උපුල් වික්‍රමසිංහ

බන්ධනාගාර තදබදය අවම කිරීමේ පියවරක් වශයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන අය නිවාස අඩස්සියේ තැබීම බලාත්මක කිරීම වෙනුවෙන් නුදුරු දිනෙක දී පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ පනත් කෙටුම්පත මේ වන විට අවසන් අදියරේ පවතින බව ද එම ආරංචි මාර්ග කියයි.

කුමන වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන අය නිවාස අඩස්සියට පත්කරනු ලබන්නේ ද මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හෝ වෙනත් සුළු වැරදි සම්බන්ධ අය නිවාස අඩස්සියට යොදවනු ලබන්නේ ද සහ කොපමණ කාලයකට නිවාස අඩස්සියට යොදවනු ලබන්නේ ද යනාදී කාරණා පිළිබඳ සියලු ප්‍රතිපාදන මේ පනත් කෙටුම්පතේ ඇතුළත් බව ද එම ආරංචි මාර්ග අනාවරණය කරයි. 

නිවාස අඩස්සිය ක්‍රියාත්මක කිරීමේදී ඊට අවශ්‍ය උපකරණ මොනවාද ඒවා ගෙන්වන ආකාරය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය, යොදවනු ලබන ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය ආදී දේවල් තීරණය කිරීමට පත්කරන ලද තාක්ෂණ කමිටුවේ නිර්දේශ ද ඉදිරි දිනෙක දී අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත බාර දීමට නියමිත බව ද දැනගන්නට ලැබේ.

නිවාස අඩස්සිය ක්‍රියාත්මක වන වෙනත් රටවල් ඒ සඳහා යොදා ගන්නා උපකරණ අධ්‍යයනය කර ඒවා මෙරටට සුදුසු ද යන්න තීරණය කිරීමත් තාක්ෂණ කමිටුවේ කාර්යයක් බව ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

එහිදී නිවාස අඩස්සියට යොදවනු ලබන්නන් නිරීක්ෂණය කිරීමට බන්ධනාගාර නිලධාරීන් යොදවනු ලබන්නේ ද නැතිනම් පොලිස් නිලධාරීන් යොදවනු ලබන්නේ ද නැතිනම් වෙනත් ආරක්ෂක අංශයක නිලධාරීන් යොදවනු ලබන්නේ ද යන්න අදාළ කමිටුවේ නිර්දේශ අනුව තීරණය වනු ඇති බව ද සඳහන් ය.