
අනුකම්පාවේ කාසියක් දෙසට දෑත් දිගු කරනවා වෙනුවට, තමන්ගේම දෑතේ ශක්තියෙන් අභිමානවත් මිනිසෙකු ලෙස නැගී සිටින්නට දරන උත්සාහය කෙතරම් උත්තරීතර ද? අන්ධකාරය සදාකාලික උරුමයක් කරගත් මිනිසුන් පිරිසක්, එකිනෙකාට දිරියක් වෙමින්, හඳුන්කූරෙන් සුවඳ විහිදුවමින්, ඉදලෙන් කොස්සෙන් මංපෙත් පිරිසුදු කරමින් ගොඩනගන ඒ නිහඬ විප්ලවයේ නම ”සහයෝග්යා” ය. මෙය හුදෙක් ආයතනයක් නොව, කඳුළු අස්සේ ජීවිතය සොයන මිනිසුන්ගේ ලේ සහ කඳුළින් ලියැවුණු ජීවන පුවතකි.
ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වාර්ෂිකව ඔක්තෝබර් 15 වන දින සමරනු ලබන්නේ ලොව පුරා වෙසෙන දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ ස්වාධීනත්වය සහ ගමන් කිරීමේ නිදහස අගය කරමිනි. 1969 වසරේදී කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති එක්සත් ජාතීන්ගේ මණ්ඩල රැස්වීමකදී ශ්‍රී ලාංකිකයෙකු වූ රියන්සි අලගියවන්න මහතා කළ යෝජනාවකට අනුව මුළු ලොවටම දායාද වූ මෙම දිනය, අපේ රටට සුවිශේෂී ඓතිහාසික අගයක් එක් කර තිබේ. එහෙත්, ලෝකය ඉදිරියේ එවන් ගෞරවයක් අත්පත් කරදුන් සුදු සැරයටිය භාවිත කරන අපේම රටේ දෘශ්‍යාබාධිත ප්‍රජාව වර්තමානයේ මුහුණ පා සිටින්නේ කෙබඳු අභියෝගයන්ට ද?
මේ පිළිබඳව කරුණු විමසා බලනු වස්, දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට ස්වශක්තියෙන් නැගී සිටීමට මඟපෙන්වන "සහයෝග්යා" සුදු සැරයටි නිෂ්පාදකයෝ ස්වයං රැකියා පියසෙහි නිර්මාතෘ ප්‍රියන්ත මල්ලවආරච්චි සමඟ කළ සාකච්ඡාවකින් මෙම ලිපිය පෙළගැසේ.
අපට අවශ්‍ය අනුකම්පාව නොව වෙළෙඳපොළක්
2023 වසරේ දෙසැම්බර් 02 වන දින ආරම්භ කරන ලද ”සහයෝග්යා” ආයතනයේ මූලික අරමුණ වන්නේ යැපුම් මානසිකත්වයෙන් මිදී තමන්ගේම දහඩිය මහන්සියෙන් ජීවත්වීමට වෙරදරන දෘශ්‍යාබාධිත ප්‍රජාව බලගැන්වීමයි.
නිර්මාතෘ ප්‍රියන්ත මහතා පෙන්වා දෙන පරිදි, 2025 වන විට ලක්ෂ 12 ක් ඉක්මවන මෙරට දෘශ්‍යාබාධිත ජනගහනයෙන් රජයේ හෝ පෞද්ගලික අංශයේ ස්ථිර රැකියාවක නිරත වන්නේ 1% කටත් වඩා අඩු ප්රතිශතයකි. ඉතිරි 99% කට ආසන්න ප්‍රජාව දැඩි විරැකියාවෙන් පෙළෙති. ඔවුන්ට සාමාන්‍ය මිනිසුන්ට මෙන්ම සමාන කුසගින්නක් හා සමාජ අවශ්‍යතා තිබුණද, ආරක්ෂිත ජීවනෝපායක් නොමැතිකම නිසා බහුතරයකට සිදුව ඇත්තේ අනාරක්ෂිතව මඟතොට ඇවිදිමින් ජංගම වෙළෙඳාමේ නිරත වීමටයි. එසේ වෙළෙඳාමේ යන බොහෝ දෙනෙකුගේ භාණ්ඩ හා මුදල් සොරකම් කිරීමට ඇතැම් නරුම මිනිසුන් කටයුතු කරද්දී, අසරණ වන ඔවුන්ට පොලිසියෙන් පවා ලැබෙන්නේ ”හොරා අල්ලාගෙන එන්න” වැනි උපහාසාත්මක පිළිතුරුය.
2025 සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ ශීඝ්‍ර වර්ධනයක්
සමාජය විසින් දෘශ්‍යාබාධිතයන් වෙනුවෙන් සාම්ප්‍රදායිකව වැඩිහිටි නිවාස හෝ රැකවරණ මධ්‍යස්ථාන තනද්දී, දියුණු ලෝකයේ මෙන් ඔවුන්ගේ සැබෑ නිෂ්පාදන හැකියාව රටේ ආර්ථිකයට මුසු කිරීමේ උදාර සංකල්පය පෙරදැරි කරගෙන ”සහයෝග්යා” බිහිවන්නේ මෙන්න මේ කටුක යථාර්ථයට පිළිතුරක් වශයෙනි. 2024 වසරේදී සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් පිරිනැමූ ‘ස්වර්ණාභිමානී’ සම්මානයෙන් පවා මෙම ආයතනය පිදුම් ලබන්නේ එම උදාර සේවය නිසාමය.
නොපෙනෙන දෑතින් පණ ලබන උසස් නිමැවුම්
”සහයෝග්යා” ආයතනයේ ප්‍රමුඛතම කාර්යය වන්නේ ඇස් නොපෙනෙන සහෝදර ජනතාව වෙනුවෙන් ඇස් දෙකක් බඳු වූ සුදු සැරයටිය නිෂ්පාදනය කර නොමිලේ ලබාදීමයි. සුදු සැරයටි නොමිලේ බෙදාදීමේ වියදම පියවා ගැනීමට මෙන්ම, එහි සාමාජිකයින්ට ස්ථාවර ආදායමක් උත්පාදනය කරදීම සඳහා ඔවුහු ස්වයං නිෂ්පාදන රැසක් සිදු කරති.
හඳුන්කූරු, සුවඳ කුඩු, පහන් තිර, ඉදල් සහ කොසු ආදී නිෂ්පාදන සහ අලෙවි කටයුතු සියල්ල සිදු කරනු ලබන්නේ ආයතනයේ නේවාසිකව සිටින දෘශ්‍යාබාධිත සාමාජිකයින් විසිනි. ඔවුන්ගේ ශ්රමයට සාධාරණ දෛනික වැටුපක් මෙන්ම 40% ක අලෙවි කොමිස් මුදලක්ද, නවාතැන් හා ආහාර පානද ලබාදෙමින් ඔවුන්ව රැකබලාගැනීමට ආයතනය කටයුතු කරයි. ආයතනය සතු නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවතින බව පාරිභෝගිකයින් පවා තහවුරු කර ඇත. බොහෝ පාරිභෝගිකයින් මුලදී මේවා මිලදී ගන්නේ අනුකම්පාවෙනි. එහෙත් දෙවන වරටත් ඔවුන් මේවා සොයා එන්නේ අනුකම්පාව නිසා නොව, වෙළෙඳපොළේ ඇති අනෙක් නිෂ්පාදනවලට වඩා මේවායේ ඇති සුවිශේෂී ප්‍රමිතිය සහ කල්පැවැත්ම අත්දැකීමෙන්ම වටහා ගන්නා බැවිනි.

ඔවුන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අභියෝගයන් බොහොමයකි. නූතන තරගකාරී වෙළෙඳපොළ තුළ රැඳී සිටීමට අවශ්‍ය අවම තාක්ෂණික පහසුකම් පවා ඔවුන් සතුව නැත. අදටත් ඔවුන් හඳුන්කූරු සඳහා අමුද්‍රව්‍ය ගෙනැවිත්, සුවඳ කවා, අසුරන්නේ දෑතින්ම සිදුකරන වෙහෙසකර ක්‍රියාවලියකිනි. රුපියල් ලක්ෂ 3.5 ත් 4 ත් අතර වටිනාකමකින් යුත් හඳුන්කූරු නිෂ්පාදනය කරන ස්වයංක්‍රීය යන්ත්‍රයක් මිලදී ගැනීමට තරම් වත්කමක් නොමැතිකම නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ලාභය සීමා වී ඇත.
දිරියෙන් නැගී සිටින්නට වෙර දැරුවද, ”සහයෝග්යා” පියස අද මුහුණ පා සිටින්නේ අතිශය කටුක යථාර්ථයකටය. ආයතනය දැනට පවත්වාගෙන යන්නේ අධික මාසික කුලියක් සහ දැවැන්ත විදුලි-ජල බිල්පත් ගෙවමින් කුලී පදනම මත ලබාගත් තාවකාලික ස්ථානයකය. මීට වසරකට පමණ පෙර සද්භාවයෙන් යුත් පරිත්‍යාගශීලියෙකු විසින් මොවුන් වෙනුවෙන්ම ඉඩමක් පරිත්‍යාග කර, එහි ඔප්පුව පවා ආයතනය නමට ලියා දී ඇත. එහෙත්, එහි කුඩා ගොඩනැගිල්ලක් හෝ ඉදිකර ගැනීමට මූල්‍ය ශක්තියක් ඔවුන් සතුව නැත.
ඔවුන් කිසිදා මුදල් ඉල්ලා මහජනතාව ඉදිරියේ අතපාන්නේ නැත. එහෙත් හිසට ස්ථිර සෙවණක් තනා ගැනීමට ගල් කැටයක්, වැලි ටිකක්, සිමෙන්ති කොට්ටයක් හෝ ලබාදීමට මෙරට පරිත්‍යාගශීලී මිනිසුන්ට හැකිය. ස්ථිර තැනක් නොමැතිකම නිසා, මඟතොට අතරමංව සිටින තවත් දහස් ගණනක් වූ දෘශ්‍යාබාධිත තරුණ තරුණියන් ආයතනයට බඳවාගැනීමට ඇති ඉඩකඩ මුළුමනින්ම ඇහිරී තිබේ. ආරම්භක යුගයේ නිදාගන්නට ඇඳක් හෝ නොමැතිව, මහ වැස්සට පොළොවෙන් මතුපිටට එන දියසීරාව මත පැදුරු කැබැල්ලක් එළාගෙන දුක් විඳි මේ මිනිසුන්, අදටත් ඇතැම් දිනවල දානයක් හෝ උපකාරයක් නොලැබුණු කල වේල පිරිමසා ගන්නේ ඉතාමත් අසීරුවෙනි.
එමෙන්ම නිපදවන භාණ්ඩ තොග වශයෙන් වෙළෙඳපොළට හෝ ඇණවුම් කළ පාරිභෝගිකයා වෙත රැගෙන යාමට ඔවුන්ට කිසිදු වාහනයක් නැත. දිනකට රුපියල් 8,000 ක පමණ කුලියක් ගෙවා ත්‍රිරෝද රථ ලබාගැනීමට සිදුවීම ඔවුන්ට දරාගත නොහැකිය.
වෙළෙඳපොළ ප්‍රවේශය සහ අලෙවිකරණ බාධක
සුපිරි වෙළෙඳසැල් ජාලයන්ට පිවිසීමට අවස්ථාවක් නොමැති අතර, පූජනීය ස්ථාන හෝ නගර සභා පොළවල් ආශ්‍රිතව ස්ථිර වෙළෙඳ කුටියක් ලබාගැනීමට කළ ඉල්ලීම් පවා ප්‍රතික්ෂේප වී ඇත. එසේම, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් ඔවුන්ට ෆේස්බුක් පිටුවක් සාදා දුන්නද, දෘශ්‍යාබාධිත බව නිසා එය ඩිජිටල් අලෙවිකරණය සඳහා අඛණ්ඩව යාවත්කාලීන කර පවත්වාගෙන යාමට ඇස් පෙනෙන සහායකයෙකු නොමැතිකම විශාල අඩුවකි.
අනුන්ගේ පිහිටක් නොපතා දහඩිය මහන්සියෙන් ස්වයං රැකියාවක නිරත වන්නට මහා මගට බසින දෘශ්‍යාබාධිත මිනිසුන්ගේ ජීවිතය අනතුරෙන් පිරුණකි. පාර දෙපස අනාරක්ෂිතව හාරා ඇති කානු පද්ධතිවලට ඇදවැටෙමින්, දැඩි අවදානම් මැද වෙළෙඳාමේ යෙදෙන ඔවුනට ඇතැම් විට මුහුණ දීමට සිදුවන්නේ තිරිසනුන්ටත් වඩා අන්ත නරුම මිනිස් ක්රියාකාරකම්වලටය. ලොතරැයිපත් හෝ නිෂ්පාදන අලෙවි කර සොයාගත් සුළු මුදල මෙන්ම භාණ්ඩ පවා බලහත්කාරයෙන් උදුරා ගැනීම්, හොර නෝට්ටු අතට දී සිදුකරන මගඩි කිරීම් මොවුනට දෛනික අත්දැකීම්ය.
හබරකඩදී ”සහයෝග්යා” ආයතනයේ සාමාජිකයෙකුට මුහුණ දීමට සිදුවූ අත්දැකීම මෙරට නීතියේ සංවේදීභාවය මැනිය හැකි කැඩපතකි. දරුවන් ජීවත් කරවන්නට ලොතරැයි වෙළෙඳාමේ නිරත වූ ඔහුට අමානුෂික ලෙස පහරදී, කානුවටද තල්ලු කර දමා ඔහුගේ ලොතරැයිපත් තොගය කොල්ලකා පලාගිය නරුමයා පිළිබඳ සීසීටීවී දර්ශන පවා තිබිණි. එහෙත් අදාළ බලප්‍රදේශයේ පොලිසිය ඔහුට දැක්වූ සහයෝගය ගැන ඇත්තේ දැඩි කනගාටුවකි.
සංගමයේ නිර්මාතෘ ප්‍රියන්ත මල්ලවආරච්චි ඒ වේදනාව විස්තර කළේ හදවත දැවෙන සංවේගයෙනි.
”අපේ කෙනෙක්ගෙ හබරකඩදි ලොතරැයි ටික හොරකම් කරගෙන ගිහින් තිබුණා. එතන සීසීටීවීත් තිබුණා. ගහලා, කානුවටත් අල්ලලා දාලා තමයි ලොතරැයි ටිකත් උදුරන් ගිහින් තිබුණේ. ඔහු අදාළ බල ප්‍රදේශයේ පොලීසියට කීප සැරයක් පැමිණිලි කළා. අන්තිමට එයාට උපරිම ඉහළ තැනට යන්න වුණා ඒකට සාධාරණේ ඉෂ්ට කරගන්න. අපේ ප්‍රශ්නයක් අපි පොලීසියට අරගෙන ගියාම මානුෂිකව හිතන්නෙ නැහැ. සමහර මිනිස්සු අපේ සල්ලි ටික උදුරගන්නවා, අපේ බඩු ටික උදුරගන්නවා. අපිට කවුද කියලා පේන්නෙ නෑනෙ. අපි අපේ විපත කියන්න පොලිසියට ගියාම ඒගොල්ලො කියනවා හොරා අල්ලන් එන්න කියලා. ඒක ඇත්තටම සාධාරණ නෑනෙ. පොලිසිවලට ගියාම අපිව බංකුවල තියෙනවා පැය ගණන්. අපිට කඳුළු එනවා. අපි වාද විවාද කරන්නෙ නෑ. අපි ඉතාමත් නිහතමානීව ඇත්තටම හැඬූ කඳුළින් පොලීසියෙන් බැහැලා ඇවිත් තියෙනවා. මේ සමාජයේ අපිට සලකන විදිහ ගැන ඇත්තටම අපට දුකයි.”දෘශ්‍යාබාධිතභාවය පිළිබඳ මෙරට සමාජයේ පවතින නූගත්කම සහ අනවබෝධය මොවුන් විඳින තවත් ප්‍රධානතම පීඩාවකි. වෛද්‍ය විද්‍යාත්මකව දෘශ්‍යාබාධිතභාවය පූර්ණ අන්ධභාවය (E1), දැඩි ලෙස පෙනීම දුර්වල (E2), සහ සීමිත පෙනීමක් සහිත (E3) ලෙස වර්ගීකරණය කර ඇත. එහෙත් සාමාන්‍ය සමාජය සිතන්නේ සුදු සැරයටියක් ගත යුත්තේ මුළුමනින්ම ඇස් නොපෙනෙන පුද්ගලයින් පමණක් බවයි.
යන්තමින් හෝ යමක් පෙනෙන E2 හෝ E3 කාණ්ඩයේ අයෙකු සුදු සැරයටියක් රැගෙන මඟතොට යනවිට, ”මූට ඇස් පේනවා, බොරුවට රඟපානවා” යැයි කියමින් මඟතොටදී අමානුෂික ලෙස පහරදුන් අවස්ථා එමටය. මේ අනවබෝධය නිසා ඔවුහු නිරන්තරයෙන් මහමඟදී අවමානයට, පහරදීම්වලට සහ අපහාසයට ලක්වෙති. සමාජයක් ලෙස අප තාක්ෂණයෙන් කොතෙක් ඉදිරියට ගියද, විශේෂ අවශ්‍යතා සහිත මිනිසෙකුගේ සැබෑ තත්ත්වය තේරුම්ගැනීමට තරම් අපේ සිතුම් පැතුම් දියුණු වී නැති බව මින් මනාව පැහැදිලි වේ.
”සහයෝග්යා” පියසේදී අපට හමුවූ සමන් අඳුර වැලඳගත් තාරුණ්‍යයේ බිඳුණු සිහින ගැන මතක අවදි කළේ මෙලෙසිනි:
රියැදුරෙකු ලෙස මෙන්ම විවිධ ක්ෂේත්රවල රැකියාව කරමින් පවුල රැකගත් සමන්ගේ ජීවිතය අඳුරු වූයේ 2022 වසරේදී එල්ල වූ මාරාන්තික ගල් පහරක් හේතුවෙනි. දකුණු ඇස මුළුමනින්ම අහිමි වී, අනතුරුව ඉතිරි වම් ඇසේද ස්නායු දුර්වල වීමෙන් වයස අවුරුදු හතළිහේදී ඔහු පූර්ණ අන්ධකාරයට ඇදවැටුණි.
”දකුණු ඇහැ සම්පූර්ණව අයින් කළා. වම් ඇහෙන් තමයි ඊට පස්සෙ පෙනීම ලබාගෙන මගෙ කටයුතු කරගත්තෙ. එහෙම වැඩ කරගෙන ඉන්නකොට, ඇස් දෙකෙන්ම බලන්න ඕන දේ එක ඇහෙන් බලපු නිසා ඒ ඇහැ වැඩිපුර පාවිච්චි වෙලා වම් ඇහෙත් ස්නායු දුර්වල වෙලා පූර්ණව දෘශ්‍යාබාධිත වුණා. ඒ වෙනකොට මට අවුරුදු හතළිහයි. දෘශ්‍යාබාධිත වුණාම ඇති වුණු අසරණ බව නිසාම ඇත්තටම මම හතර පාරක් මගෙ ජීවිතේ නැති කරගන්න ගියා. කෝච්චියට දෙපාරක් පනින්න ගියා. බෙල්ලෙ වැල දාගන්න ගියා. පෙර පිනකට බේරුණා. ඊට පස්සෙ මේ සහයෝග්යා ආයතනයට සම්බන්ධ වෙලා අපේ ප්‍රියන්ත මහත්තයා තමයි මාව සමාජගත කළේ. ඇත්තටම සුදු සැරයටියෙන්වත් තනියම යන්න බැරි තත්ත්වෙක හිටියේ. හැබැයි දැන් මට තනියෙන් ගෙදරට ගිහිල්ල එන්න පුළුවන් මට්ටමක මම ඉන්නවා.”
අපිට පිංපඩි එපා, අපේ දහඩියට වෙළෙඳපොළක් දෙන්න
අද වන විට සමන් හයදෙනෙකුගෙන් යුත් පවුලක ජීවන බර දරයි. නවය වසරේ ඉගෙනුම ලබන පාසල් වියේ පුතුගේ වියදම් මෙන්ම, ආඝාතය වැලඳී ඔත්පළව සිටින තම ආදරණීය පියාගේ සියලු උපස්ථාන කරන්නේද මේ දෑස් නොපෙනෙන දෑත්වලිනි.
”අපේ පවුලේ හයක්ම දෘශ්‍යාබාධිතයි, අනේ අපේ ආබාධිත දීමනාව සහ වැඩිහිටි දීමනාව, අස්වැසුම සියල්ලම කපලා.”
මේ ”සහයෝග්යා” සෙවණේ සිටින නිමල්ගේ වේදනාබර කතාවයි.
හසලක උපත ලබා, පසුව මාවනැල්ලේ පදිංචි වූ නිමල් වීරසිංහගේ පවුලේ හයදෙනාගෙන් සිව්දෙනෙකුම උපතින් හෝ පසුකාලීනව ආබාධිත තත්ත්වයට පත්වූවන්ය. තමන්ට යන්තම් පෙනෙන ඇසකින්, දෑස් නොපෙනෙන බිරිඳද, උපතින්ම දෙපා වාරු නැති මල්ලීද, 85 හැවිරිදි වියපත් මවද රැකබලා ගන්නා නිමල් මහතාගේ ජීවිතය කඳුළු සාගරයකි. නිමල් මහතාගේ ආබාධිත නැගණිය විවාහ කරගත් මර්වින් මහතාද පෙනීම දුර්වල අයෙකි. නීතියේ සහ චක්‍රලේඛවල අකුරට හිරවී මෙම අසරණ පවුලට අත්වූ ඉරණම රාජ්‍ය නිලධාරිවාදයේ අසංවේදී බව මැනවින් කියාපායි. මීට පෙර ඔවුන්ට ලැබුණු ආබාධිත දීමනාව සහ වැඩිහිටි දීමනාව, අස්වැසුම සුබසාධන වැඩසටහන පැමිණීමත් සමඟ එකවරම අත්හිටුවා ඇත.”කලින් අපිට ආබාධිත දීමනාව මගේ නෝනට ලැබුණා. මස්සිනාටත් හම්බුණා, අම්මට වැඩිහිටි එකත් හම්බුණා. අස්වැසුම ආවනෙ. ඒ ආපු කණ්ඩායම විස්තර අහලා තියෙනවා. අහලා, මගේ නෝනාට කියලා ඔයාගේ මහත්තයත් ආබාධිත කෙනෙක්නෙ කියලා මගේ නමත් දාලා හරිගස්සලා. ඊටපස්සෙ එක පාරටම ඒ සේරම අයින් කරලා දැම්මා හේතුවක් නැතුව. ඒ ගැන ගිහින් හොයලා බලපුවම දැන ගත්තා, ඇවිදීමට නොහැකි මස්සිනාගේ සහ පෙනීම නැති බිරිඳගේ භාරකාරත්වය පවුලේ ඇස් පෙනෙන එක් අයෙකු දැරීම නිසා සියලු ආධාර කපා දාලා කියලා. ඒක කෙතරම් අසාධාරණද?”
දෑස නොපෙනෙන මාපියන් මුහුණ දෙන බියකරුම ඛේදවාචකය වන්නේ, තම දූදරුවන්ටද එම අඳුරු ඉරණම උරුම වේදෝයි පවතින බියයි. ජානමය හෝ ස්නායු ආබාධ හේතුවෙන් දරුවන්ටද පෙනීම අහිමි වීමේ බරපතළ අවදානමක් පවතී. 2012 වසරේදී ”සහයෝග්යා” මැදිහත්වීමෙන් පැවැත්වූ අක්ෂි සායනයකදී, දෘශ්‍යාබාධිත මාපියන්ගේ දරුවන් සිව්දෙනෙකු පෙනීම අහිමි වීමේ ආසන්න අවදානමේ සිටියදී හඳුනාගෙන, කඩිනම් සැත්කම් මඟින් ඔවුන්ගේ දෑස් බේරා ගැනීමට හැකි විය. එදා ඒ පරීක්ෂාව සිදු නොවූයේ නම්, ඒ සිඟිත්තන් සිව්දෙනාද අද ජීවත් වන්නේ සදාකාලික අන්ධකාරයේය.
දෘශ්‍යාබාධිත මාපියන්ගේ දරුවන් වෙනුවෙන් අනිවාර්ය, අඛණ්ඩ විශේෂිත අක්ෂි සායන සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ ජාතික වැඩපිළිවෙළක් නීතිගත විය යුතුය. තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට පත්කර ඇති නිල නියෝජිතයන් පවා මොවුන්ගේ ගැටලු සොයා නොබලන කල, මේ අහිංසක දරුවන්ගේ අනාගතය අඳුරෙන් ගලවා ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ගේ ඇස් කන් විවර විය යුතුමය.
මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රයතුළ සුදු සැරයටියට නිසි පිළිගැනීමක් නැහැ
සුදු සැරයටිය ලෝකය පුරා පිළිගැනීමට ලක්ව තිබුණද, ශ්‍රී ලංකාවේ තවමත් මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්රයේ ඊට නිසි පිළිගැනීමක් සහ මාර්ගයේදී හිමිවිය යුතු පරම ප්‍රමුඛතාව ලබාදී නැත. රියැදුරු බලපත්‍ර විභාගවලදී සුදු සැරයටිය සහ දෘශ්‍යාබාධිත පුද්ගලයින් පිළිබඳව විශේෂ ප්‍රශ්නාවලියක් ඇතුළත් කිරීම සහ මාර්ගවල ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන නීති කඩිනමින් බලාත්මක කළ යුතුය. රට පුරා පවතින රියදුරු පුහුණු පාසල්වල මහ මගකදී දෘශ්‍යාබාධිත පුද්ගලයින් මුණ ගැසුණු විට කටයුතු කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව දෘශ්‍යාබාධිත පුද්ගලයින්ගේ ඉල්ලීමයි.අපිට පිංපඩි එපා, අපේ දහඩියට වෙළෙඳපොළක් දෙන්න

ඔහුගේ දෑතින් නිමවන සහයෝග්යා නිෂ්පාදන
ඔවුන් දේශයට කරන විවෘත ඇරයුම එයයි. මොවුන් කිසිවිටෙකත් ආධාර හෝ පරිත්‍යාග අයැද හිඟමන් යදින්නේ නැත. ඔවුන් ඉල්ලා සිටින්නේ තම දහඩිය මහන්සියෙන් නිපදවන උසස් තත්ත්වයේ නිෂ්පාදන සඳහා සාධාරණ වෙළෙඳපොළක් පමණි. එබැවින්, මේ සුදු සැරයටි දිනයේදී අපි සමස්ත දේශයටම මෙසේ හදවතින් ඇරයුම් කර සිටිමු.
”රට පුරා විසිරී ඇති දහස් සංඛ්‍යාත රෝහල්, පාසල්, අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන සඳහා මාසිකව අවශ්‍ය වන කොසු, ඉදල්, පහන් තිර සහ සුවඳකාරක ද්‍රව්‍ය 'සහයෝග්යා' වැනි අපේ දෘශ්‍යාබාධිත නිෂ්පාදකයන්ගෙන් ඍජුව මිලදී ගැනීමට කැබිනට් මට්ටමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න පුළුවන්. ලංකා සතොස සහ සමුපකාර වෙළෙඳසල් ජාලය හරහා අපේ නිෂ්පාදන අලෙවි කිරීමට විශේෂ රාක්කයක් වෙන්කර දෙන්න පුළුවන්. අපට අනුකම්පා කරන්න අවශ්‍ය නැහැ. ඒ මඟින් රටේ ආර්ථිකයට අප කරන දායකත්වයට සාධාරණ ගෙවීමක් කරන්න පුළුවන්. මෙරට වර්තමාන පාර්ලිමේන්තුව තුළ දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයෙකු පවා ඉන්නවා. එසේ ඉඳලාත් දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් එවැනි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සැකසීමට හැකියාවක් නැතිවීම ගැන ඉතාම කනගාටු වෙනවා.” යැයි ”සහයෝග්යා” සංගමයේ නිර්මාතෘ ප්‍රියන්ත පවසයි.
ඔබට පුළුවන් නම් දිනපතා ආගමික වතාවත් සඳහා මිලදී ගන්නා හඳුන්කූරු පැකට්ටුව, පහන් තිර පැකට්ටුව, නිවස පිරිසුදු කිරීමට ගන්නා ඉදල හෝ කොස්ස මීළඟ වතාවේදී ”සහයෝග්යා” දෘශ්‍යාබාධිත සහෝදරයෙකුගෙන් මිලදී ගන්න. ඔබ ඔවුන්ගෙන් මිලදී ගන්නා සෑම රුපියලකම නිෂ්පාදනයක් පිටුපස ඇත්තේ, අඳුරේ සුසුම්ලන අසරණ පවුලක දරුවෙකුගේ කුසගින්න නිවෙන බත් පතක බලාපොරොත්තුවයි. ආඝාතයෙන් ඔත්පළ වූ පියෙකුට බෙහෙත් පෙත්තක් අරන් දෙන පුතෙකුගේ කඳුළයි. සියදිවි නසාගැනීම පරදා නැගී සිටි තරුණයෙකුගේ ජීවන අභිමානයයි.
ඔවුන්ට ශක්තිමත් අත්වැලක් වීමට කැමති ඔබට ”සහයෝග්යා” නිර්මාතෘ ප්‍රියන්ත මල්ලවආරච්චි සම්බන්ධ කරගත හැක.
දුරකථන අංකය: 076 266 1389
(විශේෂ ස්තූතිය - සම්බන්ධීකරණ කටයුතු සිදුකරදුන් ප්‍රභාත් අතුකෝරළට)
උදානි ජයසේන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd