
සෑම වසරකම විශ්වවිද්යාල වරම් ලබන ලක්ෂ සංඛ්යාත සිසු සිසුවියන් අතරින් රාජ්ය විශ්වවිද්යාලවලට ඇතුළත් වීමේ අවස්ථාව හිමි වන්නේ 24.3% ක් වැනි ප්රමාණයකට පමණි. මෙවැනි රික්තයක් රට තුළ පවතින පසුබිමක, අතිබහුතරයක් සෙසු සිසුන් වෙනුවෙන් පරිපූර්ණ විශ්වවිද්යාල අත්දැකීමක් ලබා දෙනු පිණිස ආරම්භ කළ NSBM හරිත විශ්වවිද්යාලය මේ වන විට එම සිසුන්ගේ උසස් අධ්යාපන සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමේ සුවිශේෂී මෙහෙවරක නිරතව සිටී.
මෙවන් පසුබිමක මෙරට සිසු දරුවන්ගේ උසස් අධ්යාපන නිම්වළලු පුළුල් කළ NSBM විශ්වවිද්යාලය සිය දසවැනි සංවත්සරය එළඹෙන 26 වැනිදා සමරයි. මේ, NSBM සරසවියේ ගෙවුණු දසවස පිළිබඳව සහ ඉදිරි සැලසුම් පිළිබඳව එහි උපකුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ සමඟ කළ සංවාදයකි.
Q වසර 10 සැමරුම පවත්වන්න සැලසුම් කරලා තියෙන්නේ මොන විදිහට ද?
2016 ඔක්තෝබර් 26 වැනිදා තමයි NSBM විශ්වවිද්යාලයේ පළමු අදියර ආරම්භ කළේ. ඒ වෙනුවෙන් එළඹෙන 26 වැනිදා සැමරුම් උත්සවය විශ්වවිද්යාලයේ ශ්රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊට සමගාමීව සිවිල් ඉංජිනේරු පීඨයේ අලුතින් ඉදිකළ ගොඩනැගිල්ල විවෘත කිරීමටත් නියමිතයි.
ඒ වගේම අපේ ඉදිරි ව්යාපෘතියක් ලෙස පවතින අපගේ ශික්ෂණ සහ පර්යේෂණ රෝහලේ ආකෘතිය එළිදැක්වීමත් එදින සිදු කරනවා. රෝහල් ව්යාපෘතිය වෙනුවෙන් අපි විශ්වවිද්යාලයට යාබදව අක්කර 20ක භූමියක් මිලදී ගත්තා. එම භූමියේ තවත් වසර 4ක් ඇතුළත ඉදිකර නිම කිරීමට අපේක්ෂා කරන රෝහලේ සැලැස්ම තමයි අපි මෙසේ එළිදක්වන්නේ. කෙසේ වෙතත් විද්යා පීඨය වෙනුවෙන් ඉදිකරමින් පවතින තට්ටු 15ක ගොඩනැගිල්ලේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් නැති නිසා එය එදිනට විවෘත කෙරෙන්නේ නැහැ.
Q විශ්වවිද්යාල වරම් ලබන සිසුන්ගෙන් අතිබහුතරයකට සම්පත් හිඟකම නිසා සරසවි වරම් අහිමි වෙනවා නේද?
අපේ වගකීම විය යුත්තේ රටේ ප්රශ්න තිබෙනවා කියා ඒවා විවේචනය කිරීම නොව ඒවාට ප්රායෝගික පිළිතුරු සෙවීමයි. 2010-2012 වන විට අපේ රටේ තරුණ දූදරුවන්ට උසස් අධ්යාපනය ලැබීමේ ලොකු ගැටලුවක් තිබුණා. ලක්ෂ 2කට අධික පිරිසක් උසස් පෙළට මුහුණ දීමෙන් පස්සේ ඉන් ලක්ෂ 1 1/2 ½ක් පමණ විශ්වවිද්යාලවලට සුදුසුකම් ලැබුවත්, සැබවින්ම රාජ්ය විශ්වවිද්යාලවලට ඇතුළත් කරගත්තේ 25,000-30,000ත් අතර පිරිසක් පමණයි. එවිට අතිවිශාල ශිෂ්ය පිරිසකට ඒ අවස්ථාව අහිමි වී යනවා.
ඒ වගේම මුදල් තිබෙන ඇති හැකි පවුල්වල දරුවන් උසස් අධ්යාපනය සඳහා පිටරටවලට යාමේ ප්රවණතාවක් විශාල වශයෙන් පැවතුණා. ඒ තුළ අපේ විදේශ විනිමය විශාල ලෙස විදෙස් රටවලට ඇදී ගියා. ඒ අනුව මෙම ගැටලු දෙකටම විසඳුමක් සෙවීම අරමුණ කරගෙන තමයි අපි විශ්වවිද්යාලයක් හදමු කියන මතයට ආවේ.
නමුත් එය අපේ අදහසක් හා සිහිනයක් විදිහට ඉදිරිපත් කළාම ”ආ හොඳයි, කරගෙන යන්න” කියලා කාගෙන්වත් ආශීර්වාදයක් ලැබුණේ නැහැ. අද තියෙන තත්ත්වය දිහා බලලා එදා අපිට හැම පැත්තෙන්ම සහාය ලැබෙන්න ඇති කියලා මිනිස්සු හිතාවි. නමුත් එහෙම සහායක් ලැබුණේ නැහැ. අපි ඒ අදහස ඉදිරිපත් කළ ගමන් ”මේවා කරන්න බැහැ, මේවා ප්රායෝගික නැහැ” කියලා තමයි ලියුම් ආවේ. ඒ ලියුම් අදටත් මම ළඟ තිබෙනවා.
අලුත් යමක් කරන්න හදන පුද්ගලයන්ට මම කියන්නේ කිසිම අවස්ථාවක අදහස ඉදිරිපත් කළ පමණින් දිරිගැන්වීම් ලැබෙන්නේ නැහැ. හැබැයි අපි අඛණ්ඩව කරපු උත්සාහය නිසා තමයි අද මෙය යථාර්ථයක් බවට පත්කරගන්න පුළුවන් වුණේ. එදා අපිව අධෛර්යමත් කරපු කතාවලට ඇහුම්කන් දුන්නා නම් මේ විශ්වවිද්යාලය දකින්න හම්බවෙන්නේ නැහැ. ඒ වගේම මෙවැනි කටයුත්තක් කිරීමේදී අවදානම දැරීමට සූදානම් වෙන්න. මම දැවැන්ත ණයක් අරගෙන මේ වගේ විශාල ඩිසයින් එකක් කරලා අසාර්ථක වුණා නම් විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිදුවෙනවා. නමුත් පැමිණි සියලු දුක් කම්කටොලු, අවලාද දරාගෙන අවදානම දැරූ නිසයි අද මේ සාර්ථකත්වය අත්කරගන්න සමත් වුණේ. තරුණ නායකයන්ටත් මම කියන්නේ කටුක අත්දැකීම්වලට නොසැලී යහපත් සිතින් යහපත් විදිහට කටයුතු කළොත් මානසිකව විශාල ශක්තියක් ලැබෙනවා. ඒ ශක්තිය තමයි මේ හැමදේකටම බලපාන්නේ.

Q NSBM කියන්නේ කවරාකාරයේ විශ්වවිද්යාලයක් ද?
ලෝකයේ විශ්වවිද්යාල හදපු ඉතිහාසය දිහා බලපුවාම එක්කෝ රජයේ ආයෝජනයක් ලෙස, නැතහොත්
NSBM දිනා ඇති සම්මාන
විශාල ධනපතියන්ගේ පරිත්යාග ලෙස හෝ පෞද්ගලික ධනය යොදවලා තමයි හදලා තිබෙන්නේ. උදාහරණයක් ලෙස මියගිය තම 14 හැවිරිදි දරුවා සිහිවීම සඳහා ස්ටැන්ෆර්ඩ් යුවළ විසින් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්යාලය හදලා තිබෙනවා. හාර්වඩ් කියන පුද්ගලයාගේ ධනය යොදවා හාවඩ් විශ්වවිද්යාලය හදලා තිබෙනවා. අනෙකුත් බොහෝ විශ්වවිද්යාල ව්යාපාරිකයන් විසින් ව්යාපාර ලෙස ආරම්භ කරන ලද ඒවායි. ඒ අයට තමයි ඒවා අයිති; ඒවායේ ලාභ ප්රයෝජන ලබාගන්නේත් ඔවුන් විසින්මයි.
නමුත් NSBM විශ්වවිද්යාලය ඔය එක කාණ්ඩයකටවත් අයිති වන්නේ නැහැ. කිසිම කෙනෙක් ආධාර කියලා මුදල් ලබාදුන්නේ නැහැ. කිසිම පෞද්ගලික ආයෝජකයෙක් කොටස් අරගෙන ආයෝජනය කරලා නැහැ. මේක තනිකරම ලංකා බැංකුවෙන් ගත් අතිවිශාල ණය මුදලකින් හදපු විශ්වවිද්යාලයක්. අපි විශ්වවිද්යාලයක් හදනවා කියලා රජය හෝ වෙනත් පාර්ශ්වයක් මැදිහත් වෙලා සහන පොලියකට ලබාදුන් ණයක් නෙවෙයි. 2013 අපි මෙහි වැඩ ආරම්භ කරනකොට සියයට 8-10 පොලී අනුපාතයක් තිබුණේ. කොවිඩ් සමයේදී සියයට 30-32 මට්ටමට පොලිය ඉහළ නැංගා. ඒත් අපි කිසි දවසක බැංකුවෙන් සහන කාලසීමාවක් ඉල්ලුවේ නැහැ. විශ්වවිද්යාලයේ මොන වියදම් තිබුණත් අපි නියමිත දිනටම මිලියන 160-200 අතර වන අපේ මාසික වාරිකය අඛණ්ඩව ගෙව්වා. ඒ ගැන බැංකුව සාක්ෂි දරාවි.
මේ විශ්වවිද්යාලය අපි හැදුවේ දේශීය ආයතන සහ දේශීය සේවකයන් යොදවාගෙනයි. උදාහරණයක් ලෙස මෙහි සැලසුම සකස් කළේ දේශීය සමාගමක් වන ECL සමාගමයි. ඉදිකිරීම් කළේ මාගා ඉංජිනේරින් සමාගමයි. මෙහි කිසිදු විදෙස් මුදල් පරිහරණයක් නැහැ. මූල්ය පහසුකම් සැලසුවේ ලංකා බැංකුවයි. ඒ අනුව අපි දේශීය ආර්ථිකය කඩා වට්ටන විදිහට අනිසි ණය අරන් නැහැ. විශ්වවිද්යාලය හදන්න ගත් මේ ණය මුදල ලබන වසරෙන් ගෙවී අවසන් වෙනවා. මේ විදිහට හදපු වෙනත් විශ්වවිද්යාලයක් ලෝකයේ තියෙනවා ද කියලා අපට තාම හොයාගන්න ලැබුණේ නැහැ. මම සාමාන්යයෙන් කරන්න යන දේවල් කියන්නේ නැහැ. මීට අවුරුදු 10කට කලින් මම මාධ්ය සාකච්ඡාවක් තියලා කිව්වේ නැහැ මෙහෙම එකක් හදන්න යනවා කියලා. නමුත් අද මම මේ ගැන කියන්නේ ඒක හදලා ඉවර වෙලා. මේ විශ්වවිද්යාල පරිශ්රයට එන ඕනෑම කෙනකුට වටපිට බැලුවාම තේරෙනවා මොකක්ද මේ කරලා තියෙන්නේ කියලා.
Q හෝමාගම වැනි ප්රදේශයක් කේන්ද්ර කරගෙන විශ්වවිද්යාලයක් ඇරඹීම අභියෝගයක් වුණේ නැද්ද?
මම ඇතුළු කණ්ඩායම මේ විශ්වවිද්යාලය ඉදිකරන්න තෝරාගෙන තිබෙන්නේ හෝමාගම ප්රදේශය කියලා කිව්වාම ”ඔය කැලේට ළමයි එන්නේ නැහැ” කියලා සමහරු කිව්වා. හැබැයි බංග්ලාදේශයේ නොදියුණු තැන්වල තිබෙන විශ්වවිද්යාලවලටත් ළමයි යනවා නම්, කොළඹ ඉඳන් විනාඩි 30න් යන්න පුළුවන් හෝමාගමට ළමයි නාවිත් ඉන්නේ නැහැ කියන විශ්වාසය අපට තිබුණා.
ඒ කතාව කියන නිසාම මෙහි ඉදිකිරීම් යන අතරේ නුගේගොඩ අනුලා විද්යාලය අසළ ගොඩනැගිලි කිහිපයක් කුලියට අරන් NSBM සිටි කැම්පස් එක පටන් ගත්තා. එතැනදී අපි නම ස්ථාපිත කරලා ළමයි බඳවාගෙන පවත්වාගෙන යමින් සිට, 2016 ඔක්තෝබර් 26 NSBM හරිත විශ්වවිද්යාලය විවෘත කරන විට නුගේගොඩ පරිශ්රය එක රැයින් වහලා ළමයි 4,000ක් එක්ක තමයි මෙතැනට ආවේ.
අද වන විට විශ්වවිද්යාලයේ කළමනාකරණ, පරිගණක, ඉංජිනේරු, විද්යා සහ පශ්චාත් උපාධි ලෙස පීඨ 5ක් තුළ පූර්ණ කාලීනව සිසු සිසුවියන් 14,000ක් ඉගෙනුම ලබනවා. එංගලන්තයේ ප්ලිමාත් විශ්වවිද්යාලය, ඔස්ට්රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්යාලය සහ සදර්න් ක්රොස් විශ්වවිද්යාල සමඟ ඒකාබද්ධව උපාධි හැදෑරීමේ අවස්ථාවත් සලසා තිබෙනවා. පසුගිය 20 වැනිදා 2026 තෙවැනි ශිෂ්ය කණ්ඩායම ලෙස සිසුන් 800කට ආසන්න පිරිසකුත් බඳවා ගත්තා. ඒ වගේම දෙසැම්බර් මාසයේ උපාධි ප්රදානෝත්සවයේදී උපාධිය ලබා 2,000ක පමණ පිරිසක් නික්මීමටත් නියමිතයි.
අපි තරුණ තරුණියන් 44,000කට අධික පිරිසකට උසස් අධ්යාපන අවස්ථාව NSBM විශ්වවිද්යාලය තුළින් ලබාදී තිබෙනවා. මේ වන විට උපාධි ලබා පිටවූ 24,000කට අධික පිරිස දේශීය හා විදේශීය වශයෙන් සාර්ථකත්වයට පත්ව සිටිනවා. මෑතකදී Deloitte ස්වාධීන සමීක්ෂණ ආයතනය සිදුකළ සමීක්ෂණයකට අනුව අපේ උපාධිධාරීන්ගෙන් 84%ක් උපාධිය ලබා පිටවන විටම රැකියා සඳහා බඳවාගෙන තිබෙනවා. එසේම සමස්ත උපාධිධාරීන්ගෙන් 17%ක් උසස් අධ්යාපනය සඳහා විදේශගත වී හෝ ස්වයං ව්යාපාරවලට යොමු වී තිබෙනවා. රැකියා ලැබූවන්ගෙන් 73%ක්ම අදාළ විෂය ක්ෂේත්රයේ රැකියාවල නිරත වෙනවා. අපේ උපාධිධාරීන්ගෙන් රැකියා විරහිතව සිටින්නේ 1%ක් වැනි සුළු ප්රමාණයක්.

Q NSBM විශ්වවිද්යාලය නිසා සිසුන්ට වගේම ප්රජාවට ලැබුණු ප්රතිලාභයක් තියනවා ද?
මේ විශ්වවිද්යාලය නිසා සමස්ත ආර්ථිකයට සිදුවුණු යහපත සලකා බලන විට, 2013 වන විට මෙතැන මීහරක් ලගින කැලයක් ලෙස පැවතුණේ. අපි මේ විශ්වවිද්යාල ව්යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත්ව තිබූ අක්කර 50ක් ඉල්ලුවාම අපට අක්කර 26ක් ලැබුණා. ඒ එවකට පැවති වෙළඳපොළ වටිනාකම අනුව අක්කරයක් මිලියන 6ක් වැනි මුදලකට. දෙවැනි අදියර සඳහා තවත් අක්කර 17ක් අක්කරයක් මිලියන 19 බැගින් ලබාගත්තා. මීට වසර 2කට පෙර තවත් අක්කර 20ක් අක්කරයක් මිලියන 55 බැගින් ලබාගත්තා. ඊට අමතරව ගම්වැසියන්ට අයත්ව තිබූ අක්කර 10ක් අක්කරයක් මිලියන 50 බැගින් ලබාගත්තා. අක්කර 26න් පටන්ගත්ත අපට මේ වෙනකොට අක්කර 71ක් තිබෙනවා.
මම මේ ඉඩම් මිලදී ගැනීම සඳහා අවධානය යොමුකළේ අනාගතයේ මම හිටියත් නැතත් විශ්වවිද්යාලයේ නවීකරණ කටයුතු ගැටලුවකින් තොරව සිදුකරගෙන යාමට භූමිය අවශ්ය නිසයි. මා දන්නා ප්රමාණයට බස්නාහිර පළාතේ තිබෙන කිසිදු විශ්වවිද්යාලයකට මෙවැනි ඉඩ ප්රමාණයක් නැහැ.
අපි මේ ඉඩම් මිලදී ගන්න පැමිණි සමයේදී මේ ප්රදේශයේ පර්චසයක් පැවතුණේ රුපියල් 60,000ක වැනි මුදලකටයි. විශ්වවිද්යාලය ඉදිකර අවසන් කිරීමට ආසන්න වෙත්ම පර්චසය රුපියල් ලක්ෂය දක්වා ඉහළ නැංවුණා. අද වන විට මේ ප්රදේශයේ පර්චසයක් මිලියන 1.2ක් පමණ වෙනවා. ඒ කියන්නේ ඉඩම් මිල 800%කින් ඉහළ ගිහින්. ඒ වගේම අපේ විශ්වවිද්යාලය නිසා හෝමාගම හා පිටිපන ප්රදේශවල විශාල සංවර්ධනයක් සිදුව තිබෙනවා. විශ්වවිද්යාලය නිසා 6,500කට අධික සෘජු රැකියා අවස්ථා උත්පාදනය වී තිබෙනවා. අවට ගෙවල්වල ළමයින්ට නවාතැන් දීම, ආහාර සැපයීම, ප්රවාහන පහසුකම් දීම ආදී විවිධ ආර්ථික කටයුතු නිසා වාර්ෂිකව බිලියන පහක පමණ ආදායමක් උපයාගන්න අවට ප්රදේශවල ජනතාව සමත්ව තිබෙනවා.
ඒ වගේම Deloitte සමීක්ෂණය අනුව පෙන්වා දී තිබෙනවා වාර්ෂිකව විදේශයන්ට ඇදී යාමට තිබූ විදේශ විනිමය ඩොලර් මිලියන 334ක් ඉතිරි කර තිබෙනවා කියා. අපි සියලුම බදු නිසි විදිහට ගෙවා තිබෙනවා.
Q ලංකාවේ පෞද්ගලික සරසවි විශාල ප්රමාණයක් පැවතියත් සිසුන්ට පරිපූර්ණ විශ්වවිද්යාල අත්දැකීමක් ඉන් ලැබෙනවාද?
අපි ගෙවුණු වසර 10 තුළ සිදුකළ ප්රධානතම කාර්ය අතර තරුණ දරුවන්ට අධ්යාපනය ලබන්නට සුදුසු පරිසරයක් සැකසුවා වගේම, විශ්වවිද්යාලයක තිබිය යුතු සියලුම ගුණාංග NSBM විශ්වවිද්යාලයට ඇතුළත් කර තිබෙනවා. ඒ නිසා මම සියලුම ශ්රී ලාංකිකයන්ට ආරාධනා කරනවා ඇවිත් මේ විශ්වවිද්යාලය බලන්න කියලා. ඔබගේ දරුවාගේ විශ්වවිද්යාල දිවියේ වසර 3 හෝ 4 අධ්යයන කටයුතු සිදුකරන අතරේම යෞවනය භුක්ති විඳීමේ අවස්ථාව මේ විශ්වවිද්යාලය තුළ තිබෙනවා.
ශිෂ්යයෙක් විශ්වවිද්යාලයට ඇතුළු වුණාට පස්සේ එහි තිබෙන පරිසරය සහ පරිපාලනය ඔහුව වෙනස් කරන්න බලපානවා. අපේ විශ්වවිද්යාලයට ඇතුළුවන සිසුන්ටDress Code එකක් පවා තිබෙනවා. අපේ විශ්වවිද්යාලයෙන් අවුරුදු 3න් හෝ 4න් පිටවන දරුවන් පෞද්ගලික අංශයේ රැකියා ඉලක්ක කරගෙන තමයි පුහුණු කරන්නේ. වෙනත් ස්ථානවල අවුරුදු 3 පුරාවටම ඕනෑම විදිහට හැසිරිලා අවසන් වසරේදී පිටවෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඇඳුම් අඳින විදිහ කියලා දෙන්න ‘ගෲමින්‘ ආදී නම් යොදලා වෙනම සෙෂන් කරනවා.
නමුත් සිදුවිය යුත්තේ අවුරුදු 3 හෝ 4 පුරාවටම නීති පනවලා හෝ වෙන විදිහකට හරි මේ දේවල් හුරුකරන එකයි. අපි කරන්නේ එයයි. ලංකාවේ තිබෙන සියලුම ක්රීඩා පහසුකම් මෙන්ම පිහිනුම් තටාක පහසුකම් අපේ විශ්වවිද්යාලයේ තිබෙනවා. සංගීත, නාට්ය, නර්තන ආදී ඕනෑම කලාවක් සඳහා මෙන්ම සෑම ආගමකටම අදාළ සංගම් මෙහි තිබෙනවා.
විශ්වවිද්යාල සිසුන්ට තම අධ්යයන කාලයට අමතරව තිබෙන කාලයේදී එක එක දේශපාලන පක්ෂවල මතිමතාන්තර වෙනුවෙන් සංවිධානය වෙන්න අවශ්ය නැහැ. ඒ වෙනුවට තමන්ගේ පෞරුෂත්වය වර්ධනය කරගැනීමට අවශ්ය සියලුම පහසුකම් අපි සලසා තිබෙනවා. ඒ නිසා මේ විශ්වවිද්යාලයේ කිසිම දවසක නවකවදය හෝ උද්ඝෝෂණ නැහැ. අපි පසුගිය 20දා බඳවා ගත් සිසුන්ට ඔවුන්ගේ උපාධි ප්රදානෝත්සවය පවත්වන දවසත් කිව්වා. අපි හරියටම ඒ දවසේ උපාධි ප්රදානෝත්සවය පවත්වනවා.

Q මෙය ‘හරිත විශ්වවිද්යාලය‘ ලෙස හඳුන්වන්නේ ඇයි?
හරිත විශ්වවිද්යාලයක් කිව්වාම ගස් කොළන් හිටවන එක තමයි මින් අදහස් වෙන්නේ කියලා සමහරු හිතනවා. ග්රීන් කන්සෙප්ට් එකේ ඊට එහා ගිය විශාල අරුතක් තිබෙනවා. අපට ඕන ‘හරිත‘ කියන දරුවා බිහිකරන්නයි. අප බිහිකරන ළමයා තමන්ටත් ආදරය කරන, අනුන්ටත් ආදරය කරන දරුවෙක් වෙන්න ඕන. තමන් තමන්ට ආදරය කරන්නේ නැත්නම් අනුන්ට ආදරය කරන්නේ නැහැනේ.
අපි ගොඩනැගිලි වුණත් ඩිසයින් කරලා තියෙන්නේ ග්රීන් කර්ටන් එන විදිහටයි. ගොඩනැගිල්ලේ විදුලි පහන් නිවාදැමුවත් ජනේලවලින් හා කොරිඩෝවලින් හොඳින් ආලෝකය ලැබෙනවා. රාත්රී 7, 8 වන තෙක් විදුලි පහන් නැතුව ගොඩනැගිල්ල ඇතුළේ වැඩකටයුතු කරන්න පුළුවන්.
ඒ වගේම පරිසර අමාත්යාංශයේ ග්රීන් බිල්ඩින් කවුන්සිලය මඟින් ලංකාවේ විශ්වවිද්යාලයකට පළමු වරට පිරිනමන ‘ප්ලැටිනම්‘ සම්මානය දිනා ගැනීමට අප විශ්වවිද්යාලය සමත්ව තිබෙනවා. සම්මාන පිරිනැමීම එළඹෙන 28දා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී සිදුකිරීමට නියමිතයි. ගෙවුණු වසර 10 තුළ අප කළ සේවය අගයලා ලැබුණු රන් සම්මාන ප්රමාණය ඉතා විශාලයි. අපි හරි දේ කළ නිසයි මෙවැනි ඇගයීමක් අපට ලැබෙන්නේ.
Q විශ්වවිද්යාලයක් කියන්නේ විවිධ සංස්කෘතීන්ගෙන් පිරි තැනක්. නිසි ශික්ෂණයෙන් යුතු සිසු පිරිසක් බිහිකරන්න ගෙන තිබෙන පියවර මොනවා ද?
අපේ ළමයෙක් ටොෆි කොළයක්වත් එළියට විසිකරන්නේ නැහැ. මේ විශ්වවිද්යාල ගොඩනැගිලි හදලා අවුරුදු 10ක් ගතවෙලා තිබුණත් අදටත් දේශන ශාලා, පන්ති කාමර, වැසිකිළි කිසිවක එක පෑන් ඉරක් නැහැ. වෙනත් තැන්වල වගේ විනාශකාරී දේවල් මෙහෙ සිදු වන්නේ නැහැ. ඕනෑම කෙනකුට මේ ගැන පර්යේෂණයක් කරලා බලන්න පුළුවන් මෙයට හේතුව මොකක්ද කියලා.
ශිෂ්යයන්ට පමණක් නොව අපේ අධ්යයන හා අනධ්යයන සේවකයන්ටත් වෘත්තීය සමිති නැහැ. වෘත්තීය සමිති හොඳයි මාසේ අන්තිමට මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන චෙක්පතෙන් වැටුප් ලබන ආයතනවලට. මෙතැන වෘත්තීය සමිති හදාගෙන රණ්ඩු වෙවී වැඩකරන්න ගිහින් ආයතනය කඩාවැටුණොත් ආයතනය වහලා දාන්න තමයි වෙන්නේ. මොකද අපිට මහා භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්නේ නැහැ. අපි මෙය අවබෝධ කරවා තිබෙනවා. ඒ නිසා අපි අනවශ්ය විදිහට රැකියා දෙන්න කියලා සේවකයන් ගෙනත් පුරවා නැහැ. ප්රමාණවත් විදිහට සේවකයන් ඉන්නවා. වෙනත් අධ්යාපන ආයතනවල අනධ්යයන සේවකයන් දෙතුන් දහසක් ඉන්නකොට අපේ ඉන්නේ දෙසීයයි. නමුත් දෙසීය හිටියා කියලා කොයි තැනකවත් කුණු කෑල්ලක් දකින්න නැහැ.
ලෝකයේ විශ්වවිද්යාලවල සිදුකරන පර්යේෂණවලින් තමයි රටවල් දියුණු වී තිබෙන්නේ. නමුත් පසුගිය වකවානුවේ අපේ රටේ විශ්වවිද්යාලවලින් එවැනි පර්යේක්ෂණ සිදු වුණේ නැහැ. ඒක විශ්වවිද්යාලවල හෝ ආචාර්යවරුන්ගේ වැරද්දක් නෙවෙයි; අරමුදල් හා පහසුකම් නැති නිසයි. රජයටත් පැවති විවිධ ප්රශ්න නිසා ඒ දේවල් කරන්න බැරි වුණා. මේ කාරණය අපි හොඳට වටහාගෙන, අතිරික්ත ආදායම අනාගතයේදී පර්යේෂණ සහ රටේ යහපත උදෙසා වන නව නිපැයුම් සිදුකිරීමට යෙදවීමට බලාපොරොත්තු වෙනවා.
Q පෞද්ගලික අංශයේ විශ්වවිද්යාලවල ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම් ගැන සමාජයේ විවිධ මත තියෙනවා නේද?
මම කොළඹ ආසන්නයේ මෙච්චර හොඳ විශ්වවිද්යාලයක් හදලා, රාජ්ය විශ්වවිද්යාලවලට වඩා හොඳ වැටුපක් ගෙවලත් ආචාර්ය මණ්ඩලය බඳවාගන්න දැන්වීම් දැම්මාම අපි බලාපොරොත්තු වන මට්ටමේ දෙන්නයි තුන්දෙනයි හමුවෙන්නේ. උගත් බුද්ධිමත් ආචාර්යවරු ගොඩනැගිලි හදනවා වගේ ඉක්මනින් හදන්න බැහැ. ඒක ක්රමානුකූලව හදන්න ඕන. අවුරුදු 10 තුළ මම මේ ගැන විශාල වශයෙන් අවධානය යොමුකරලා, රාජ්ය විශ්වවිද්යාලවල ඉහළින්ම සමත්වන තරුණ තරුණියන් අපේ විශ්වවිද්යාලයේ ආචාර්යවරුන් ලෙස බඳවාගෙන ඔවුන්ට දෙස් විදෙස් පුහුණුව හා අත්දැකීම් ලබාදෙන්න කටයුතු කළා. මේ වන විට 250ක ආචාර්ය මණ්ඩලයක් අප සමඟ සිටිනවා. මගේ විශ්වවිද්යාලයේ සෑම පීඨයකම ආචාර්යවරුන් ලෝකයේ ඕනෑම විශ්වවිද්යාලයක ආචාර්යවරුන්ට නොදෙවැනි බව මම ආඩම්බරයෙන් කියනවා. අපි විදෙස් විශ්වවිද්යාල සමඟ සම්බන්ධ වෙලා ඔවුන්ගේ විෂය නිර්දේශ හා දැනුම අපගේ ආචාර්ය මණ්ඩලයටත් ලබාදී ඔවුන්ව දිනෙන් දිනම යාවත්කාලීන කරනවා. AI වැනි විෂයයන් සමඟ වෙනස් වන ලෝකය සමඟ අපිත් වෙනස් වෙන්න අවශ්ය පියවර ගෙන තිබෙනවා.
Q ඔබ මෙහි ගෙන යන්නේ දැඩි පාලනයක් ද ?
මේ වගේ දෙයක් භාරගන්නවා නම් භාරගන්න පුද්ගලයා අනුන්ගේ චරිත සහතික බලාගෙන වැඩ කරන අයෙක් නොවිය යුතුයි. මොකද අනුන් චරිත සහතික දෙන්නේ ඔවුන් කියන විදිහට වැඩ කරනවා නම් විතරයි. ”එයා හොඳ සර් කෙනෙක්” කිව්වට වැඩක් නැහැ, අවසානයේ සිදු වන්නේ ආයතනය කඩා වැටීමයි. මට එහෙම උවමනාවක් නැහැ. මට සමහර අවස්ථාවල ආචාර්යවරුන් තුන් හතර දෙනෙක් පවා එළියට දාන්න සිදු වුණා. මම එදා ඒ තීරණය නොගත්තා නම් මේ ආයතනය මේ විදිහේ යහපත් තත්ත්වයක නොතිබෙන්න ඉඩ තිබුණා. අකමැත්තෙන් වුණත් මට ඒ තීරණය ගන්න සිදු වුණා.
මම එහෙම සාධාරණ හේතු සහිතව එළියට දාපු කෙනෙක් මට විරුද්ධව යූ ටියුබ් ඔස්සේ අපහාස කරන්න ගත්තාම මම නඩු පැවරුවා. ඒ අනුව මට සහ විශ්වවිද්යාලයට රුපියල් මිලියන 500 බැගින් වන්දි ගෙවන ලෙස අධිකරණය විසින් අදාළ පුද්ගලයාට නියෝග කරනු ලැබුවා. මම හරි තීරණයක් ගත් නිසයි මට බය නැතුව නඩු කියලා දිනන්න පුළුවන් වුණේ.
Q ශික්ෂණ රෝහලක් ඇරඹීමට සූදානම් වන්නේ වෛද්ය පීඨයකුත් ඇරඹීමේ සූදානමින් ද ?
මම සාමාන්යයෙන් ප්රතිපත්තියක් විදිහට ඉදිරියට කරන්න තියෙන දේවල් ගැන කතා කරන්නේ නැහැ. කරලා පෙන්නපු දේ ගැන විතරයි කතා කරන්නේ. නමුත් 26දා අපි කරපු දේ කියලා ඉදිරි අවුරුදු 10 තුළ කරන්න බලාපොරොත්තු වන දේ පිළිබඳව දළ සැලැස්මක් ඉදිරිපත් කරනවා. ඒකට BEYOND කියලා මාතෘකාවකුත් දී තිබෙනවා. අපි රෝහල ඉදිකිරීම සඳහා ඉඩම අරගෙන, ඩිසයින් එක කරලා, රජයේ සහ සෙසු සියලු ආයතනවල අවසරයන් අරගෙන හදන රෝහලේ ආකෘතියක් 26දා එළිදක්වනවා. එවිට මෙහි වැරදි හෝ දෝෂ තිබෙනවා නම් ඕනෑම කෙනකුට අදහස් දක්වන්න පුළුවන්.
මෙම රෝහල ඇඳන් 800කින් සහ ශල්යාගාර 30කින් පමණ සමන්විත සුවිශේෂී එකක්. අපි මෙය හඳුන්වන්නේ ‘හෙල්ත් ටුවරිසම්‘ රෝහලක් ලෙසයි. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් වැනි රෝහලක්. එම රෝහලට ලොව පුරා කොතරම් රෝගීන් පැමිණෙනවා ද, අපි මේ රෝහල හරහා අපේක්ෂා කරන්නේත් එවැනි විදේශ විනිමය උපයන මාර්ගයක් සකසාගැනීමයි.
අපි ලබන වසරේ ඉදිකිරීම් අරඹලා වසර 4ක් ඇතුළත රෝහල ඉදිකර අවසන් කරන්න සැලසුම් කර තිබෙනවා. මේ සඳහාත් ලංකා බැංකුව මූල්ය පහසුකම් ලබාදෙන්න එකඟතාව පළකර තිබෙනවා. මේ රෝහල හදලා එහි ක්රියාකාරිත්වය ඇරඹුවාට පස්සේ තමයි අපි මෙඩිකල් ෆැකල්ටියක් සඳහා අවසර ඉල්ලන්නේ. අපේ විශ්වවිද්යාලයට විදෙස් සිසුන් ඇතුළත් කර ගැනීමත් අපි මුල සිටම අපේක්ෂා කළ දෙයක්. අපි තාම අවුරුදු 10ක ඉතිහාසයක් සහිත විශ්වවිද්යාලයක් නිසා අපේ උපාධි පාඨමාලාවලට විදෙස් සිසුන් ගෙන්වා ගැනීම පහසු නැහැ. නමුත් වෛද්ය විද්යාලයක් ඇරඹුවොත් විශාල ශිෂ්ය සංඛ්යාවක් ගෙන්වා ගැනීමේ අවකාශ සැලසෙනවා. එළඹෙන වසර 10 තුළ අපේ විශ්වවිද්යාලය ලංකාවේ අංක එකේ විශ්වවිද්යාලය බවට පරිවර්තනය කිරීම තමයි අපේ සැලසුම.
Q ඔබට මෙවැනි දැවැන්ත කාර්යයකට අතගසන්නට පරිචය ලැබුනෙ කෙසේද?
මම ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියදී ජපානයට ගොස් ආචාර්ය උපාධිය සම්පූර්ණ කළා. ඉන්පසු නැවත පැමිණ සේවය කරන අතරේ Business Economics දෙපාර්තමේන්තුව අලුතින් ආරම්භ කර එහි වැඩබලන පීඨාධිපති ලෙස කටයුතු කළා.
ඔය අතරේ 2005දී මට NIBM එකේ අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන්න ආරාධනයක් ලැබුණා. ඒ වන විට එය පාඩු ලබන ආයතනයක්. මම පස් අවුරුදු සැලසුම් දෙකක් යටතේ NIBM එක වැටී තිබුණු තැනින් ගොඩගෙන දියුණු කළා. කොළඹට සීමා නොවී ගාල්ල, මාතර, කුරුණෑගල හා මහනුවර දිස්ත්රික්කවලත් අලුත් ගොඩනැගිලි හදලා ශාඛා ආරම්භ කළා. ඉන්පසු NIBM එකට සිසුන් විශාල වශයෙන් එන්න ගත්තා. හැබැයි ලෝකයේ ලබා තිබෙන අත්දැකීම් එක්ක ළමයින් ගොඩනැගිල්ලක් තුළට සීමා වෙලා කරන අධ්යාපනය ගැන මට එකඟ වෙන්න බැරි වුණා. පන්ති කාමරයකට දාලා දේශනයක් දීලා විභාගයක් ලියලා ලබාගන්නා සහතිකයෙන් වැඩක් නැහැ කියලා මට තේරුණා. මොකද විශ්වවිද්යාලයක අවුරුදු 3ක් හෝ 4ක් ජීවත් වෙන ගමන් ඉගෙනගෙන විශාල අත්දැකීම් ප්රමාණයක් එකතු කරගත යුතුයි. දැනුත් එක එක ආයතනවල උපාධි දෙනවා කියනවා, ඒ දේවල් නියාමනය වෙන්න ඕන. පරිපූර්ණ උපාධිධාරියෙක් බිහිකරන්න නම් සියලු පහසුකම්වලින් යුත් පරිසරයක් තියෙන්න ඕන. ඒ නිසයි මගේ අදහසට ගැළපෙන විශ්වවිද්යාලයක් අරඹන්න ඕන කියන අදහස ඇතිවුණේ.
Q අවුරුදු 10කට පස්සේ අද කොහොමද දැනෙන්නේ?
මටත් හිතාගන්න බෑ මට මේක කරන්න පුළුවන් වුණේ කොහොමද කියලා. දෙමාපිය ආශීර්වාදය සමඟ සිසුන් ප්රමාණය දවසින් දවස වැඩි කරගෙන, දරුවන්ට දිය හැකි උපරිම වටිනාකම දීලා මෙරට පමණක් නොව විදේශයන්හි සිටින ශ්රී ලාංකිකයන් අතරත් ප්රකට නාමයක් බවට NSBM පත්කිරීමට හැකි වී තිබෙනවා.
නායකයෙක් කියන්නේ තමන් ඉන්න කල් කරලා අතහැරලා යන කෙනෙක් නෙවෙයි. නායකත්වයේ ඉන්න ගමන් ඉදිරිපෙළ නායකයන් කණ්ඩායමක් හදන්න ඕන. මම පළමු වසරේ සිටම එය ඉලක්ක කරගෙන සුදුසු තරුණ නායකත්ව කණ්ඩායමක් හදා තිබෙනවා. ඒ නිසා මට විශ්වාසයි මටත් වඩා හොඳට ඔවුන් මේ විශ්වවිද්යාලය ඉදිරියට ගෙනයාවි කියලා. මේක රටට කරපු දායාදයක්, මෙහි කිසිදු අයිතියක් මට නැහැ. තව ටික දිනකින් මම විශ්රාම ගියාම මගේ ග්රැටිවිටි සහ EPF අරගෙන මම යනවා. මට තියෙන්නේ මම කළ දේ සන්තෝෂය සහ අපේ ආගම අනුව ලබාගත් පින විතරයි.
නිරෝෂාන් ප්රේමරත්න
ඡායා - ලහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd