සුජිත් හේවාජුලිගේ
රජයට භාණ්ඩ මිලදී ගැනීමට අදාළ ප්රසම්පාදන ක්රියාවලියේ බරපතළ අඩුපාඩු පවතින බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
රජයේ ප්රසම්පාදන ක්රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුත් විධිමත් ක්රමවේදයක් බවට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම නව ප්රසම්පාදන පනතක් සකස් කිරීමේ කටයුතුවල ප්රගතිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පසුගියදා දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම කරුණු සාකච්ඡා කෙරුණේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (20) රැස්වූ අවස්ථාවේදීය.
මෙම කාරක සභා රැස්වීමට නියෝජ්ය අමාත්යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන රවී කරුණානායක, නිමල් පලිහේන, හර්ෂණ රාජකරුණා, විජේසිරි බස්නායක, නීතීඥ චිත්රාල් ප්රනාන්දු, තිලිණ සමරකෝන්, අජිත් අගලකඩ, සුනිල් රාජපක්ෂ, චම්පික හෙට්ටිආරච්චි සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්ර යන අය ද සහභාගී වූහ.
රාජ්ය ප්රසම්පාදන ක්රියාවලිය, එහි පවතින ප්රමිතීන් සහ වැඩිදියුණු කළ යුතු අංශ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී ප්රසම්පාදන කටයුතුවලදී මතුවන ප්රමාදයන්, ලියාපදිංචි කිරීමේ ක්රියාවලියේ ගැටලු, නීතිමය රාමුවේ පවතින අඩුපාඩු සහ ඩිජිටල් පද්ධති භාවිතයේදී මතුව ඇති අභියෝග පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
විශේෂයෙන්ම ඖෂධ සහ අනෙකුත් අත්යවශ්ය භාණ්ඩ මිලදී ගැනීමේදී පවතින ප්රමාදයන් අවම කිරීමේ අවශ්යතාවද මෙහිදී සාකච්ඡා කෙරිණ.
ප්රසම්පාදන ක්රියාවලිය කඩිනම් කිරීම සඳහා ප්රසම්පාදන කමිටුවල මූල්ය සීමාවන් ඉහළ නැංවීම, නැවත නැවත සිදුකරන මිලදී ගැනීම් සඳහා දිගුකාලීන රාමුගත ගිවිසුම් ක්රමවේදය හඳුන්වාදීම සහ ක්ෂේත්රයට විශේෂිත වූ ප්රසම්පාදන මාර්ගෝපදේශ සකස් කිරීම සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් විය. එමෙන්ම ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්රියාවලිය දීර්ඝ කාලීනව විධිමත් කිරීම මගින් සිදුවන ප්රමාදයන් අවම කර වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිදියුණු කිරීමේ අවශ්යතාවද කාරක සභාව විසින් අවධාරණය කරන ලදි.
රාජ්ය ප්රසම්පාදන කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා ක්රියාත්මක PROMIS (Procurement Management Information System) පද්ධතිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. දැනට අමාත්යාංශ 19ක් ඇතුළුව සක්රිය ප්රසම්පාදන ඒකක 394ක් ආවරණය වන පරිදි ප්රසම්පාදන ක්රියාවලීන් නිරීක්ෂණය කිරීම සඳහා මෙම පද්ධතිය භාවිත කෙරෙන අතර, 2027 වසර වන විට පළාත් සභා සහ සියලුම රාජ්ය දෙපාර්තමේන්තු ඇතුළත් වන පරිදි එය ව්යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවද සාකච්ඡාවේදී සඳහන් විය.
මෙම ඩිජිටල් පද්ධතිය සංවර්ධනය කිරීමේදී මතුවූ ප්රමාදයන් සහ පෙර ගිවිසුම්කරුවා සමග පැවති එකඟතාව අවසන් කිරීමට සිදුවීම පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි. නව සංවර්ධකයකු තෝරාගැනීමේ තාක්ෂණික ඇගයීම් අවසන් කර ලෝක බැංකුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවත්, පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5 ක ප්රදානයක් හිමිවන බවත් මෙහිදී සඳහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd