
ශ්‍රී ලංකා පරිපාලන සේවයට අවතීර්ණ වී, ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේ (SLIDA) පුහුණුවන නිලධාරිනියක ලෙස වෘත්තීය ජීවිතයට ඇය එළැඹියේ 1994 වසරේ දීය. ඉනික්බිතිව විවිධ රාජ්‍ය ආයතනවලට සම්බන්ධව සහකාර අධ්‍යක්ෂිකා, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා, අධ්‍යක්ෂිකා, අධ්‍යක්ෂ ජනරාල්වරිය. අමාත්‍යාංශ ලේකම්, සභාපති ලෙස කටයුතු කරමින් 2023 දක්වා දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයට සම්බන්ධව කටයුතු කළ ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නියැලී සිටි ජ්‍යෙෂ්ඨ චරිතයක් වන්නීය. රාජ්‍ය සේවයේ අත්දැකීම් බහුල සහ වඩාත් ප්‍රායෝගික වූ චරිතයක් ලෙස ප්‍රකටව සිටින ඇය සුධර්මා කරුණාරත්නය. රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කර ඇත්තේ ද ඇයයි. කාන්තාවගේ නුවණ හැඳිමිටේ තරම් යැයි සමහරු අතර මතයක් ඇත්නම් එය සම්පූර්ණ බොරුවක් යැයි ප්‍රායෝගිකව ඔප්පු කළ ඇය කාන්තාවගේ නුවණින් රටට සමාජයට කළ හැකි දේ බොහෝ යැයි ක්‍රියාවෙන්ම පෙන්නුම් කළ තවත් කාන්තා චරිතයකි. විශ්‍රාමික සුපිරිතරු විශේෂාංගය මෙවර රසබර – හරබර කරන්නේ ඇයයි.
සම්පූර්ණ නම සඳහන් වෙන්නෙ?
වලවගේ සුධර්මා කරුණාරත්න.
ගම්පළාත?
අපේ තාත්තාගෙ ගම දකුණු පළාතේ මීටියාගොඩ. අම්මා ගාල්ලෙ. අපි දකුණෙ අය.
අම්මා - තාත්තා මොනවද කළේ?
තාත්තා විදුහල්පතිවරයෙක්. අම්මා රැකියාවක් කළේ නැහැ.
පවුලේ විස්තර එහෙම කොහොම ද?
පවුලේ සහෝදර – සහෝදරියන් හය දෙනයි. එයින් හතර දෙනෙක් සහෝදරයින්. ඊළඟට මමයි. නංගියි.
පාසල් ජීවිතය?
අපේ තාත්තා කාලයක් හිටියෙ අම්පාරේ. ඒ කාලයේ තමයි අම්පාරේ ජනපද ව්‍යාපෘතිය එහෙම පටන්ගෙන තිබුණෙ. එහිදී පාසල් තුනකට විතර යන්න සිද්ධ වුණා. තාත්තාගේ මාරුවීම් එක්ක. අන්තිමට අපි ගමට ආවා. ඇල්පිටියට. ඇල්පිටියෙ අමුගොඩ මහා විද්‍යාලයෙන් තමයි සා/ පෙළ සහ උසස් පෙළ කළේ.
කොහොමද පාසලේ කැපී පෙනුණ ශිෂ්‍යාවක් වුණා ද?
දක්ෂතම ශිෂ්‍යාවක් විදිහට පාසලේ නිතර නම කියැවුණා.
උසස් පෙළට හැදෑරුවෙ?
කලා විෂයන්.
කලා විෂයන් තෝරා ගත්තෙ?
මහා විද්‍යාලයක් වුණාට අපේ පාසලේ උසස් පෙළට තිබුණෙ කලා අංශය විතරයි. ඉතින් ආර්ට් කළා. එහෙම ලොකු අරමුණක් තිබුණෙ නැහැ. පාසලේ හොඳින් ඉගෙනගෙන හොඳ ප්‍රතිඵල ගන්න උනන්දු වුණා. උසස් පෙළ කරද්දි තමයි යුනිවර්සිටි යන්න ඕනෑය කියන අරමුණ ආවෙ. ඉස්සර ඉතින් සැහැල්ලු සරල ජීවිතනෙ අපි ගත කළේ.
කැම්පස් ගමන කොහොම ද?
මම තේරුණේ ජ’පුරට. භූගෝල විද්‍යාව ගෞරව උපාධිය කරලා. පළමු පෙළ සමාර්ථයක් ගත්තා.
වෘත්තීය ජීවිතයට එළැඹුණේ?
පරිපාලන සේවා විභාගය සමත් වෙලා පරිපාලන සේවයේ නිලධාරිනියක ලෙස රාජ්‍ය සේවයට පත්වුණේ 1984 දී.

පවුලේ සාමාජිකයන් සමග
මොන ආයතනයෙන් ද වෘත්තිය පටන් ගත්තෙ?
‘ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙ සහකාර කොමසාරිස්වරියක ලෙස.
මුලින්ම ලැබුණු වැටුප ගැන මතකය?
මූලික වැටුප ලෙස රුපියල් 1500 ක් වගේ මුදලක් ලැබුණෙ.
එයින් පසුව?
එතැන හිටියෙ අවුරුද්දක විතර කාලයක් විතරයි. එයින් පසුව විදේශගත වුණා.
විශේෂ හේතුවක් තිබුණ ද විදේශගත වෙන්න?
මගේ මහත්තයගෙ ආචාර්ය උපාධිය වෙනුවෙන් එයාට විදෙස් ගත වෙන්න සිදුවුණා. ඒ නිසා මාත් එයත් එක්ක එහේ ගියා.
ඉතින් ඒ විවාහය ගැන විස්තර කියමු?
රාජ්‍ය සේවයට එනකොට මම විවාහවෙලා හිටියෙ. අපි දැන හඳුනා ගත්තෙ යුනිවර්සිටි එකේදී. එයා සහකාර කථිකාචාර්ය ලෙස ඉඳලා පසුව කාලයක් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපකුලපති වෙලා හිටියා. මගේ මහත්තයගෙ නම ආචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න. අපි එංගලන්තයේ අවුරුදු දෙකක් හිටියා. ඉන්පසුව මෙහේ ඇවිත් මගේ වැඩ රාජකාරි යළිත් පටන් ගත්තා. දරුවෝ දෙන්නෙක් අපට ඉන්නවා. එක්කෙනෙක් උපන්නෙ එංගලන්තයේදී.
යළි ඇවිත් රාජ්‍ය සේවයේ කොතැනින් ද පටන් ගත්තේ.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ, සහකාර අධ්‍යක්ෂිකා ලෙස. පසුව එතැනම නියෝජ්‍ය අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කළා. කාන්තා සංවර්ධනය වෙනුවෙන් කටයුතු රැසක් කරන්න පුළුවන් වුණා.
එතැනදි ඔබගෙන් ඉටුවූ හොඳම රාජකාරිය ලෙස දකින්නෙ?
ග්‍රාමීය මට්ටමින් අපේ රටේ කාන්තාවන්ට නීතිමය කටයුතු ගැන දැනුම්වත් කරවීමට වැඩසටහන් හඳුන්වා දුන්නා. ඒ කාලයේ කාන්තාවන් වැඩ කටයුතු කළාට නීතිමය වශයෙන් හරි අවබෝධයක් ඔවුනට තිබුණෙ නැහැ. ඈත පළාත්වලට ගිහින්, ගම්වල තිබූ කාන්තා සමිති එහෙම දැනුම්වත් කරලා. කොළඹින් නීතිඥයන් සමග ගිහින් හොඳ වැඩ සටහනක් කළා. අද හැබැයි මාධ්‍ය හා තාක්ෂණය දියුණු වෙලා. ඒ නිසා අද කාන්තාවන්ට සමාජයීය දැනුම තියෙනවා.
ඉන්පසුව ඔබ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරිය ලෙස කටයුතු කළානෙ. ඔබ දකින විදිහට සේවාවක් ලෙස පවත්වාගෙන ගිය සමුපකාර සේවයට මොකද වුණේ?
මිශ්‍ර විවෘත ආර්ථිකයත් එක්ක යනකොට තරගකාරි ස්වරූපයක්නෙ තියෙන්නෙ. ඊට පෙර තරගකාරි වෙෙළඳෙපාළක් තිබුණෙ නැහැ. ඒ නිසා සමුපකාර සේවයට ලොකු තැනක් තිබුණෙ. එදා ගමට ගිය එකම ව්‍යාපාරය වගේම සේවය වුණා. ඒත් පසුව මේ තරගකාරි රටාව එක්ක තරග කරන්න බැරි වුණා. පසුව ටිකෙන් ටික එය දේශපාලනීකරණයත් වුණා. සමුපකාර සමිති හරහා තමයි දේශපාලනය ආවෙ. පසුව මෙය ගොඩනගන්න රටේ දේශපාලන නායකත්වයට වුවමනාවක් තිබුණෙත් නැහැ.
එතැන කළ සේවයෙන් පසුව?
ශිෂ්‍යත්වය ලැබිලා මම කැනඩාවට ගියා. මගේ මාස්ටර් උපාධිය කළේ කැනඩාවේ. කාල්ටන් විශ්වවිද්‍යාලයේ. අවුරුදු දෙකකට පසු යළි ඇවිත් වැවිලි කර්මාන්ත දෙපාර්තමේන්තුවෙ සේවයට එක්වුනේ අධ්‍යක්ෂවරියක ලෙස.

උපාධිය ලද දවසේ ඬ්
වැවිලි කර්මාන්ත අමාත්‍යංශයෙන් රටට සිදුවෙන්නෙ මොනවගේ සේවයක්ද?
රටේ ජීවනාලිය වගේනෙ. අපේ රටේ ආර්ථිකය හැදුණෙම තේ, රබර්, පොල් එක්කනෙ. පසුව එය වෙනස් වුනත් තිබුණෙ ඒ ස්වභාවය. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලෙස අවුරුදු එකහමාරක් විතර කටයුතු කළා. මුළු වැවිලි කර්මාන්තයේම වගාව ආශ්‍රිත මෙහෙයවීම් සිදු වෙන්නෙ අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ.
තේ, පොල්, රබර් හැර වෙන මොන වගාවකටද අවධානය යොමු වෙලා තිබුණෙ?
වැවිලි කර්මාන්ත යටතේ ප්‍රධානව තිබුණෙ තේ, පොල් රබර්වලට. ඒවා අපනයන භෝග ලෙස තිබුණෙ. අනෙක්වා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ තිබුණෙ.
අද වන විට තේ, පොල්, රබර් අතරින් පසු බැහැලා තියෙන්නෙ මොන වගාව ද?
රබර්. ස්වභාවික රබර්වලට තියෙන ඉල්ලුම අඩුවීම නිසා තමයි එහෙම වුණේ. ඒ වගේම රබර් කර්මාන්තයට ලෝකයේම ඇතිවුණේ පසුබෑමක්. ඒ අතරේ අපේ රටේ රබර් කර්මාන්තයේ ප්‍රශ්නත් ඇති වුණා. විශේෂයෙන්ම ‘“ශ්‍රමික” හීනතාව එක්ක. තරුණ පරම්පරාවේ අය ඒ කර්මාන්තයට නොඑන තරම්. එයාලා පොළඹවා ගන්න අමාරුයි. අදටත් තියෙන ප්‍රශ්නයක්. ‘තේ වලට ඉල්ලුම ඇතිවූ නිසා රබර් කර්මාන්තයේ හිටපු අය තේ, කුරුඳු වගේ කර්මාන්තවලට යන්න පටන් ගත්තා. ඉස්සර තිබුණු ස්වරූපය අද රබර් කර්මාන්තයේ නැහැ.
ඔබ මහත්තය එක්ක එයාගෙ පශ්චාත් උපාධිය කරද්දි එංගලන්තයට ගියානෙ. ඉන්පසුව ඔබගෙ ශාස්ත්‍රපති උපාධිය කරන්න කැනඩාවට ගියානෙ? ඒ වගේ රටක පදිංචි වුණා නම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න තිබුණ නෙ? ඇයි එහෙම නොකළේ?
ස්ථිර පදිංචිය වෙලා ඉන්න හොඳටම අවස්ථා තිබුණා. ඒත් මහත්තයයි මමයි ඒකට එච්චර කැමති වුණේ නැහැ. අපි ගම්වල ජීවත්වන අය. නිදහස් අධ්‍යාපනය ලැබූ අය. ඒ නිසා අපට ඒ රටවල් දැනුණෙ ආගන්තුක විදිහටයි. ලංකාවට ඇවිල්ලා අපේ රටට සේවය ලබා දෙන්න ඕනෑකම – උනන්දුව තිබුණා. ඒ නිසා පිටරට පදිංචි වුණේ නැහැ.
දුව සහ පුතා පදිංචියත් මෙහේ ද?
දෙන්නම මෙහෙ ඉගෙන ගත්තෙ. මාස්ටර් එක කරන්න විතරයි. එයාලා පිටරට ගියේ. පසුව පුතා කැනඩාවේ සේවය කරලා මෙහේ ආවා. ඊට පස්සෙ ආයෙත් ටික කාලයකින් එයා කැනඩාවේ පදිංචියට ගියා. දුව ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක්. ඒ අතරේ උපදේශන අංශයට වැඩිපුර කැමැත්තක් දක්වන නිසා දැන් එම අංශයේ කෝච් (Coach) කෙනෙක් විදිහට කටයුතු කරනවා.
ඔබ හිතන විදිහට ඔබගෙ සේවා කාලයේදී ජීවිතයේ ටර්නින් පොයින්ට් එක ඇති වුණේ කොතැන ද?
මුදල් අමාත්‍යාංශයේ සේවය කරද්දී අධ්‍යක්ෂවරියක සහ එම දෙපාර්තමේන්තුවෙම අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වුණා. උපාධිධාරින් බඳවාගැනීමේ වැඩසටහන දියත් කිරීමට නායකත්වය දුන්නෙ මම. ඒ නිසා 47000 ක් උපාධිධාරින් වේගවත් කඩිනම් වැඩසටහනක් ලෙස රැකියා අවස්ථා ලබාදෙන්න පුළුවන්වීම මම ලැබුව ලොකු සතුටක්. එවකට පැවැති රජයේ තීන්දුවක්. දහදාහක් ගන්න මූලික පියවර තිබුණෙ. පසුව අපට එය නොනවත්වා 47000 ක් දක්වා කරගෙන යන්න සිදුවුණා. දෙපාර්තමේන්තු ප්‍රධානියකු ලෙස කටයුතු කර ඊට පස්සෙ මම ගියේ අය – වැය දෙපාර්තමේන්තුවට. අභියෝගවලට මුහුණ දීලා වැඩ කළ නිසා ජාතික අය වැය දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කළා. එතැන හොඳින් කටයුතු කළ නිසා තමයි රේගු දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස මාව පත් කළේ. වසර 205 ක් පැරැණි රේගු දෙපාර්තමේන්තුවේ පළමු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කාන්තාවක් පත් වූ පළමු අවස්ථාව එයයි. ඒක ඇත්තටම අභියෝගාත්මක තනතුරක්.
රේගු ආයතනයට යන කොට මොනවගේ තැනකද රේගුව තිබුණෙ? කොහොම ද ආ අභියෝග බාර ගත්තෙ?
ඒ තනතුර බාරගන්නකොට කාන්තාවකට මේ තනතුර කළ හැකිද කියලා මට ලොකු බියක් තිබුණෙ. ඒත් එය කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය මට තිබුණා. භාණ්ඩාගාරයේ සහෝදර නිලධාරින් මාව උනන්දු කළේ ඒ තනතුර බාරගන්න කියලයි. මට තිබුණු ලොකුම අභියෝගය වුණේ ආදායම ඉහළ නංවන්නෙ කොහොමද කියලයි.
ඒ තනතුර ලැබුණෙ නියමිත ක්‍රියාපටිපාටිය අනුව ද? නැත්නම් දේශපාලන උදවු ඇතිව ද?
අනේ අපොයි, මම කවදාවත් දේශපාලන උදවු ගත්තෙ නැහැ. වැඩ කිරීම වෙතිත් තමයි තනතුරුවලට උසස් වුණේ. එහෙම නැතුව කිසිම දේශපාලන පක්ෂයක උදවු ඇතිව නෙවෙයි.

කලකට පෙරදී සිය පවුල
රේගුවේ මුල් පුටුවට කාන්තාවක් ආවාම, ඒ අය ඔබව පිළිගත්තෙ කොහොම ද?
සමහර අය විරුද්ධ වුණා. තනතුර බාර ගන්න තිබූ දවසේ කට්ටියක් පිකටින් එකකුත් කරන්න සූදානම් වෙලා හිටියෙ. ඒත් මම ඒවා ගණන් ගත්තෙ නැහැ. ගිහින් තනතුර බාර ගන්නවාය කියලා හිතුවා. බොහෝ තැන්වල විරුද්ධවාදින් ඉන්නවනෙ. ඒ ගැන නොහිතා මා ගැන දැන සිටි රාජ්‍ය නිලධාරින් එක්ක අලුත් ගමන පටන් ගත්තා. පසුව විරුද්ධ වූ අය නැති තරමට හැමෝට උදවු කරන්න පටන් ගත්තාම තනතුර මට අභියෝගයක් වුණේ නැහැ. හැබැයි කිසි විටෙකත් පක්ෂපාති වුණේ නැහැ. අපි අවංකව හරි දැක්මක් ඇතිව කටයුතු කළොත් අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන්. එවිට ස්වභාවධර්මයේ ශක්තියත් අපට ලැබෙන බව මම විශ්වාස කරනවා.
රේගුවේ ආදායම් වැඩි කිරීම ඔබගෙ ප්‍රධාන ඉලක්කය වුණාය කිව්වනේ. ඒ වෙනුවෙන් මොනවද කළේ?
‘ණය එකතු කරගන්න එපායැ. ‘ණය ළඟට ගෙනැල්ලා දෙන්නෙ නැහැ. ඒවා ආපහු ගන්න පිළිවෙළක් හැදුවා. ඒක හරි ගියා. මම කළේ ‘සිස්ටම් ඩිවලොප්මන්ට් කළ එකයි. එහෙම නැතුව කෝට්ටක් අරගෙන කවුරුවත් මට්ටු කරන්න ගියේ නැහැ.
රේගුව දූෂිත තැනක් ද?
ඉතාමත්ම හොඳ නිලධාරින් කොටසක් මට එතැනදි හමු වුණා. ඒ අය එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ නිසා ඒ ආයතනය ගොඩනගන්න පහසු වුණා.
රේගුව කොච්චර හොඳ වුණත් රට ඇතුළට නීති විරෝධීව බඩු භාණ්ඩ එන්නෙ කොහොම ද?
ඒක වළක්වන්න හරි අමාරුයි. රට වටේ මුහුද වටේ වැටක් බඳින්න බැහැනෙ. ගොඩබිම අහස මුහුද ඔක්කෝම රේගුවට අයත් වුණාට, ලොකු සිදුරු වහන්න අපට බැහැනෙ. නමුත් පුළුවන් තරමින් ඒ සිදුරු වහගෙන යද්දී ආදායම වැඩි වෙනවා. අපි සිස්ටම් ඩිවලොප්මන්ට් එක සහ නිලධාරින් නීතිගරුකව ක්‍රියාකිරීම තමයි ඉතාම වැදගත් කරුණ වෙන්නෙ. රේගුවෙ ලාංඡනයේ තියෙන්නෙ ‘“ඇසක්”. ඒ ඇස විචක්ෂණශීලීව – තියුණු විදිහට බලලා සිස්ටම් හැදුවාම රට ඇතුළට අනවශ්‍ය දේ එන එක අවම වේවි. ඒ වෙනුවෙන් අවංක නිලධාරින් හොඳ නායකත්වය – සිස්ටම් එක ඒකාබද්ධ වෙන්න ඕනෑ.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ භූමිකාවෙන් පසුව ඔබ කොහෙට ද ගියේ?
අමාත්‍යාංශ ලේකම් තනතුරට පත්වූයේ ඉන් පසුවයි. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ.
එතැනදි ඔබ කළ ලොකුම වැඩේ මොකක් ද?
තෙත් කලාපයට සීමාවෙලා තිබුණු ‘රබර් වගාව වියළි කලාපයටත් රැගෙන යාම අම්පාර දිස්ත්‍රික්කයට අපි හඳුන්වලා දුන්නා. ඒක හරිම සාර්ථක වුණා. ඒ විතරක් නෙවෙයි. වව්නියාවටත් රබර් වගාව අපි අරගෙන ගියා. මොනරාගලත් රබර් කැලයක් බවට පත් කළා. ඒ වගේ ගහකොළ පරිසරයට කොච්චර හොඳද?
රබර් වගාවෙන් රටට සෙතක් වෙනව ද?
කෘත්‍රිම රබර් නිසා තරගය අඩු වුණාට, ස්වභාවික රබර්වලට තියෙන වටිනාකම ඉහළයි. ස්වභාවික රබර් නැතුව කර්මාන්තය පවත්වාගෙන යන්නත් බැහැනෙ. ‘ටයර් - ටියුබ් හදන්නෙ ස්වභාවික රබර්වලින්. ඔටෝ මොබයිල් ඉන්ඩස්ට්‍රි එක පවතින තාක්, රබර් කර්මාන්තයත් පවතීවි. ඒ හැරත් දේශගුණය වෙනස් කරවීමට වනාන්තර උපකාරි වෙනවා. වියළි කලාපවලට රබර් වගාව ගෙන යාමට අපට හැකිවීම පාරිසරිකව අප ලැබූ ජයක්.

විශේෂ දේශණයකදී
වතාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙසත් කටයුතු කළානෙ. කොහොමද එතැන වැඩ කිරීම පහසුවක් වුණා ද?
කස්ටම් එකට ගියා වගේ එතැනත් අභියෝගාත්මක තැනක්. ඒත් ලැබූ පළපුරුද්ද එක්ක මම ඒ වැඩ කළමනාකරණය කර ගත්තා. 2015 දි ආණ්ඩු මාරු වුණාම මාව වෙන අමාත්‍යාංශයකට පත් කළා.
සෞඛ්‍ය සේවයේ පසුගිය කාලයේ ප්‍රශ්න ඇති වුණානෙ, බාල ඖෂධ ගෙන්වීමේ සිට. ඒ වගේ දේ වෙන්න ඇත්තෙ ඇයි කියලද ඔබ හිතන්නෙ?
එහෙම වෙන්න හේතුව ප්‍රසම්පාදන කටයුතු නිසියාකාරයෙන් සිදු නොවුණාමයි. අදාළ නිලධාරින් වගේම වගකිව යුතු අය ඒවාට වග කියන්න වෙනවා. ඊට අමතරව සැපයුම්කරුවන් වගකිව යුතු වෙනවා.
ඇයි පෞද්ගලික අංශයට ඖෂධ ආනයනය කරන්න ඉඩ දෙන්නෙ?
ඒවා ඉතින් අද ඊයේ ආ ක්‍රමවේදයක් නෙවෙයි. තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාමාර්ගයෙන් තමයි සැපයුම්කරුවන් තෝරාගන්නෙ. ඒ ඒ ඖෂධ ගෙන්වීම අනුව සැපයුම්කරුවන් වෙනස් වෙනවා.
අපට කොහෙන් ගෙනාවත් බාල ඖෂධ විතරද එන්නෙ?
ඒක සත්‍යයක් නෙවෙයි. ඒක කොහෙත්ම පිළිගන්න බැහැ. සමහර අවස්ථාවලදි එහෙම වෙන්න ඇති. ඒකට හේතුව ක්‍රමවේදයන්ගෙ තිබුණු අඩුපාඩු සහ නිලධාරින්ගෙ පැවති දුර්වලකම්.
ඔබගේ සේවා කාලයේදි හොඳට වැඩ කරන්න ලැබුණෙ සහ යමක් කරන්න ලැබුණේ මොන අමාත්‍යාංශයේ සිටියදී ද?
වැඩිපුර කාලයක් වැඩ කරන්න ලැබුණෙ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ. අනෙක් අමාත්‍යාංශවලදි බොහොම කෙටි කාලයක් විතරයි සේවය කළේ. පෙට්‍රෝලියම් මිනිස්ට්‍රි එකෙත් වැඩිපුර කාලයක් හිටියා. විශ්‍රාම යන තෙක්ම වැඩ කළේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ. වැවිලි කර්මාන්ත, රේගු සහ ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශවල කළ සේවය ගැන ඒ නිසා මට තියෙන්නෙ තෘප්තිමත් බවක්. ඒ හැර අයවැය දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් සෑම තැනකම කළ සේවය ගැන මම තෘප්තිමත්. ඒ මොහොතේ කළ යුතු දේ හරියට නිවැරදිව කළොත්, ඒ තෘප්තිය ලබන්න පුළුවන්.
විශ්‍රාම ගිහින්?
විශ්‍රාම ගියත්, මගේ සේවය නතර වුණේ නැහැ. නැවත ‘NIBM’ එකට පත් කළා. එහි සභාපති ලෙස අවුරුද්දක් විතර වැඩ කළා. අලුත් දේ හඳුන්වා දෙමින් එතැන සාර්ථක කරන්න පුළුවන් වුණා. පසුව වැටුප් සමාලෝචන කමිටුවට මාව පත් කළා. එවකට තිබුණ වැටුප් ප්‍රශ්න විසඳන්න තමයි අපට තිබුණෙ. ඊටත් පස්සෙ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකාවක විදිහට වැඩ කළා. එතැනින් පසුව, ප්‍රසම්පාදන අභියාචනා කමිටුවට පත් කළා. එතැන අවුරුදු දෙකකට පසුව පාර්ලිමේන්තුවෙ ව්‍යවස්ථාදායක සභාවට මාව ඇතුළත් කළා, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපතිනිය විදිහට.

මව්පියන් සමග
ඒ විදිහට අඬගගහා තනතුරු දෙන්නට තරම් ඔබ සතු විශේෂත්වය වුණේ?
දක්ෂතාව, කැප වී වැඩ කිරීම, ප්‍රතිඵල පෙන්වීම. එහෙම නැතුව තනතුර ගැන හිතමින් පුටුවේ වාඩිවෙලා හිටියට විතරක් මදි. අපි අපට පුළුවන් උපරිමයෙන් පැවරුණ රාජකාරිය ඉටු කරන්න ඕනෑ. ඒක රාජ්‍ය වේවා, පෞද්ගලික වේවා, ඕනෑම අංශයකට පොදුයි. අනෙක එක් රාමුවකට හිරවෙලා වැඩ කළ යුතු නැහැ. අවුට් ඔෆ් ද බොක්ස් හිතලා වැඩ කළොත් වඩා හොඳයි.
සම්ප්‍රදායෙන් පිට ගිහින්, අවුට් ඔෆ් ද බොක්ස් හෙවත් අලුත් විදිහට හිතලා වැඩ කරන්න අනෙක් අයගෙන් ඔබට සහාය ලැබුණෙ කොහොම ද?
සෑම දේශපාලන ආණ්ඩු එක්ක වැඩ කළා. ඒත් මට බලපෑම් ආවෙ නැහැ. වැඩ කරලා පෙන්වන නිලධාරින්ට ඕනෑම රජයක් කැමතියි. අවංකව වැඩ කරද්දි බාධා ඒම අඩුයි. පොඩි පොඩි ප්‍රශ්න ඉඳහිටලා ඇතිවුණත්, සමස්තයක් විදිහට මට ප්‍රශ්න ආවෙ නැහැ. හැමෝගෙම සහයෝගය ලැබීම මගේ සාර්ථකත්වයට හේතුවක්. වැඩ කරද්දි විශ්වාසය ඇතිවෙන්නෙ අපි අවංකව හරියට වැඩ කළාමයි. එතකොට හැදෙන්නෙ හොඳ නමක්. දේශපාලනය පස්සෙ ගියේ නැහැ. අපි මේ රටට වැඩ කළාය කියන සතුට මට තියෙනවා.
මේ සමාජයේ පුරුෂාධිපත්‍ය නිසා කාන්තාවට යා හැකි දුර සීමා වෙනව ද?
ඒක මම පිළිගන්නෙ නැහැ. මේ රටේ ජනපති - අගමැති වූ කාන්තා චරිත සිටිනවනෙ. කාන්තාවක් කියලා මම ඒ ස්වභාවය දැක්කෙ නැහැ. ඊට හොඳම උදාහරණය රේගු දෙපාර්තමේන්තුව. එතැන සියයට පනහක්වත් කාන්තා සේවකයන් නැති තරම්. පිරිමි අය දෙදහසක් විතර සිටින ඒ ආයතනයේ ඒ පිරිමි පාර්ශ්වය මට ලබා දුන්නෙ ලොකු සහයෝගයක්. සමහර මීටින්වල එකම කාන්තාව වුණේ මම. නමුත් අපේ පෞරුෂය ගොඩනැගෙන්නෙ දැක්මක් තිබුණාමයි. ඒ නිසා මට චකිතයක් ඇතිවුණේ නැහැ.
එච්චර කාර්යබහුල වෙච්ච ඔබට බිරිඳක – මවක – ගෘහණියක විදිහට සාර්ථක වෙන්න පුළුවන් වුණා ද?
අනිවාර්යයෙන්ම ඔව්. මගේ මහත්තයා මට දුන්නෙ පුදුම සහයෝගයක්. මගේ ළමයි දෙන්නත් කවදාවත් මට බාධා කළේ නැහැ. එයාලා පාසල් අධ්‍යාපනයේ සිට ටියුෂන් පවා නොගිහින් ගෙදර ඉඳලා හරියට වැඩ ටික කළා. එයාලගෙත් මට සහයෝගය ලැබුණා. මාත් මගේ උපරිමය එයාලට කළා. එයාලට අවශ්‍ය වුණෙත් මගේ රාජකාරිය හොඳට කරනවා දැකීමයි.
ඔබ ලැබූ අත්දැකීම්වලට අනුව, දැක්ම අනුව, අපේ රටේ අනාගතය කොහොම වේවි ද? මේ රට මොන වගේ තැනකට පත්වේවි ද? මේ යන ස්වභාවය අනුව?
පවතින තත්වය ගැන මට ප්‍රකාශ කරන්න බැහැ. ඒත් මම දකින විදිහට මේ රට හදන්න බැරි රටක් නෙවෙයි. හදන්න පුළුවන් රටක්. ඒකට බාධාව වෙලා තියෙන්නෙ බෙදීම්. සමාජයක් විදිහට – රටක් විදිහට බෙදීම් නැතිව, එකමුතු වුණොත් මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. රටක්. එච්චර පහළ තැනක ඉඳලා සිංගප්පූරුවට පුළුවන් වුණා නම්, ඇයි අපට බැරි? බංග්ලාදේශය පවා ඉස්සරහට ගියානෙ. ඉතින් ප්‍රතිපත්තියක් අපට තිබුණොත්, එකමුතුකමක් තිබුණොත් බෙදීම් නැතුව – එකරාශි වුණොත්, එක් ප්‍රතිපත්තියක් යටතේ මේ ගමන ගියොත් මේක මහ දෙයක් නෙවෙයි.
සාකච්ඡා සටහන
සඳුන් ගමගේ
ඔබත් රාජ්‍ය සේවයේ යෙදී සිටි මෙවැනි අවංක අත්දැකීම් ඇති නිලධාරී මට්ටමේ, පරිපාලන අංශයේ චරිතයක් නම් මෙවැනි අත්දැකීම් ඔබට ඇත්නම් ඉරිදා ලංකාදීප අපට කතා කරන්න. එවැනි විශ්‍රාමික සුපිරි තරු ගැන විස්තර දන්වන්න.
0112479261
[email protected]
අපගේ ඊමේල් ලිපිනයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd