වසර 5 සිට 20 දක්වා හිරේ රුපියල් මිලියනයකට වඩා දඩ
උපුල් වික්රමසිංහ
කෙනකුට අයත් බුද්ධිමය දේපළක් වෙනත් අයකු විසින් අනවසරයෙන් නැවත පළකරනු ලැබීමක් හෝ මුද්රණය කිරීමක් කර ඇති අවස්ථාවක 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ මහේස්ත්රාත් අධිකරණයක් හමුවේ පවරනු ලබන නඩුවකදී වරදකරුට පැනවිය හැකි දඬුවම් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් වැඩි කර තිබේ.
ඒ අනුව සංවිධානාත්මක අපරාධ කල්ලියක් වශයෙන් හඳුන්වනු ලබන කණ්ඩායමක් විසින් ඒ ආකාරයේ වරදක් සිදුකරනු ලබන විට එවැන්නන්ට මෙම අභිනව පනත් කෙටුම්පතේ ඇති ප්රතිපාදන ප්රකාරව වසර පහකට නොඅඩු බන්ධනාගාර ගත කිරීමකට හා වසර විස්සකට නොවැඩි කාලසීමාවක් සඳහා බන්ධනාගාරගත කිරීමකට යන දෙයාකාරයෙන් එක් ආකාරයකට සහ රුපියල් මිලියනයකට නොවැඩි දඩයකට යටත් වීමට සිදු වේ.
අදාළ වරද සම්බන්ධයෙන් බුද්ධිමය දේපළ පනත යටතේ මහේස්ත්රාත් අධිකරණයකදී වරදකරුවකු වන අයකුට ලබාදිය හැකි උපරිම දඬුවම මාස හයක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ 5 ක් දක්වා වන වන්දියක් ය.
මෙම නීතිමය ප්රතිපාදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්යාලයේ නීති පීඨයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මේනක හරන්කහ ඉරිදා ලංකාදීපයට ප්රකාශ කළේ මෙය බරපතළ තත්ත්වයක් බව ය.
“මේ ප්රතිපාදන විමසා බැලීමේදී පැහැදිලි වෙන්නෙ නිර්මාණ හිමිකරුගේ අවසරයකින් තොරව යම් සංගීත කණ්ඩායමක් විසින් ඔහුගේ හෝ ඇයගේ හෝ ගීත ගායනා කරනු ලබමින් සිටින්නේ නම් ඔවුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් හැටියට නම් කර මේ ආකාරයේ දණ්ඩනවලට යටත් කිරීමේ හැකියාවක් මේ පනත් කෙටුම්පතෙන් උදා නොවන්නේ දැයි පුරවැසියන් අතර සැකසාංකා ඇතිවෙන්න ඉඩ තියෙනවා. එපමණක් නෙවෙයි එවැනි වරදක් සම්බන්ධයෙන් සැකකරුවන් කර අත්අඩංගුවට ගනු ලබන අය නඩු කටයුත්ත අවසන් වෙන තෙක් රැඳවුම් නියෝග මත වසරක් දක්වා රඳවා තබාගැනීමටත් මේ පනත් කෙටුම්පතෙන් ප්රතිපාදන සලසලා තියෙනවා” ඔහු පැහැදිලි කළේ ය.
මෙම පනත් කෙටුම්පතේ පළමු වැනි උපලේඛනය යටතේ බුද්ධිමය දේපළ පනත යටතට ගැනෙන වැරදි දක්වා තිබෙන අතර ප්රකාශන අයිතිය උල්ලංඝනය කිරීම, කාර්මික සැලසුම් උල්ලංඝනය කිරීම, කාර්මික සැලසුම් පිළිබඳ අසත්ය කරුණු දැක්වීම, පේටන්ට් බලපත්ර උල්ලංඝනය කිරීම, පේටන්ට් බලපත්ර සම්බන්ධයෙන් සාවද්ය නියෝජනය, පේටන්ට් බලපත්ර පිළිබඳ තොරතුරු නීතිවිරෝධී ලෙස අනාවරණය කිරීම, ලකුණු උල්ලංඝනය කිරීම, වෙළෙඳ ලකුණු පිළිබඳව අසත්ය කරුණු දැක්වීම සහ ලකුණු හා වෙළෙඳ විස්තර පිළිබඳ වෙනත් වැරදි ඒවා අතර වේ.
දණ්ඩ නීති සංග්රහයේ දක්වා ඇති ඇතැම් වැරදි සහ නොයෙක් පනත් මගින් හඳුන්වා දෙනු ලැබ ඇති වැරදි ද මේ පනත් කෙටුම්පත යටතේ සංවිධානාත්මක අපරාධ ලෙස හඳුන්වා තිබේ. උදාහරණයක් ලෙස පරිගණක අපරාධ පනතේ දක්වා ඇති සමහර වැරදිත් බුද්ධිමය දේපොළ පනත යටතට ගැනෙන ඇතැම් වැරදිත් සංවිධානාත්මක අපරාධ හැටියට මෙම පනත් කෙටුම්පතෙන් දක්වා තිබේ. මෙහි ගැටලුසහගත තත්ත්වයක් තිබේ. ප්රකාශන අයිතිවාසිකම්, වෙළෙඳ ලකුණ සම්බන්ධ අයිතිවාසිකම් සහ පේටන්ට් බලපත්ර අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ විධිවිධානත් මෙහි ඇතුළත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd