ප්‍රේමකීර්ති රණතුංග  

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම නෛතික කරුණක් හේතුවෙන් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කථානායකවරයාට විපක්ෂය නගා ඇති ඇතැම් චෝදනාවලට අදාළ නඩුවක් එළඹෙන නොවැම්බර් මාසයේ විභාගයට ගැනීම සඳහා අධිකරණය විසින් දින නියමකර ඇති අතර, ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ පැවති ගෘහ කාරක සභා රැස්වීමේ දී තීන්දුවී ඇත්තේ - එම නඩුව අවසන් වනතුරු මෙම විශ්වාසභංග යෝජනාව සාකච්ඡාවට නොගැනීමටය.

අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව පාර්ලිමේන්තුවේ දී විවාද නොකරන ප්‍රතිපත්තිය අනුව යමින් විශ්වාසභංග යෝජනාව කල්දැමිය යුතු බව එහිදී ආණ්ඩුවේ මතය වී තිබේ. මේ පිළිබඳ කළ විමසීමේ දී පාර්ලිමේන්තු කටයුතු සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල පැවසුවේ නොවැම්බර් මාසයේ දින දෙකක් මෙම නඩුවට වෙන්කර ඇති නිසා, එම නඩු කටයුතු අවසන්වන තුරු විශ්වාසභංග යෝජනාව විවාදයට ගත නොහැකි බවය.

දෙසැම්බර් මස මුල දී අධිකරණයේ සහ පාර්ලිමේන්තුවේ වාර්ෂික නිවාඩු සමය එළඹෙන අතර, ඒනිසා ලබන ජනවාරි මාසය වනතුරු මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ තීන්දුවක් ගත නොහැකිවනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරයි.