
අප වෙළෙඳපොළෙන් මිලදී ගන්නා එළවළු දින දෙක තුනකින් නරක් වී ඉවත දැමීමට සිදුවුවහොත්, අපට අහිමි වන්නේ එළවළු පමණක් නොවේ. ඒවා නිෂ්පාදනය කිරීමට වැය වූ ජලය, පොහොර, ශ්රමය, බලශක්තිය සහ ගොවියාගේ ආදායම ද අපතේ යයි. එසේම වෙළෙඳපොළේ ආහාර තිබුණත් ඒවා මිලදී ගැනීමට ආදායමක් නොමැති පවුලකට ආහාර සුරක්ෂිතතාව සහතික වී නැත. මෙම උදාහරණවලින් පැහැදිලි වන්නේ ආහාර සුරක්ෂිතතාව යනු ආහාර නිෂ්පාදනයට පමණක් සීමා වූ කරුණක් නොවන බවයි.
2026 ඔක්තෝබර් 16 වැනිදා සමරන ලබන ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ “Innovate today. Nourish tomorrow” “අද නවෝත්පාදනයෙන් හෙට පෝෂණය සුරකිමු” යන්නයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මෙම පණිවුඩය අපට සිහිපත් කරන්නේ අනාගතයේ සෞඛ්ය සම්පන්න ජනතාවක් බිහිකිරීමට නම් අද නිෂ්පාදනය කරන ආහාර සංරක්ෂණය, සැකසීම සහ බෙදාහැරීම සඳහා ක්රම වැඩිදියුණු කළ යුතු බවයි. නවෝත්පාදනය යනු නව යන්ත්රයක් හඳුන්වාදීම පමණක් නොවේ. විද්යාත්මක දැනුම, පාරම්පරික අත්දැකීම් සහ නිර්මාණශීලී චින්තනය යොදාගෙන පවතින ගැටලුවලට කාර්යක්ෂම හා තිරසාර විසඳුම් සෙවීම ද එයට අයත් වේ.
ආහාර සුරක්ෂිතතාව සහ ආරක්ෂිතතාව අතර වෙනස හඳුනාගැනීම
ආහාර සුරක්ෂිතතාව (Food Security) යනු සියලුම පුද්ගලයන්ට සෑම විටම සෞඛ්ය සම්පන්න, ක්රියාශීලී ජීවිතයක් ගත කිරීමට අවශ්ය ප්රමාණවත්, ආරක්ෂිත සහ පෝෂ්යදායී ආහාර ලබාගැනීමට භෞතික හා ආර්ථික ප්රවේශය පැවතීමයි. එහි ප්රධාන කුලුනු හතර වන්නේ ආහාර ලබාගත හැකි වීම, ආහාර වෙත ප්රවේශය, ආහාර නිසි ලෙස භාවිත කිරීම සහ එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගැනීමයි. ආහාර ආරක්ෂිතභාවය (Food Safety) යනු ආහාර පරිභෝජනය කිරීමෙන් පාරිභෝගිකයාට සෞඛ්ය හානි සිදු නොවන බව තහවුරු කිරීමයි. රෝගකාරක ක්ෂුද්රජීවීන්, පළිබෝධනාශක අවශේෂ සහ විෂ සහිත රසායනික ද්රව්ය වැනි උපද්රව පාලනය කිරීම ඒ සඳහා අත්යවශ්ය වේ. ආහාරවල ගුණාත්මකභාවය සහ පෝෂණ වටිනාකම රැකගැනීම ද ඒ හා සමානව වැදගත්ය. ආහාර ප්රමාණවත් ලෙස තිබුණත් ඒවා දූෂිත නම් හෝ අත්යවශ්ය පෝෂකවලින් දුර්වල නම්, ජනතාවගේ සැබෑ පෝෂණ අවශ්යතා සපුරාලිය නොහැකිය. එබැවින් ආහාර නිෂ්පාදනයේ සිට සැකසීම, ගබඩා කිරීම, ප්රවාහනය සහ පරිභෝජනය දක්වා සෑම අදියරකදීම ආහාර ආරක්ෂිතභාවය හා ගුණාත්මකභාවය තහවුරු කළ යුතුය. ආරක්ෂිත, පෝෂ්යදායී සහ ජනතාවට දැරිය හැකි මිලකට ලබාගත හැකි ආහාර සැපයුමක් නොමැතිව තිරසාර ආහාර සුරක්ෂිතතාවක් ගොඩනැඟිය නොහැකිය.
ආර්ථික අර්බුදය හා මිලියන 6.3 ක් මුහුණ දුන් ආහාර අර්බුදය
ශ්රී ලංකාව 2022 වසරේ මුහුණ දුන් ආර්ථික අර්බුදය රටේ ආහාර පද්ධතියේ දුර්වලතා පැහැදිලිව හෙළි කළේය. විදේශ විනිමය හිඟය, ඉහළ ගිය ආහාර මිල, කෘෂිකාර්මික යෙදවුම් ලබාගැනීමේ ගැටලු සහ දුර්වල වූ අස්වැන්න එකිනෙකට බලපෑවේය. 2022 සැප්තැම්බර් මාසයේ FAO සහ ලෝක ආහාර වැඩසටහන (WFP) නිකුත් කළ වාර්තාව අනුව, ශ්රී ලංකාවේ මිලියන 6.3ක පමණ ජනතාවක් මධ්යස්ථ හෝ උග්ර ආහාර අනාරක්ෂිතතාවකට මුහුණ දෙමින් සිටියහ. අඛණ්ඩව දුර්වල වූ වගා කන්න දෙකක් හේතුවෙන් ධාන්ය නිෂ්පාදනය පහත වැටී තිබූ අතර ආර්ථික අර්බුදය ආහාර ආනයනයට ද බලපෑවේය. මෙම අත්දැකීමෙන් පැහැදිලි වන්නේ රටක ආහාර සුරක්ෂිතතාව දේශීය නිෂ්පාදනය මත පමණක් නොව, ආනයන හැකියාව, ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය සහ වෙළෙඳපොළේ ආහාර මිල වැනි ආර්ථික හා සමාජීය සාධක මත ද රඳා පවතින බවයි. අනාගත ආහාර අර්බුදවලට ඔරොත්තු දිය හැකි ආහාර පද්ධතියක් ගොඩනැඟීම සඳහා නිෂ්පාදනය වැඩිකිරීම මෙන්ම ආහාර නාස්තිය අවම කිරීම, ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීම සහ ජනතාවට ආහාර ලබාගැනීමේ හැකියාව ශක්තිමත් කිරීම ද අවශ්ය වේ.
අධික වැස්සෙන් පසෙහි ඔක්සිජන් අඩු වී වගාවන්ට විය හැකි හානි හා විද්යාත්මක විසඳුම්වල වැදගත්කම
ශ්රී ලංකාවේ කෘෂිකර්මාන්තය වර්ෂාපතනය, වාරි ජලය සහ සෘතුමය කාලගුණ රටාවන් සමඟ සමීපව බැඳී පවතී. නියඟය නිසා පසෙහි තෙතමනය අඩුවීමෙන් ශාකවල ජල අවශෝෂණය සීමා වී ප්රභාසංශ්ලේෂණය හා වර්ධනය අඩාළ විය හැකිය. අධික වර්ෂාවෙන් පසෙහි ඔක්සිජන් ප්රමාණය අඩුවීම, පෝෂක සේදී යාම සහ වගාවන්ට භෞතික හානි සිදුවීම ද අස්වැන්න අඩු කරයි. මෙවැනි අවදානම්වලට මුහුණදීම සඳහා කාලගුණ අනාවැකි භාවිතය, පසෙහි තෙතමනය මැනීම, කාර්යක්ෂම ජල සම්පාදනය, සුදුසු වගා කාල තෝරාගැනීම සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන බෝග ප්රභේද භාවිතය වැදගත් වේ. ස්මාර්ට් කෘෂිකාර්මික තාක්ෂණය (Smart Agricultural Technology) මඟින් ජලය හා පොහොර අවශ්ය ප්රමාණයට යෙදීම, පළිබෝධ හා රෝග අවදානම් හඳුනාගැනීම සහ සම්පත් නාස්තිය අවම කිරීම සඳහා සහාය ලබාගත හැකිය. මෙවැනි නවෝත්පාදන සඳහා මිල අධික උපකරණ අත්යවශ්ය නොවේ. නිවැරදි කාලගුණ තොරතුරු ලබාදෙන ජංගම දුරකථන සේවාවක් හෝ ජලය කාර්යක්ෂමව භාවිත කිරීමට උපකාරී වන සරල උපකරණයක් ද ප්රයෝජනවත් විසඳුමකි.
ශ්රී ලංකාව ද කෘෂිකාර්මික ක්ෂේත්රය ඩිජිටල්කරණය කිරීමේ දිශාවට පියවර ගනිමින් සිටී. CROPIX යනු ශ්රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ FAO එක්ව දියත් කළ ජාතික ඩිජිටල් කෘෂිකාර්මික වේදිකාවකි. CROPIX වැනි ඩිජිටල් කෘෂිකාර්මික වේදිකා මඟින් වගා තොරතුරු, නිෂ්පාදන දත්ත සහ වෙළෙඳපොළ තොරතුරු වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට අවස්ථාව සැලසේ. එමඟින් වගා සැලසුම් කිරීම සහ දත්ත මත පදනම් වූ තීරණ ගැනීම සඳහා ගොවීන්ට හා බලධාරීන්ට සහාය ලැබිය හැකිය. කෙසේ වෙතත්, මෙම තාක්ෂණවල සාර්ථකත්වය තීරණය වන්නේ ඒවා ගොවීන්ට පහසුවෙන් භාවිත කළ හැකිද, නිෂ්පාදන වියදම් අඩු කරන්නේද සහ අස්වැන්න හා ආදායම වැඩිදියුණු කරන්නේද යන්න මතය. ඒ සඳහා පුහුණුව, අන්තර්ජාල පහසුකම් සහ අඛණ්ඩ තාක්ෂණික සහාය ද අවශ්ය වේ.
අනාගත ආහාර සුරක්ෂිතතාව සඳහා කෘෂිකර්මාන්තය මෙන්ම ආහාර සැකසීම, සංරක්ෂණය, ඇසුරුම්කරණය සහ බෙදාහැරීම ඇතුළත් සමස්ත ආහාර කර්මාන්තය ද නවෝත්පාදනය කළ යුතුය.
පසු අස්වනු හානි වැළැක්වීමේ වැදගත්කම
අස්වනු නෙළීමෙන් පසු සිදුවන හානි (Post harvest Losses) යනු අස්වනු නෙළීමේ සිට පාරිභෝගිකයා වෙත ආහාර ළඟාවන තෙක් ඒවායේ ප්රමාණය හෝ ගුණාත්මකභාවය අඩුවීමයි. නුසුදුසු ලෙස අස්වනු නෙළීම, ප්රවාහනයේදී සිදුවන භෞතික හානි, අධික උෂ්ණත්වය, නුසුදුසු ගබඩා තත්ත්ව සහ ක්ෂුද්රජීවී ක්රියාකාරීත්වය මෙයට හේතු වේ. පලතුරු හා එළවළු නෙළාගත් පසුවත් ශ්වසනය, ජලය අහිමි වීම සහ එන්සයිම ක්රියාකාරීත්වය වැනි ජෛව රසායනික ක්රියාවලීන් සිදුවේ. උෂ්ණත්වය ඉහළ යාමෙන් ඇතැම් ක්රියාවලීන් වේගවත් වන අතර ක්ෂුද්රජීවී වර්ධනය ද ආහාර නරක් වීමට හේතු වේ. එබැවින් අස්වැන්න නිසි ලෙස හැසිරවීම, සුදුසු ඇසුරුම් භාවිතය, සෙවණ සැපයීම, වේගවත් ප්රවාහනය සහ අවශ්ය අවස්ථාවල ශීත ගබඩා පහසුකම් භාවිතය වැදගත් වේ.
අතිරික්ත පලතුරු හා එළවළු වියළි ආහාර, පල්ප්, යුෂ හෝ වෙනත් සුරක්ෂිත නිෂ්පාදන බවට පරිවර්තනය කිරීමෙන් ඒවාට අගය එකතු කළ හැකිය. මෙවැනි ක්රම මඟින් ගොවීන්ගේ පාඩු අවම කර, කුඩා හා මධ්යම පරිමාණ ව්යාපාර සඳහා නව අවස්ථා ඇති කළ හැකිය. එමෙන්ම ආහාර නිෂ්පාදනයට වැය වූ ජලය, භූමිය, පොහොර සහ බලශක්තිය අපතේ යාම ද අඩු වේ. ඒ අනුව, දැනට නිෂ්පාදනය කරන ආහාරවලින් වැඩි කොටසක් සුරැකීම, අලුතින් නිෂ්පාදනය වැඩිකිරීම තරම්ම වැදගත් වේ.
ආහාර සුරක්ෂිතතාව සඳහා සුදුසු විද්යාත්මක ක්රම තෝරාගැනීම
අනාගත ආහාර සුරක්ෂිතතාව සඳහා කෘෂිකර්මාන්තය මෙන්ම ආහාර සැකසීම, සංරක්ෂණය, ඇසුරුම්කරණය සහ බෙදාහැරීම ඇතුළත් සමස්ත ආහාර කර්මාන්තය ද නවෝත්පාදනය කළ යුතුය. දේශීය අමුද්රව්යවලින් පෝෂ්යදායී නිෂ්පාදන සකස් කිරීම, සුදුසු ඇසුරුම් භාවිතය, සුරක්ෂිත කල්තබාගැනීමේ ක්රම හඳුන්වාදීම සහ නිෂ්පාදන ක්රියාවලියේදී ජලය හා බලශක්තිය ඉතිරි කිරීම ඒ අතර වේ.
විද්යාත්මක මූලධර්ම මත පදනම් වූ තාප සැකසීම මඟින් රෝගකාරක ක්ෂුද්රජීවීන් විනාශ කිරීම හෝ ඒවා ආරක්ෂිත මට්ටමකට අඩු කිරීම සිදු කළ හැකිය. විජලනය මඟින් ක්ෂුද්රජීවී වර්ධනයට අත්යවශ්ය ජලය ලබාගත හැකි ප්රමාණය අඩු කර ආහාරයේ කල්තබාගැනීමේ කාලය දීර්ඝ කළ හැකිය. ආහාරයට ගැළපෙන ඇසුරුම් තෝරාගැනීමෙන් ඔක්සිජන්, තෙතමනය හා ආලෝකය නිසා සිදුවන ඔක්සිකරණය, වර්ණ වෙනස්වීම් සහ පෝෂක හායනය අවම කළ හැකිය. කෙසේ වෙතත්, ආහාරයේ ස්වභාවය, pH අගය, ජල ක්රියාකාරීත්වය සහ ගබඩා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සුදුසු ක්රමය තෝරා එහි ආරක්ෂිතභාවය හා කාර්යක්ෂමතාව තහවුරු කළ යුතුය.
රසායනික ද්රව්ය භාවිතයෙන් ආහාර කල්තබාගැනීම නවෝත්පාදනයක් නොවේ
අනාරක්ෂිත හෝ නීතිවිරෝධී රසායනික ද්රව්ය භාවිතයෙන් පලතුරු ඉදවීම හෝ ආහාර කල්තබාගැනීම නවෝත්පාදනයක් ලෙස සැලකිය නොහැකිය. එවැනි ක්රියාමාර්ග පාරිභෝගික සෞඛ්යයට තර්ජනයක් වන අතර ආහාර කර්මාන්තය කෙරෙහි මහජන විශ්වාසය ද බිඳදැමිය හැකිය. සැබෑ නවෝත්පාදනයක් විය යුත්තේ ආහාර ආරක්ෂිතභාවය, පෝෂණ වටිනාකම, ගුණාත්මකභාවය සහ පාරිසරික තිරසාරභාවය ආරක්ෂා කරන විද්යාත්මකව තහවුරු කළ විසඳුමකි.
මෙම ක්රියාවලිය ශක්තිමත් කිරීම සඳහා කර්මාන්ත ක්ෂේත්රය, විශ්වවිද්යාල සහ පර්යේෂණ ආයතන අතර සහයෝගීතාව ද අත්යවශ්ය වේ. විශ්වවිද්යාලවල හා පර්යේෂණ ආයතනවල දැනුම සහ නව තාක්ෂණ කර්මාන්තයට සම්බන්ධ කිරීමෙන් දේශීය අමුද්රව්ය සඳහා නව වෙළෙඳපොළ නිර්මාණය කිරීමටත්, නිෂ්පාදන ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමටත්, ආහාර නාස්තිය අවම කිරීමටත් හැකිය. එමඟින් නවෝත්පාදන ප්රායෝගික නිෂ්පාදන බවට පරිවර්තනය කරමින් ගොවීන්ගේ ආදායම සහ රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකිය.
දරුවන්ගේ පෝෂණ ගැටලු හෙළිකරන සෞඛ්ය අමාත්යාංශයේ දත්ත
ශ්රී ලංකාවේ පෝෂණ ගැටලු ආහාර හිඟයට පමණක් සීමා නොවේ. සෞඛ්ය අමාත්යාංශයේ පවුල් සෞඛ්ය කාර්යාංශය වාර්තා කළ 2024 දත්ත අනුව, වයස අවුරුදු පහට අඩු දරුවන් අතර අඩු බර ප්රතිශතය 17.0%ක් වූ අතර වර්ධන අවහිරතාව 10.5%ක් විය. මෙම දර්ශක දරුවන්ගේ පෝෂණය පිළිබඳ අඛණ්ඩ අවධානයක අවශ්යතාව පෙන්වයි. ශරීරයට අවශ්ය ශක්තිය ලැබීම පමණක් පෝෂණයට ප්රමාණවත් නොවේ. වර්ධනය, රුධිරය නිපදවීම, ප්රතිශක්තිකරණ ක්රියාකාරීත්වය සහ මොළයේ වර්ධනය සඳහා ප්රෝටීන, විටමින් සහ ඛනිජ ලවණ ද අවශ්ය වේ. සහල් ප්රමාණවත් වුවත් ආහාර වේලේ විවිධත්වය අඩු නම් යකඩ, සින්ක් හෝ විටමින් වැනි පෝෂක ප්රමාණවත් නොවිය හැකිය.
වර්ධන අවහිරතාව දිගුකාලීන පෝෂණ ගැටලුවක් වන අතර එයට මවගේ පෝෂණය, දරුවාට ලබාදෙන ආහාර, ආසාදන, පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව ද බලපායි. අනෙක් අතට, අධික සීනි, ලුණු සහ අහිතකර මේද අඩංගු ආහාර වැඩිපුර පරිභෝජනය කිරීම ද සෞඛ්යයට අහිතකරය. එබැවින් ශ්රී ලංකාවට අවශ්ය වන්නේ ප්රමාණවත් ආහාර පමණක් නොව, විවිධත්වයෙන් යුතු, ආරක්ෂිත සහ දැරිය හැකි මිලකට ලබාගත හැකි පෝෂ්යදායී ආහාර වේ. මෙම අවශ්යතා සපුරාලීම සඳහා නව්ය චින්තනය භාවිත කළ යුතුය.
නව්ය වීමෙන් පමණක් සම්පූර්ණ නොවන නවෝත්පාදනය
ගොවිබිමේ නිෂ්පාදනය කරන ආහාර සුරැකීමේ සිට නිවසේදී සෞඛ්ය සම්පන්න ලෙස පිළියෙල කිරීම දක්වා සෑම අදියරකදීම නවෝත්පාදනයට ඉඩ තිබේ. දේශගුණයට ඔරොත්තු දෙන වගා ක්රම, කාර්යක්ෂම ජල කළමනාකරණය, පසු අස්වනු හානි අවම කිරීම, ආරක්ෂිත ආහාර සැකසීම සහ දේශීය අමුද්රව්යවලින් පෝෂ්යදායී නිෂ්පාදන සකස් කිරීම සඳහා ආයෝජනය කළ යුතුය. ඒ සමඟම පාරිභෝගික දැනුවත්භාවය, පාසල් පෝෂණ වැඩසටහන් සහ අඩු ආදායම්ලාභී පවුල්වලට ආරක්ෂිත ආහාර ලබාගැනීමේ හැකියාව ද ශක්තිමත් කළ යුතුය. මෙම වගකීම ගොවියාට හෝ රජයට හෝ පමණක් පැවරිය නොහැකිය. පර්යේෂකයන්, විශ්වවිද්යාල, ආහාර කර්මාන්තය, වෙළෙඳුන්, සෞඛ්ය වෘත්තිකයන් සහ පාරිභෝගිකයන් සියලු දෙනාටම කාර්යභාරයක් ඇත.
නවෝත්පාදනයක සාර්ථකත්වය තීරණය වන්නේ එය කෙතරම් නවීන ද යන්නෙන් පමණක් නොව, ආහාර නාස්තිය අඩු කරන්නේද, ගොවියාගේ ආදායම වැඩි කරන්නේද, පෝෂ්යදායී ආහාර දැරිය හැකි මිලකට ලබාගැනීමට උපකාරී වන්නේද සහ පාරිභෝගික සෞඛ්ය ආරක්ෂා කරන්නේ ද යන්න මතය. අද අප නව අදහස් ක්රියාවට නංවන්නේ නම්, හෙට දරුවන්ට ආහාර පමණක් නොව සෞඛ්ය සම්පන්න ජීවිතයකට අවශ්ය පෝෂණය ද උරුම කර දිය හැකිය. ගොවිබිමේ සිට ආහාර කර්මාන්තය දක්වාත්, එතැනින් සෑම ශ්රී ලාංකිකයකුගේම කෑම මේසය දක්වාත් නවෝත්පාදනය ළඟා කරවීම අප සැමගේ වගකීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd