උපුල් වික්‍රමසිංහ
2019-2025 ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව, රටේ ඉහළම ආදායම් ලබන සියයට විස්සක පිරිසගේ ආදායම ජාතික ආදායමෙන් සියයට 55.8 දක්වා සැලකිය යුතු ලෙස වැඩිවී ඇති බැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කළ දේපළ බද්ද හඳුන්වාදීමේ වැදගත්කම නැවතත් පැහැදිලිවන බව ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ “ඉරිදා ලංකාදීප”යට පැවසීය. එය මෙවර අයවැයෙන් හඳුන්වා දියයුතුව තිබූ බව ද ඔහු අවධාරණය කළේ ය.
සෘජු බද්දක් වන දේපළ බද්ද ඉහළම ධනයක් ඇති අයට පමණක් අදාළ වන බව කී මහාචාර්යවරයා, එම බද්ද පනවනු ලබන්නේ නම් පහළම ආදායම් ලබන කාණ්ඩවලට යම් බදු සහනයක් දියහැකි බව ද සඳහන් කළේ ය.
මෙවැනි බද්දක් ඉන්දියාවේ පවා ක්‍රියාත්මක වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේ ය.
වසර 2019 දී ඉහළම ආදායම් ලබන සියයට 20 කාණ්ඩයේ ආදායම රටේ ජාතික ආදායමෙන් සියයට 51.3 ක් වූ බවත් එය 2025 වර්ෂයේ මුල් මාස තුන වනවිට සියයට 55.8 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඊට සාපේක්ෂව ඊට පහළ කාණ්ඩවල අයගේ ආදායම් පහත වැටී ඇති බවත් හේ ප්‍රකාශ කළේ ය.
එම සමීක්ෂණයට අනුව, රටේ පහළම ආදායම් ලබන සියයට විස්ස කාණ්ඩයේ ආදායම 2019 පැවති සියයට 4.6 සිට 2025 මුල් කාර්තුව අවසන් වනවිට සියයට 3.8 දක්වා පහත වැටී ඇති බවත් අඩු ආදායම් ලබන සියයට 40 කාණ්ඩයේ ආදායම 2019 පැවති සියයට 14.1 සිට සියයට 12.2 දක්වා අඩු වී ඇති බවත් ඔහු කීවේ ය.
වසර 2019 න් පසු කාලයේ ආදායම් වැඩිවී තිබෙන්නේ ඉහළම ආදායම් ලබන සියයට 20 කාණ්ඩයේ පමණක් බව මින් ගම්‍ය වන බව ද ආදායම් බෙදීයෑම ඉතාම අසමාන දිශාවකට ගමන් කරමින් තිබෙන බව පැහැදිලි වන බව ද මහාචාර්යවරයා පැවසීය.
දේපළ බද්දක් පැනවීම මගින් මහපරිමාණ වත්කම් හිමි අය ඒවා වඩාත් ඵලදායී ආකාරයට භාවිත කරවීම සඳහා යොමු කිරීමක් සිදුවන බව ප්‍රකාශ කළ ඔහු ආර්ථික අර්බුදය පැවති කාලයේ ඉහළම ධනවතුන්ගේ ආදායම් ඉහළ ගිය නිසා දේපළ බද්දක් පැනවීමේ වැදගත්කම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කළ හෙයින් ශ්‍රී ලංකා රජය ඒ අනුව කටයුතු කිරීම සුදුසු බව ද කීවේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd