
AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද ඡායාරූපයකි
ප්රේමය, අභිලාෂය සහ මිනිස් ආශාවන් පිටුපස නිහඬවම සැඟවී එන සෙවණැල්ලක් තිබේ. එය සමාජය ඉදිරියේ තවමත් ප්රසිද්ධියේ කතා කිරීමට මැලිවන, එහෙත් මිනිස් ජීවිත දහස් ගණනක් අකාලයේ බිලිගන්නා ‘ඒඩ්ස්’ නැමැති නොපෙනෙන තර්ජනයයි. වරක් සමාජයෙන් හුදකලා වූ, බියෙන් සහ අගතියෙන් වැසී තිබූ මෙම මාතෘකාව අද වන විට නැවතත් අපගේ ආලින්දයටම පැමිණ හමාරය. කාලයේ වැලි තලාවට යටවී අමතක වී ගියා යැයි අප සිතූ භයානක වසංගතයක සෙවණැලි, අද අපේම තරුණ පරපුර දෙසට නැවතත් දිගු වෙමින් පවතී. එය හුදෙක් සෞඛ්ය සංඛ්යා ලේඛනයක්ම පමණක් ද? නැතහොත්, අපේ සමාජ සංස්කෘතික පරිවර්තනය තුළ අප නොදුටු බිඳවැටීමක සංඥාවක් ද? මේ ඒ සඳහා කතිකාවතකට සුදුසුම හෝරාවයි.
අපේ සමාජයේ HIV ගැන කතා කරන විට තවමත් බොහෝ දෙනකුගේ සිතට නැඟෙන්නේ බියකි. ඒ බියට එක් හේතුවක් වන්නේ HIV සහ ඒඩ්ස් යනු එකම දෙයක් ලෙස සිතීමය. තවත් හේතුවක් වන්නේ HIV ආසාදිතයකු දෙස සමාජයේ ඇතැම් පිරිස් තවමත් වැරදි ආකල්පයකින් බැලීමය. එහෙත් මේ වන විට ලෝකය HIV පිළිබඳව කතා කරන්නේ වෙනස් ආකාරයකිනි. එය බියෙන් පලා යා යුතු රෝගයක් නොව, කල්තියා හඳුනාගෙන නිසි ප්රතිකාර ලබාගෙන පාලනය කළ හැකි වෛරසයක් ලෙසිනි. එසේ වුවත් ශ්රී ලංකාව සම්බන්ධයෙන් මේ දිනවල නැවතත් HIV පිළිබඳ වැඩි අවධානයක් සහ කතාබහක් ඇති වී තිබේ. ඒ ජාතික ලිංගාශ්රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ නවතම සංඛ්යා ලේඛන අනුව මේ වසරේ HIV ආසාදිතයන් සංඛ්යාව පසුගිය වසර කිහිපයට වඩා කැපී පෙනෙන ලෙස ඉහළ යාමත් සමඟය.
වේගවත් ව්යාප්තියක්
ජාතික ලිංගාශ්රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ (NSACP) නවතම දත්තවලට අනුව, 2025 වසරේදී පමණක් මෙරටින් නව HIV ආසාදිතයන් 874 දෙනකු හඳුනාගෙන ඇත. 2026 වසරේ පළමු කාර්තුවේදී 249ක් සහ දෙවැනි කාර්තුවේදී 238ක් ලෙස ජුනි මස අවසානය වන විට තවත් නව ආසාදිතයන් 487 දෙනකු වාර්තා වී තිබේ. මේ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් මර්දන වැඩසටහන (UNAIDS) මඟින් HIV වේගයෙන් ව්යාප්ත වන රටවල් 21 අතරට ශ්රී ලංකාව ද ඇතුළත් කර ඇත. දිවයිනේ අනෙක් ප්රදේශවලට සාපේක්ෂව HIV ආසාදිතයින් වැඩිපුරම වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවලිනි.
සමස්තයක් ලෙස මෙරටින් වාර්තා වී ඇති මුළු HIV ආසාදිතයන් සංඛ්යාව 7,403 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ආසාදිතයන් අතුරින් 12෴ ක් වයස අවුරුදු 15ත් 24ත් අතර තාරුණ්යයේ පසුවන්නන් වන අතර, 50෴ ක් වයස අවුරුදු 30ත් 45ත් අතර පසුවන්නන් බව දත්ත වාර්තා හෙළි කරයි.
මෙරට HIV ආසාදන ඉහළ යාමට ප්රධානතම හේතුව වී ඇත්තේ පිරිමි පුද්ගලයන් අතර සිදුවන අනාරක්ෂිත ලිංගික සබඳතා සහ මත්ද්රව්ය ශරීරගත කර ගැනීම සඳහා එන්නත් භාවිත කිරීමයි. දත්ත විශ්ලේෂණයන්ට අනුව, වර්තමානයේ HIV ආසාදිත එක් කාන්තාවක් වාර්තා වන විට ආසාදිත පිරිමි පුද්ගලයන් හත්දෙනකු වාර්තා වීමේ ප්රවණතාවක් (1:7 අනුපාතයක්) දක්නට ලැබේ.
ඒඩ්ස් ඉහළ යාමට ප්රධානතම හේතුව පිරිමි පිරිමි අතර සිදුවන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා සහ මත්ද්රව්ය එන්නත් කරගැනීම.
මේ පිළිබඳව අදහස් දක්වන ලිංගික සෞඛ්ය පිළිබඳ විශේෂඥ වෛද්ය ප්රගීත් ප්රේමදාස මෙසේ පැවසුවේය.
“ලෝකයේ බොහෝ රටවල මෙන්ම ලංකාවත් 2010 – 2022 වසරවලදී HIV ආසාදනය අවම කරගැනීම සාර්ථකව සිදු කළ රටක්. නමුත් 2022න් පසුව HIV ආසාදන ඉහළ යාමේ ප්රවණතාවක් පෙන්නුම් කළා. 2025 වසරේ HIV ආසාදිතයන්ගෙන් 57෴ ක් ම වාර්තා වෙන්නේ පිරිමින් අතර සිදුවන ලිංගික සම්බන්ධතාවලින්. කාන්තාවන් සහ පිරිමින් අතර සිදුවන අනාරක්ෂිත ලිංගික සබඳතාවලින් සියයට 40ක ප්රමාණයක් වාර්තා වෙනවා. මුදල් මත පදනම් වූ ලිංගික සබඳතාවලදී ආරක්ෂිත ක්රමවේද අනුගමනය නොකිරීම HIV සහ අනෙකුත් ලිංගාශ්රිත රෝග ඉහළ යාමට හේතුවක් වී තිබෙනවා. ඒ වගේම මත්ද්රව්ය භාවිතය සහ මත්ද්රව්ය එන්නත් කරගැනීම වැනි ක්රියා හේතුවෙන් HIV ව්යාප්තිය ශීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරවලදී රෝගීන් 500ක් පමණ වාර්තා වුවත් දැන් එය 600ත් 800ත් අතර ප්රමාණයකින් වර්ධනය වී තිබෙනවා.”
1986 වසරේදී මෙරට පළමු ඒඩ්ස් රෝගියා වාර්තා වීමෙන් පසු ලිංගාශ්රිත රෝග පාලනය සඳහා ජාතික ලිංගාශ්රිත රෝග සහ ඒඩ්ස් මර්දන ඒකකය මෙන්ම විශේෂඥ වෛද්යවරුන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ බව ඔහු පෙන්වා දෙයි. කොවිඩ් වසංගතයෙන් පසු අන්තර්ජාලයට ප්රවේශ වීමේ අවස්ථා ඉහළ යාම, ආර්ථික අර්බුදය සහ මත්ද්රව්ය එන්නත් කර ගන්නා පුද්ගලයන්ගේ සංඛ්යාව ඉහළ යාම මෙම තත්ත්වයට ප්රධාන ලෙස බලපා ඇත.
“මත්ද්රව්ය එන්නත් කිරීම HIV ව්යාප්තියට ප්රධාන හේතුවක් වී තිබෙන්නේ ඇතැම් පිරිස් එක්රැස් වී මත්ද්රව්ය භාවිත කරන සාදවලදියි. මත්ද්රව්ය භාවිතයෙන් පසු ඇතිවන සිහිකල්පනාව මඳ බව නිසා, ආරක්ෂිත ක්රමවේද භාවිත නොකර අනාරක්ෂිත ලිංගික සබඳතාවලට යොමුවීමෙන් මෙහි ව්යාප්තිය සිදුවෙනවා. වසර කිහිපයකට පෙර මත්ද්රව්ය එන්නත් කරගැනීමේ ප්රවණතාව ලංකාව තුළ ඉතා අඩුවෙන් දක්නට ලැබුණත්, මේ වන විට එහි ශීඝ්ර වර්ධනයක් දක්නට ලැබෙනවා. ඔවුන් එකම එන්නත සහ සිරින්ජරය කිහිප දෙනෙකු අතර බෙදා ගැනීම නිසා රුධිරය හරහා වෛරසය ඉතා පහසුවෙන් සම්ප්රේෂණය වෙනවා. මෙවැනි එන්නත්කරණයේදී HIV වලට අමතරව හෙපටයිටීස් බී සහ සී වැනි රෝග ද ශීඝ්රයෙන් ව්යාප්ත වෙනවා. මීට අමතරව සැරව ගෙඩි, තුවාල ඇතිවීම සහ ලේවලට විෂබීජ එකතුවීම වැනි සෞඛ්ය ගැටලු ද ඇතිවිය හැකියි,” යනුවෙන් විශේෂඥ වෛද්යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
ප්රතිකාර සඳහා යොමු වීමේ අඩුවක්
HIV ආසාදනය වී ඇති රෝගියකු නිසි ප්රතිකාර සඳහා යොමුවන්නේ නම්, ඔහුගෙන් හෝ ඇයගෙන් එය තවත් පුද්ගලයකුට ව්යාප්ත වන්නේ නැත. එසේ නොකිරීම මෙම ව්යාප්තියට දැඩි ලෙස බලපා තිබේ.
පිරිමින් අතර ලිංගික සබඳතා පවත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් ද අවදානම තීරණය වන්නේ ඔවුන්ගේ ලිංගික කැමැත්ත අනුව නොව, ලිංගික ක්රියාවේ ස්වභාවය සහ ආරක්ෂිත ක්රම භාවිත කරන්නේ ද යන්න මතය. විශේෂයෙන් ආරක්ෂිත ක්රම නොමැතිව ගුද මාර්ගික ලිංගික සබඳතා පැවැත්වීමේදී HIV සම්ප්රේෂණ අවදානම ඉතා ඉහළය. ඒ නිසා “එක් වරක් කළාට කිසිවක් වෙන්නේ නැත” යන සිතුවිල්ල කිසිසේත්ම ආරක්ෂිත නැත. HIV ආසාදනය වූ පසු එය සම්පූර්ණයෙන්ම සුව කිරීමට දැනට ප්රතිකාරයක් නොමැති වුවත්, නිසි ප්රතිකාර ක්රම මඟින් එය පාලනය කිරීමේ හැකියාව පවතී. එම නිසා අනාරක්ෂිත ලිංගික සබඳතාවලින් වැළකීම, ආරක්ෂිත ලිංගික ක්රම භාවිත කිරීම සහ මත්ද්රව්ය එන්නත් කිරීමේදී ඉඳිකටු හෝ සිරින්ජ කිසිවිටෙකත් හුවමාරු නොකිරීම ඉතා වැදගත්ය.
නොමිලේ ප්රතිකාර තිබියදීත් HIV වැළැක්වීමේ වැඩසටහන් ප්රමාණවත් නැහැ.
ප්රතිකාර සමඟ සාමාන්ය ජීවිතයකට අවස්ථාව
HIV ආසාදනයක් ඇති බව හඳුනාගැනීම ජීවිතය අවසන් වූ හැඟීමක් නොවේ. වර්තමානයේ පවතින නවීන ප්රතිවෛරස ප්රතිකාර (ART) මඟින් ශරීරය තුළ HIV වෛරසය වර්ධනය වීම පාලනය කරමින් ප්රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබේ.
නිසි වේලාවට ප්රතිකාර ආරම්භ කර වෛද්ය උපදෙස් අනුව අඛණ්ඩව ඖෂධ ලබා ගැනීමෙන් HIV සමඟ ජීවත් වන පුද්ගලයකුට දිගු කාලයක් යහපත් සෞඛ්ය තත්ත්වයකින් ජීවත් වීමේ හැකියාව පවතී. ලෝක සෞඛ්ය සංවිධානය ද පෙන්වා දෙන්නේ HIV ප්රතිකාරයේ දියුණුව හේතුවෙන් ආසාදිතයන්ට සෞඛ්ය සම්පන්න ජීවිතයක් ගත කළ හැකි බවයි.
ප්රතිකාරයේ ප්රධාන අරමුණ වන්නේ රුධිරයේ ඇති HIV වෛරස ප්රමාණය හෙවත් වෛරස් බර ඉතා පහළ මට්ටමකට ගෙන ඒමයි. නිසි ප්රතිකාර සමඟ වෛරස් බර හඳුනාගත නොහැකි මට්ටමකට පත් වූ විට, ලිංගික සහකරු වෙත HIV සම්ප්රේෂණය නොවන බවට විද්යාත්මක සාක්ෂි පවතී.
ප්රතිකාර අතරමඟ නතර කිරීම ඉතා අවදානම්
HIV සඳහා දැනට සම්පූර්ණ සුවය ලබා දෙන ඖෂධයක් නොමැති වුවත්, ART මඟින් රෝගය ඉතා සාර්ථකව පාලනය කළ හැකිය. වෛද්යවරයා නියම කරන ඖෂධ නිසි වේලාවට හා නිසි මාත්රාවෙන් ලබා ගැනීමත්, පසු විපරම් සායනවලට අඛණ්ඩව සහභාගි වීමත් අත්යවශ්ය වේ. ඖෂධ අක්රමවත් ලෙස ගැනීමෙන් වෛරසය නැවත වර්ධනය වීමේ අවදානමක් පවතින අතර, ප්රතිකාරයට ප්රතිරෝධී වෛරස් ඇතිවීමට ද ඉඩකඩ තිබේ.
HIV ආසාදනය හඳුනාගෙන නිසි ප්රතිකාර ලබා ගැනීම පුද්ගලයාගේ සෞඛ්යය ආරක්ෂා කිරීමට පමණක් නොව, තවත් පුද්ගලයන් වෙත වෛරසය පැතිරීම වැළැක්වීමට ද වැදගත් වේ. ගර්භිණී මවකට HIV ආසාදනයක් ඇති බව කල්තියා හඳුනාගෙන නිසි ප්රතිකාර ලබා දීමෙන් මවගෙන් දරුවාට HIV සම්ප්රේෂණය වීමේ අවදානම ද විශාල වශයෙන් අඩු කර ගත හැකිය.
සිෆිලිස් රෝගීන් වසරකට 1,500ක් දක්වා ඉහළට – හෙපටයිටිස් B ආසාදන දෙගුණ වෙලා.
සැකයක් ඇත්නම් පරීක්ෂාව ප්රමාද කරන්න එපා
HIV ආසාදනයක් සිදුවී ඇතැයි සැකයක් ඇති ඕනෑම අවස්ථාවක රෝග ලක්ෂණ පෙනෙන තුරු බලා සිටීම සුදුසු නැත. ආසාදනයක් තිබේද යන්න තහවුරු කරගත හැක්කේ නිසි HIV පරීක්ෂාවක් මඟින් පමණි. ජාතික ලිංගාශ්රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි STD සායන හරහා මෙන්ම වෙනත් සේවා මධ්යස්ථාන හරහා ද මෙම පරීක්ෂණ නොමිලේ සිදුකර ගත හැකිය.
ආසාදනයක් පිළිබඳව දැනගත් පසු බිය, කනස්සල්ල, ලැජ්ජාව හෝ තනිකම වැනි හැඟීම් ඇතිවීම සාමාන්ය දෙයකි. එවැනි අවස්ථාවක සමාජයෙන් වෙන්වීම වෙනුවට සුදුසු උපදේශන සහ මානසික සහාය ලබා ගැනීම වැදගත්ය. ශ්රී ලංකාවේ HIV ප්රතිකාර සේවාවන් තුළ රෝගියාගේ පෞද්ගලිකත්වය සහ රහස්යභාවය ආරක්ෂා කිරීමට ප්රමුඛතාව ලබා දෙනු ලැබේ.
එමෙන්ම HIV ඒඩ්ස් රෝගය වගේම ශ්රී ලංකාවේ වාර්ෂිකව වාර්තා වන සිෆිලිස් (Syphilis) රෝගීන් සංඛ්යාවද මේ වන විට 1,500ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවත්, 2021 වසරට පෙර වාර්ෂිකව වාර්තා වූයේ රෝගීන් 80ත් 100ත් අතර සංඛ්යාවක් පමණක් මේ වනවිට එය දෙගුණයක් වී ඇති බවත් බවත් ලිංගාශ්රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය නිමලි ජයසූරිය මහත්මිය පවසයි.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ හෙපටයිටිස් B ආසාදිතයන්ගේ සංඛ්යාව දෙගුණ වී ඇති බව ද ඇය සඳහන් කළ අතර එසේම, ඇය ඉදිරිපත් කළ සංඛ්යාලේඛනවලට අනුව, 2025 වසර වන විට හෙපටයිටිස් C ආසාදිතයන්ගේ සංඛ්යාව ආසන්න වශයෙන් සිව් ගුණයකින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කළේය.
බියෙන් සැඟවී සිටිනවාට වඩා කල්තියා පරීක්ෂාවකට යොමු වීමත්, ආසාදනය තහවුරු වුවහොත් ප්රමාද නොකර ප්රතිකාර ආරම්භ කිරීමත් ඔබේ ජීවිතය පමණක් නොව තවත් ජීවිත ගණනාවක් ආරක්ෂා කරනු ඇත.
තොරතුරු: ජාතික ලිංගාශ්රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සහ ලිංගික සෞඛ්ය පිළිබඳ විශේෂඥ වෛද්ය ප්රගීත් ප්රේමදාස සහ ලිංගාශ්රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය නිමලි ජයසූරිය
නයනා උදයංගනී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd