මෑත කාලීනව විවිධ පෞද්ගලික අධ්‍යාපන ආයතන මෙන්ම නිතීඥවරුන් කියා ගත් කිසිදු නිත්‍යනුකූලභාවයක් නොමැති ඇතැම් පුද්ගලයන් විසින් ද "නීති ඩිප්ලෝමා" නමින් කෙටි කාලීන පාඨමාලා සංවිධානය කරමින්, තරුණ පිරිස් රවටා මුදල් අය කිරීමේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ප්‍රවණතාවක් දක්නට ලැබේ. 

තමන්ට අභිමත විෂයයන් කීපයක කොටස් පමණක් අරමුණු රහිතව උගන්වා "ඩිප්ලෝමා" නමින් කිසිදු නිත්‍යනුකූලභාවයක් නොමැතිව සහතික පත්‍ර නිකුත් කරන මෙම ආයතන, සිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නේ දැඩි ලෙස නොමග යවනසුලු සහ වංචනික දැන්වීම් ය. මෙලෙස සිසුන් අසරණ කරන "නීති ඩිප්ලෝමා" ජාවාරමේ සැබෑ හෙළිදරව්ව සහ නීතිඥවරයකු වීමේ නීත්‍යනුකූල යථාර්ථය පිළිබඳව  වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ සටහනකි. 

ඩිප්ලොමාවක් කරලා නීතීඥවරයෙක් වෙන්න පුළුවන්ද?

“මේ වෙනකොට විවිධ පෞද්ගලික අධ්‍යාපන ආයතන මෙන්ම ඇතැම් පුද්ගලයන් විසින් "නීති ඩිප්ලෝමා" නමින් කෙටිකාලීන පාඨමාලා සංවිධානය කරමින් අභිමත විෂයයන් කීපයක කොටස් පමණක් අරමුණු රහිතව උගන්වලා "ඩිප්ලෝමා" නමින් සහතික පත්‍ර නිකුත් කිරීම  රට පුරාම දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ අය සිසුන් ආකර්ෂණය කරගන්නේ  සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන දැඩි ලෙස නොමග යවනසුලු සහ වංචනික දැන්වීම් හරහා.” 

“මෙම ඩිප්ලෝමා පාඨමාලාව නීතිඥයකු බවට පත්වීමේ "පළමු පියවර" විදිහට හැඳින්වීම තමයි මෙහි  ප්‍රධානතම නොමග යැවීම. මෙම සහතික පත්‍ර ප්‍රදාන උත්සව පවත්වන්නෙත් BMICH වැනි සම්භාවනීය ස්ථානවල. කිසියම් අධ්‍යාපනික සුදුසුකමක වටිනාකම තීරණය වන්නේ එම සහතිකය ප්‍රදානය කළ ස්ථානය මත නොවෙයි, එය ප්‍රදානය කරන ආයතනයේ නීත්‍යනුකූල තත්ත්වය සහ  පාඨමාලාවේ අධ්‍යාපනික ප්‍රමිතිය සහ අදාළ වෘත්තීය ක්ෂේත්‍රයේ එම සුදුසුකම පිළිගැනීම මතයි. පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයක ස්වරූපය අනුකරණය කරමින්, මේ පෞද්ගලික සහතික සඳහා උත්සවවල පලඳවන්නේ උපාධි ලෝගුව.”  

කළු කබා  විකුණන  නිතීඥ වෙළෙඳුන්ගෙන් ප්‍රවේසම් වෙන්න 

 

“තවත් විහිළුසහගත කරුණක් තමයි සමහර ආයතන එම ඩිප්ලෝමා විභාගයට පෙනී සිටීම සඳහා නීති ශිෂ්‍යයන් ලෙස කළු කලිසම් සහ සුදු කමිස , කාන්තාවන් සඳහා නීතිඥවරියන් මෙන් සුදු, කළු හෝ දම් පැහැති සාරිවලින් සැරසී ආ යුතු බවට ද නියම කරලා තිබීම. සමහර ළමයි නීතිඥවරුන් වගේ  කළුකබාවලින් පවා සැරසිලා ඒ  ඡායාරූප “ඩිප්ලෝමා පාඨමාලාව” මෙහෙයවන පුද්ගලයන් විසින් සමාජ මාධ්‍යයේ පළකරලා වංචාසහගත ප්‍රසිද්ධියක් ලබාදෙනවා.”

“එමෙන්ම, ඒ අයුරින් සැරසී පාර්ලිමේන්තුව වැනි තැන්වලට "චාරිකා" ගොස් සමූහ ඡායාරූප රැගෙන ප්‍රචාරය කිරීමත් මේ වංචාව තුළ සිදු කෙරෙනවා. එතකොට මේ සියල්ල සම්පූර්ණ "නාටකයක්" බවට මේ තරැණ දරුවන් තේරුම් ගන්නා විට ඔවුන් ඒ සඳහා විශාල මුදලක් ගෙවා අවසන්.” 

ඩිප්ලෝමා සහතිකයෙන් උසාවි යා හැකි ද?

“කෙටිම සහ සෘජු පිළිතුර වන්නේ "කිසිසේත්ම බැහැ" . ශ්‍රී ලංකාව තුළ නීතිඥවරයකු ලෙස දිවුරුම් දීමට නම්, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් විභාගය සමත් වීම අනිවාර්ය වෙනවා. කෙනකුට නීති විද්‍යාලයට ඇතුළත් විය හැක්කේ ප්‍රධාන ක්‍රම දෙකක් ඔස්සේ පමණයි.

එකක් තමයි නීති විද්‍යාල ප්‍රවේශ විභාගය - නීති ප්‍රවේශ විභාගයට පෙනී සිට ඉහළම ලකුණු ලබාගැනීමෙන් පසුව නීති විද්‍යාලයේ වසර තුනක අධ්‍යන කටයුතු අවසන් කරලා නීති විද්‍යාලයේ අවසන් විභාගයට පෙනීසිටීමෙන් පසුව තමයි නීතීඥවරයකු විදිහට දිවුරැම් දිය හැක්කේ.” 

“අනිත් ආකාරය තමයි  ශ්‍රී ලංකා නීති අධ්‍යාපන සභාව මගින් රජයේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් නීතිවේදී(LLB) උපාධිය ලබා නීති විද්‍යාලයට ඇතුළත් වෙලා අවසන් විභායට පෙනී සිටිමෙන් පසු නීතීඥවරයකු වශයෙන් සුදුසුකම් ලැබිය හැකියි. නමුත් දේශීය හෝ විදේශීය පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් (LLB) උපාධිය ලබාගත්    කෙනෙකුට නීතීඥවරයෙකු වීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය ලංකාවේ නීති විද්‍යාලයට ඇතුළත් වෙලා වසර තුනක කාලයක් අධ්‍යන කටයුතු වලින් පසුව පවත්වන අවසන් විභාගයට මුහුණ දීලා තමයි ඔහුට හෝ ඇයට නීතීඥවරයකු වීමේ හැකියාව තිබෙන්නෙ.”

“ඒ නිසා විවිධ පුද්ගයන් සහ ආයතන වලින් මෑතකාලීනව ලොකු මාෆියාවක් කරගෙන යනවා සිහින ලෝක පෙන්නවා නීති ඩිප්ලෝමාවක් කළොත් එය නීතිඥවරයකු වීමට පහසු මගක් කියලා. කොතරම් සිහින ලෝක පෙන්නුවත් කිසිදු ආකාරයක ට "නීති ඩිප්ලෝමාවක් මගින්" නීති විද්‍යාලයට ඇතුළත් වීමට හෝ නීතිඥවරයකු වීමට සුදුසුකමක් වන්නේ නැහැ”.    

“උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ (S) තුනකින් නීති විද්‍යාලයට යාමට නොහැකියි. කවුරුන් හෝ නීතිඥවරයකු සිහිනය දක්වා නම් පළමුව ඒ සඳහා නියමිත සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සුදුසුකම් ලබාගත යුතු වෙනවා. පෞද්ගලික ආයතනයකින් හෝ විදෙස් විශ්වවිද්‍යාලයකින් නීතිවේදී (LL.B) උපාධියක් ලබාගත් පමණින් ශිෂ්‍යයකුට නීති විද්‍යාලයට ඇතුළත් වීමටත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඕනෑම නීති උපාධිධාරියකුට නීතිඥවරයකු ලෙස ලියාපදිංචිවීමට පහත මූලික සුදුසුකම් සපුරා තිබීම අනිවාර්ය වෙනවා.”

“අපොස සාමාන්‍ය පෙළ විභාගයයට  සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව යන මව් භාෂා දෙකෙන් එකකට සහ ඉංග්‍රීසි භාෂාව සඳහා අනිවාර්යයෙන්ම සම්මාන සාමාර්ථ (C) ලබා තිබිය යුතු වෙනවා. අපොස උසස් පෙළ විභාගය එකම වාරයක දී අවම වශයෙන් සම්මාන සාමාර්ථ (C) 02 ක් සහ සාමාන්‍ය සාමාර්ථ (S) 01 ක් ලබා තිබීම අනිවාර්ය වෙනවා.

උසස් පෙළ විභාගයෙන් සාමාන්‍ය සාමාර්ථ (S) 03 ක් පමණක් ඇති අයකුට පෞද්ගලික ආයතනයකින් නීති උපාධිය හැදෑරීමට හැකියාව තිබුණත්, ඉහත දක්වන ලද සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවම සුදුසුකම් නොමැති නම් ඔවුන්ට කිසි දිනෙක නීතිඥවරයකු වීම සඳහා නීති විද්‍යාලයට ඇතුළත් විය නොහැකි වෙනවා. 

නීතිඥයෙක් වෙන්න අනිවාර්යයෙන්ම නීති විද්‍යාලයේ අවසන් විභාගයට මුහුණ දිය යුතුමයි.”

”මෙම ඩිප්ලෝමා ආයතන ප්‍රචාරය කරන තවත් වංචා සහගත කරුණක් වන්නේ, මෙම ඩිප්ලෝමාව හැදෑරීමෙන් විදේශීය විශ්වවිද්‍යාලයක නීති උපාධියට (LL.B) ඇතුළත් විය හැකි බවයි. නමුත් එම අදාළ මුදල් ගෙවීමට හැකියාව පවතින්නේ නම් සහ අදාළ විදේශීය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ මූලික සුදුසුකම් සපුරාලන්නේ නම්, ඕනෑම අයකුට එම මෙම නීති උපාධි පාඨමාලාවලට ඇතුළත් විය හැකියි.” 

ඒ පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේ ද කීවේය . 

“2020 දෙසැම්බර් 30 දිනැති අංක 2208/13 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන නීති අධ්‍යාපන රීති හි 23 වන රීතියට අනුව, විදේශීය LL.B උපාධිධාරීන් නීති විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේදී පහත කොන්දේසි සපුරාලිය යුතු වෙනවා. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, සිංගප්පූරුව යන රටවල පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ QS World University Rankings හි නීති විෂය ක්ෂේත්‍රයේ ලොව පළමු විශ්වවිද්‍යාල 100 අතර වන ආයතනයකින් ලබාගෙන තිබිය යුතු වෙනවා.එය නීතිඥ වෘත්තියේ යෙදීමට සුදුසුකම් ලබාදෙන පූර්ණකාලීන අභ්‍යන්තර උපාධියක් (Qualifying Law Degree - QLD) විය යුතුයි.”

නීති ඩිප්ලෝමා කරලා විදේශීය විශ්වවිද්‍යාල හෝ ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක් හරහා  නීති උපාධිය හදාරන්න යන්න බැහැ

“අයැදුම්කරු තමන් උපාධිය ලබාගත් රටේ නීතිඥවරයකු ලෙස ලියාපදිංචි වීමට සහ වෘත්තියේ නියැළීමට නීතිමය අවසරය පවතින බවට අදාළ රටේ බලධාරී ආයතනයකින් නිකුත් කළ නිල සහතිකයක් ද (Certificate of Eligibility / Permission to Practice) ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම නීති අධ්‍යාපන සභාව පවත්වන විශේෂ ප්‍රවේශ විභාගය සමත්විය යුතු වෙනවා.  ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී (LL.B) උපාධිය හැර, වෙනත් කිසිදු පෞද්ගලික හෝ විදේශීය දුරස්ථ/මාර්ගගත (Online) ක්‍රමවේදයට පමණක් හදාරා ලබාගන්නා නීති උපාධියක් ශ්‍රී ලංකා නීති අධ්‍යාපන සභාව මගින් පිළිගනු ලබන්නේ  හෝ අනුමත කරනු ලබන්නේ නැහැ.”

පොතේ නීතිය සහ උසාවියේ නීතිය

“නීතිය කියන්නේ පොතපතේ ඇති වගන්තිවලට පමණක් සීමා වූ විෂයයක් නොවෙයි. ඉහළ අධිකරණ විසින් ලබාදෙන තීන්දු  පහළ අධිකරණ විසින් අනුගමනය කළ යුතු අතර, අධිකරණය විසින් සකස් කරන "නඩු තීන්දු නීතිය" ඇතැම් විට පාර්ලිමේන්තුවේ සම්මත පනත්වලටත් වඩා ප්‍රායෝගිකව බලපානු ලබනවා. මෙවැනි ගැඹුරු විෂය පථයක් මාස කිහිපයක හෝ පැය කිහිපයක "ඩිප්ලෝමා" පාඨමාලාවකින් හැදෑරිය නොහැකි. ඒ නිසා නීති කරුණු එහෙන් මෙහෙන් ඉගෙන ගෙන ලබාන්නා ව්‍යාජ ඩිප්ලෝමා සහතික නීති ක්ෂේත්‍රයේ හෝ වෙනත් පෞද්ගලික අංශයේ රැකියාවක් සඳහා සුදුසුකමක් ලෙස ගැනෙන්නේ නැහැ. රාජ්‍ය අංශය රැකියාවකට මෙම ඩිප්ලෝමා සහතික   කිසිසේත්ම පිළිගනු ලබන්නේ නැහැ.”      

“ඔබට ශ්‍රී ලංකාවේ නීතිඥයකුවීමේ සැබෑ අවශ්‍යතාවක් තිබේ නම් කළ යුත්තේ ව්‍යාජ ඩිප්ලෝමාවලට මුදල් හා කාලය නාස්ති නොකර නිවැරදි ප්‍රවේශය තෝරාගැනීමයි. පළමුව සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල හෝ දෙමළ භාෂාවට සහ ඉංග්‍රීසි භාෂාවට 'C' සාමාර්ථ ද, උසස් පෙළ විභාගයෙන් 'C' සාමාර්ථ 2ක් සහ 'S' සාමාර්ථ 1ක් ද ලබා ගනිමින් මූලික සුදුසුකම් සපුරා ගත යුතු වන අතර එම සුදුසුකම තිබේ නම්, කිසිදු "ව්‍යාජ නීති ඩිප්ලෝමාවක්" නොමැතිව නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටීමට හෝ පිළිගත් නීති උපාධියකට යොමු වීමට ඔබට මග පෑදෙනු ඇත. විදෙස් නීති උපාධියක් ලබා ගන්නේ නම් ලියාපදිංචි වීමට පෙර එම උපාධිය ශ්‍රී ලංකා නීති විද්‍යාලය විසින් පිළිගනු ලබන්නේද යන්න නීති විද්‍යාලය මගින් සනාථ කර ගත යුතු වෙනවා.”

නොදන්නාකම සහ නීතිඥ වෘත්තිය කෙරෙහි ඇති ගෞරවය මුදල් ඉපයීමේ මාර්ගයක් කරගත් වංචනික ආයතනවලට සහ පුද්ගයින්ට හසු නොවී,  නීත්‍යනුකූල සහ පිළිගත් මාර්ග ඔස්සේ පමණක් යමෙකු සිය නීතිඥ සිහිනය සැබෑකර ගැනීමට යොමුවීම ඥානාන්විතය. 

නදීශා අතුකෝරළ