයි. මන්ත්‍රීවරුන් ද තීරණය කළේ මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටයි.

අනතුරුව කළමනාකරණ කමිටුවේ අවධානය යොමු වූයේ එක්ස්ප්‍රස් පර්ල් නඩුවේදී ඩොලර් බිලියනයක වන්දියක් ලැබිය යුතු බවට වූ තීන්දුව ඩොලර් මිලියනය දක්වා අඩුවීම ගැනය. හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් යුත් පාර්ලිමේන්තු කමිටුවක ද මේ බව සඳහන් වී ඇති අතර, මුදල් අඩුවීම ගැන රජයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමටත්, යම් අයට අතයට මුදල් හිමිවී දැයි සොයා බැලීමටත් සජබ කණ්ඩායම තීරණය කළේය.

මීට අමතරව ලබන මාසයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා සජබ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, නිශ්චිත කාලසටහනට අනුව වැඩ නොකරන ආසන සංවිධායකවරුන් ගැන යළි සමාලෝචනය කිරීමටත් තීන්දු විය.

කථානායකට එරෙහිව විශ්වාසභංගයක්

ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේ පැවැති විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි චෝදනා සාකච්ඡාවට ලක්විය.

”‍එතුමාට එරෙහිව ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් මතුවෙලා තියෙනවා. මේවා දූෂණය සහ රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම වගේ චෝදනා.. මම යෝජනා කරන්නේ විශ්වාසභංගයක් ගේන්න ඕනෑ කියලා..”‍ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කීවේය. අල්ලස් කොමිසමේ පරීක්ෂණවලට යම් යම් තැන්වලින් බාධා එල්ල වන බව ද එහිදී කියැවිණි.

”‍ගැටලු‍වක් නෑ... අපිට විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන්..”‍ විපක්ෂ නායක සජිත් පැවසූ අතර, ඊට විපක්ෂයේ සියලු‍ පක්ෂවල සහාය ගැනීමට තීරණය විය.

”‍කතානායකතුමා එක්ක මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. හැබැයි එතුමා ඔය පුටුවේ ඉන්නකොට පරීක්ෂණ සාධාරණව පැවැත්වෙන්නේ නෑ කියන එකයි මගේ හැඟීම..”‍ දයාසිරි නැවතත් පැහැදිලි කළේය. ඒ අනුව එදිනම විශ්වාසභංග යෝජනාව භාරදීමට තීරණය විය.

ඉකුත් බ්‍රහස්පතින්දා උදෑසන විපක්ෂ නායක කාර්යාලයේදී විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ඇරඹිණි. පළමුව විපක්ෂ නායකවරයා ද, දෙවනුව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ද අත්සන් කළහ. අනතුරුව ගයන්ත කරුණාතිලක, මුජිබර් රහුමාන්, ජගත් විතාන, කබීර් හෂීම් ඇතුළු මන්ත්‍රීවරු අත්සන් තැබූහ.

දයාසිරි ජයසේකර අත්සන් තබද්දී සජිත් ප්‍රේමදාස, ”‍දයාසිරි මන්ත්‍රීතුමා තමයි මූලිකත්වය ගත්තේ.. එතුමාගේ සංසාර පුරුද්දට තියෙන මොකක් හරි විරසකයකින් තමයි මේ වැඩේ පටන් ගත්තේ...”‍ යැයි කීමෙන් සැවොම සිනාසෙන්නට වූහ. ”‍මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නෑ... ඒත් ආපු වෙලේ ඉඳලා කරපු දේවල් නරකයි..”‍ දයාසිරි කීවේය. සිකුරාදා දිනයේ විශ්වාසභංග යෝජනාව භාරදීමට තීරණය කෙරිණි.

මෙට්‍රෝ බස් ගැන උපදේශක කාරක සභාවේදී ප්‍රශ්න වැලක්

ප්‍රවාහනය සම්බන්ධ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව ඉකුත් බ්‍රහස්පතින්දා පැවැත්විණි. එහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, ජගත් විතාන සහ චතුර ගලප්පත්ති යන පිරිස අලු‍තෙන් ඇරඹූ මෙට්‍රෝ බස් රථ සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් විමසා සිටියහ.

”‍මෙට්‍රෝ බස් ප්‍රොජෙක්ට් එකෙන් පාඩු ලබන බවයි මගේ හැඟීම.. මොකද ලීටරයකින් කිලෝමීටර් දෙකකට වඩා යන්න බෑ... ඇයි ඉලෙක්ට්‍රික් දෙමුහුන් වාහන නොගේනෑවේ? අනික පූජ්‍ය පක්ෂය සඳහා කිසිම ආසනයක් වෙන් කරලා නෑ... හාමුදුරු කෙනෙක් නැග්ගොත් හිටගෙන තමයි යන්න වෙන්නේ..”‍ ජගත් විතාන මන්ත්‍රීවරයා කීවේය.

ඊට පිළිතුරු දුන් නිලධාරීන් පැවසුවේ දින තුනක් ඇතුළත පූජ්‍ය පක්ෂය සඳහා ආසනයක් වෙන් කරන බවයි.

”‍තවත් ප්‍රශ්න තියෙනවා... සීට් තියෙන්නේ 40යි.. 80කට යන්න පුළුවන් කියනවා.. ඒ කියන්නේ බස් ගාස්තුව වගේ දෙගුණයක් ගෙවලා යන්න ඕන හිටගෙන... ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ සංකල්පය හොඳයි, ඒ යටතේ ඇරඹූ මෙට්‍රෝ බස් මීට වඩා විධිමත් වෙනවා නම් හොඳයි...”‍ ජගත් විතාන වැඩිදුරටත් කියා සිටියේය.

රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු ආ නාමල් හමු වූ සගයෝ

රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී එතැනට කැඳවාගෙන එනු ලබයි. ඉකුත් 7 වැනිදා සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩී.වී. චානක, සංජීව එදිරිමාන්න සහ ඉන්දික අනුරුද්ධ ඇතුළු පොහොට්ටුවේ පිරිසක් ඔහුව හමුවීමට පැමිණියහ.

”‍දැන් කොහොම ද පක්ෂයේ වැඩ කටයුතු?”‍ නාමල් විමසීය.

”‍පහුගිය සතියේ කොට්ඨාස රැස්වීම් ටික ආපහු ආරම්භ කළා.. සෑහෙන ප්‍රගතියක් තියෙනවා..”‍ ජොන්ස්ටන් සහ සංජීව පැවසූහ. ”‍හොඳයි... ඒ වැඩ ටික දිගටම කරගෙන යන්න..”‍ නාමල් උපදෙස් දුන්නේය.

ඒ අතර, ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් කොමිසම මහින්ද රාජපක්ෂ සිටින නිවසට පැමිණ ඇති බවට පණිවිඩයක් ජොන්ස්ටන්ට ලැබිණි. ”‍අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගනීවි.. අම්මට ඇප හම්බවෙන එකක් නෑ...”‍ නාමල් කීය. ”‍පුදුම හදිසියක්නේ තියෙන්නේ.. තනිකරම පළිගැනීමක්..”‍ ඩී.වී. චානක ද, ”‍අනුර වේදිකාවල කියනවා.. ඊටපස්සේ අත්අඩංගුවට ගන්නවා...”‍ යයි සාගර කාරියවසම් ද පැවසූහ.

එතැනට පැමිණි අර්චුනා මන්ත්‍රීවරයා, ”‍මේ අය ඩයස්පෝරාව සතුටු කරන්න තමයි මහින්ද මහත්තයට මෙච්චර වද දෙන්නේ.. මැඩම් අත්අඩංගුවට අරගෙන කරන්නෙත් ඒකමයි...”‍ කීය. ඒ අතර ”‍අන්න මැඩම් අත්අඩංගුවට අරගෙන..”‍ යි ජොන්ස්ටන් පැවසීය. ”‍ඕවා අපි බලාපොරොත්තු වුණානේ.. ඇප ලැබෙන්නෙත් නෑ... අපේ රැලිය තියෙන එක ගැන අනෙක් පක්ෂ නායකයන් එක්ක කතා කරලා සුදුසු දිනයක් දාගන්න..”‍ නාමල් උපදෙස් දුන්නේය.

පොහොට්ටුවෙන් “යුක්තිය වෙනුවෙන් නැගිටිමු”‍

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ”‍යුක්තිය වෙනුවෙන් නැගිටිමු”‍ නමින් අලු‍ත් සම්මන්ත්‍රණ මාලාවක් ඇරඹීය. පළමු සම්මන්ත්‍රණය කළුතර කණ්ඩායම වෙනුවෙන් සංජීව එදිරිමාන්න භාරගත් අතර, එය හොරණ මදුරාවල උත්සව ශාලාවකදී පැවැත්විණි. සංජීව එදිරිමාන්න සහ ලලිත් වර්ණකුමාර යන මහත්වරුන්ගේ එකඟතාවයෙන්, දේශපාලනඥයන් කතා නොකර සභාව ඇමතීමට පිටස්තර ආරාධිතයන්ට අවස්ථාව ලබාදෙන ලදී. සාගර කාරියවසම්, නීතිඥ සංජීව වීරවික්‍රම, ඩී.වී. චානක ඇතුළු පිරිසක් සහභාගි වූ මෙම සම්මන්ත්‍රණය අවසානයේ සංජීව එදිරිමාන්න පැමිණි පිරිස තේ පානය සඳහා අසල පිහිටි තම නිවස වෙත කැඳවාගෙන ගියේය.

බන්ධනාගාරයේදී සිදු වූ දේ නාමල් හෙළි කරයි

පාර්ලිමේන්තුවට පැමිණි නාමල් රාජපක්ෂගෙන් ඩී.වී. චානක ඇතුළු මන්ත්‍රී සගයන් රිමාන්ඞ් බන්ධනාගාරයේ තත්ත්වය පිළිබඳව විමසා සිටියහ.

”‍එක දවසක් මට බඩගින්නේ ඉන්න වුණා.. කෑම ගේන්නේ ගෙදරින්නේ.. කෑම එක පරීක්ෂා කරද්දී මට ගෙනාපු නිර්මාංශ ආහාර වේලට මස් කෑම එකක් කලවම් වෙලා... එදා රෑට කෑවේ නෑ... ඊටපස්සේ ඥානසාර හාමුදුරුවන්ව එක්කගෙන ආවේ රෑ වෙලා.. මම උන්වහන්සේට සැතපීමට ඇඳ රෙද්දක් එළලා තැනක් හදලා දුන්නා.. මට පහුවදා ගෙදරින් ගෙනාපු කෑම එකෙන් උන්වහන්සේට මම දානය පිළිගැන්වුවා.. ඊටපස්සේ රෝහිත බෝගොල්ලාගමත් දැම්මේ අපි ඉන්න මැදිරියටමයි..”‍ නාමල් විස්තර කළේය.

අලු‍ත් ත්‍රස්ත පනත ගැන පෙරටුගාමීන්ගේ විවේචන

රජය අලු‍තෙන් සකස් කළ ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත‘ (PSTA) පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලයේදී දැඩි ලෙස කතාබහ විය.

”‍පී.ටී.ඒ. පනත අහෝසි කරන බව කීවාට, පීඑස්ටීඒ නමින් ආ අලු‍ත් පනතේ ඇතැම් ප්‍රතිපාදන මුල් පනතටත් වඩා මර්දනකාරීයි. මෙහි ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් කර ඇති බව කීවාට එහි අරමුණ ජනතාවට අයිතිවාසිකම් දීම නෙවෙයි..”‍ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කීය.

”‍ඉස්සර රජයට අභියෝගය තිබුණේ සන්නද්ධ ක්‍රියාකාරකම්වලින්. ඒත් අද තියෙන්නේ ජන අරගල සහ ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීත්වය.. පාලක පන්තියට ඕනෑ ජනතා ක්‍රියාකාරකම් ත්‍රස්තවාදය ලෙස ලේබල් කරලා මර්දනය කරන්න. ඒකටයි මේ අලු‍ත් මර්දන නීති ගෙනැල්ලා තියෙන්නේ..”‍ පක්ෂ නායක කුමාර් ගුණරත්නම් පැවසීය.

”‍මේක 2023 දී රනිල් වික්‍රමසිංහ ගෙනාපු අරගල විරෝධී පනතට සමානයි. එදා ජාතික ජන බලවේගය ඒකට එරෙහිව අධිකරණයටත් ගියා.. එදා විරුද්ධ වෙලා අද එයාලම ඒක ගෙනත් තියෙන එක ගැන ආණ්ඩුව පැහැදිලි කිරීමක් කළ යුතුයි..”‍ පුබුදු ජයගොඩ නැවතත් පැවසීය. ඕනෑම ජනතා ක්‍රියාකාරකමකට ත්‍රස්තවාදී ලේබලය අලවා මර්දනය කිරීමට රජයට මෙයින් අවස්ථාව ලැබෙන බව එහිදී ප්‍රකාශ විය.

ඥානසාර හිමියන්ගේ සිද්ධියෙන් කම්පිත වූ සරත් වීරසේකර සහ උලපනේ හිමි

ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් උසාවියට ඉදිරිපත් කරන රූපරාමු දැකීමෙන් කම්පාවට පත් හිටපු ඇමැති සරත් වීරසේකර උලපනේ සුමංගල හිමියන්ට ඇමතුමක් ගත්තේය. සුමංගල හිමියන් ද පැවසුවේ තමාද ඉන් මහත් කම්පනයට පත්ව සිටින බවයි.

”‍උසාවි තීන්දුවට අපි ගරු කරනවා. ඒත් හාමුදුරුවනේ, උපසම්පදා භික්ෂුවකගේ සිවුර ඉවත් කරන්න පුළුවන් විනය නීතියකින් විතරයි නේද?”‍ සරත් වීරසේකර ඇසීය.

”‍භික්ෂුවක් පාරාජිකා වුණොත් විතරයි සිවුර ගලවන්න පුළුවන්.. ඒ බලයත් තියෙන්නේ සංඝ සභාවට... මෙතන තියෙන්නේ වෙනත් ප්‍රශ්නයක්නේ..”‍ උලපනේ සුමංගල හිමියෝ පැවසූහ.

”‍බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම පාලකයන්ගේ වගකීමක්.. බන්ධනාගාර නීති එන්නේ ඊට පල්ලෙහායින්... අපි මේ අවනඩුව මහනායක හිමිවරුන්ට ගිහින් කියමු..”‍ සරත් වීරසේකර කීය. ඒ අනුව තවත් මහා සංඝරත්නය සමග සාකච්ඡා කර ලබන සතියේ මහනුවරට ගොස් මහනායක හිමිවරුන් බැහැදැකීමට තීරණය විය.

රනිල් සිංගප්පූරු යාමට පෙර හරිත පත්‍රිකාව ගැන කියයි

හෘද සැත්කමෙන් පසු පළමු වෛද්‍ය පරීක්ෂණය සඳහා අඟහරුවාදා අලු‍යම සිංගප්පූරුව බලා පිටත්ව යාමට පෙර රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීය. වසර 20ක ඉලක්කයක් සහිතව, ථේරවාදී සමාජ ප්‍රජාතන්ත්‍ර ආර්ථික ක්‍රමයක් යෝජනා කරමින් සකස් කළ ‘හරිත පත්‍රිකාව‘ ගැන ජනතාව දැනුවත් කිරීම පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

එම හරිත පත්‍රිකාව මේ වන විටත් සියලු‍ පක්ෂවලට යවා ඇති බවත්, බොහොමයක් ඊට ප්‍රතිචාර හා යෝජනා දක්වා ඇති බවත් සභාපති වජිර අබේවර්ධන පැවසීය.

”‍ඒක ප්‍රමාණවත් නැහැ.. අපේ අය කණ්ඩායම් ලෙස ගොස් එම පක්ෂ හමුවන්න. බහුජන සංවිධාන, ආගමික නායකයන්, පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්, ගමේ නායක හාමුදුරුවරුන් සහ නිකාය ලේඛකාධිකාරීන් වහන්සේලාටත් මෙය යොමු කරන්න..”‍ රනිල් උපදෙස් දුන්නේය.

ෂැංග්‍රිලා මංගල්‍යයේදී හමු වූ රනිල්, හකීම් සහ තිස්ස

සිංගප්පූරුවට පිටත්ව යාමට පෙර රනිල් වික්‍රමසිංහ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති ජපාන වාහන ආනයනකරුවකු වන මොහාන් දාස්ගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යයට සහභාගි විය. එහිදී එකම මේසයේ අසුන්ගෙන සිටි රනිල්, රවුෆ් හකීම්, තිස්ස අත්තනායක සහ ප්‍රකට සත්ව නිෂ්පාදක ව්‍යාපාරිකයකු අතර විශේෂ සාකච්ඡාවක් ඇති විය.

ඇමෙරිකානු බලපෑම මත ඉරාන නැව්වලට කෑම සහ වතුර දීම නතර කිරීම අමානුෂික බව තිස්ස අත්තනායක මහතා කී විට, රනිල් පැහැදිලි කළේ ආණ්ඩුව මෙම රාජ්‍යතාන්ත්‍රික කාරණයේදී වරද්දාගෙන ඇති බවයි. ”‍ඔය නැව්වලට කෑම වතුර විකුණන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. ආණ්ඩුව මැදිහත් නොවී ඒ අයට කරගන්න දුන්නා නම් ප්‍රශ්නයක් නෑ. නැත්නම් කොළඹ ආරක්ෂක සමුළුවේ සාමාජික රටවල් කැඳවා අහන්න තිබුණා. මෙහෙම හුදෙකලා ගමනක් යන්න බෑ..”‍ යයි රනිල් විස්තර කළේය. ඊට එකඟ වූ රවුෆ් හකීම්, ”‍හදවතක් තියෙන අයට මෙහෙම කෑම වතුර නොදී ඉන්න පුළුවන් ද?”‍ යැයි ආවේගයෙන් ඇසීය.

අනතුරුව රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ සිද්ධිය ගැන හකීම් විමසූ විට රනිල් පැවසුවේ, ”‍එක වාර්තාවකින් කියවෙන්නේ කැමරා ශිල්පියා දාලා ආරක්ෂකයාට පහර දුන්නේ මගේ අනෙක් ආරක්ෂකයන් ලවා ප්‍රතිප්‍රහාර එල්ල කරවාගෙන මගේ ආරක්ෂාව ඉවත් කරගැනීමේ සැලසුමකට අනුව කියලයි. ඒ ගැන පක්ෂයේ අවධානය යොමු වෙලා තියෙනවා..”‍ යනුවෙනි.

වෘත්තීය සමිති ව්‍යාපාරයේ මන්දගාමීත්වය ගැන හකීම් පුදුමය පළ කළ අතර, සත්ව නිෂ්පාදන ව්‍යාපාරිකයා තම නිෂ්පාදනවලට ආහාර සපයාගැනීමේ අපහසුව සහ චීනයට අපනයනය කිරීමේ සැලසුම්වලට ආණ්ඩුවේ අවධානය යොමු නොවීම ගැන මැසිවිලි නැගීය. ජපාන වාහන ආනයන ව්‍යාපාරිකයන් ද, ”‍අපි එන්.පී.පී. එකට උදව් කළාට දැන් අපිට යන එන මං නැතිවෙලා”‍ යැයි කී අතර රනිල් ඊට සිනහවෙන් පිළිතුරු දුන්නේය.

රනිල්ගේ හඬපටයෙන් වජිර කළ ප්‍රකාශය

රනිල් සිංගප්පූරුවට ගිය පසු දිනපතා දේශපාලන වාර්තාව හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් චින්තක කරුණාරත්න විසින් ලබා දුන් අතර, ඥානසාර හිමියන්ගේ සිද්ධිය ගැන පක්ෂ ස්ථාවරය පැහැදිලි කරමින් රනිල් සහ දිනිත් එවන ලද හඬපටයක් ඇසුරෙන් වජිර අබේවර්ධන මාධ්‍ය හමුවක් පැවැත්වීය.

”‍විනය පිටකයට අනුව සංඝයා වහන්සේගේ සිවුරු ගලවන්න පුළුවන් අදාළ නිකායට පමණයි. උන්වහන්සේ නැවත බන්ධනාගාරගත කළ අවස්ථාවේ අධිකරණ අමාත්‍යාංශය මහනායක හිමිවරුන්ගේ අදහස් ලබාගත යුතුව තිබුණා. මේ තීරණයෙන් බුද්ධාගමයි ආගමික නිදහසයි දෙකම අභියෝගයට ලක්වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 සහ 10 වගන්ති උල්ලංඝනය වෙලා. ආණ්ඩුවට මෙය පාර්ලිමේන්තුව සමග සාකච්ඡා කර විසඳීමට ඉඩ තිබුණා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනට පැමිණි පසු නීතිමය පසුබිම ද ඇතුළත්ව සවිස්තර ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වෙනවා..”‍ යි වජිර එහිදී ප්‍රකාශ කළේය.

ජී.එල්.ගේ නිවසේදී හමු වූ ඒකාබද්ධ විපක්ෂය

ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ හමුව මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේදී පැවැත්විණි. එහිදී ද ඉන්දියන් සාගරයේ ඇති ඉරාන නැව්වලට කෑම වතුර නොදීමේ රජයේ තීරණය විවේචනය විය. ”‍ජාත්‍යන්තර නීතියට පටහැනි මේ සම්බාධක ගැන රජයේ විදේශ ප්‍රතිපත්තියේ දුර්වලතාවක් පෙනෙනවා. බ්‍රික්ස් සංවිධානයට අපිට යන්න අවස්ථාව තිබුණා නම් අපි හඬ නගන්නේ තනි රටක් ලෙස නෙවෙයි..”‍ ජී.එල්. පැහැදිලි කළේය.

එමෙන්ම රන්මල් කොඩිතුවක්කුගේ සිද්ධියේදී පොලිස්පතිවරයාගේ නිර්දේශය ජාතික පොලිස් කොමිසම එකමතිකව ප්‍රතික්ෂේප කිරීමෙන් රජයේ පක්ෂපාතී දේශපාලන මුහුණුවර හෙළි වන බව ද එහිදී සාකච්ඡා විය.

සෞදියේ මරණ දඬුවමට ලක්වූ අනෝජන් සිවරාසා බේරාගැනීමට ගිය විපක්ෂයේ නායකයකු ප්‍රචාරය තකා සෞදි බන්ධනාගාර පාලකයාට සහ රැඳවියාට කතා කිරීමට යාමෙන් තත්ත්වය තවත් සංකීර්ණ වූ බවත්, එය රාජ්‍යතාන්ත්‍රික නොවන ක්‍රියාවක් බවත් විපක්ෂ නායකයෝ විවේචනය කළහ.

තවද, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාල ප්‍රධානී සහ සජිත් ප්‍රේමදාස අතර වූ විනාඩි 41ක සාකච්ඡාවේ හඬපටය සම්පූර්ණයෙන්ම මාධ්‍යයට නිකුත් කිරීම ගැන විදේශ පාර්ශ්වවලින් දැඩි අප්‍රසාදයක් පළව ඇති බවත්, රහස්‍යභාවය නොරැකීමෙන් රටට හානි සිදුවන බවත් එහිදී සාකච්ඡා විය.

මහාචාර්ය ජී.එල්. පීරිස් නීති අධ්‍යාපන භාරය ඇරඹෙයි

මහාචාර්ය ජී.එල්. පීරිස් තමන් රචනා කළ ග්‍රන්ථ 10ක කර්තෘ භාග මුදල් යොදවමින් නීති සිසුන්ගේ  පර්‌යේෂණවලට සහාය වීම සඳහා ”‍මහාචාර්ය ජී.එල්. පීරිස් නීති අධ්‍යාපන සහ පර්‌යේෂණ භාරය”‍ පිහිටුවීම කොළඹ විශ්වවිද්‍යාලයේ සෙනෙට් මන්දිරයේදී සිදුවිය.

එහිදී අදහස් දැක්වූ නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය සම්පත් පුංචිහේවා, මහාචාර්ය ජී.එල්. පීරිස් ඉටුකළ සේවය ඇගයීම පිණිස ”‍අපරාධ නීතිය සඳහා වූ මහාචාර්ය ජී.එල්. පීරිස් රන් පදක්කම”‍ පිහිටුවීමට නීති පීඨය තීරණය කළ බව නිවේදනය කළේය. මහාචාර්ය පීරිස්ගේ මුත්තණුවන් වන මුදලිඳු එඩ්මන්ඩ් පීරිස් නීති ප්‍රථම විභාගයේදී දක්ෂතම දස්කම් දක්වා දිනාගත් ත්‍යාගය, පසුව මුනුපුරා වන ජී.එල්. පීරිස් ද දිනාගෙන තිබූ බව මහාචාර්ය පුංචිහේවා සිහිපත් කර දුන්නේය.

රාජ දූත