
- සමාජ මාධ්ය සටහනක් මුල්කරගෙන සෞදි අරාබියේදී මරණ දණ්ඩනයට නියම වී සිටි ශ්රී ලාංකික අනෝජන් සිවරාසා එම දඬුවමෙන් බේරාගැනීමට හැකි වී ඇති බව මේ වෙන විට අප කවුරුත් දන්නා කාරණයකි.
- සෞදි අධිකරණ නියෝගයක් අනුව හිස ගසා දමන්නට නියමිතව තිබූ අනෝජන්ගේ ගෙලට වැටෙන්නට ගිය කඩුව නතර වූයේ ආශ්චර්යකින් මෙනි.
- මෙරට රජය සහ නීතිඥ කණ්ඩායමක් මැදිහත් වී කළ මෙහෙයුම පිළිබඳ සංක්ෂිප්ත කතාව - එහිලා සම්මාදම් වූ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුමගේ හඬින් මෙසේ සටහන් තැබේ.
අනෝජන්ට චෝදනා එල්ල වුණු වරදේ ස්වභාවය මොකක් ද?
“උතුරු පළාතේ ඉඳලා කල්මුණේ හරහා කතරගම පැත්තට එන වන්දනා නඩයක් එක්ක ආපු බල්ලෙක් සම්බන්ධව තමයි අනෝජන් ෆේස්බුක් එකට යමක් ලියලා තිබුණේ. ඒ බල්ලව සුබ්රමානියම් කියන නමකුත් පට බැඳලා තිබුණ ලු. ඒ බල්ලට කල්මුණේ ප්රදේශයේ දී මුස්ලිම් තරුණයෙක් පයින් ගහලා තියෙනවා. මේ පයින් ගහන එක තවත් කවුරුහරි ෆොටෝ එකක් අරන්. අන්න ඒ ෆොටෝ එක මුල් කරගෙන සමාජ මාධ්ය ඇතුළේ අනෝජන් සහ තවත් කාන්තාවක් යම් වාදයක් ඇතිවෙලා තියෙනවා. ඒ කාන්තාව හින්දි දෙවිවරුන්ට අපහාස වෙන දේවල් ඒ කමෙන්ට්වල ලියලා තියෙනවා.
අනෝජන් ඉස්ලාම් ආගමේ දෙවිවරුන්ට අපහාස වෙන විදියේ දේවල් ලියලා තියෙනවා. ඔන්න ඕක තමයි සිද්ධියේ මුල. හැබැයි අනෝජන් තමන් ලියපු සටහන විනාඩි දහයක් ඇතුළත අයින් කරගෙන තියෙනවා. ඒ වගේම එයාට තව පෝස්ට් එකක් දාලා කියලා තියෙනවා ආගමික භක්තිකයෙකුට හිත් රිදීමක් වුණා නම් සමාවෙන්න කියලා.
ඒත් තවත් කවුරුහරි මුල් පෝස්ට් ඒකේ ස්ක්රීන් ෂෝට් එකක් ගහලා සවුදි පොලිසියට යවල තියෙනවා. ඒක කියල තියෙන්නෙම පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඒ සටහන තිබිලා තියෙන්නේ දෙමළ භාෂාවෙන්. සවුදි පොලිසිය ඒක අරාබි භාෂාවට ට්රාන්ස්ලේට් කරලා පරීක්ෂණ පවත්වලා තිබෙනවා. පොලිසියේ දැනුම්දීම මත අනෝජන් සේවය කරපු ආයතනයෙනුත් මේ ගැන පරීක්ෂණයක් පවත්වලා. ඒ එක්කම පොලිසිය නඩුවක් පවරලා සෞදියේ තියෙන මුල් අවස්ථා අධිකරණයට ඉදිරිපත් කරල තියෙනවා. ඒකට සවුදියේ නීතිඥවරයෙක් පෙනී ඉඳලත් තියෙනවා. චෝදනාව එල්ල වෙලා තිබුණේ සයිබර් අපරාධ පනත යටතේ. ඒකේ හයවෙනි වගන්තිය යටතේ ආගමික හර පද්ධතින්වලට අපහාස කිරීම කියන කාරණය මතයි නඩුව ගොනු වෙලා තිබුණේ.”
දඬුවම හිමිවීමේ ක්රියාවලිය
“එතනදි අනෝජන් වරද පිළිඅරගෙන තිබුණා. එයා වරද පිළිඅරගෙන ඒ දාපු සටහන ෆේස්බුක් එකෙන් ඉවත් කරගත්ත බවත්, තවත් සටහනකින් මුල් සටහනෙන් කාට හෝ හිත් රිදීමක් ඇතිවුණා නම් සමාවෙන්න කියලා කියපු බවත් සඳහන් කරලා තිබුණා.
ඒකෙන් අනෝජන් බලාපොරොත්තු වෙලා තිබුණේ මුල් අවස්ථාවේම සහනදායි දඬුවමක්. හැබැයි අනෝජන්ට දඬුවම හම්බවෙනවා. ඒකෙන් අවුරුදු පහකට සිරගතවීමක් සහ මිලියන තුනක දඩයක් නියම වෙනවා. ඒකට එරෙහිව අනෝජන් අභියාචනයක් ඉදිරිපත් කරනවා.
අනෙක් අතට සෞදි අභිචෝදක කාර්යාලයත් අභියාචනයක් දානවා, ඔහුට ලැබුණු දඬුවම ප්රමාණවත් නෑ කියලා. ඊට පස්සේ වෙන්නේ අනෝජන්ගෙ අභියාචනය අභියාචනාදීකරණයේ දී ප්රතික්ෂේප වෙලා, සවුදි අභිචෝදක කාර්යාලය ඉදිරිපත් කරපු අභියාචනයට අනුව අනෝජන්ට මරණ දඬුවම නියම කිරීම. ඊට පස්සේ අනෝජන් දමා තියෙන්නෙ මරණයට නියම වූවන් රඳවන සිරකුටියක. ඔන්න ඕක තමයි අනෝජන්ගේ මරණ දඬුවමේ මූලික සිද්ධිය.”
‘‘මේ වැඩේට අපි කීපදෙනෙක් සම්බන්ධ වුණා. නීතිඥවරු විදියට අපි හතර දෙනෙක් ලංකාවෙන් ගියා. ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ අසාඩ් නවාවි, නිතිඥ හෆිල් ෆාරිස්, ෆයිසර් මුස්තාෆාගේ සම්බන්ධීකරන ලේකම් රියාස් ඩීන් සිල්මි එක්ක මම තමයි මේ කටයුත්තට ගියේ. ඒ වගේම සවුදි රජයේ තානාපතිතුමාගේ ලොකු මැදිහත්වීමක් තිබුණා. ඒ වගේම විදේශ කටයුතු අමාත්යතුමාට මේක ගැන ලොකු උනන්දුවක් තිබුණා. මේ හැම දෙනාගේම මැදිහත්වීම මත තමයි අනෝජන්ව මරණ දණ්ඩනයෙන් ගලවා ගැනීමට හැකියාවක් ලැබුණෙ.’’
රාජතාන්ත්රික සහ නීතිමය මැදිහත්වීම
“මේ සිදුවීම දැනගත්තට පස්සේ ෆයිසර් මුස්තාෆායි මමයි මුණගැහුණු වෙලාවක අපි දෙන්න කතා වෙනවා මේකට යම් මැදිහත්වීමක් කරන්න. ඕමල්පෙ සෝභිත හාමුදුරුවොයි තවත් හාමුදුරු කෙනෙකුත් මේ ප්රශ්නෙ ගැන කතා කරලා තිබුණා. ෆයිසර් මුස්තාෆා කිව්වා මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ් මහත්තයා එයා එක්ක ළඟ සම්බන්ධතාවයක් තියෙනවා ඒ හරහා අපි මොකක් හරි කරන්න බලමු කියලා. මම ජනාධිපතිතුමාටත් මේ ගැන කිව්වා. ජනාධිපතිතුමත් කිව්වා ඔයාලා පුළුවන් මැදිහත් වීමක් කරන්න රාජතාන්ත්රික මට්ටමෙන් කරන්න තියෙන දේවල් ටික අපි කරනවා කියලා.
ඒ අනුව ෆයිසර් මුස්තාෆායි මමයි මාලදිවයිනට යනවා. ගිහින් එහේ හිටපු ජනාධිපති නෂීඩ් මහත්මයා සමඟ අපි මේ ගැන සාකච්ඡා කළා. තව ඇමතිවරයෙකුත් ඒ සාකච්ඡාවට හවුල් වුණා. ඒ අය කැමති වුණා සවුදි රජයත් එක්ක මේ ගැන කතාබහ කරලා යම් මැදිහත්වීමත් කරන්න. ඊට පස්සේ අපි ලංකාවට ඇවිල්ලා ජනාධිපතිතුමාට කිව්වා මේකට යම් මැදිහත් වීමක් කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා. ජනාධිපතිතුමා කිව්වා අවශ්ය නීතිමය කටයුතු ටික මුලින්ම පිළියෙල කරගන්න ඊට අපි කරන්න පුළුවන් දේ ගැන බලමු කියලා.
සවුදි තානාපතිතුමායි අපේ විදේශ කටයුතු අමාත්යංශ ලේකම්තුමියයි අතිරේක ලේකම් කුලතිලක ලෙනගල මහත්තයයි ඇතුළු අපි කට්ටිය මේ ගැන සූම් තාක්ෂණය හරහා සාකච්ඡාවක් පවත්වනවා. ඒකෙන් අපිට යම් අදහසක් ලබාගන්න පුළුවන් වුණා සෞදියේ මේ නඩුව ගැන පැවති අධිකරණ කටයුත්ත සම්බන්ධයෙන්.
ඊට පස්සේ අපි කණ්ඩායමක් සවුදියට ගියා. අපි ගිහින් ඒ අවශ්ය නීතීඥ කණ්ඩායම් එක්ක මේ ගැන කතා කළා. මුලින්ම මේ නඩුවක් සම්බන්ධව කටයුතු කළ නීතිඥ සමාගම වෙනුවට අලුත් නීතිඥ සමාගමක් එක්ක මේ නඩුව ඉදිරියට ගෙනියන්න අපි කටයුතු කළා. ඒක සාමාන්යයෙන්ම අධිකරණ කටයුතුවලදී සිද්ධ වෙන දෙයක්. මොකද නඩුවක් සම්බන්ධව කටයුතු කරපු නීතිඥ සමාගමක් දෙවැනි වරටත් ඒ නඩුව ගැන කටයුතු කරද්දී සමහර දේවල් මග ඇරෙන්න පුළුවන්. ඒක නිසා අලුත් නීතිඥවරුන් ඒ නඩුව ගැනීම කටයුතු කරන එක තමයි සාමාන්ය විදිය. ඒ අනුව තනාපතිතුමා කතා කරල අලුත් නීතිඥ සමාගමත් එක්ක අපි මේ වැඩේ ඉස්සරහට අරගෙන ගියා. ඒ අය තනාපති කාර්යාලයට ගේන්නගෙන අපි දිගින් දිගටම මේ ගැන සාකච්ඡා කළා. ඒ අනුව ඒ අය එකඟ වුණා නඩු ආපහු ෆයිල් කරන්න. හැබැයි සවුදියේ සමහර නීතීඥවරු මේකට විරුද්ධත්වය ප්රකාශ කරලා තිබුණා. මොකද අනෝජන්ගෙ ප්රකාශය ඒ අයගේ දෙවියන්ට සහ දෙවියාගේ දූතයාට එරෙහිව කරපු එකක් නිසා. ඒත් මේක නඩු කටයුත්තක් විදියට සලකලා බලලා වැඩේ ඉදිරියට කරගෙන යන්න එකඟතාවයකට නීතිඥ සමාගම් ආවා.
අභියාචනය සහ අලුත් තීන්දුව
අපි සියලු දෙනාම එකතු වෙලා දවස් තුනක් තිස්සේ ඇපිල් එක හැදුවා.එතෙන්දි අපි කාරණා පහක් අභියාචනා පෙත්සමට එකතු කළා.එකක් තමයි මේකට දඬුවම වෙන ආකාරයකින් ලබාදීම.සයිබර් අපරාධ පනත යටතේ දීලා තිබුණු දඬුවමින් වෙනස් කරලා ඔහුට මරණ දඬුවම දීම ෂරියා නීතිය යටතේ වැරදියි කියන එක කරුණු අනුව අපි ඉදිරිපත් කළා. ඒ වගේම අපි කිව්වා අභියාචනාධිකරණයේදී අනෝජන්ට තමන්ට එල්ලවෙන චෝදනාව පිළිබඳව කරුණු දැක්වීමට අවස්ථාවක් ලැබිය යුතුයි කියලා. ඒ වගේම එරට මුස්ලිම් සහ මුස්ලිම් නොවන අය වෙතට ෂරියා නීතිය බලපාන්නේ කොහොමද කියන එක ගැනත් අපි අවධානය යොමු කළා. ඒ පිළිබඳව තියෙන නීති කටයුතු ගැන ප්රමාණික විද්වතුන්ගේ මතය අපි ඒකට ඇතුළත් කළා. ඔන්න ඔය වගේ කාරණා පහක් අභියාචනයට අපි ඇතුළත් කළා.
ගිය ඉරිදා තමයි අභියාචනයේ කටයුතු අවසන් කරලා තියෙන්නේ ඒක ඉදිරිපත් කෙරුවේ. සෞදියේ ඒ වැඩ සම්බන්ධව තියෙන සිස්ටම් එක හරිම වේගවත්. ඒ ක්රමවේදයේ වේගවත්කම නිසාම සඳුදා හවස් වෙනකොට තීන්දුවක් ලැබුණා.ඒකෙන් කියවුණේ අනෝජන්ට ලබා දී තිබුණු මරණ දඬුවම ඉවත් කරලා පහළ අධිකරණයක මුල සිට නැවත විභාග කරන්න. මුල් අවස්ථා අධිකරණයේ නඩුව විභාග කරලා අනෝජන්ට දිය යුතු දඬුවම තීරණය කරන්න කියල තමයි ඒ තීන්දුවෙන් කියවුනේ.

අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ අසාඩ් නවාවි, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, නිතිඥ හෆිල් ෆාරිස්
හාද් (Hadd) සහ තසීර් (Ta’zir)
මේ වගේ දෙයක් සම්බන්ධව අපි දන්න තරමට මීට පෙර එබඳු පුර්වාදර්ශයක් තිබුනේ නෑ. සෞදි නීතිය අනුව මේ වගේ සිද්ධිවලදී වරදේ ස්වභාවයන් දෙකක් තියෙනවා. එකක් තමයි “හාද්” කියන ගණයට වැටෙන වැරදි. අනික තමයි “තසීර්” කියන ගණයට වැටෙන වැරදි. හාද් කියන ගණයට වැටෙන වැරදි විදියට සලකන්නේ ඒ අයගේ ආගමට විරුද්ධව කරන වැරදි, මිනීමැරුම්, ස්ත්රී දූෂණ ය වගේ බරපතල දේවල්. තසීර් කියන්නේ ඊට වඩා වෙනත් ස්වභාවයන්වල වැරදි. හාද් ගණයට වැටෙන වැරදිවලට බොහෝවිට ලැබෙන දඬුවම තමයි මරණ දණ්ඩනය. අභියාචනාදිකරණයේදී අනෝජන්ගේ වැරැද්ද ඔවුන් සලකලා තිබුණේ හාද් ගණයට වැටෙන වැරැද්දක් විදියට. ඒක නිසා තමයි අනෝජන්ට ඔවුන් මරණ දඬුවම දෙන්න තීරණය කරලා තිබුණේ. හැබැයි ඊට කලින් මේ තසීර් කියන ගණයට වැරැද්දක් සේ සලකලා තමයි මුලින්ම සිර දඬුවමෙහි නියම කරලා තිබුණේ.
මීට කලින් අපිට මතකයි රිසානාගේ සිද්ධිය. ඒකත් ඒකත් ඔවුන් සලකලා තිබුණේ හාද ගණයේ වැරැද්දත් විදියට. එහෙම සලකලා තමයි ඇයට මරණ දඬුවම නියම වුණේ. හැබැයි ඒ වගේ මරණ දඬුවමකදී අභියාචනයක් ඉදිරිපත් කරන්න සෞදි රජයට හැකියාවක් තියෙනවා.එතෙන්දි වින්දිතයාගේ පාර්ශ්වයෙන් ඉල්ලන වන්දිය නැත්නම් “බ්ලඩ් මනි” කියන එක චුදිතයා ගෙව්වොත් සවුදි රජතුමාට ඒකට සමාව දෙන්න පුළුවන්. හැබැයි අනෝජන්ගේ සිද්ධියේදී වෙන්නේ දෙවියන්ට එරෙහිව කරන වැරැද්දක්. එතෙන්දි ඒකට සවුදි රජතුමාට මැදිහත් වෙන්න බෑ.දෙවියන්ට එරෙහිව සිද්ධ වෙන වැරදිවලට නීතියෙන් රජතුමාට බලයක් ලැබිලා නෑ සමාවක් දෙන්න. ඒක ඒ අයගේ අපරාධ නඩු විභාග පනතේම සඳහන් වෙනවා. ඒකයි මේ සිද්ධි දෙක අතරේ තියෙන වෙනස. ඒක නිසා අනෝජන්ගේ සිද්ධිය ඇති සවුදි රජතුමාගෙන් සෘජුවම අයදීමක් කරන්න අවස්ථාවක් තිබුණෙ නෑ.
ඒක තමයි අපේ රටේ ජනාධිපතිතුමාට සෞදි රජතුමාට කතාකරලා මේ ප්රශ්නේ බේරුමක් කරගන්න බැරි වුණේ. එහෙම නැතුව රාජතාන්ත්රික භාවයේ අඩුවක් නිසා නෙවෙයි. ඒක නිසා අපි තීරණය කළේ මරණ දඬුවම ඉවත් කරගෙන ඊට වඩා වෙන දඬුවමකට යටත් වුණාට පස්සේ ඇතිවෙන තත්ත්වයේදී සමාවක් ලබා ගැනීම සම්බන්ධව රාජතාන්ත්රික මැදිහත්වීමක් කරන්න පුළුවන්නම් ඒක කරමු කියන එක. අපි එහෙම තීරණය කළේ සමාව දෙන්න බැරිනම් සමාව ඉල්ලලා වැඩක් නෑනේ. ඒක නිසා අපි ආණ්ඩුවට දැනුම් දීමක් කලා මුල් අවස්ථාවේ නැතුව නඩු කටයුත්ත පටන් ගත්තට පස්සේ ඇතිවන තත්ත්වය උඩ මැදිහත්වීමක් කරන්න බලමු කියලා. අපි එහෙම කළේ සවුදි රජයේ නීතිමය තත්ත්වයන් සලකා බලලා සමාව දීම සම්බන්ධව තියෙන හැකියාවේ මට්ටම ගැන සලකා බලල. අපේ නීතියට වඩා සෑහෙන වෙනස් සෞදියේ නීතිය. අපිට හැඟිච්ච විදියට වර්ධනය වන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒගොල්ලෝ සාම්ප්රදායි නීති වගේම අලුත් නීති ගණනාවක් ගෙනල්ලා තියෙනවා.
මීළඟට අනෝජන්ට ලැබෙන්න නියමිත දඬුවම සම්බන්ධව අපිට නිශ්චිත දැනුම් දීමක් නෑ.හැබැයි ඔහු මරණ දඬුවමෙන් මුදාගන්න අපිට හැකි වුණා.
අනෝජන්ට ඉදිරියට කුමක් වෙයිද?
දැන් පහළ අධිකරණයට මේ නඩු වාර්තාව යවනවා. ඒකෙන් කියනවා මේ සම්බන්ධව අලුත් නඩු තීන්දුවක් සලකා බලන්න කියලා. එතෙන්දි ඕන නම් සිර දඬුවමක් දෙන්න පුළුවන්. නැත්නම් දඩයක් ගහන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ දෙකම කරන්න පුළුවන්. ඒත් නැත්නම් පිටුවහල් කරන්න පුළුවන්. ඒ නඩු තීන්දුව ලැබෙනකම් අපිට කියන්න බෑ දැන් අනෝජන්ට ලැබෙන්න පුළුවන් දඬුවම මොකක්ද කියලා. ඒ කොහොම වුණත් අනෝජන්ව මරණීය දණ්ඩනයෙන් බේරා ගැනීම තමයි මේ කටයුත්තේ වැදගත්ම දේ.
මේ වැඩේට අපි කීපදෙනෙක් සම්බන්ධ වුණා. නීතිඥවරු විදියට අපි හතර දෙනෙක් ලංකාවෙන් ගියා. ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ අසාඩ් නවාවි, නිතිඥ හෆිල් ෆාරිස්, ෆයිසර් මුස්තාෆාගේ සම්බන්ධීකරන ලේකම් රියාස් ඩීන් සිල්මි එක්ක මම තමයි මේ කටයුත්තට ගියේ. ඒ වගේම සවුදි රජයේ තානාපතිතුමාගේ ලොකු මැදිහත්වීමක් තිබුණා. ඒ වගේම විදේශ කටයුතු අමාත්යතුමාට මේක ගැන ලොකු උනන්දුවක් තිබුණා. මේ හැම දෙනාගේම මැදිහත්වීම මත තමයි අනෝජන්ව මරණ දණ්ඩනයෙන් ගලවා ගැනීමට හැකියාවක් ලැබුණෙ.
ප්රියන්ත කොඩිප්පිලි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd