• දූෂණ චෝදනා නැති විපක්ෂ හිටපු මන්ත්‍රීන් ගැන ආණ්ඩුවේ ඇස

 

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

උතුර, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව යන පළාත්හි පළාත් සභා මැතිවරණ ලබන වසරේ ජූලි මාසයේදී පැවැත්වීමට රජයේ අවධානය යොමු වි ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ජනබලවේගයේ ප්‍රධාන  ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මැතිවරණ කොමිසන් සභාවේ පැවැති රැස්වීමකදී ප්‍රකාශ කර ඇත්තේ ලබන වසරේදී පළාත් සභා මැතිවරණය අනිවාර්‌යයෙන්ම පවත්වන බවය.

පළාත් සභා මැතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයන් සොයා ජාතික ජනබලවේගය විශේෂ මෙහෙයුමක් අරඹා ඇති අතර එහිදී දූෂණ චෝදනා නොමැති විපක්ෂය නියෝජනය කරන හිටපු මන්ත්‍රීවරුන් කෙරෙහි විශේෂ අවධානය යොමුකර ඇතැයි දැනගන්නට ඇත.

ඊට අදාළව මේ වනවිට සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතැයිද වාර්තා වේ. මෙහිදී විපක්ෂය නියෝජනය කරන එම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබී ඇතැයි පැවසේ. ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ඉකුත් දා මෙරට කළ සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ අවස්ථාවේදී ද පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලීමක් කළ බවද වාර්තා විය.