• මැදපෙරදිග යුද්ධයේ බලපෑම් 
  • අධිවේගී මාර්ග මැඩටත් බාධා

උපුල් වික්‍රමසිංහ

මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය තාර හිඟය උග්‍රවීමෙන් මාර්ග ඉදිකිරීම් හා නඩත්තු කටයුතු රැසක් ප්‍රමාද වෙමින් තිබෙන බව වාර්තා වේ.  මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් කාර්යාල මගින් කරනු ලබන සංවර්ධන හා නඩත්තු කටයුතුවලට ද මේ හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි දැනගන්නට ලැබේ.

ව්‍යාපෘති හා නඩත්තු කටයුතුවලට අවශ්‍ය තාරවල හිඟයක් මෙම වසරේ මාර්තු සිට මේ දක්වා පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් භාර අධ්‍යක්ෂ දර්ශන රුවන් “ඉරිදා ලංකාදීප”ය කළ විමසීමක දී පැවසීය.

“තාර හිඟවීම නිසා අපේ ආයතනයෙන් කරන ව්‍යාපෘතිවල ප්‍රමාදයක් තියෙනවා. නඩත්තු අරමුදලට වැටෙන නඩත්තු ව්‍යාපෘතිත් අපේ ආයතනය කරනවා. මේ තාර හිඟය ඒවටත් බලපාලා තියෙනවා. නමුත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා හා අධ්‍යක්ෂ ජනරාල් සම්බන්ධ වෙලා තාර හිඟය යථා තත්ත්වයට පත්කරන්න මහන්සි වෙනවා” ඔහු කීවේ ය.

මේ තාර හිඟය හේතුවෙන් අධිවේගී මාර්ගවල ඉදිකිරීම් කටයුතුවලට බලපෑම් එල්ල වී තිබෙන්නේ දැයි විමසීමට ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

වසර 2027 වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැයෙන් මහාමාර්ග, අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 251 ක් වෙන් කරනු ලැබූ අතර, ඊට අමතරව ග්‍රාමීය මාර්ග සඳහා රුපියල් බිලියන 55 ක් ද පළාත් මාර්ග වෙනුවෙන් රුපියල් බිලියන 20 ක් ද වෙන් කෙරිණි.

එමෙන්ම රුවන්පුර අධිවේගයේ ඉදිකිරීම් කටයුතු ලබන දෙසැම්බර් මස පළමු වැනි දින ආරම්භ කරන බවත්, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන බවත් ජනාධිපතිවරයා පැවසූ අතර පවතින තාර හිඟය ඒවායේ ඉදිකිරීම්වලට කවරාකාරයේ බලපෑම් ඇති කරනු ඇත් ද යන්න පැහැදිලි නැත.

මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය වාතාවරණය නිසා 2026 වසරේ මාර්තු සිට තාර ආනයනයට අහිතකර බලපෑම් එල්ල වූ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.එම්.එස්. බණ්ඩාර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබුණේ පවතින තාර හිඟය මගහරවා ගැනීම සඳහා විකල්ප රටවලින් තාර ගෙන්වීම ආරම්භ කර ඇති බව ය.

මේ ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයක දී උත්සාහ කළ ද ඒවා ව්‍යර්ථ විණි.