අද වන විට අපේ අතේ ඇති ස්මාර්ට් ජංගම දුරකථනය ලෝකයේ ඕනෑම දැනුමක් ළඟා කර දෙන විශ්වකෝෂයක් බවට පත්ව තිබේ. හිසරදයක සිට පිළිකාවක් දක්වා ඕනෑම රෝග ලක්ෂණයක් Google හෝ ChatGPT වැනි කෘත්‍රිම බුද්ධි යෙදවුම් වෙත යොමු කළ විට, තත්ත්පර කීපයකින් ඊට අදාළ ප්‍රතිකාර සහ ඖෂධ ලැයිස්තුවක් තිරය මත දිස්වේ. 

නමුත් මේ ඩිජිටල් පහසුව අපේ ජීවිත බේරා ගන්නා මඟ පෙන්වීමක් වෙනුවට, ජීවිතයම බිලිගන්නා මාරාන්තික උගුලක් බවට පත්ව ඇති අවස්ථාවක් පිළිබඳ සිදුවීමක් පසුගියදා කුලියාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වී තිබේ. 

වෛද්‍ය විද්‍යාව වසර ගණනාවක් පුරා ප්‍රගුණ කළ විශේෂඥ දැනුම පසෙකලා, අන්තර්ජාල සෙවුම් යන්ත්‍රවලට වෛද්‍යවරුන්වීමට ඉඩ දුන් කළ සිදුවන ව්‍යසනය මෙයින් අවධාරණය කෙරේ. 

අන්තර්ජාලය ඔස්සේ තොරතුරු සොයාගෙන ස්වයංව ඖෂධ ලබාගැනීමට පුරුදුව සිටි පුද්ගලයකු කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සතියේ මියගොස් තිබුණේ සමාජයට  වැදගත් පණිවුඩයක් ලබාදෙමිනි. කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දී ජීවිතක්ෂයට පත් වූ එම පුද්ගලයා සිදුකර තිබුණේ අද බොහෝ දෙනෙක් කරන සාමාන්‍ය දෙයකි. එනම් වෛද්‍යවරුන් නිර්දේශ කළ නිසි ප්‍රතිකාර ක්‍රමවේදයෙන් බැහැරව, අන්තර්ජාලය ඔස්සේ තොරතුරු සොයා ස්වයංව ඖෂධ ලබා ගැනීමයි. අන්තර්ජාලය යනු තොරතුරු බඩගෝස්තරයකි. එහි සාමාන්‍ය රෝග ලක්ෂණ සඳහා සාමාන්‍ය පිළියම් තිබිය හැකිය. එහෙත්, මිනිස් සිරුර යනු එකිනෙකට වෙනස් වූ, සංකීර්ණ ජීව විද්‍යාත්මක පද්ධතියකි.   

අන්තර්ජාලයට හෝ කෘත්‍රිම බුද්ධියට (AI) ඔබේ ශරීරයේ අභ්‍යන්තර රුධිර පීඩනය, වකුගඩු හා අක්මාවේ ක්‍රියාකාරීත්වය, වෙනත් සංකීර්ණ රෝගී තත්ත්වයන් හෝ ඔබ ගන්නා වෙනත් ඖෂධ අතර ඇති විය හැකි ප්‍රතික්‍රියා  මැන බැලිය නොහැකිය. අන්තර්ජාලයෙන් ලැබෙන සාමාන්‍ය උපදෙසක් යමකුගේ සිරුරට ලබාදීම යනු අන්ධකාරයේ අතපත ගාමින් බිහිසුණු ප්‍රපාතයකට පියවර තැබීමකි.   සමාන රෝග ලක්ෂණ රැසක් විවිධ රෝග සඳහා පොදු විය හැක. උදාහරණයක් ලෙස පපුවේ කැක්කුමක් සාමාන්‍ය ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් ලෙස අන්තර්ජාලයෙන් වැරදියට වටහාගෙන ඊට ප්‍රතිකාර කිරීමෙන් හෘදයාබාධයක් වැළඳී මරණයට පත්වීමට ඉඩ ඇත.   

කුලියාපිටියෙන් ඇසුණු ඒ කණගාටුදායක මරණය අප සැමට කියාදෙන පාඩම පැහැදිලිය. එනම්, ජීවිතය යනු යන්ත්‍රයක කේතයක් නොවන බවත්, අන්තර්ජාලයේ ඇති තොරතුරු මත පමණක් පදනම්ව බෙහෙත් බීම යනු මරණයට විවෘත කරන ලද ආරාධනාවක් බවත්ය.

කෘත්‍රිම බුද්ධිය හරහා සෞඛ්‍ය උපදෙස් සහ ඖෂධ ලබාගැනීමේ ඇති බරපතළ අවදානම පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක කෝණයෙන් මෙන්ම, තාක්ෂණික  නිරීක්ෂණයන්ද ඔස්සේ කරුණු විශ්ලේෂණය කිරීම කාලීන අවශ්‍යතාවකි.

තොරතුරු තාක්ෂණයේ වේගවත් ඉදිරිගමනත් සමග වර්තමාන ලෝකයේ වඩාත්ම කතාබහට ලක්වන මාතෘකාව බවට පත්ව ඇත්තේ කෘත්‍රිම බුද්ධියයි (Artificial Intelligence). මිනිස් ජීවිතයට අත්වූ විශාල පහසුවක් වුවද, දැනුවත්භාවයෙන් තොරව භාවිත කිරීමේදී බරපතළ  තත්ත්වයන් නිර්මාණය වීම උද්ගත වී තිබේ. විශේෂයෙන්ම තරුණයන්  හා දරුවන් වෛද්‍ය උපදෙස් නොතකා නිසි පරීක්ෂාවකින් තොරව කෘත්‍රිම බුද්ධි යෙදවුම් මත පමණක් යැපීම හේතුවෙන් සමාජීය හා ​ෙපෟද්ගලික අර්බුද රැසක් නිර්මාණය වී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ආචාර්ය මංගල කීර්ති පැස්කුවල් පෙන්වා දෙයි.

මෙය වෙබ් 3.0 පරම්පරාවේ නිර්මාණය වීමත් සමග සිදු වූවකි. ඒ සමගම ලෝකයේ LLM හෙවත් Large Language Models බිහි වූ බවත්, එමගින් භාෂාත්මක තොරතුරු කියවා ප්‍රතිදානයන්(Outputt) ලබාදීම පරිගණකය මගින් සිදුවන බවත් ඔහු පැවසීය. සමාගම් ගණනාවක්ම මේ සඳහා පහසුකම් සපයන අතර, එම සමාගම් සතු දත්ත ගබඩා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම Machine Learning ලෙස හඳුන්වන බව හෙතෙම සඳහන් කළේය. යන්ත්‍රය සතුව ඇති ආදානයන්ට අනුව ප්‍රතිදානයන් සකස් කිරීමට පරිගණකයට ස්වයංක්‍රීයව බලය ලැබෙන අතර, කෘත්‍රිම බුද්ධිය ලෙස හඳුන්වන්නේ මෙය බවත්, පරිගණක සහ ජංගම දුරකථන යෙදවුම් හෝ වෙබ් අඩවි මඟින් තොරතුරු සෙවීම මෙන්ම පින්තූර නිර්මාණය කිරීම ආදි සියල්ල සිදුවන්නේ මෙලෙස ඇති වූ Machine Learning හරහා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම තාක්ෂණික ප්‍රවණතාව 2016 වසරෙන් පසුව ව්‍යාප්ත වන විට පරිගණකය, ජංගම දුරකථනය සහ සමාජ මාධ්‍ය සමග වැඩිම සම්බන්ධතාවක් පැවතියේ තරුණ පරපුරට බැවින් ඔවුහු මෙය ඉතා ඉක්මනින් ග්‍රහණය කර ගත්හ, එය එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරන අතරම  වින්දනයක්ද සපයයි. පහසුව සහ විනෝදය ඇති තැනට මිනිසා ආකර්ෂණය වන බැවින් විශේෂයෙන්ම 1997 න් පසුව ඉපදුණු Gen Z කණ්ඩායම මෙයට ප්‍රබල ලෙස යොමු වූ බව ඔහු සඳහන් කළේය.

මිනිස් බුද්ධිය සහ කෘත්‍රිම බුද්ධිය අතර පවතින වෙනස පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, බුද්ධිය යනු අප සතුව ඇති දැනුම සහ මතකය එකිනෙකට සම්බන්ධ කර නව ක්‍රියාවක් හෝ අදහසක් ජනිත කිරීමට මිනිස් මොළයට ඇති හැකියාව බවයි. පරිගණකයද ඡායාරූප සහ මිනිසුන් කළ කී දේවල් පිළිබඳ තොරතුරු එකතු කර, ඒවා විශ්ලේෂණය කොට නව ප්‍රතිදානයන් ලබා දෙන බවත්, මෙහිදී මිනිසාගේ මොළය සිදු කරන දේ පරිගණකය මගින් සිදු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙය මිනිස් මොළයට වඩා දියුණු විය හැකිද යන්න පිළිබඳව ලෝකයේ විශාල කථිකාවතක්  පවතින බව පැවසූ ඔහු, මිනිස් මොළයට නිශ්චිත ධාරිතාවක් තිබුණද පරිගණකයට ලැබෙන ආදානවලට සීමාවක් නොමැති බවත්, ඕනෑම කෝණයකින් විශ්ලේෂණය කිරීමට පරිගණකයට හැකියාව ඇති බව  සඳහන් කළේය. ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මිනිසා තමා දන්නා දෘෂ්ටිකෝණවලින් විශ්ලේෂණය කරන විට පරිගණකයට එම පුවතම මිනිසා නොසිතන, නොදකින දෘෂ්ටිකෝණයන්ගෙන් විශ්ලේෂණය  හැකි බවත්, ඡායාරූපයක ඉදිරිපස මෙන්ම පසුබිමේ ඇති සියලු දේ විශ්ලේෂණය කිරීමට පරිගණකය සමත් වන බැවින් එය මිනිසකුගේ සුපරීක්ෂාවට වඩා ප්‍රබල බවත් හෙතෙම කියා සිටියේය.

කෘත්‍රිම බුද්ධියේ වර්ග පිළිබඳව  කරුණු දැක්වූ ඔහු කියා සිටියේ, එහි  Narrow AI, General AI සහ Super AI ලෙස වර්ගීකරණ තුනක් පවතින බවයි. Super AI යනු මිනිසාගේ පාලනයෙන් තොර මට්ටමකට පරිගණකය ස්වයංක්‍රීයවම පරිවර්තනය වීම බව පෙන්වා දුන් ඔහු, යුද්ධයට සම්බන්ධ පරිගණක ජාලයක AI යෙදවුමක් පැවතුණහොත් මිනිසාගේ අණක් නොලැබුණද පද්ධතියට ලබාදී ඇති දත්ත, අත්දැකීම් සහ මූලාශ්‍ර පදනම් කරගෙන පරිගණකය විසින්ම ස්වයංක්‍රීයව තීරණ ගැනීමේ හැකියාව පවතින බව සඳහන් කළේය. මෙම තත්ත්වයේදී පරිගණකය මිනිසාගේ පාලනයෙන් තොර වන බැවින් එහි විශාල භයානකකමක් පවතින බවද ඔහු අවධාරණය කළේය.

තරුණයන් සහ දරුවන් කෘත්‍රිම බුද්ධිය භාවිතයේදී පැනනගින ගැටලු පිළිබඳව අවධානය කරමින්, වර්තමානයේ පවතින සමාජීය ප්‍රශ්න, හිස්බව, අවිවේකී බව සහ සබඳතාවල අර්බුද නිසා තරුණ කණ්ඩායම් තමන්ගේ ප්‍රේම සබඳතා පවත්වාගෙන යාමට AI මගින් නිර්මාණය කරන ලද නියෝජිතයන් යොදාගැනීමේ  ප්‍රවණතාවය පිළිබඳව සඳහන් කළේය. පසුගිය වසරේ ජපානයේ බේස්බෝල් කණ්ඩායමක කළමනාකරුවකු වූ සිනෝ සුකේ අබේ සහ ඔහුගේ 18 හැවිරිදි දියණිය අතර ඇති වූ බහින්බස් වීමකදී, දියණිය AI යෙදවුමකින් උපදෙස් ලබාගෙන ළමා උපදේශන අංශයට යාම නිසා පියා අත්අඩංගුවට පත්වී ඔහුගේ රැකියාවද අහිමි වූ බව හෙතෙම සඳහන් කළේය. පියාව පොලිසියට භාරදීමට වුවමනාවක් නොතිබූ බව දියණිය පසුව ප්‍රකාශ කළ බවත්, මෙලෙස මිනිසා එදිනෙදා ජීවිතයේ ගැටලු AI හමුවට ගෙන එන බවත් ඔහු කියා සිටියේය.

තවද, පසුගිය වසරේ මැයි මාසයේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ තරුණයෙක් වෛද්‍ය උපදෙස් නොතකා AI හරහා ලබාගත් උපදෙස් අනුව ඖෂධ ගැනීම නිසා මරණයට පත් වූ බව පෙන්වා දුන් ඔහු, වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වන ඖෂධ ලබාදීමේදී AI යෙදවුම් අතීත රෝගීන්ගේ දත්ත පමණක් පරීක්ෂා කරන බවත්, අදාළ පුද්ගලයාට එම ඖෂධ විෂ වීම හෝ වෙනත් රෝග පිළිබඳව අවධානය යොමු නොකරන බවත් සඳහන් කළේය. මේ නිසා ඇමරිකාව මගින් මෙවැනි සමාගම්වලට එරෙහිව නඩු ගොනු කර ඇති බවද ඔහු පැවසීය.

මිනිසා ලබාදෙන තොරතුරු (Prompts) මත පදනම්ව යන්ත්‍ර ක්‍රියාත්මක වන බැවින් වෛද්‍ය උපදෙස් වැනි දෙයක් AI මඟින් ලබාගැනීම අනාරක්ෂිත බව හෙතෙම කියා සිටියේය. 

ගූගල් යනු SEO (Search Engine Optimization) මඟින් මූලාශ්‍රයක් සොයා දෙන සෙවුම් එන්ජිමක් බවත්, AI යනු GEO (Generative Engine Optimization) මගින් දත්ත ලබාගෙන අවශ්‍යතාවයට ගැලපෙන මූලාශ්‍ර පිළිතුරක් නිර්මාණය කර දෙන තාක්ෂණයක් බව ඔහු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ පාසල් විෂය නිර්දේශයට කෘත්‍රිම බුද්ධිය ඇතුළත් වී නොමැති නමුත්, තාක්ෂණික සාක්ෂරතාව අඩු ශ්‍රී ලංකාව වැනි රටකට භාවිත සාක්ෂරතාව ලබාදීම අත්‍යවශ්‍ය බැවින් එය විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය. දකුණු ආසියානු කලාපයේ අධ්‍යාපනික කාරණාවලට ප්‍රමුඛතාව දීම අඩු නිසා යම් ප්‍රමාදයක් පවතින බවත්, රට ඩිජිටල්කරණය කරන්නේ නම් අධ්‍යාපනය තුළට කෘත්‍රිම බුද්ධි  සාක්ෂරතාවය ඇතුළත් කළ යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් පනවා ඇති සීමා පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් - ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් රාජධානිය, ඉන්දියාව, ජපානය, චීනය සහ ඇමරිකාව වැනි රටවල AI අන්තර්ගතයන් ලේබල් කිරීම සහ භාවිතයේ සීමා පනවා ඇති බව ඔහු කියා සිටියේය. ඇමරිකාවේ චිකාගෝ හි විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යා පීඨවල උපාධි අපේක්ෂකයන්ට AI භාවිතය තහනම් කිරීමට නිර්දේශ කර ඇත.

අවසාන වශයෙන් 21 වැනි සියවසේ අධ්‍යාපන ඉලක්ක පිළිබඳව කරුණු දැක්වූ ඔහු, සන්නිවේදනය(Communication), නිර්මාණශීලීත්වය(Creativity), සහයෝගීතාව (credibility) සහ විවේචනාත්මක බුද්ධිය (Critical Thinking)  යන C4 සංකල්පයට AI නිසා දැවැන්ත අභියෝගයක් එල්ල වී ඇති බව පැවසීය. පහසුව නිසාම සියලු කටයුතු AI හරහා සිදු  කර ගැනීමට පෙලඹීමෙන් මිනිසාගේ  නිර්මාණය කිරීමේ සහ විශ්ලේෂණය කිරීමේ හැකියාව ගිලිහී යන බවත්, ස්වීඩනය වැනි රටවල අධ්‍යයනවලින් පවා වර්තමාන ශිෂ්‍ය ප්‍රජාවන්ට මෙම C4 කරුණු සපුරා ගැනීමට නොහැකි වී ඇති බව හෙළි වී ඇති බව  සඳහන් කරයි.  ඒ අනුව, විචාරශීලී බුද්ධිය සහ නිර්මාණශීලීත්වය යනු මනුෂ්‍යයෙකු සතුව පැවතිය යුතු  වන බැවින්, තාක්ෂණයට යටවී එම මානව හැකියාවන් අපෙන් ගිලිහී යාමට ඉඩ නොදිය යුතු බව පෙන්වා දෙමින් ඔහු සිය අදහස් දැක්වීම අවසන් කළේය.

මෙම ව්‍යසනයේ සැඟවී ඇති බරපතළ අවදානම  පිළිබඳව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක ද මෙලෙස අදහස් දක්වා සිටියේය,

“අන්තර්ජාලය ඔස්සේ ලැබෙන සියලු තොරතුරු වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කළ මූලාශ්‍රයන්ද යන්න පිළිබඳව සියයට සියයක් නිශ්චිතභාවයක් නැහැ. එම නිසා මෙවැනි පද්ධති වෙත යොමු වීමේදී දෙවරක් සිතා බැලිය යුතු වෙනවා.

කෘත්‍රිම බුද්ධිය සහ සමාජ මාධ්‍ය හරහා ලබාදෙන තොරතුරු නිසා රෝගීන්ට නැති රෝග ඇතිවීමේ සහ මානසිකව බිඳවැටීමේ ප්‍රබල ප්‍රවණතාවක් මේ වන විට පවතිනවා. සාමාන්‍ය රෝගී තත්ත්වයක් පවතින අයකු තාක්ෂණය ඔස්සේ තොරතුරු සෙවීමේදී, එහි ඇති තොරතුරු ඉදිරිපත් කරන ස්වභාවය නිසා එය ඉතා දරුණු රෝගයක් ලෙස තීරණය කර මානසිකව ඇදවැටීමට පවා ලක් වෙන්න පුළුවන්.”

“වෛද්‍යවරයකු සහ කෘත්‍රිම බුද්ධි පද්ධතියක් අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ, වෛද්‍යවරයකු ඖෂධ නියම කරන්නේ අදාළ පුද්ගලයාගේ පූර්ව රෝග ඉතිහාසය, කායික පරීක්ෂාව සහ වෛද්‍ය විද්‍යාත්මක තහවුරු කිරීම් පදනම් කරගෙන . නමුත් කෘත්‍රිම බුද්ධිය තොරතුරු නිකුත් කරන්නේ යන්ත්‍රය සතුව ඇති දත්ත සමුදාය කියවීමෙන් ලැබෙන පොදු ප්‍රතිඵලයක් ලෙස විනිශ්චය කරලා.එතකොට රෝගියා වෛද්‍යවරයා හමුවට පැමිණෙන්නේ තමාට පවතින රෝගයට වඩා වෙනත් දරුණු රෝගයක් පිළිබඳව මනසේ තබාගෙන. එතැනදි රෝගියාට සැබවින්ම පවතින රෝගය හඳුනාගැනීමට වෛද්‍යවරයාට අමතර වෙහෙසක් දැරීමට සිදුවනවා. වෛද්‍යවරයා වෛද්‍ය විද්‍යානුකූලව තහවුරු වූ පදනමකින් රෝගියාට ප්‍රතිකාර කිරීමට උත්සාහ කරන විට, සමහර අවස්ථා වල කෘත්‍රිම බුද්ධිය හෝ සමාජ මාධ්‍ය හරහා යම් යම් කරුණු දැනගෙන රෝගියා සහ වෛද්‍යවරයා අතර මතවාදී ගැටුමක් නිර්මාණය වන අවස්ථාද තිබෙනවා. විශේෂයෙන් තරුණ පිරිස් මේ කෘතිම බුද්ධිය සමග වැඩ කරන්න ඇබ්බැහි වීමත් මේ වගේ දේවල් වලට පෙලඹීමට ප්‍රධාන වශයෙන් බලපානු ලබනවා. මොකද ඒ අය මේ කෘතිම බුද්ධීය විශ්‍වාස කරන මානසික තත්ත්වයටම ඇවිත් තිබෙන අවස්ථා අප දැක තිබෙනවා.”

“විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලයන්හි " පිළිකාව සුව කරන ඖෂධ" හෝ "දියවැඩියාව නිට්ටාවටම සුව කරන අරුම පුදුම ඖෂධ" වැනි සටහන් බහුලව සංසරණය වෙනවා . රෝගීන් මේවා ඉතාම ඉක්මනින් විශ්වාස කරලා ඒවාට යොමු වෙලා අතරමං වෙනවා. වෛද්‍යවරයා ළඟට යද්දි සමහර වෙලාවට රෝගය උත්‍සන්න වී තිබෙන්නත් පුළුවන්.”

“ඒ නිසා කිසිම ලෙඩකට  අන්තර්ජාලයෙන් චැට්ජීපීටී (ChatGPT) වැනි කෘතිම බුද්ධියෙන් තොරතුරු සත්‍යාපනය කිරිම ඉතාම ජීවත අවදානමේ ක්‍රියාවන් අන්තර්ජාලයෙන් හෝ සමාජ මාධ්‍යවලින් ලබන සෞඛ්‍ය තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වෙමින්, ස්වයං-රෝග විනිශ්චයන්ට හා ස්වයං-ප්‍රතිකාරවලට යොමු නොවී නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ජනතාව වගබලා ගත යුතු වෙනවා.”

සජිනි ගුරුගේ