බොරැල්ල කනත්තේ චිමිනියෙන් අවසාන දුම් රොටුවත් පිටවී යන තෙක් බලා සිටියෙමි. තවදුරටත් මේ අසීමිත මනුෂ්‍යයාගේ රූපකාය භෞතිකව මා සමීපයේ නැත. ජීවිතය මොනතරම් සිල්ලර දෙයක්දැයි මේ තරම් බිහිසුණු ලෙස තේරුම් ගිය තවත් අවස්ථාවක් නොමැත.

ජීවිත පරිච්ඡේදය අවසන් කරන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නොවේ. ඔහු ලෝකයට අයත් මිනිසෙකි. උදාර කුලරත්න යනු ලියා නිම කළ නොහැකි මනුස්සයෙකි. ඉතාම කෙටියෙන් උදාර ගැන ලියා තබමි. ඒ ඔහු කවරෙක්දැයි තේරුම් ගැනීම සඳහාය.

උදාර 1983 අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පළමුවෙනියාය. 1988 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවේ පළමුවෙනියාය. 1991 උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් ලංකාවේ තෙවැනියාය.

ඔහු ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව හැදැරීමට ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ ශිෂ්‍යත්වය දිනාගෙන, එහිදී ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යා උපාධිය පූරණය කර, පශ්චාත් උපාධිය ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ලබාගත් විශිෂ්ටයෙකි. අනතුරුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හදාරා පශ්චාත් උපාධිය සම්පූර්ණ කර, මහා බ්‍රිතාන්‍යයේ විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස වෘත්තියේ නිරත වෙමින් සිටි, ලෝකය පිළිගත් ප්‍රමාණිකයෙකි. ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන්ගේ දැනුම යාවත්කාලීන කළ මහා සම්පතක් වූ වෘත්තීයවේදියෙකි.

ඒ සියල්ලම අභිබවා ගිය පිරි ඉතිරුණු මහා හදවතක් සහිත මනුෂ්‍යයෙකි. ඔහුගේ විශ්වාස කළ නොහැකි දැනුම සහ ඥාන ප්‍රභාව ඉදිරියේ අප කුරාකුහුඹු මිනිසුන් වූ බව කිව යුතුමය. එහෙත් මනුෂ්‍යත්වයේ ගැඹුරු සංවේදනයන් අතර ඔහු අවසන් මොහොත වන තෙක් සිටියේ අසීමිත මිතුරු ලකුණක් ලෙස අපගේ හදවත් වසාගෙනය. අවුරුදු 54ක් පූරණය වීමට පෙර නික්ම යන්නේ එවැනි විස්මයජනක මනුස්සයෙකි.

අවුරුදු 54ක් වුවද උදාර යෞවනයකුගේ අසාමාන්‍ය රූපකායකට හිමිකම් කීවේය. ඔහු අප සමඟ වයසට ගියේ නැත. අප අතර සිටි සදාකාලික යෞවන ආදර්ශය ඔහුය. අවසානයේ ඔහු හමුවූ මිතුරු සමාගමයේදී අපෙන් එකෙක් ඔහුට කී කතාව මතකය.

“මචං... ස්කූල් කිට් එක ඇන්දුවොත් උඹව අදත් ඉස්කෝලේ යවන්න පුළුවන්.”

උදාර සමඟ ගෙවා දැමූ කවදාවත් අමතක කළ නොහැකි ළමා කාලයක් අපට තිබිණි. ඈත ගම්දනවුවලින් ශිෂ්‍යත්ව විභාගය සමත් වී කොළඹ රාජකීය විද්‍යාලයට පැමිණි දරුවන් ලෙස ගත කළ ජීවිතයේ පරිවර්තනීය සමයක, ඔහු මට මගේ ළමා කාලය මහා විස්මයක් කළ ආදර්ශයක් වූයේය. මා කළේ ඔහු ළංවීමට සිතීම නොව, ඔහු දෙස බලා පුදුම වීමය.

උදාරට තිබුණේ විස්මය දනවන සුළු බුද්ධිඵලයකි. ගණිතය සහ විද්‍යාව විෂයන්ගෙන් ​ෙ‌ශ්‍ර්ණියේ ඉගෙනුම ලැබූ දරුවන් හත්සියයකට අධික ප්‍රමාණයකින් හැම වසරකම ප්‍රථමයා වී ත්‍යාග ලබන්නේ උදාරය. එය උදාරටම ලියා දී තිබූ සම්මානයක් වැනි විය.

මගේ ළමා කාලයේදීත් මා දන්නා එකම දේ භාෂාව හා සාහිත්‍යය පමණක් වූයේය. එහෙත් මේ පුදුම සගයා පාසලේ සාහිත්‍ය හා නිර්මාණ තරගවලට ඉදිරිපත් වූ සෑම අවස්ථාවකම අප පරඬැල් සේ විසි වී ගියේය. ඔහුගේ රසිකත්වය, භාෂා ඥානය, කවිකම තිබුණේ අපට ගව් ගණනක් ඔබ්බෙනි. පාසල නිසා බැබළෙන බොහෝ දෙනෙක් පසුකර පැමිණ ඇති බව කිව යුතුය. එහෙත් රාජකීය විද්‍යාලය බැබළවූ, රාජකීය විද්‍යාලයේ සන්නාමයක් වූ අතළොස්ස අතර උදාර ඉදිරියෙන්ම සිටියේය.

ලෝකයේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් පූරණය කළ ඉංජිනේරුවෙක්, ලෝකයේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිතව විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස සේවය කළ සම්මානිත වෘත්තීයවේදියෙක් ලෙස උදාර සම්භාවනාවට ලක්ව සිටියේය. අපට පුදුමය වූයේ එය නොවේ; ඔහු තුළ තිබූ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්හි පැතිරුණු පරිචයයි. මේ විශිෂ්ට මිනිසා කවියෙක් වූයේය; ගීත රචකයෙක් වූයේය. අරුණ ගුණවර්ධන සංගීතවත් කර, හර්ෂණ දිසානායක ගායනා කරන ‘සත්කුළු මතින්‘ ගීතය අසා දෑසට කඳුළු නඟා නොගත් විදෙස්ගත වී සිටින ලාංකිකයෙක් ගැන නොදනිමි. සිය මව දැකීම මඟහැරී ගිය පුතකුගේ භාවයන් උදාර ගීතයක පද පෙළකට ගොනු කළ ආකාරය ගැන තවමත් මවිත වෙමි.

මව හා පියා සමග

ඔහුගේ ‘අරුණෝද සියයක්‘ කවි පොත ජීවිතය දෙස වෙනස්ම මානයකින් බැලූ විදග්ධ කාව්‍යකාරයකුගේ මනරම් කෘතියක් වූයේය. මේ කවි පොත හා බැඳුණු, කවදාවත් කිසිවකු හා කතා නොකළ බැඳීමක් ලියා තබමි.

මා කවියෙක් නොවේ; කවියට ආදරය කළ රසිකයෙක් පමණි. ‘සිළුමිණ‘ පුවත්පතේ සේවය කරමින් සිටි වකවානුවේදී හදිසියේම උදාර මට කතා කළේය.

“මචං... කවි පොතක් කළා. උඹට මම අත්පිටපත එවනවා. බලපන්...”

ඇත්තටම ඒ කාව්‍ය සංග්‍රහය මට නම් මහා රසයක් උපදවනු ලැබුවේය. සමහර විට මා විචාරකයකු නොවන රසිකයෙක් නිසා විය හැකිය.

දින කීපයකින් උදාර යළි කතා කළේය.

“උඹ කවි ටික බැලු‍ව ද?”

“බැලු‍වා, මරු...”

“නියමයි. මේ... මට පොතට පෙරවදනක් ලියාගන්න ඕන.”

“හරි.. කියපන්... කාටද කියන්න ඕන? ඕන කෙනෙක් ගැන කියපන්. මම ගිහින් හම්බවෙලා කතා කරලා වැඬේ කරගන්නම්.” මම කීවෙමි.

“මචං... පෙරවදන ලියන්න ඕන උඹ..”

මම වික්ෂිප්ත වී සිටියෙමි. එවැන්නක් මට බර වැඩි බව මගේ තක්සේරුව විය. තේරෙන භාෂාවෙන් මේ ගැන පැහැදිලි කිරීමට උත්සාහ කළද කළ නොහැකි විය. ජීවිතයේ මුල්ම වරට කවි පොතකට පෙරවදනක් ලියුවෙමි. එය මගේ එවැනි අවසාන ලියැවිල්ලද වනු ඇත.

උදාර හා බැඳුණු මෙවැනි කවදාවත් අමතක නොවන මතක අප හැම එකාටම පෞද්ගලිකව තිබේ. ඒ මතක හා බැඳුණු සියලු‍ම මනරම් සිදුවීම් මේ මොහොත වන විට අප සියලු‍ දෙනා පෙළාදමන මහා වේදනාවක් වී ඇත.

දැන් ඒ අම්මා සහ තාත්තා ජීවත් වනු ඇත්තේ කෙසේදැයි නොදනිමි. ඔවුන් දෙදෙනා ජීවත් කළ එකම ශක්තිය උදාරගේ මහා බැඳීමය. පවුලේ එකම දරුවා ලෙස ඔහු ඒ අම්මාට සහ තාත්තාට ලබාදුන් ආධ්‍යාත්මික ජීවයයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ඩී. එස්. කුලරත්නයන් ජාතියේ නැණ පහන් දැල්වූ විශිෂ්ට විද්වතෙකි. උදාර ඔහුගේ එකම දරුවාය. විශ්‍රාමික ගුරුවරියක වූ ලලිතා කුලරත්න උදාරගේ අම්මාය. ඒ අම්මා සහ තාත්තා උදාරගේ නිසල සිරුර අභිමුව අවිඥානිකව සිටි අයුරු මා දුටු වේදනාත්මක දසුන් අතරින් එකකි.

අවසානයේදී අප අභිමුව ඇත්තේ මහා උභතෝකෝටිකයකි. අප කිසිවකුට මේ මරණය විග්‍රහ කරගැනීමට හැකි ප්‍රවේශයක් සොයාගත නොහැකිය. නික්ම ගියේ සමකාලීන සගයන් අතර සිටි, නීරෝගී සම්පන්න යැයි අප සිතූ ආදර්ශයයි. නූතන වෛද්‍ය විද්‍යාත්මකව නිශ්චිත සෞඛ්‍යසම්පන්න ජීවිතයක් කළමනාකරණය කළ, කවදාවත් වයසට නොයන බව අප විශ්වාස කළ ප්‍රතිරූප යෞවනයාය. සෑම සගයකුගේම හදවත ගැඹුරෙහිම ලැගුම්ගත් ලෙන්ගතුම සහෝදරයාය.

ඔහු මියයන්නේ ජීවත්ව සිටියදී ලෝකයේ ඉහළම විද්‍යාත්මක දැනුම් ගොනුවක් සහිත රටකදී, වෛද්‍ය විද්‍යාත්මකව නිර්ණය කරගැනීමට නොහැකි වූ හෘදයාබාධයකිනි. අවසානයේදී මහා බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට ගෙන ආ දේහය අප කිසිවකුට දැකගන්නට හැකි වූයේ නැත. දේහය පැමිණියේ මුද්‍රා තැබීමෙන් පසුවය.

අවසාන වශයෙන් ලියා තැබිය යුතු දෙයක් ඇත. ඒ උදාර අපට කියා ගිය පණිවිඩයයි. එය ජීවිත යථාව ගැන කියන දැනෙන සුලු කතාවකි. උදාර වැනි උන් ගිය පසු තවත් කවරක් ගැන කතා කළ යුතුදැයි වැටහෙන්නේ නැත. තේරුම් ගත යුත්තේ අප මේ සදාකාලික යැයි සිතාගෙන කරණම් ගසමින් ඉන්නේ මේ තරම් අවිනිශ්චිත, බිඳෙනසුලු‍ අටල්ලක සිට බවය. අප මේ කැටයම් කපමින් ඉන්නේ ජීවත්ව ඉන්නා කාලය මාස ගණනින් මැනෙන ජීවිත පඩංගුවේය. ප්‍රියයන් සමඟ ගත කළ හැකි එක මොහොතක් හෝ මඟ නොහරින ලෙස ඉල්ලා සිටිමි. කාලය වේගයෙන් ගෙවී යමින් නොසිතූ මොහොත නිර්මාණය කරන බැවිනි.

ජානක ලියනාරච්චි

ශිෂ්‍යත්වයෙන් පළමුවැනියා වීම පුවත්පතක පළවූ අයුරු