ශ්‍රී ලංකාවේ උද්භිද සහ පාරිසරික විද්‍යා ක්ෂේත්‍රයේ ඉතා වැදගත් සොයා ගැනීමක් මෑතකදී සිදුවුණා. ඒ, සුවිශේෂී ස්ථානීය ආවේණිකත්වයක් සහිත නව කූඩලු‍ (Impatiens ) ශාක විශේෂයක් ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට සොයා වාර්තා කර ගැනීමට විද්වතුන් පිරිසක් සමත්ව තිබීමයි.

සොබා දහමේ මෙම අපූර්ව නිර්මාණය සොයා ගැනීම සිදුවූයේ ද වෙනත් බොහෝ විද්‍යාත්මක පරීක්ෂණවලදී සිදුවූවාක් මෙන් අහඹු නිරීක්ෂණයක් ඔස්සේ පර්‌යේෂකයන් සතු නොසංසික්‍ෂෙන කුතුහලය හේතුවෙන් කළ දීර්ඝ සොයායාමක ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම නව ශාක විශේෂය සොයා ගැනීමට පර්‌යේෂකයන් සමත්වූයේ සබරගමුව පළාතේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, කිතුල්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවට අයත් සුන්දර මෙන්ම සුප්‍රකට මන්නකැති ඇල්ල පරිසර පද්ධතිය ආශ්‍රිතවය.

වෘත්තියෙන් නීතිඥවරියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පාරිසරික නීතිය පිළිබඳ පශ්චාත් උපාධි අපේක්ෂිකාවක් වන සලනි ගුණරත්න මෙනවිය කිතුල්ගල, මන්නකැති ඇල්ල ආශ්‍රිතව සිදුකළ සංචාරයකදී ලබාගත් ඡායාරූප කිහිපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවට ආවේණික මෙම නව ශාක විශේෂය විද්‍යාත්මකව ලොවට හඳුන්වා දීමට අවස්ථාව උදා වී තිබුණා.

මෙහිදී වැදගත් ලෙස ඉස්මතු කර ඇති ‘ස්ථානීය ආවේණිකත්වය‘ යනු ශාකයක් එයටම සුවිශේෂී වූ නිශ්චිත පරිසරයකට පමණක් සීමා වී තිබීමයි. උදාහරණයක් ලෙස, ”‍කිතුල්ගල කූඩලු‍”‍ ශාකය වැවෙන්නේ කිතුල්ගල මන්නකැති ඇල්ල අසල නිශ්චිත ගල්පර කිහිපයක පමණි. එම පරිසරය මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වුවහොත් මුළු ලෝකයෙන්ම එම ශාකය සදහටම වඳවී යයි. මෙහි ඇති බරපතළකම සහ විශේෂත්වය එයයි.

සලනි ගුණරත්න මෙනවිය සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබූ ඡායාරූප අතර වූ මෙම නව ශාක විශේෂයේ පින්තූර, ශාක විශේෂ පිළිබඳ අධ්‍යයනයෙහි නිරත වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු සහ පරිසර ගවේෂකයකු වන පේශල කරුණාරත්නගේ නෙත ගැටී ඇත. ඔහු මෙම ඡායාරූපවල දිස්වූ ශාකය රූප විද්‍යාත්මකව Impatiens janthina  ශාක විශේෂයට සමාන වුවද, මල්වල පැහැදිලි වෙනස්කම් ඇති බව වටහාගෙන තිබුණා.

පසුව ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ Impatiens  ගණයට අයත් ශාක විශේෂ පිළිබඳ පර්‌යේෂණ සිදුකරන පර්‌යේෂකයකු සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි අපේක්ෂකයකු වන භාතිය ගොපල්ලව වෙත එය ඉදිරිපත් කර තිබුණා. එහිදී ඔහුද සලනි ගුණරත්න මෙනවියගේ ඡායාරූපවල තිබූ කූඩලු‍ ශාකයේ වෙනස්කම් හඳුනාගෙන, පසුව එම ශාකය පැවති ස්ථානයටම ගොස් පරීක්ෂා කර මෙතෙක් විද්‍යාත්මකව ලොවට හඳුන්වා දී නොමැති නව ශාක විශේෂයක් බව තහවුරු කර ගැනීමට සමත් වී තිබුණා.

පොදුවේ මෙම ශාක ගණය හැඳින්වීම සඳහා කූඩලු‍ (Impatiens ) යන නාමය භාවිත වන අතර, මෙලෙස සොයා ගත් නව ශාක විශේෂය සිංහල භාෂාවෙන් “කිතුල්ගල කූඩලු‍” සහ ඉංග්‍රීසියෙන් “Kithulgala Balsam” ලෙස නම් කිරීමට පර්‌යේෂකයන් යෝජනා කළහ. මෙරට උද්භිද විද්‍යා පර්‌යේෂණ කටයුතු සඳහා විශාල මෙහෙවරක් කරන වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ මහාචාර්ය කපිල යකන්දාවල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය දීප්ති යකන්දාවල යන විද්වතුන් ද්විත්වයට ගෞරවයක් ලෙස, Impatiens yakandawalarum  යන විද්‍යාත්මක නාමය මෙම ශාකයට ලබාදීමට කටයුතු කළේය.

මෙම ශාකය නව විශේෂයක් ලෙස තහවුරු කිරීමෙන් පසු භාතිය ගොපල්ලව, පේශල කරුණාරත්න, චතුර ජයතිස්ස, සලනි ගුණරත්න සහ සඳලි හපුආරච්චි යන පර්‌යේෂක කණ්ඩායම විසින් දත්ත රැස් කර සකස් කළ පර්‌යේෂණ  පත්‍රිකාව 2026 සැප්තැම්බර් 30 වැනි දින ජාත්‍යන්තර මට්ටමේ විද්‍යාත්මක සඟරාවක් වන Ceylon Journal of Science  හරහා ලොවට ප්‍රකාශයට පත් කරන ලදී.

පර්‌යේෂක භාතිය ගොපල්ලව අප හා කළ සාකච්ඡාවකදී සඳහන් කළේ මෙම ශාකය සමඟ තවත් ශාක විශේෂ දෙකක්ද හඳුනාගත් බවයි. ඒ කූඩලු‍ විශේෂ දෙක පිළිබඳ පර්‌යේෂණ පත්‍රිකා දැනට අනුමැතිය සඳහා අන්තර්ජාතික ජර්නලයක් වෙත යවා ඇති අතර, ඉන් ඉදිරිපත් වන තහවුරු කිරීම් අනුව මෙම විශේෂ දෙකද ඉදිරියේදී කූඩලු‍ ශාක විශේෂ අතරට අලු‍තෙන් එක් වීමට නියමිතය.

මීට පෙර අලු‍තෙන් සොයාගත් ආවේණික විශේෂ අතරට නකල්ස් රක්ෂිතයෙන් සොයාගත් නකල්ස් කූඩලු‍ (Impatiens jacobdevlasii), 2026 වසරේ මැද භාගයේදී ශ්‍රී පාද අභයභූමිය ආශ්‍රිතව සොයාගත් Impatiens lancifolia  මෙන්ම, වසර 100 කට අධික කාලයක් තිස්සේ වඳවී ගොස් ඇතැයි සැකකර මෑතකදී කඳුකර වනාන්තරයකින් නැවත සොයාගත් Impatiens subcordata ඒ විශේෂද මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුය.

”‍කිතුල්ගල කූඩලු‍”‍ ශාකය වැවෙන්නේ කිතුල්ගල මන්නකැති ඇල්ල අසල නිශ්චිත ගල්පර කිහිපයක පමණි. එම පරිසරය මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වුවහොත් මුළු ලෝකයෙන්ම එම ශාකය සදහටම වඳවී යයි. මෙහි ඇති බරපතළකම සහ විශේෂත්වය එයයි.

කූඩලු‍ ශාක විශේෂ 1,200 කට අධික සංඛ්‍යාවක් ලෝකයෙන් වාර්තා වී ඇති අතර, ඉන් විශේෂ 27 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබිණි. මෙම නව සොයාගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන දේශීය කූඩලු‍ ශාක විශේෂ සංඛ්‍යාව 28 ක් දක්වාද, ආවේණික විශේෂ සංඛ්‍යාව 19 ක් දක්වාද ඉහළ යයි.

සිංහලෙන් “කූඩලු‍ මල්” හෝ “දිය කූඩලු‍” ලෙසද, ඉංග්‍රීසියෙන් “Balsam ”හෝ “Touch-Me-Not” ලෙසද හැඳින්වෙන මෙම ශාක ලොව පුරා විසිතුරු මල් ලෙස මෙන්ම ඖෂධීය වටිනාකමකින් යුක්තය. බොහෝ දේශීය කූඩලු‍ විශේෂ තෙත් කලාපීය වනාන්තර, දිය ඇලි සහ ගංගා ආශ්‍රිත තෙත් ගල්පර මත සීමිතව වැවෙන බැවින් ඒවා දැඩි වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. අපස්මාරය, ශරීරගත විෂ නැසීම, සන්ධිගත ආබාධ, වාත රෝග සඳහා මෙන්ම කෘමීන් මර්දනයට සහ ගවයන්ගේ කුර රෝග සඳහාද දේශීය වෛද්‍ය විද්‍යාවේදී මෙය යොදා ගනී.

ශ්‍රී ලංකාවේ දැකිය හැකි ප්‍රධාන කූඩලු‍ විශේෂ අතර ගල් දෙමට (Impatiens repens), බඩරත් කූඩලු‍ (Impatiens balsamina) සහ හීන් කූඩලු‍ (Impatiens oppositifolia) කැපී පෙනේ. නිව්ගිනියා සහ වොලරියානා (Impatiens walleriana / hawkeri) යනු වර්තමානයේ ගෙවතු අලංකරණය සඳහා තවාන් මඟින් බහුලව අලෙවි වන විදේශීය කූඩලු‍ විශේෂ වේ. විද්වතුන්ට අනුව කූඩලු‍ යනු අප රට සතු අතිශයින් වටිනා, අනිවාර්යයෙන්ම රැකගත යුතු ජෛව විවිධත්ව උරුමයකි.

සුගත්ප්‍රිය කුලතුංග ආරච්චි
විශේෂ ස්තූතිය:
භාතිය ගොපල්ලව (පේරාදෙණිය විශ්වවිද්‍යාලය)
පේශල කරුණාරත්න (වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය)