අපි මාසයකට වරක් පොලිස් සිරමැදිරි පරීක්ෂා කරනවා - හිටපු මානව හිමිකම් කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා
උපුල් වික්රමසිංහ
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 11 වැනි ව්යවස්ථාවෙහි කිසිදු තැනැත්තකු කෲර වධහිංසාවලට හෝ අවමන් සහගත සැලකිල්ලකට ලක් නොවිය යුතු බව සඳහන් වන බැවින් පොලිස් සිරිමැදිරියක පමණක් නොව වෙනත් ඕනෑම ස්ථානයක දී කිසිදු පුද්ගලයකුහට පහරදීමට නීතියෙන් ඉඩක් නොමැති බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු වූ මහාචාර්ය නීතිඥ ප්රතිභා මහානාමහේවා “ඉරිදා ලංකාදීපය”ට පැවසීය.
අදාළ වගන්තියට අනුව කිසිදු තැනැත්තකු කායිකව පමණක් නොව මානසිකව ද වධහිංසනයට ලක්කිරීම වළක්වා ඇතැයි ද හෙතෙම කීවේය.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් දැක්වෙන අතර එහි 11 වැනි ව්යවස්ථාවේ සඳහන් වන්නේ “කිසිම තැනැත්තකු වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේ ය” යනුවෙනි.
ඒ ආකාරයේ කෲර අමානුෂික වධහිංසන හා අවමන් සහගත සැලකිලිවලට කිසිදු පුද්ගලයකු ලක් නොකළ යුතු බවටත් සෑම අයකුටම ජීවත්වීමේ අයිතිය ඇති බවටත් ශ්රීයානි ද සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ නඩු තීන්දුවේ දී ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි ද මහාචාර්යවරයා සිහිපත් කළේ ය.
එවැනි පහරදීමක් සිදුවන්නේ නම් 1996 අංකය අමතා ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත දැනුම් දිය හැකි බව ද එවැනි දැනුම්දීමකින් පසු එම කොමිසම ඒ ගැන සොයා බැලිය යුතු බවත් කී ඔහු සහකාර පොලිස් අධිකාරි (ඒ.එස්.පී.), ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී (එස්.එස්.පී.) යන නිලයන්ට ද ඒ ආකාරයේ පහරදීම් සම්බන්ධව දැනුම් දිය හැකි බව ද ප්රකාශ කළේ ය.
අත්අඩංගුවට ගනු ලබන සැකකරුවකු සම්බන්ධයෙන් ප්රශ්නයක් ඇත්නම් සැකකරු වෛද්යවරයකු වෙත යොමු කළ යුතු බව ද හේ කීවේ ය.
සෑම පොලිස් ස්ථානයකම සිරිමැදිරිවලට සී.සී.ටී.වී. කැමරා සවිකළ යුතු බවද ඔහු අවධාරණය කළේ ය.
අප මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවාගෙන් කළ විමසීමක දී ඔහු ප්රකාශ කළේ මාසයකට වතාවක් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු දිස්ත්රික් කාර්යාල මගින් සෑම පොලිස් ස්ථානයකම සිරිමැදිරි පරීක්ෂා කරනු ලබන බවත්, එහිදී පහරදීම් හෝ වෙනත් වධහිංසන සිදුවන්නේ ද යන්න විමසා බලන බවත් ය.
“මාසයකට වතාවක් අපි පොලිස් සිරමැදිරි පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කිරීම්වල දී සැකකරුවන්ට පහරදීම් හෝ වෙනත් වධහිංසා සිදුවන්නේ ද යන්න ගැනත් විමසා බලනවා. පහරදීම් සිදුවෙලා තියෙනවා නම් දිස්ත්රික් කාර්යාල මට්ටමින් පරීක්ෂණ කටයුතු සිදු කරනවා” කොමසාරිස්වරයා පැහැදිලි කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd