නිරෝෂාන් ප්‍රේමරත්න

ලාෆ්ස් ගෑස් සමාගම විසින් තවදුරටත් ගෑස් සැපයුම සිදුනොකරන්නේ නම් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්වීම වළක්වා ගැනීම සඳහා ලාෆ් ගෑස් සිලින්ඩර්වලට ලිට්රෝ ගෑස් ලබාදීම සඳහා සාකච්ඡා කරන බවත් ඊට අදාළ සාකච්ඡාවක් ලබන සතියේදී අමාත්‍ය වසන්ත සමරසිංහ හා සියලු පාර්ශ්ව අතර  සිදුකිරීමට නියමිත බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන “ඉරිදා ලංකාදීප” සමග පැවසීය.

ගෑස් හිඟය සම්බන්ධව වෙළඳපොළේ පවතින තත්ත්වය පිළිබඳ අමාත්‍යවරයාගෙන් සිදුකළ විමසීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“ලිට්රෝ සමාගම විසින් සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩර් 80,000ක් දෛනිකව වෙළඳපොළට නිකුත් කරනවා. නමුත් පසුගිය සතියේ මාලදිවයිනේ සිට ගෑස් රැගෙන ආ නැව දින 3ක් ප්‍රමාදවීම නිසා ගෑස් සිලින්ඩර් 240,000ක පමණ හිඟයක් මතුවුණා. නමුත් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් එම නැව පැමිණි පසු අපි දෛනිකව ගෑස් සිලින්ඩර් 100,000 බැගින් බෙදාහරිමින් එම හිඟය සමනය කිරීමට කටයුතු කළා. මේ වනවිටත් අපි දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර් 100,000 බැගින් වෙළෙඳපොළට නිකුත් කරනවා.

නමුත් දැන් ගැටලු‍ව පවතින්නේ එම ප්‍රමාදය නොව මෙරට ගෑස් වෙළඳපොළෙන් සියයට 20ක ප්‍රමාණයකට හිමිකම් කියන ලාෆ්ස් සමාගම විසින් මාස 2ක පමණ කාලයක් තිස්සේ වෙළෙඳපොළට ගෑස් නිකුත් නොකිරීමේ ගැටලු‍වයි. ලාෆ්ස් සමාගම මෙරට තුළ ගෑස් බෙදාහැරීම ඇරඹූ කාලයේ සිට වරින්වර ගෑස් ගෙන්වීම ප්‍රමාද කර තිබෙන බව දත්ත විශ්ලේෂණය කිරීමේද හෙළිව තිබෙනවා. නමුත් මෙවර එම සියලු‍ තත්ත්ව ඉක්මවා ගොස් මාස 2ක පමණ ගෑස් නිකුත් නොකිරීම නිසා ගෑස් හිඟයක් මතුව තිබෙනවා.

අපේ ලිට්රෝ සමාගම සිය දෛනික ගෑස් බෙදාහැරීම නිසි පරිදි සිදු කළත් ලාෆ්ස් සමාගම විසින් දිගින් දිගටම ලෑස් බෙදාහැරීම සිදුනොකිරීම නිසා අපි පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දුන්නා ඔවුන්ව මේ පිළිබඳව දැනුවත්කර ගෑස් සැපයීම යථාවත් කිරීමට පියවර ගන්න කියලා. නමුත් එය එසේ සිදුනොවන්නේ නම් නීතිමය පියවර ගන්නා බවත්  දැනුම් දෙන ලෙස පැවසුවා.

ඊට අමතරව ඔහුන් දිගටම ගෑස් සැපයීම සිදුනොකරන්නේනම් ලාෆ්ස් සිලින්ඩර්වලට ලිට්රෝ සමාගමෙන් ගෑස් සැපයීමට හැකිවන ලෙස සිය පාරිභෝගිකයන් සමග සාකච්ඡා කර තීරණයක් අරන් අපව දැනුවත් කරන ලෙසත් දන්වා සිටියා. නමුත් ලාෆ්ස් සමාගම තාමත් ඒ සම්බන්ධව නිශ්චිත පිළිතුරක් ලබාදී නැහැ. මෙන්න මේ ගැටලු‍ව නිසයි මේවනවිට වෙළඳපොළේ ගෑස් හිඟයක් මතුව තිබෙන්නෙ. දැන් මේ හිඟය සමනය කිරීමට අතිරේක ගෑස් සැපයුමක් සිදුකිරීමටත් ලිට්රෝ සමාගමට සිදුව තිබෙනවා. 

කෙසේ නමුත් ලාෆ්ස් සමාගම දිගින් දිගටම ගෑස් සැපයීම අඛණ්ඩව සිදුනොකරන්නේ නම් අපට විකල්පයකට යන්න වෙනවා. ලාෆ්ස් සමාගම මෙරට තුළ ගෑස් ව්‍යාපාරය අරඹා තිබෙන්නේ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගෙනයි. ඒ අනුව මෙරට වෙළෙඳපොළට සියයට 20ක් ලබාදීමටත් සියයට 80ක් අපනයනය කිරීමටත් යන පදනමෙන් තමයි ගිවිසුම්ගතවෙලා සිටින්නෙ. නමුත් ඔවුන් දැන් උත්සාහ කරනවා මෙරට වෙළෙඳපොළේ ඔහුන්ගේ පංගුව වැඩිකර ගන්න. නමුත් ලිට්රෝ සමාගම විසින් අඛණ්ඩව වෙළඳපොළෙන් සියයට 80ක පංගුවක් සඳහා ගෑස් සපයන නිසා ලාෆ්ස් සමාගමේ ඉල්ලීමට අවසරදීමට හැකියාවක් නැහැ.

ඔවුන් ඇත්තටම මෙරට වෙළෙඳපොළේ සියයට20 ක් සපයන්නෙත් නැහැ, අපනයන වෙළෙඳපොළට ගෑස් සපයන්නෙත් නැහැ. අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගෙන ව්‍යාපාර ඇරඹූ සමාගමකට ලංකාව ඇතුළෙ

විතරක් බිස්නස් කරන්න අවසර දෙන්න විදිහක් නැහැනෙ” ඔහු පැවසීය.

කෙසේනමුත් ලාෆ්ස් සමාගම විසින් ගෑස් සපයනු ලැබීම සම්පූර්ණ ලෙස නවතා දැමුවහොත් නව සමාගමකට අවසර දෙන්නේද යන්න සම්බන්ධව අප නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර ඒ සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“දැනට එවැනි සාකච්ඡාවක් සිදු කර නැහැ. ලාෆ්ස් සමාගම සමග මේ පිළිබඳව සාකච්ඡා කරලා ඔවුන් තවදුරටත් ගෑස් සැපයුම සිදුනොකරන්නේ නම් ලිට්රෝ සමාගමට එය සැපිරිය හැකිද යන කාරණයත් විමසා බැලීමෙන් පසුවයි වෙනත් සමාගමකට අවසර දෙනවාද නැද්ද යන්න තීරණය වන්නෙ. මෙම ගෑස් ගැටලු‍ව සම්බන්ධයෙන් ගන්නා විසඳුම් පිළිබඳ සාකච්ඡාවක් මෙම සතියේදී වසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ මූලික්ත්වයෙන් පැවත්වීමට අදහස් කරගෙන සිටිනවා”.

ගෑස් වෙළඳපොළේ පවතින තත්ත්වය පිළිබඳව අපි ලිට්රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන ගෙන්ද විමසීමක් කළෙමු.  

“මේ වනවිට වෙළෙඳපොළේ පවතින ලාෆ්ස් ගෑස් හිඟය නිසා අපි මාර්කට් එකට දාන ගෑස් ප්‍රමාණය විශාල ලෙස වැඩි කර තිබෙනවා. උදාහරණයක් විදිහට අපි සාමාන්‍යයෙන් දවසකට වෙළෙඳපොළට නිකුත් කරන ගෑස් මෙට්‍රික් ටොන් 1,100 වෙනුවෙට මේ වනවිට මෙට්‍රික් ටොන් 1600ක් දිනකට නිකුත් කරනවා.

මේකෙන් අදහස්වන්නේ නැහැ අපි ලාෆ්ස් එකේ කහ සිලින්ඩර්වලට අපේ ගෑස් ලබාදෙනවා කියලා. අපි සිදුකරන්නේ කර්මාන්තශාලා සහ හෝටල් සඳහා ලාෆ්ස් ආයතනය විසින් ලබාදුන් ගෑස් වෙනුවට ලිට්රෝ ආයතනයේ ගෑස් ඔවුන් වෙත ලබාදීමයි. මෙහිදී සිදුකරන්නේ ඔවුන්ගේ ටෑන්ක්වලට බවුසර් මගින් ගොස් පිරවීමයි. 

සාමාන්‍යයන් අපගේ ආයතනයේ ගෑස් අවශ්‍යතාව මසකට මෙට්‍රික් ටොන් 32,000යි. ලාෆ්ස් ආයතනය විසින් මසකට නිකුත් කරන්නේ මෙට්‍රික් ටොන් 6000ක පමණ ප්‍රමාණයක්. ඒ අනුව අපේ රටේ සමස්ත ගෑස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 38,000ක් පමණ වුවත් නොවැම්බර් මාසය සඳහා මෙට්‍රික් ටොන් 40,000ක ගෑස් ප්‍රමාණයක් මේ වනවිට අප මාලදිවයිනේ රඳවා තිබෙන අතර ඔක්තෝබර් 31දා සිට මෙරටට ගෑස් නැව් පැමිණීම සිදුවනවා. 

ඒ නිසා මේ මාසයේදී කිසිදු හිඟයකින් තොරව අපිට ගෑස් ලබාදිය හැකියි. බෙදාහැරීම් වැනි ප්‍රායෝගික ගැටලු‍ නිසා ඔය අතරේ දවසක් දෙකක් තාවකාලික හිඟකම් පවත්නින් පුළුවන් වුණත් සමස්තයක් ලෙස කිසිදු ගැටලු‍වකින් තොරව අපට ගෑස් ලබාදිය හැකියි”.