
ඉකුත් සති කිහිපය තුළම ආණ්ඩුවේ දේශපාලන ක්රියාකාරීත්වය වෙන්වී තිබුණේ රාජපක්ෂ කඳවුරේ දේශපාලනය අඩපණ කිරීම සඳහාය. නාමල් රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමේ සිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ රිමාන්ඩ් භාරයට පත් කිරීම දක්වා මෙම සිදුවීම මාලාව දිගු විය. මේ වනවිට පැවැති ආණ්ඩුවල දේශපාලකයන්ට එරෙහිව ගොනුවී ඇති නඩු විශාල සංඛ්යාවෙන් හතරෙන් තුනකටත් වඩා රාජපක්ෂ කඳවුරේ දේශපාලකයන්ට එරෙහිව ගොනුවී තිබීම මතින් ආණ්ඩුවේ ප්රධාන සතුරා ලෙස රාජපක්ෂවරුන් තෝරාගෙන ඇතැයි ඇතැමකුට මත පළ කළ හැකිය.
රාජපක්ෂවරුන්ට එරෙහි ආණ්ඩුවේ මෑත කාලීන ප්රහාරය ඇරඹුණේ නාමල් රාජපක්ෂගේ ප්රධානත්වයෙන් අනුරාධපුරයේ පැවැත්වීමට නියමිතව තිබූ ජනරැලිය ආරම්භ කිරීමට දින කිහිපයකට පෙරය. එයට පෙර නාමල් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. ඉන්පසු එම රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගත්තේය. හිටපු ජනාධිපතිවරයා ඉතා අසීරුවෙන් එම රැලියට පැමිණියේ වුවත් එම රැලිය ශ්රී ලංකා පොදු ජන පෙරමුණ වටා තවමත් සැලකිය යුතු ජන ප්රතිශතයක් පවතින බව පෙන්නුම් කරන්නට සමත් විය. ඒ සමගම සජිත් ප්රේමදාසගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පවතින විපක්ෂයට පරිබාහිර විපක්ෂ කඳවුරක් ශ්රී ලංකා පොදුජන පෙරමුණට තවමත් ඇති බවද තේරුම් ගැනීම අපහසු වූයේ නැත. එමෙන්ම එළඹීම නියමිත මීළඟ ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා පොදු ජන පෙරමුණද අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එම රැලියේදී දේශපාලන නිරීක්ෂකයන්ට ලැබුණු පණිවිඩයකි.
ආණ්ඩුවේ දේශපාලන සිතියම පිළිබඳවද එමඟින් පැහැදිලි මතයක් ලබාගත හැකි වෙයි. රාජපක්ෂවරුන් වටා ගොනුවන මෙම දේශපාලන කඳවුර ඉතා පැහැදිලිවම පොදු විපක්ෂයක අපේ කථාව බිඳහෙලන්නකි. සජබය පාර්ලිමේන්තු විපක්ෂය වී සිටින අවස්ථාවක ඔවුන්ද ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම ස්ථීරය. ඒ අනුව ලබන ජනාධිපතිවරණයේදීත් පොහොට්ටුව හා සජබයෙන් වෙන් වෙන් අපේක්ෂයෙන් ඉදිරිපත් වන්නේ නම් අනුර කුමාර දිසානායකට ජනාධිපතිවරණය ජයගත හැකිවූ තත්වයම යළිත් උදාවීමකි. ඒ අනුව ආණ්ඩුවේ දේශපාලන සැලැස්ම වන්නේ කඳවුරු දෙකකට බෙදුණු විපක්ෂයක් ඇති කිරීමද යන සැකය මතු වන්නේ අනුරාධපුර රැලිය සංවිධානය කරන විටම රාජපක්ෂවරුන්ට එරෙහි ප්රහාර ගණනාවක්ම දියත් වීම නිසාය. වර්තමානයේ රටේ පවතින ආර්ථික හා සමාජයීය තත්ත්වය මත එවැනි උපක්රමයක් සාර්ථක වේදැයි දැන්ම කිව නොහැකි මුත් 2024 දී තමා ජයග්රහණය කළ බෙදුණු විපක්ෂයේ උපක්රමය දිගටම ක්රියාත්මක කිරීමට රජය අදහස් කර සිටිනවාට සැකයක් නැත. එයාර් බස් ගනුදෙනුවට එතෙක් නම ගෑවී නොතිබුණු නාමල් එරෙහිව එක්වරම චෝදනා ගොනු වන්නේ රජයේ එවැනි සැලසුමක් මත බවට මේ වනවිට මත පළ වී තිබේ.
රාජපක්ෂවරුන්ගේ බලය උපරිම ලෙස නැගී තිබුණු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යුගයේ රටේ විවිධ තනතුරුවල සිටි බව කී රාජපක්ෂවරුන්ගේ සංඛ්යාව දෙදහස ඉක්මවීය.
1952 බණ්ඩාරනායක එජාපය හැරයාමෙන් පසු පළමු වතාවට තමා සිටි පක්ෂය හැරගොස් අලුත් පක්ෂයක් පිහිටුවා රටේ පාලන බලය ලබාගත් පළමුවැන්නා වූයේ මහින්ද රාජපක්ෂය. 2005 වසරේ ශ්රීලනිපයේ සාමාජිකයකු ලෙස සිටින තමන්ම ජනාධිපතිවරණය දිනාගත් ඔහු 2014 අගභාගයේ සිදුවූ දේශපාලන පෙරැළියෙන් පසු තමා පසු පස සිටි සියලු බලවේග පක්ෂයෙන් පිටතට රැගෙන ගොස් ශ්රී ලංකා පොදුජන පෙරමුණ නමැති අලුත් දේශපාලන පක්ෂය පිහිටවූයේය. එවකට රනිල් වික්රමසිංහ හා මෛත්රීපාල සිරිසේන විසින් නායකත්වය දෙන ලද යහපාලන රජය පෙරළා දමමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට එම නව දේශපාලන පක්ෂය සමත්වූයේය. එම ජයග්රහණය පසුපස සිටි ප්රධාන ශක්තිය වූයේ මහින්ද රාජපක්ෂය. උතුරේ ත්රස්තවාදී අරගලය සම්පූර්ණයෙන් මැඩපවත්වා ලබාගත් ජයග්රහණයට නායකත්වය දීම සහ රට පුරා මාර්ග, පාලම්, අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්යාපෘති ඇරඹීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මෙරට බොහෝ ජනතාවකගේ ආකර්ෂණය දිනා සිටියේය. විවිධ පසුබෑම් මැද වුවද රටේ ජනගහණයෙන් සැලකිය යුතු පිරිසක් ඔහු වටා අදට ද පෙළගැසී සිටින්නේ ඒ නිසාය. එය 2015 පරාජයෙන් පසු පක්ෂය විසින්ම අර්ථ දැක්වූයේ“ මහින්ද සුළඟ” වශයෙනි. ඒ මහින්ද සුළඟට යහපාලන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම පරාජයට පත් කර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජවිපෙ ආසන තුනකට බස්සවා මැතිවරණ විප්ලවයක් කිරීමට හැකි විය. අද ද වත්මන් ජවිපෙ සහ ජාතික ජන බලවේග ආණ්ඩුව වඩාත්ම මර්දනය කිරීමට සලකන්නේ මහින්ද වටා ගොනුව සිටි දේශපාලන ධාරාවය. වත්මන් රජය යටතේ වැඩිම නඩු ප්රමාණයක් ගොනුවී ඇත්තේ රාජපක්ෂවරුන්ට සහ රාජපක්ෂ හිතවාදීන්ට එරෙහිවය. නාමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සිට එම පක්ෂයේ හිටපු මැති ඇමැතිවරුන්ට එරෙහිව පවරා ඇති අතිමහත් නඩු ප්රමාණය එයට අයත් වෙයි. අනුර ගහන්නේ පොහොට්ටුවට විතරයි. සජිත් ඇතුළු විපක්ෂයට අපිට වගේ ගහන්නේ නෑ. සජිත්ලගේ අයට නඩුත් නෑ. රටේ ප්රධාන විපක්ෂය හැටියට ආණ්ඩුව අපිවයි තෝරගෙන තියෙන්නේ කියන එක ඒකෙන්ම පෙනෙනවා. පොහොට්ටුවේ නායකයන් අද කියන්නේ ඒ නිසාය.
ආණ්ඩුව සැබැවින්ම රාජපක්ෂවරුන් පමණක් දඩයම් කරනවා ද? රාජපක්ෂවරුන් පසුපස මෙතරම් තදින් එලවා යන්නේ ඔවුන්ගේ ජනප්රියතාව ගැන ලැබුණු මොනයම් හෝ බුද්ධි අංශ වාර්තාවක් නිසා ද? රාජපක්ෂවරුන්ට යළි බලයට පැමිණිය හැකිද? එම කරුණු ගැන සලකා බැලීමට සුදුසුම අවස්ථාව වන්නේ මෙයයි. රාජපක්ෂවරුන්ගේ දේශපාලනය තුළ නිරතුරුවම තිබුණේ රාජපක්ෂවරුන්ට පමණක් ඉදිරි පෙළේ වාඩි විය හැකි දේශපාලනයකි. කොතරම් ජනප්රිය වුවත් රාජපක්ෂ නොවන දේශපාලකයන් බොහෝ දෙනකුට ලැබුණේ දෙවැනි හෝ තුන්වැනි පේලිය ය. රාජපක්ෂවරුන්ගේ බලය උපරිම ලෙස නැගී තිබුණු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යුගයේ රටේ විවිධ තනතුරුවල සිටි බව කී රාජපක්ෂවරුන්ගේ සංඛ්යාව දෙදහස ඉක්මවීය. රාජපක්ෂ පවුලට හා එයට ඥාතිකම් ඇති පවුල්වල සාමාජිකයෝ මේ තනතුරුලාභීන් ගොන්නට ඇතුළත් වුහ. ගෝඨාභයගේ ආණ්ඩුවේ රාජපක්ෂවරුන් හය දෙනකුට කැබිනට් ඇමැති ධූර ලැබී තිබිණි.
අමාත්යාංශ දහසයක් තිබුණේ ඒ හය දෙනා අත ය. එවැනි බලයක් තිබියදිත් ගෝඨාභයගේ ආණ්ඩුව ජනතාව අතර හෑල්ලුවෙන් හෑල්ලුවට පත්විය. ගොවීන්ට පොහොර නොදීමෙන් ඇරඹුණු පල්ලම් බැසීම නතර වුණේ ආණ්ඩුවම නාය ගියාට පසුවය. ආණ්ඩුව නායයාම ඇරඹෙද්දී 2005 සිට මහින්ද ළඟ සිටි විමල් වීරවංශලා, උදය ගම්මන්පිලලා මහින්ද හා ආණ්ඩුව හැර ගියහ. ගෝඨාභය ජනපති ධූරයෙන් ඉල්ලා අස්වී රනිල් එම තනතුරට පත්වූ පසු පසුපෙළේ සිටි තරුණ පිරිසට ඇමැති, රාජ්ය ඇමති තනතුරු ලැබුණේය. රාජපක්ෂලාගේ නායයාම යළිත් ඇරඹුණේ එතැන් සිටය.
රාජපක්ෂවරුන්ගේ දේශපාලනය කෙරෙහි මේ වන විට විශ්වාසය තබා ඇති පිරිසට වඩා එම දේශපාලනයට එරෙහි පිරිස ඉහළය. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සුළු ජාතිහු එයට අයත් වෙති. ඉදිරි මැතිවරණයකදී රාජ්ය බලය ලබාගැනීමට නම් මෙම සුළු ජාතික ඡන්ද අබිබවා යන ඡන්ද ප්රමාණයක් රටේ සෙසු දිස්ත්රික්කවලින් ලබාගත යුතුය. එ සඳහා දැනට රාජපක්ෂවරුන් පිළිබඳව ගොඩනගා ඇති ජාතික දේපොළ කොල්ලකෑමේ සිට වංචා පිළිබඳ චෝදනාද දකුණේ සමාජයෙන් බැහැර කරගැනීම අවශ්යය. ඒ සඳහා වැදගත් වන්නේ දූෂණ වංචා චෝදනා නොමැති දේශපාලකයන් පිරිසක් ඉදිරියට ගැනීමය.
එවැනි පිරිසක් මේ වන විට නම් පොහොට්ටු දේශපාලනයේ ඉදිරි පෙළ නැත. ඉකුත් මහා මැතිවරණයේදී ජනතාව අතරින් ප්රතික්ෂේප වූ හා තරග නොකළ පිරිසක් තවමත් පොහොට්ටු දේශපාලනයේ ඉදිරි පෙළ වැජඹෙන අතර ආණ්ඩු බලය බලාපොරොත්තු වන පක්ෂයකට මෙම තත්ත්වය ඉතා අවාසිදායකය. පක්ෂයේ උරුමය සහ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නාමල්ගෙන් ගැලවේ යැයි සිතිය නොහැකි අතර රාජපක්ෂවරුන් පිළිබඳව රටේ දැනට ඇති අපැහැදිලි ප්රතිරූපය දීප්තිමත් කර ගැනීමට ඔහුට හැකි වේදැයි සැක සහිතය.
මෙහිදී ජාතික ජනබලවේගයෙන් ලබාගත හැකි ආදර්ශ ගණනාවක් තිබේ. කිසිදා බලයට ඒ යැයි සිතන්නට බැරිවූ පක්ෂයක් බලයට ආවේ පැරණි ජවිපෙ මතවාදය තාවකාලිකව හෝ ඉවත් කිරීමෙනි. ඒ සඳහා මාලිමාව ලාංඡනය සහ ජාතික ජන බලවේගය යන නම ඔවුන් යොදාගත් අතර ජවිපෙ නොවන මැදහත් චරිතයක් ලෙස හරිනි අමරසූරිය ඉදිරියට ගෙන ආවේය. අනුරගේ වාග් කෞශල්යය සමඟ සමපාතවීමට ඇගේ නොකැළැල් දේශපාලන ප්රතිරූපය ගැලපිණි. ඔවුන්ගේ එම ජයග්රහණය ශ්රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත හැකි මහඟු ආදර්ශයකි. ජනතාවට අප්රසන්න වී ඇති දේශපාලකයන් ඉදිරියට දා ගැනීම වෙනුවට ආකර්ෂණීය නව දේශපාලන චරිතයක් එකතු කර ගැනීම ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ගමනට වැඩදායකය.
රාජපක්ෂවරුන්ගේ දේශපාලනයට අවැසි ඉන්ධන සැපයෙන්නේ ජනතාව අතරිනි. ජාතික ආරක්ෂාව සහ සිංහල බෞද්ධ චරිත සහතිකයේ මෑත කාලීන හිමිකාරයන් වන්නේ රාජපක්ෂවරුන්ය. 2015 ජනාධිපතිවරණය පැරදි ආණ්ඩු බලය ද අහිමි වූ රාජපක්ෂවරුන්ට 2019 දී ජනාධිපතිවරණය ජයගෙන අනතුරුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බලයක් ලැබුණේ පැවැති ආණ්ඩුව ජාතික ආරක්ෂාව රැක ගැනීමට අසමත් වූ බව ජනතාව විශ්වාස කළ නිසාය. එලෙසම මේ වනවිට සිංහල බෞද්ධ චරිත සහතිකය රාජපක්ෂලාට පවරන කටයුතු ගණනාවක්ම ආණ්ඩු පාර්ශ්වයෙන් සිදුවෙමින් තිබේ. රජය එයට කලබල වී සිටින බව රාජපක්ෂවරුන්ට එරෙහි නඩු කටයුතු වේගවත් කරමින් මේ වනවිට රජය ගෙනයන වැඩ පිළිවෙළ තුළින්ද පෙනෙයි. රාජපක්ෂ දේශපාලනය බිහිවුණේ මෙරට ජාතිකවාදී අදහස් ඇති ජනතාව ඒකරාශී කර ගැනීමෙනි. 1987 කැරැල්ලේදී විජේවීර විසින් අවුලවන ලද දේශප්රේමී මතවාදය එම පක්ෂයේ විනාශයෙන් පසු අයිතිවූයේ ශ්රීලනිපයේ රාජපක්ෂ කණ්ඩායමටය.
එය එල්.ටි.ටී.ඊය විනාශ කළ අවසන් යුද ජයග්රහණයේ දී රාජපක්ෂවරුනගේ ස්ථීර ඡන්ද බැංකුවක් බවට පත්විය. අදටද එම ඡන්ද බැංකුවේ ස්ථාවර ප්රතිශතයක් රාජපක්ෂවරුන් සතුවෙයි. රාජපක්ෂවරුන්ට එරෙහිව ආණ්ඩුව ක්රියාත්මක කරන ප්රතිපත්ති මගින් මෙම ඡන්ද බැංකුවට සාමාජිකත්වය අඩුවැඩි වෙයි. ඒ අනුව 2029 ජනපතිවරණයේදී රාජපක්ෂවරුන්ගේ ඉරණම තීන්දු වනු ඇත්තේ වත්මන් ආණ්ඩුවේ භාවිතය අනුව බව පැහැදිලිය.
ප්රේමකීර්ති රණතුංග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd