වයසට යාම යනු ජීවිතයෙන් ඈත් කළ හැකි දෙයක් නොවේ. අප සියලු‍ දෙනාම කෙදිනක හෝ ළඟා වන ඒ වයස් සීමාව, ජීවිතයේ තවත් එක් සුන්දර පරිච්ඡේදයකි. එහෙත් එම පරිච්ඡේදය සුවයෙන්, සතුටින් සහ අභිමානයෙන් ගත කිරීමට නම් ශරීරයේ වෙනස්කම් හඳුනාගෙන, සෞඛ්‍යය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කරගැනීම අත්‍යවශ්‍ය වේ.

වැඩිහිටියකුගේ ශරීරය තරුණ වියේදී මෙන් නොවන අතර, ඇතැම් රෝග නිහඬව පැමිණෙන අතර සමහර වෙනස්කම් වයසට යාමේ සාමාන්‍ය ලක්ෂණ ලෙස නොසලකා හැරෙයි. එවැනි නොසලකා හැරීම් ජීවිතයේ ඉදිරි ගමනට විශාල බලපෑමක් ඇති කළ හැකි බැවින්, වැඩිහිටි වියට සෞඛ්‍යමය වශයෙන් සූදානම් වීම ඔවුන්ට පමණක් නොව ඔවුන් වටා සිටින ආදරණීයයන්ටද වැදගත් වේ.

මේ අවශ්‍යතාව හඳුනාගනිමින්, වෘද්ධ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිතිර සෙනෙවිරත්න විසින් රචිත වැඩිහිටි ඔබට වෛද්‍ය උපදෙස්’ ග්‍රන්ථය, වැඩිහිටි වියේ සෞඛ්‍යය පිළිබඳ දැනුම සරලව හා ප්‍රායෝගිකව සමීප කරවන කෘතියකි.

“මම වෘද්ධ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. ලංකාවේ මේ විෂය සම්බන්ධයෙන් මුලින්ම කටයුතු ආරම්භ කළේත් මමයි. වෛද්‍යවරයෙක් විදියට මේ ක්ෂේත්‍රයේ වැඩ කරගෙන යද්දී වැඩිහිටි සෞඛ්‍යය ගැන අපේ වැඩිහිටි ජනතාව අතර තියෙන අවබෝධය තවමත් ප්‍රමාණවත් නැහැ කියන එක මට පැහැදිලිවම තේරුණා. විශේෂයෙන්ම වැඩිහිටි වයසේදී ඇතිවන රෝග, ඒවා හඳුනාගන්නා ආකාරය සහ රෝගවලින් වැළකීමට කළ යුතු දේවල් වැනි කරුණු ගැන දැනුවත්භාවය අඩුයි. ඒ අතරේ ලංකාවේ වැඩිහිටි ජනගහනයත් ක්‍රමයෙන් වැඩි වෙමින් තිබෙනවා. ඒ නිසා වැඩිහිටි සෞඛ්‍යය ගැන සමාජය දැනුවත් කිරීම මේ වෙලාවේ ඉතාමත් කාලෝචිත දෙයක් කියලා මට හිතුණා. මම වසර ගණනාවක් පුරා ලබාගත් මේ දැනුම පොතක් විදියට සරලව ජනතාව අතරට ගෙන යන්න අදහසක් ඇති වුණා.

ඔය අතරේ සදීපා ප්‍රකාශන ආයතනයේ අධ්‍යක්ෂවරයා මට මුණගැහුණා. අපි අතර ඇතිවුණු කතාබහක ප්‍රතිඵලයක් විදියටයි අවසානයේ ‘වැඩිහිටි ඔබට වෛද්‍ය උපදෙස්‘ නමින් මේ ග්‍රන්ථය එළිදැක්වීමට අවස්ථාව ලැබුණේ. මගේ බලාපොරොත්තුව මේ පොත වැඩිහිටියන්ට විතරක් නෙවෙයි ඔවුන් රැකබලා ගන්නා දරුවන්ටත් වැදගත් මඟපෙන්වීමක් වේවි කියන එකයි” යැයි වෘද්ධ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිතිර සෙනෙවිරත්න ඉරිදා ලංකාදීපයට පැවසීය.

විශේෂඥ වෛද්‍ය සිතිර සෙනෙවිරත්න මේ වන විට කොළඹ ජාතික රෝහලේ සේවය කරන අතර, ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රථම වරට පත් කරන ලද වෘද්ධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ලෙස සැලකේ. වියපත් වීමත් සමඟ වැඩිහිටියන්ට ඇතිවන විවිධ රෝග හා සෞඛ්‍ය ගැටලු‍ හඳුනාගෙන ඒ සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර ලබාදීමේ අවශ්‍යතාව හඳුනාගත් ඔහු, 2018 වසරේදී වෘද්ධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යයනය ආරම්භ කළේය. එම අධ්‍යයන කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස 2024 වසරේදී වෘද්ධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස ඔහුගේ පළමු පත්වීම කොළඹ ජාතික රෝහලට හිමි විය.

ලෝකයේ බොහෝ රටවල වැඩිහිටි වියේදී ඇතිවන රෝග හා සෞඛ්‍ය ගැටලු‍ සඳහා විශේෂයෙන් පුහුණුව ලැබූ වෘද්ධ වෛද්‍ය විද්‍යා විශේෂඥවරුන් සිටිති. එම අවශ්‍යතාව ශ්‍රී ලංකාව තුළද හඳුනාගැනීමත් සමඟ වෘද්ධ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විශේෂිත සේවාවක් සහ විශේෂඥ වෛද්‍ය අංශයක් ස්ථාපිත කිරීමට පියවර ගනු ලැබීය. එම නව ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ පළමු විශේෂඥ වෛද්‍යවරයා ලෙස වෛද්‍ය සිතිර සෙනෙවිරත්නගේ සේවය විශේෂ වැදගත්කමක් දරන්නේ එබැවිනි.
“‘වැඩිහිටි ඔබට වෛද්‍ය උපදෙස්’ කියන මේ පොත වැඩිහිටියන්ට විතරක් නෙවෙයි, ඔවුන්ගේ දුවා දරුවනටත් ඉතා වැදගත් පොතක් විදියට මම දකිනවා. මම මේ දරුවන් හඳුන්වන්නේ සැන්ඩිවිච් ජෙනරේෂන්’ එකක් විදියටයි. ඒ කියන්නේ එක පැත්තකින් තමන්ගේ දරුවන්ගේ වගකීම් බලාගන්න අතරේ, අනිත් පැත්තෙන් තමන්ගේ වයස්ගත වෙමින් ඉන්න අම්මා තාත්තවත් බලාගන්න සිදුවෙන පරම්පරාවයි.

ඒ අය රැකියාව, ආර්ථික ප්‍රශ්න සහ තමන්ගේ පවුලේ වගකීම් එක්ක හැම දෙයක්ම මැද හිරවෙලා වගේ තමයි ජීවත් වන්නේ. ඒ නිසා තමන්ගේ වැඩිහිටි මවුපියන් බලාගන්න ඔවුන්ට යම් දැනුමක් තිබීම හරිම වැදගත්. වයසක කෙනෙකුට යම් රෝගයක් හැදුණම එකපාර බෙහෙත් ටිකක් අරගෙන දුන්නා කියලා විතරක් ප්‍රශ්නය විසක්‍ෂෙන්නේ නැහැ. ඔවුන් ගැන නිරන්තරයෙන් අවධානය යොමු කරන්න ඕනෑ. ඔවුනගේ දෛනික ජීවිතය, ආහාරපාන, ඖෂධ භාවිතය සහ ශාරීරික වෙනස්කම් වගේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෑ. ලංකාවේ හැම පවුලකටම වැඩිහිටි මවුපියන් බලාගන්න වෙනම කෙනෙක්ව මුදල් ගෙවලා තියාගන්න තරම් ආර්ථික හැකියාක් නැහැ. ඒ නිසා ගෙදර වැඩිහිටියෙක් ඉන්න ඕනෑම කෙනෙක්ට වැඩිහිටි වියේදී ඇතිවෙන රෝග සහ ඔවුන් රැකබලා ගන්නා ආකාරය ගැන මූලික දැනුමක් තිබීම ඉතා වැදගත්.

ඒ වගේම අපි තවත් දෙයක් මේ පොත හරහා කියන්න උත්සාහ කරනවා. ඒ තමයි පොත් කියවීමට වයසක් නැහැ කියන එක. වයසට ගියාම කියවීම අතහැරලා දාන්න ඕනෑ නැහැ. පත්තර කියවීම මතකය පවත්වාගෙන යාමටත් හොඳ ක්‍රියාකාරකමක්. ඒ නිසා වැඩිහිටි විය කියන්නේ පොත් කියවීමෙන් ඈත්වෙන්න ඕනෑ වයසක් නෙවෙයි. ජීවිතයේ අවසාන කාලය දක්වාම අලු‍ත් දෙයක් ඉගෙන ගන්නත්, කියවන්නත් පුළුවන් කියන පණිවිඩයත් අපි මේ හරහා ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා” යැයි විශේෂඥ වෛද්‍ය සිතිර සෙනෙවිරත්න වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ග්‍රන්ථය තුළ වයසට යාමේදී ශරීරයේ සිදුවන විවිධ වෙනස්කම් පිළිබඳව මෙන්ම, වැඩිහිටි වියේදී බහුලව දක්නට ලැබෙන ප්‍රධාන රෝග හා සෞඛ්‍ය ගැටලු‍ පිළිබඳවද මූලික අවබෝධයක් ලබාදෙයි. එම රෝග සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු මූලික ප්‍රතිකාර ක්‍රම සහ වෛද්‍ය උපදෙස් පිළිබඳවද පාඨකයා දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරේ.

වැඩිහිටියකුට හැකි තාක් කල් ස්වාධීනව ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකස් කරදීමද ඉතා වැදගත් කරුණකි. ඒ සඳහා ඔවුන්ට ඇතිවිය හැකි රෝග හා සෞඛ්‍ය ගැටලු‍ පිළිබඳව නිසි අවබෝධයක් ලබාගෙන, අවශ්‍ය ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් නිසි වේලාවට ලබාදීම අත්‍යවශ්‍ය වේ.

එමෙන්ම වැඩිහිටියකු ජීවත් වන පරිසරය ඔවුන්ගේ ආරක්ෂාවට ගැළපෙන ආකාරයෙන් සකස් කිරීමද නොසලකා හැරිය නොහැකිය. අවදානම් සහිත පඩිපෙළ, ගමන් කිරීමට බාධා වන අනවශ්‍ය බඩුමුට්ටු සහ ලිස්සා යා හැකි ස්ථාන වැනි කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. එවැනි සුළු කරුණු පවා වැඩිහිටියකුගේ ජීවිතයට විශාල බලපෑමක් ඇති කළ හැකිය.

එමෙන්ම මුත්‍රා පාලනයකින් තොරව පිටවීම, මතකය අඩුවීම සහ නිතර වැටීම වැනි තත්ත්වයන් වයසට යාමේ සාමාන්‍ය ලක්ෂණ ලෙස සලකා නොසලකා හැරීම සුදුසු නොවේ. ඒවා මුල් අවස්ථාවේදීම හඳුනාගෙන අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාදීම වැදගත් වේ.

කෙසේ වෙතත්, වැඩිහිටියකුගේ සෞඛ්‍යය රැකගැනීම ඖෂධ හා ප්‍රතිකාරවලට පමණක් සීමා නොවේ. ඔවුන් සමඟ කතාබහ කිරීමට, ඔවුන්ගේ අදහස්වලට සවන් දීමට සහ ඔවුන් සමඟ කාලය ගත කිරීමට පවුලේ සාමාජිකයන් කටයුතු කිරීම අතිශයින් වැදගත්ය. තනිකම සහ පාළුව වැඩිහිටියන්ගේ මානසික හා සමස්ත සෞඛ්‍යයට විවිධ අයුරින් බලපෑ හැකි බැවින්, ආදරය, අවධානය සහ සමීප ඇසුර ඇතැම් අවස්ථාවලදී ඖෂධයකටත් වඩා වටිනා පිළියමක් බවට පත්විය හැකිය.

මාතර රාහුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ විශේෂඥ වෛද්‍ය සිතිර සෙනෙවිරත්න, උසස් පෙළ විභාගයේදී දිවයිනේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත් විය. වෛද්‍ය උපාධිය සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, කොළඹ විශ්වවිද්‍යාලය මෙන්ම එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලීය රෝහල් ජාලය (Oxford University Hospitals) ආශ්‍රිතව වෘද්ධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව ලබා ගත්තේය.

වෛද්‍ය සිතිර සෙනෙවිරත්නගේ සෞඛ්‍ය දැනුම සාමාන්‍ය ජනතාව අතරටද ගෙන යාමේ අරමුණින් රචිත වැඩිහිටි ඔබට වෛද්‍ය උපදෙස්’ ග්‍රන්ථය සංස්කරණය කර ඇත්තේ චම්පිකා දීපානි රණසිංහ විසිනි. ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇත්තේ සදීපා ප්‍රකාශන ආයතනය විසිනි.

දිශානි ජයමාලි කරුණාරත්න