
ජීවිතයත් මරණයත් අතර ඇත්තේ ඉතා පටු ඉමකි. නොසිතන මොහොතක, නොසිතන ලෙසින් උදාවන අනපේක්ෂිත අනතුරකදී, අන් අයට පෙර තමන්ගේ ජීවිතය ගැන නොසිතා අනුන්ගේ සුසුමක් වෙනුවෙන් පෙරට එන්නේ සැබෑ වීරයන් පමණි. පස්යාලේ නිහඬ ගම්මානයෙන් ඇසුණේ එවන් වූ උදාර මානවභක්තියේත්, ක්ෂණික තීරණාත්මක වීරත්වයේත් සංවේදී කතා පුවතකි.
අඩි 40 ක් ගැඹුරු ළිඳට පැන සිව්හැවිරිදි දරුවා බේරාගත් යුද හමුදා වීරයා
ශ්රී ලංකා යුද හමුදාවේ 14 වැනි සිංහ රෙජිමේන්තුවට අනියුක්තව රාජකාරී කරන ලාන්ස් කෝප්රල් එල්.එච්.වී. ජයනාත් නිවාඩුවක් ලබා නිට්ටඹුව, පස්යාල ප්රදේශයේ පිහිටි නිවසට පැමිණ සිටියේය.
ජයනාත්ගේ නිවස ඉදිරිපිට පිහිටි නිවසේ කාන්තාවක් මියගොස් සිටියාය. ඥාති සම්බන්ධතාවක් ද තිබූ මෙම කාන්තාවගේ අවමංගල්යය පැවති නිවසට ජයනාත් ගියේ ඇයට අවසන් ගෞරව දක්වා එහි වැඩපොළවලට ද උදව් උපකාර කිරීමේ අපේක්ෂාවෙනි.
අවමඟුල් ගෙදර ජයනාත් සිටින අතරවාරයේ අවුරුදු පහක පමණ වයසේ පසුවන පිරිමි දරුවකු දුවගෙන ඇවිත් පැවසුවේ "මල්ලි ළිඳට වැටුණා" කියාය. මුළු අවමඟුල් ගෙදරම කඩිගුලක් සේ ඇවිස්සුණේ මේ කතාව අසාය. ඒ වෙලාවේ අවමඟුල් නිවසට පැමිණ සිටි අය ළිඳ ළඟට දුවගෙන ඇවිත් "අනේ පොඩි එකා බේරාගන්න" යැයි කියා කෑගසා ආධාර ඉල්ලුවත්, ඒ අවස්ථාවේ ළිඳට පැන දරුවා බේරාගැනීමට කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත. අඩි හතළිහක් පමණ ගැඹුරු, අඩි විස්සක පමණ වතුර පිරී තිබූ ඒ ළිඳට පණට ආදරේ ඇති කිසිවකු පනින්නට ඉදිරිපත් නොවූයේ ළිඳට පනින කෙනාගේ ජීවිතය ද දැඩි අවදානමකට පත්වන නිසාය.
නමුත් තම ජීවිතය ගැන නොසිතා එම ගැඹුරු ළිඳට පැන සිව්හැවිරිදි දරු සිඟිත්තා නිරුපද්රිතව බේරාගැනීමට ලාන්ස් කෝප්රල් ජයනාත් කටයුතු කළේය. ඒ පිළිබඳව ඔහු 'ඉරිදා ලංකාදීප'යට මෙසේ පැවසීය.
"මම අවමඟුල් ගෙදරට ඇවිත් මියගිය කාන්තාවගේ දේහයට අවසන් ගෞරව දක්වලා පුටුවක වාඩිවෙලා හිටියා. ඒ වෙලාවේ අවුරුදු පහක විතර වයසේ පසුවන පිරිමි දරුවකු 'අපිත් එක්ක සෙල්ලම් කර කර හිටපු අයියා ළිඳට වැටුණා' කියලා කෑගසා කිව්වා. ඒ දරුවත් හොඳටම බයවෙලා හිටියේ. මේ කතාව අහපු සේරම දෙනා ළිඳ ළඟට දිව්වා. මමත් ඒ කට්ටිය එක්කම ළිඳ ළඟට දිව්වා. කවුරුත් ඒ ළිඳට පැනලා දරුවාව බේරගන්න ඉදිරිපත් වෙන පාටක් පෙනුණේ නැහැ. ළිඳ ළඟ හිටපු කෙනෙකුගෙන් මම ඇහැව්වා 'මල්ලි මේ ළිඳ කොච්චර ගැඹුරුද' කියලා. 'අයියේ මේ ළිඳ අඩි 40ක් විතර ගැඹුරුයි' කියලා ඔහු කිව්වා. මම ළිඳට එබිලා බැලුවා. අඩිය පේන්නේ නැහැ, හරිම කළුවරයි. දරුවා අතපය ගහන ශබ්දය මට ඇසුණා.
මටත් පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ පුතාගේ වයස අවුරුදු හතරයි මාස තුනයි. දුවගේ වයස අවුරුද්දයි මාස තුනයි. මගේ ලොකු පුතාගේ වයසේ පසුවන පුතෙක් තමයි මේ ළිඳ ඇතුළේ ජීවිතයත් මරණයත් අතර සිටින්නේ කියන හැඟීම මට ආවා. මට හිත හිත ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. කඹ දාගෙන ළිඳට බහින්න ගියොත් පරක්කු වෙනවා. එහෙම වුණොත් දරුවාගේ ජීවිතය අනතුරේ බව මට වැටහුණා. මම ළිඳට පැන්නා.

ළිඳට වැටුණු සිවු හැවිරිදි දරුවා බේරාගත් යුද හමුදාවේ ලාන්ස් කෝප්රල් ජයනාත් යුද හමුදාපති අතින් තිළින ලබාගත් අයුරු
දරුවා යට ගිලිලා එක්වරම උඩට ආවා. මම දරුවාව අල්ලා ගත්තා. 'පුතේ කිසි දේකට බය වෙන්න එපා මම ඔයාව බේරගන්නවා. මාව බදාගෙන හයියෙන් අල්ලගන්න' කියලා කිව්වා. දරුවා මගේ කරේ එල්ලී මාව බදාගත්තා. දරුවත් කරේ එල්ලාගෙන මම හිමින් සීරුවේ ගොඩට එන්න පටන් ගත්තා. මෙය හරිම අසීරු කාර්යයක් වුණා. ළිං කට කිට්ටුවට එද්දි කිහිප දෙනෙකුගේ අත්වාරුවෙන් ළිඳ කටෙන් ගොඩට ආවා. දරුවාට වතුර බොහොම පොඩ්ඩක් පෙවිලා තිබුණු නිසා පොඩි කැස්සක් ආවා. දරුවාව රෝහලකට ගෙන ගිහින් ප්රතිකාර කිරීමේ අවශ්යතාවක් තිබුණේ නැහැ. හැබැයි මම තව තත්පර ගණනක් ප්රමාද වුණා නම් දරුවා පණපිටින් බේරාගන්න ලැබෙන්නේ නැහැ.
මගේ පුතාගේම වයසේ පසුවන දරුවකු නිරුපද්රිතව බේරාගැනීම ගැන මට තියෙන්නේ අදටත් ලොකු සතුටක්. යම් හෙයකින් මගේ ජීවිතය නැතිවුණා නම් බිරිඳටයි දරු දෙන්නටයි මේ ලෝකයේ සදහටම තනිවෙනවා. නමුත් මම ඒ ගැනවත් හිතුවේ නැහැ. මට කොහොම හරි ඕන වෙලා තිබුණේ ඒ අහිංසක දරු සිඟිත්තාගේ ජීවිතය බේරාගන්නයි."
"බිරිඳ මේ ගැන මොකද කිව්වේ?" යැයි විමසූ අවස්ථාවේ ඔහු මෙසේ පැවසීය.
"බිරිඳටත් හරිම සතුටුයි, අපේ පුතාගේ වයසේම පසුවන දරුවකු මේ විදිහට කිසිම කරදරයක් නැතුව නිරුපද්රිතව බේරාගැනීමට ලැබීම ගැන. කුඩා දරු පැටියෙක් ළිඳට වැටිලා ඒ දරුවාව බේරාගන්න කවුද කෙනෙක් ළිඳට පැනලා තියෙනවා කියලා දැනගත් ගමන්ම බිරිඳත් දුවගෙන ළඟට ඇවිත් තියෙනවා. බිරිඳ එනකොට මම දරුවත් බේරාගෙන ගොඩබිමට ඇවිත් ඉවරයි. ඒ වෙලාවේ තමයි බිරිඳ දැනගෙන තියෙන්නේ මම තමයි ළිඳට පැනලා තියෙන්නේ කියලා."
ළිඳට වැටී සිටියදී බේරාගත් දරුවාගේ මවුපියන් විදෙස්ගතව රැකියාවල නිරතව සිටින අතර දරුවා ආච්චිගේ රැකවරණය ලබමින් සිට ඇත. ආච්චි සහ සීයා පස්යාලේ ඔවුන්ගේ ඥාති කාන්තාවගේ අවමංගල්යයට සහභාගී වීම සඳහා පැමිණෙන අවස්ථාවේ මේ දරුවා ද කැටුව පැමිණ ඇත. අවමඟුල් ගෙදරට පැමිණි මේ පුංචි දරුසිඟිත්තා සම වයසේ පසුවන දරුවන් කිහිප දෙනකු සමග කෙළිදොළෙන් පසුවෙද්දී මෙසේ ළිඳට වැටී තිබේ.
මෙම නිවසේ ඇති ළිඳ ආවරණය කර තිබී ඇති අතර, කිසියම් හේතුවක් නිසා වසා දමා තිබූ ආවරණය ඉවත්කර තිබී ඇත. කාර්යබහුලත්වය නිසා ළිඳ ආවරණයෙන් වසා දැමීමට නිවසේ අයට අමතක වී තිබේ.
කෝප්රල් ජයනාත්ට යුද හමුදාපතිතුමන්ගෙන් විශේෂ ඇගයීමක් සහ උසස්වීමක්
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න ලාන්ස් කෝප්රල් ජයනාත්ගේ මෙම වීර ක්රියාව දැනගන්නට ලැබී ඔහු පසුගිය දොළොස් වැනිදා යුද හමුදා මූලස්ථානයට කැඳවනු ලැබීය.
තම ජීවිතය පරදුවට තබා අන් අයෙකුගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් කළ උදාර මෙහෙය විශේෂ ඇගයීමකට ලක් කළ යුද හමුදාපතිවරයා ඔහුට තිළිණ ප්රදානයක් ද සිදුකළේය. එයින් ද නොනැවතුණු ඔහු ලාන්ස් කෝප්රල් නිලයේ සිට කෝප්රල් නිලය දක්වා උසස්වීමක් ද ජයනාත්ට ලබා දුන්නේය. ඒ, ජීවිත අවදානම දෝතින් දරාගෙන සීතල මරණයේ දොරටුව අබියසට පැමිණ සිටි දරුවකුගේ ජීවිතය බේරාගැනීමේ වීර ක්රියාවට තවත් ලොකු වටිනාකමක් ලබා දෙමිනි.
සටහන :
ශ්රීනාත් ප්රසන්න ජයසූරිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd