
බෝහෝ දෙනාගේ ආදරය දිනාගත් කාවන්තිස්ස, අඩි 11කට වඩා උසින් යුතු පිරිපුන් අංගසම්පූර්ණ ඇත් රජෙකි. කලාතුරකින් සද්දන්තයකුට පිහිටන, එකිනෙකට සමපාත දැවැන්ත දළ යුගල කාවන්තිස්සගේ වටිනාකම දෙගුණ තෙගුණ කළේය.
ගල්ගමුව, උස්ගල සියඹලන්ගමුව ආශ්‍රිතව සැරිසැරූ කාවන්තිස්සගේ ගාම්භීරත්වය පරිසරවේදීන්ගේ හා වනජීවී ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප එකතු මඟින් ලෝකයට පෙන්නුම් කළේ අභිමානයකි. ඒ නිසාම වනජීවී ලෝලීන්ගේත් ඡායාරූප ශිල්පීන්ගේත් විශේෂ ආදරයක් ඔහුට හිමි විය. කාවන්තිස්සගේ මියයෑම මිනිසුන්ට තවත් එක් සතකුගේ මරණයක් පමණක් නොවීය.
පසුගිය දිනෙක පාසල් සිසුවකුට කාවන්තිස්ස මුණගැසුණේ අහම්බයෙනි. වන අලියකුගේ දෙපා ළඟ ඇදවැටෙන ඕනෑම අයකුට ඉතිරි වන්නේ කුමක්දැයි නොදන්නා කෙනෙකු නැති තරම්ය. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට ගිය එම සිසුවා, ලොරියකට මුවා වී සිටි කාවන්තිස්ස දැක යතුරුපැදිය පාලනය කරගත නොහැකිව ඇතාගේ දෙපා මුල වැටිණි. තැතිගැන්මෙන් ගැහෙමින් සිටි දරුවාට එදා කාවන්තිස්සගේ බෝසත් ගුණය ජීවත් වීමට වරම් ලබා දුන් අතර, ඇතුගේ බෝසත් ගුණය ලොවට පෙන්වීමට එම සිදුවීමම ප්රමාණවත්ය.
වනජීවී ඡායාරූප ශිල්පීන්ගේ ඇස ගැටුණු කාවන්තිස්ස අපහසු ගමන් විලාසයකින් සැරිසරන අයුරු දැක, ඔවුහු දිගින් දිගටම සමාජ මාධ්‍ය හරහා බලධාරීන් දැනුවත් කළහ. පසුගිය සැප්තැම්බර් 24 වැනි දින වනජීවී පශු වෛද්‍යවරුන් විසින් ඇතාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කළ අතර, පාදයේ තුවාලය යම්තාක් දුරට සුව අතට හැරෙමින් තිබුණද ශාරීරික දුර්වලතා නිසා ඔහු දැඩි ලෙස අඩපණ වී සිටියේය.
ඔක්තෝබර් 16 වැනිදා ඔහු මියයන විට සති තුනකට වැඩි කාලයක් ප්‍රතිකාර සිදු කෙරිණි. පාදයේ තුවාලය සුව අතට හැරෙමින් තිබුණත්, පසුව ආහාර නොගැනීම ඇතුළු වෙනත් සෞඛ්‍ය ගැටලු මතුවූ බව වාර්තා විය. ඇතා සුවපත් කිරීමේ කාර්යය වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ දියත් කිරීමට නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකය, මීගලෑව සහ ගල්ගමුව වනජීවී කාර්යාල නිලධාරීහු කඩිනමින් පියවර ගත්හ.
බොහෝ දෙනා කාවන්තිස්ස ජීවිතය ඉල්ලා ආශීර්වාද කළහ. වනජීවී ප්‍රතිකාර මැද ගල්ගමුවෙන් අතුරුදහන්ව සිටි කාවන්තිස්ස හස්තියා තඹුත්තේගම ආසන්න කලාපයේ සැරිසරන බවටත්, රෝගී තත්ත්වයෙන් පසුවන බවටත් තොරතුරු ලැබිණි.
මෙරට සිටින විශාලම සහ උසම වන දළ ඇතකු ලෙස වනජීවී ලෝලීන් අතර අතිශය ජනප්‍රිය ගල්ගමුවේ කාවන්තිස්ස ඇත් රජු වළගම්බාපුර ග්‍රාම නිලධාරී වසමට අයත් වෙල්යායක ඇදවැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් සොයාගන්නා ලදී.
ඇතා බිම ඇදවැටී සිටිනු දුටු ප්‍රදේශවාසීහු වහාම මීගලෑව වනජීවී කාර්යාලය දැනුවත් කළහ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් ඇතුළු කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ඇතාට ප්‍රතිකාර ආරම්භ කළහ. මිනිසුන් සමඟ ජීවත් වූ කාවන්තිස්ස අවසානයේ වෙල්යායකදී ජීවිතයෙන් සමුගත්තේය.
වන අලි නඩු සහ අලි-මිනිස් ගැටුමේ ඛේදනීය තත්ත්වය
ශ්‍රී ලංකාවේ වයඹ කලාපය ගල්ගමුව, නිකවැරටිය, ගිරිබාව, මීගලෑව සහ සියඹලන්ගමුව යන ප්‍රදේශයන්ගෙන් සමන්විත වේ. එය අලි-මිනිස් ගැටුම අන්තයටම වර්ධනය වූ, මෙරට ප්‍රධාන පෙළේ දැවැන්ත දළ ඇතුන් රැසකගේ නිජබිමයි. පසුගිය වසර කිහිපය තුළ මෙම කලාපයේ සිදුවූ අලි ඇතුන්ගේ අභිරහස් සහ ඛේදනීය මරණ සම්බන්ධයෙන් නීතියේ ක්‍රියාකාරීත්වය සහ අධිකරණමය මැදිහත්වීම් අතිශයින් වැදගත් මාතෘකාවක් වී තිබේ.
කාවන්තිස්ස ඇතුගේ හදිසි මරණයත් සමඟ, ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මේ සම්බන්ධයෙන් පුළුල් හා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, සතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර ඇත.
මෙසේ පිරිපුන් ඇත් දළ යුගලකට හිමිකම් කියූ කාවන්තිස්සට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනුලැබූහ. අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියකු සහ අනෙක් සැකකරු මේ මස 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහව මහේස්ත්‍රාත් අනුරාධා සෙනෙවිරත්න මෙනෙවිය නියෝග කළාය.
තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා ප්‍රගති වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය ගල්ගමුව වනජීවී නිලධාරීන්ට නියෝග කළාය. එහිදී ගල්ගමුව වනජීවී කාර්යාලය අධිකරණයට කරුණු දක්වමින්, කාවන්තිස්ස නමින් ප්‍රචලිත ඇතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමේදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පැවසීය.
අධිකරණය ලබා දුන් නියෝගය මත වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
කාවන්තිස්ස දළ ඇතා උසින් අඩි 11යි අඟල් 3කින් සමන්විත වන අතර, ඔහුගේ දළ යුගල අඩි 5යි අඟල් 1ක් දිග බව වනජීවී දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබේ. කාවන්තිස්ස ඇතාගේ බර කිලෝග්‍රෑම් 5000ක් 5500ක් පමණ වේ.
වනජීවී නිලධාරී චතුර ගුණරත්නට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමේදී සැකකරුවන් දෙදෙනා සමඟ ඔවුන් සන්තකයේ තිබූ බෝර 12 වර්ගයේ තුවක්කු දෙකක්ද අත්අඩංගුවට ගැනිණි.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරී වන ශාන්ත ධර්මසිරි සහ ලක්මාල් පත්ම කුමාර සමරකෝන් යන දෙදෙනාය. මොවුහු ඇහැටුවැව හුලුගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
අලි ඝාතන ගැන තවත් නඩු ගොඩක්
වන අලි ඝාතන, වෙඩි තැබීම්, බඳින තුවක්කු භාවිතය සහ විදුලි රැහැන් යෙදීම් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු රැසක් විභාග වෙමින් පවතී. කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම සඳහා ස්වාධීන සහ විධිමත් අපරාධ පරීක්ෂණ පවත්වන ලෙස පරිසර සංවිධාන සහ නීතිවේදීහු රජයෙන් ඉල්ලා සිටිති.
කාවන්තිස්ස මෙන්ම මෑතකදී අහිමි වූ භාතිය, දළපූට්ටුවා වැනි අනෙකුත් දළ ඇතුන්ගේ මරණවලින් සහ අධිකරණ ක්‍රියාමාර්ගවලින් පැහැදිලි වන්නේ, මෙරට වන අලි සංරක්ෂණය වෙනුවෙන් පවතින යාන්ත්‍රණය තවදුරටත් ප්‍රතිසංවිධානය කර ශක්තිමත් කළ යුතු බවයි.
බරණ දළ ඇතාට විදුලි සැර වද්දවා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව සහ රේවත දළ ඇතාට වෙඩි තබා ඝාතනය කිරීමේ හා සුමේධ දළ ඇතා මරණයට පත් කිරීමේ සිද්ධීන්ට අදාළ නඩු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වේ.
‘ඩොලර් මැෂිම‘ නමින් හැඳින්වූ, මින්නේරිය ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව සිටි යුනිකෝන් දළ ඇතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වේ. යුනිකෝන් ඇතු නැරඹීම සඳහා විදේශීය සංචාරකයෝ සිය ගණනින් ලංකාවට පැමිණියහ. මීට අමතරව මහේශාක්‍ය දළ ඇතා වන අලියකු සමඟ සටනකට වැදී බරපතළ තුවාල ලබා බිම වැටුණු පසුව, මිනිසුන් පොරවකින් දළ කැපීම නිසා මරණයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුව කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වේ.
මිහින්තලයේදී අලියකු හුළු අතුවලින් පුළුස්සා මරා දැමීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනේ. එමෙන්ම ගල්ගමුව දළ පූට්ටුවා ඇතා ඝාතන නඩුව කුරුණෑගල මහාධිකරණයේ විභාග වේ. භාතිය දළ ඇතා මරණයට පත් වීමේ සිද්ධියට අදාළ නඩුව මහව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින අතර, කාවන්තිස්ස ඇතා මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව හා මහව මහේස්ත්‍රාත් අධිකරණවල නඩු විභාග වේ.
මෙම වන අලි හා ඇතුන් මිය යාමේ සිද්ධිවලට පොලිස් නිලධාරියකු, සංවර්ධන නිලධාරියකු හා ග්‍රාම නිලධාරියකු ලෙස රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ බවටද චෝදනා නැඟේ.
වනගතව සිටින අලි ඇතුන්ට බරපතළ තුවාල සිදු වූ විට, ඔවුන්ට ක්ෂණිකව සහ එම ස්ථානයේදීම අවශ්‍ය ප්‍රතිකාර හා ශල්‍යකර්ම සිදු කිරීමට අවශ්‍ය ජංගම රසායනාගාර සහ නවීන තාක්ෂණික පහසුකම් ප්‍රමාණවත් පරිදි නොමැති වීම විශාල අඩුපාඩුවක් බව බොහෝ දෙනා සඳහන් කරති.
වනාන්තර පද්ධති ක්‍රමයෙන් අඩුවීම, සංවර්ධන ව්‍යාපෘති නිසා අලි මංකඩ අවහිර වීම සහ ගම්මාන කරා අලි ඇතුන් පැමිණීම වැළැක්වීමට විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය නොකිරීම මෙම ගැටලු තවත් උග්‍ර කර ඇත.
සතකු මියගිය පසු සමාජ මාධ්‍ය ඔස්සේ ශෝකය පළ කිරීම පමණක් සිදුවන අතර, වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙම මරණවලින් පසක් කර තිබේ.
අලි-මිනිස් ගැටුම සහ වන සතුන්ගේ ආරක්ෂාව යනු සමාජ මාධ්‍යයේ යම් සංවාදයක් මතුවන තාවකාලික මාතෘකාවක් නොවිය යුතුය. මෙරට ඉතිරිව සිටින සීමිත දළ ඇතුන් සංඛ්‍යාව ආරක්ෂා කර ගැනීමට අධිකරණ ක්‍රියාවලි වඩාත් සාර්ථක කර ගත යුතුය. අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබා නොදී, සොබාදහමේ සුවිශේෂී නිර්මාණ වන ඇතුන් එකින් එක අහිමි වී යාමේ පාඩුව කිසිදා ආපසු හැරවිය නොහැකිය. ගල්ගමුවේ නම කාවන්තිස්ස රැගෙන ගියේ මුළු ලෝකයටමය. අභිමානවත් ඇත් රජකුගේ වියෝව අපට ඉතිරි කළේ නීතියේ දැඩි බව තුළින් පමණක් වන සතුන්ගේ ජීවිත සුරක්ෂිත අනාගතයකට රැගෙන යා නොහැකි වන සංවේදී මතක සටහනයි.
උපාලි ආනන්ද සහ සජීවා කෝට්ටගොඩ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd